මඟඵල ලැබිය යුතු නම්
අනුගමනය කළ යුතු ප්‍රතිපදාව
වල්පොල ගෝතම හිමි
සත්‍යය යනු කිසිදු රටකට,සමාජයකට, ජාතියකට හෝ ආගමකට අයත් වන්නක් නොවේ.
එය සැමට පොදු දෙයක්. බුදු දහමෙහි ඉගැන්වෙන චතුරාර්ය සත්‍යය ද බෞද්ධයන්ට
පමණක් ආවේණික උරුම වූ දෙයක් නොවේ. එය සැමට පොදු ධර්මතාවක්. දුක,
තණ්හාව, නිවන හා මධ්‍යම ප්‍රතිපදාව යන මේ කාරණා හතර දෙස විමසුමෙන්
බැලීමට පිළිගැනීමට අවශ්‍ය වන්නේ නුවණ පමණ යි.
ඔබට මඟඵල ලැබිය යුතුනම් ඔබ සොයන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද
කියා. එය දැනගන්න දැනගන්න ඔබට මේ ජීවිතය පිළිබඳව පවතින අවිද්‍යාවෙන්
මිදෙන්න පුලුවන්. මේ නිවන් මඟේ මුලින් සොයන්න ඕන මොකක්ද කියා
සිතෙනවානම් ඔබ සොයන්න සලායතන කියන්නේ මොකක්ද? නිවන් මඟට මුලින්ම
කළයුත්තේ මොකක්ද?, ධාතු, පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද? කියා. ධර්මයට
අනුකූලව දේශනා ඇසුරු කර මේ විද්‍යාව පහළ වන ආකාරයට ධර්මය තේරුම් ගන්න.
මෙසේ ධර්මය තේරුම් ගනිද්දි ඔබ තුළ වැඩෙන්නේ සම්මාදිට්ඨිය යි.
බුදුරජාණන් වහන්සේ වදාළා ඇස අනිත්‍යය බව යමෙකුට අවබෝධ වෙනවානම් ඔහුට
තිබෙන්නේ සම්මා දිට්ඨිය යි. කන අනිත්‍ය බව අවබෝධ වෙනවානම් ඔහුට
තිබෙන්නේ සම්මා දිට්ඨිය යි. ඒ ආකාරයට ආයතන, පංච උපාධානස්කන්ධය, ධාතු
ගැන අවබෝධ වෙන්න වෙන්න ඔහුට සම්මා දිට්ඨිය වැඩෙනවා. සම්මා දිට්ඨිය
වැඩෙන විට සක්කාය දිට්ඨිය නැතිවෙනවා. .
බුදුරජාණන් වහන්සේ ගද්දුලබද්ධ සූත්‍ර දේශනාවේදී උපමාවකින් වදාළා
සක්කායදිට්ඨිය පිළිබඳව. කණුවකට බලු පැටියෙක් ගැට ගසා තිබෙනවා. මේ බලු
පැටියා ගැටගසා තිබෙන තාක්, දම්වැලට බැඳී සිටින තාක් මේ බලු පැටියාට
පෙනෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒ බලු පැටියා දකින්නේ ඒ බලුපැටියා
ඇසුරු කරන්නේ ලගින්නේ සීමිත ප්‍රමාණයක. ඒ දම්වැල තිබෙන නිසයි ඒ සියලුම
සීමා හැදී තිබෙන්නේ. දම්වැල කැඩුනානම් බල්ලාට සීමා රහිතව ඇවිදින්න
පුලුවන්. සීමා රහිතව දේවල් දකින්න, සීමා රහිතව තමාට කැමැති තැනක ලගින්න
පුලුවන්. එහෙනම් මේ සක්කාය දිට්ඨිය කියන්නේ දම්වැල වගේ දෙයක්. ඒ පැටියා
වගේ මේ සසරේදී දම්වැලට බැඳිලා අප සීමා සහිතව පේන දේවල්වල ගැන, ඇසෙන දේ
ගැන සීමා සහිතව හිතන්නේ. ඒ සීමා සහිතව හිතන නිසාමයි ඇලෙන්නේ ගැටෙන්නේ.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළට ආ ශ්‍රාවකයා මුලින්ම කරන්නේ
සම්මාදිට්ඨිය ඇතිකර ගන්නා කාරණාම යි. මේ නිවන් මඟට මුල්වී තිබෙන්නේ
සම්මාදිට්ඨිය යි. සම්මාදිට්ඨිය ඇතිවුණාට පස්සෙයි ඔහු සියල්ල කරන්න ඕන.
