UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිඹිරිගම ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන් විහාරස්ථානය

තිඹිරිගම ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන් විහාරස්ථානය


බුද්ධ ප්‍රතිමා වහන්සේ

කලබලයෙන් තොර ගම්මැද්දේ සුවදායක පරිසරය සිතට ප්‍රදානය කරන්නේ සැහැල්ලුවකි. නෙතට පි‍්‍රය හරිත පැහැ නෙරළු උයන් අතරින් අති ධාවනයෙන් තොර වූ මාවත් සෑදී තිබෙයි.

ශ්‍රී සුදර්ශන ධර්මායතනය පිහිටා තිබෙන්නේ එවන් නිස්කලංක පෙදෙසකය. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ කිරිඳිවැලට කි.මී. 2 ක් පමණ නුදුරින් වූ තිඹිරිගම ග්‍රාමසේවා වසමේ පිහිටි මෙම විහාරස්ථානය භෞතික පරිසරයේ නිසසල බවට සමගාමීව ආධ්‍යාත්මික සන්සුන්භාවය ප්‍රදානය කරනා සෙයකි.

මීට වසර 124 කට පමණ පෙර 1890 වසරේ දී වේයන්ගොඩ පත්තලගෙදර ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථානය ආරම්භ වී ඇත.

ශත වර්ෂයකට එපිට කුඩාවට ඇරැඹුණු ගමේ පන්සල ක්‍රමයෙන් සංවර්ධනය විය. එහි ප්‍රවර්ධනයට මෙන්ම අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ ගමෙන්ම ජනිතවී ගමේ පන්සලේ විහාරාධිපතිත්වයට පත්වූ තිඹිරිගම සුමනජෝති හිමියන්ගේ යුගයේ දී භූමියේ ඇති ඉතිහාස මඟ වර්ණවත් කිරීමට සමත් විහාර මන්දිරය ගොඩ නංවන ලදී.

මෙහි විශේෂත්වයක් වනුයේ. බුද්ධ මන්දිරයේ සමාධි සුවයෙන් වැඩවසනා කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ එහි වෙනස වෙනුවෙන් දඹදිවෙන් ගෙනෙන ලද්දකි. කිරිගරුඬ පාෂාණය ද ඉතා වටිනා නිසා එයින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අගය තවතවත් වර්ධනය වී තිබෙයි.

විහාර මැදුරේ චිත්‍රයක්

ඝාණ්ටාරකුලුන

සම්බුදු මැදුර

එසේ මෙම කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරස්ථානයට ලැබුණේ සැදැහැවත් දානපති දායකයන් වූ මඩකොටුවේ ජානිස් අප්පුහාමි ගම්මුලාදෑනිතුමා ද බෙලිගොල්ල වලව්වේ විජේසිංහ රාළහාමිගේ සහ ප්‍රදේශයේ ගම්වාසීන්ගේ නොමසුරු දායකත්වය නිසා ය.

එපමණක් නොව දඹදිවෙන් ඒ සමඟ වැඩමවන ලද බෝධීන් වහන්සේ ද විහාරස්ථානයේ අගය තව තවත් ඔපවත් කර තිබෙයි.

මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආයු කාලය ද ශතවර්ෂයකට අධිකය. මෙම ප්‍රදේශයට විශේෂයක් වූ දුර්ලභ නිර්මාණයක් වූ නිසාම මෙම කිරිගරුඬ ප්‍රතිමාවහන්සේ පිළිබඳව ගමේ ජනතාව තුළ පවතින්නේ ඉමහත් ගෞරවයකි.

තිඹිරිගම සුමනජෝති හිමියන්ගෙන් පසුව ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරාධිපතිත්වයට පත් වූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍ය ධුරයෙන් පිදුම් ලද තිඹිරිගම පඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්