උදාහරණයක් ලෙස සිතන්න, යම් කෙනෙක් නිවන අරමුණු කරගෙන භාවනා කරනවානම්
ඔහු භාවනාව පටන් ගන්නට පෙර සම්මාදිට්ඨිය ඇතිකර ගන්නා ආකාරයට නුවණින්
විමසලා මේ ධර්ම කරුණු කෙරෙහි අවබෝධයක් ඇතිකර ගන්න ඕන. පංචඋපාධානස්කන්ධය
ආදී දේ පිළිබඳව නිවැරදිව අවබෝධයක් ඇතිකර ගෙන දෘෂ්ඨි පිරිසුදු කර ගැනීම
තුළින් ඔහුට භාවනාව තුළින් වඩාත් සාර්ථක වෙන්න පුලුවන්. අප භාවනා කළා
කියා සම්මාදිට්ඨිය ඇතිවෙලා නැත්නම්, සක්කායදිට්ඨිය නැතිවෙන්නේ නැහැ.
සම්මාදිට්ඨිය මුල්වෙලා භාවනා කරනවිට ලොකු වෙනසක් තිබෙනවා. ආත්ම
දෘෂ්ඨියක් ගොඩනැගෙන්නේ නැහැ. ඔබ හිතන්න, අසුභ භාවනාව ලෙස තමාගේ ශරීරයේ
තිබෙන කෙස්, ලොම්, නිය, දත්, සම පිළිකුªල් පිළිකුල් කියා මෙනෙහි කරනවා.
නමුත් සම්මාදිට්ඨිය වැඩුණු ශ්‍රාවකයා දන්නවා අසුභ වශයෙන් විමසන විට මේ
කය ගැන දැනගන්නේ ආයතන වශයෙන් හට ගත්ත නිසා බව. මොහොතක් මොහොතක් පාසා මේ
ඇස හටගන්නේ හේතුන් රාශියක් නිසා. මොහොතක් මොහොතක් පාසා කන හට ගන්නේ
හේතු රාශියක් නිසා. මනස මුල් කරගෙනයි හැම තිස්සේම ඇස හට ගන්නේ. මනස
මුල් කරගෙනයි කන, නාසය, දිව, කය ආදිය හට ගන්නේ. ඒ මනස මුල්කරගෙන හට
ගන්නා ඇස තුළින් තමයි අප කය දකින්නේ.
ලෝකයේ දකින දේ ඕන තරම් තිබෙනවා. තමාගෙන් බාහිරව තිබෙන ඒ දකින දේ අතර
හැම දෙයක්ම බාහිරින් දකින දේ. නමුත් තමා යැයි සලකන මේ කයේ තිබෙනවා
අභ්‍යන්තරව දකින දේ. උදාහරණයකට – මම, මගේ අත දෙස බලනවිට මේ අත මට තමා
යයි සලකන රූපයක්. තව කෙනෙකුගේ අතක් මගෙන් බාහිරව සලකන රූපයක් මට. මම
තමා යැයි සලකන රූපයත්, තමාගෙන් බාහිරව සලකන රූපයත් දෙකම දැක්කේ ඇසින්.
ඇසක් ඒ මොහොතේ හට ගත් නිසායි මම රූපය දැක්කේ. සමහර වෙලාවට මගේ අත ඇසට
පේනවා. අත පේන තැනට මම වටාපතක් ළං කළොත් ඇස් දෙක ඉදිරියේ ඒ දෙකම
තිබෙනවා. මේ ඇස අභියස අත හා වටාපත දෙකම තිබෙද්දී මම බලන්නේ වටාපත දෙස.
එවිට මගේ මනස සම්පූර්ණයෙන්ම යොමු වන්නේ වටාපතට. එසේනම් ඇස හටගත්තේ
වටාපත මුල්කරගෙනයි. වටාපත මුල්කරගෙන ඇස හට ගනිද්දී අත ගැන අදහසක් ආවේ
නැහැ. නමුත් අත එතැනම තිබෙනවා. ඒත් අත දැනගත්තේ නැහැ. අත දැන ගත්තේ
නැතුව අත ගැන අදහසක් මනසට ගියේ නැහැ. ඒ කුමක් නිසාද, අත මුල් කරගෙන ඇස
හට ගත්තේ නැති නිසා. ඒ වෙලාවේදී අතත්, වටාපතත් දෙකම එකළඟ තිබුණට බාහිර
දේට ඇසත්, මනසත් යොමුවුණා. අභ්‍යන්තරව තමා යැයි සලකන අතටවත් මනස යොමු
වුණේ නැහැ. මේ කයේ කෙතරම් දකින දේ තිබුණත් තමන් යයි සලකන මේ කය දෙස
කණ්ණාඩියකින් හෝ වේවා සාමාන්‍ය ස්වරූපයෙන් හෝ වේවා මගේ මේ ඇස, කන,
නාසය, මගේ කෙස්, මගේ ලොම්, මගේ සම, මගේ දත් ලෙස මොන දේ දැක්කත්
දකිනවානම් දැකිය යුත්තේ ඇසෙන්. ඇස හට ගත්තේ මනස මුල් වුණොත් පමණයි.
එසේනම් කයට කලින් ඇස දැන ගත්තේ මනස නිසයි. මනස මුල්වෙලා කියන දේ තේරුම්
ගන්න පුලුවන්. මනස මුල්වෙලා ඇස හටගත්තොත් පමණයි පේන දේ මුල්වෙලා කය ගැන
අදහසක් ගන්නේ. ඒ වගේම යි ඇසෙන දේත්. සම්මාදිට්ඨිය ඇතිවුණාම මෙය තේරුම්
යනවා. කණත් සතරමහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරය ඇසට පෙනෙනවා වගේම කනට
ඇසෙන ස්වභාවයකින් යුක්තයි. තමා යැයි සලකන කය මුල්කරගෙන මා කථා කරනවා.
එවිට මේ කයෙන් ශබ්ද පිටවෙනවා. තව තව ආකාරයට මේ කයෙන් ශබ්ද පිටවෙනවා.
අපට සමහර වෙලාවට මේ කයේ ඉක්කා ඈනුම් යනවා. වාතය උගුරෙන් පිටවෙනවා. වාතය
පහළින් පිටවෙනකොටත් ශබ්දය පිට වෙනවා. සමහර විට බඩේ ආහාරය දිරවන විට
ගුරු ගුරු වගේ බඩේ ශබ්ද ඇසෙනවා. ඒ හැම එකක්ම කය මුල්කරගත් ශබ්ද. කයේ
ශබ්ද තිබුණත් ඒකත් දැනගන්නේ මනස මුල්වෙලා. කණ හට ගත්තොත් පමණයි තමාගේ
කයේ ශබ්දත් හට ගන්නේ. අප හිතමු තමාගේ බඩේ ගුරු ගුරු කියා ශබ්දයක් හට
ගන්නවා කියා. ඒ ශබ්දය ඇසෙන වෙලාවේ ඔහු තමා කැමැති ගායකයෙකුගේ සිංදුවක්
අසමින් ඉන්නවා. සිංදුවට, ශබ්දයට සම්පූර්ණයෙන්ම මනස මුල්වෙලා තිබෙන්නේ.
දැන් ඔහු දැනගන්නේ ඒ සිංදුවයි. තමන්ගේ කයේ ඇසෙන ශබ්දයවත් දැන ගත්තේ
නැත්තේ මනස සම්පූර්ණයෙන් ගීතයට යොමුවෙලා නිසා. එසේනම් කය මුල්වෙලා
තිබෙන ශබ්දයත් වුවත් දැන ගන්න මනස ඕනම යි. නාසයට දැනෙන ගඳ සුවඳ
දැනගන්නත් නාසය මනස මුල්කරගෙන හට ගත්තොත් පමණයි. ඒ වෙලාවේ තමාගේ කයෙන්
දැනෙන ගඳ සුවඳට වඩා බාහිරෙන් ප්‍රබල ගඳ සුවඳක් එනවානම් තමාගේ කයට මනස
යොමුවෙන්නේ නැහැ. ඒ වෙලාවේ මනසට අරමුණු වන්නේ බාහිරරෙන් එන ගඳ සුවඳ.
දිවට දැනෙන රස ගැන දැනගත්තේ ඔහු දැනගන්නේ මනස යොමුවෙලාම යි. කයට දැනෙන
පහස දැන ගන්නෙත් මනස මුල්වෙලාම යි. ඔබ සිතන්න අප ඇවිදගෙන යනවා විශාල
රස්නයක් තිබෙන පාරක. ඒ වෙලාවට අපට කය රස්නේ සහිත පොලොවේ අඩි තබා යනවිට
දැඩි කටුක පහසක් දැනෙනවා. එය අප දැන ගන්නවා. ඒ සමඟම යම් සුළඟක් හමනවා.
නමුත් කයට රස්නය දැනුන නිසා එයයි මනසේ වැඩ කරන්නේ. එවිට සුළඟ දැනගන්නේ
නැහැ. තවත් පහසක් කයට දැනුනට මනස මුල්වෙන්නේ නැති නිසා එය දැන ගන්නේ
නැහැ.
අපේ මනස කයේ පේන දේවලට යොමුවෙලා නැත්නම් කයේ පේන දේ ගැන, කයේ ඇසෙන දේ
ගැන, කයේ දැනෙන දේ ගැන, කය ගැන හිතෙන දේ ගැන මනස යොමු වන්නේ නැහැ, මේ
මනස මුල්වුණා කියන්නේ මොහොතක් මොහොතක් පාසා වෙනස්වන මනසේ තමයි
සම්පූර්ණයෙන්ම කය ගැන ලෝකයක් ලෙස සකස් වී තිබෙන්නේ. නැත්නම් මේ කය
සාමාන්‍ය රූප හා සමානවම සාමාන්‍ය සතරමහ ධාතු හා සමානවම පවතින දෙයක්.
සම්මාදිට්ඨිය වැඩුණ ශ්‍රාවකයා දන්නවා ආයතන වශයෙන් මනස මුල්වෙලා ඇසක් හට
ගත්තොත් තමා කය ගැන පේන්නේ. කනක් හට ගත්විටයි කන ගැන පෙනෙන්නේ. කය ගැන
ඇසෙන්නේ. ආයතන වශයෙන් කය වුනත් හට ගන්නවා මනස මුල්වෙලා. එවිටයි අරමුණු
ලෙස දැනගන්නේ. මෙසේ මනසින් දැනගන්න කය ඔහු ආත්මයක් ලෙස ගන්නේ නැහැ. .
එය වටහා නොගෙන කොතරම් අසුභ භාවනාවක් ලෙස සිතන්න ගියත් එය ආත්මයක් ලෙස
තමා යයි සලකන කයක් ගැනමයි අරමුණු කර ගන්නේ. තමා යැයි සලකන කය අසුභයි. ඒ
කය පිළිකුල් කියන ආත්ම දෘෂ්ඨියට යනවා. එවිට ඒ අනවබෝධය කඩන්නනම් මා මේ
කියපු අවබෝධය වැඩෙන ආකාරයට සම්මා දිට්ඨිය වැඩෙන ආකාරයට නුවණින් විමසන්න
ඕන. සම්මා දිට්ඨිය වඩන්න කියා දෙන ධර්මය සොයන්න. සම්මාදිට්ටිය වැඩෙන
ධර්මය සොය සොයා ධර්මය තේරුම් ගන්න උත්සහා ගන්න. එයයි බුද්ධ ශාසනය තුළ
මුලින්ම කළයුත්තේ. එවිට සක්කායදිට්ඨිය නැතිවෙලා සම්මාදිට්ඨිය ඇතිවෙනවා.
එනිසා ඔබ බුදුරජාණන් වහ්නසේගේ ශාසනය තුළ කළයුත්තේ මූලික දේ ලෙස අවබෝධය
වැඩෙන එකට මූලික තැන දෙන්න. එසේ නැතිව මුලින්ම තණ්හාව නැති කරන්න
මහන්සි ගත යුතු නැහැ. එය ඉබේ සිදුවෙනවා. එසේ සිදුවන්නේ අවබෝධය ඇතිකර
ගත්තට පස්සේ. ඔබට මේ කය පරිහරණයේ දී අවබෝධයක් ඇතිවුණා නම් එදිනට
ප්‍රශ්නය අඩුවෙනවා. සැනසිල්ල උදාවෙනවා.
නයනා නිල්මිණි |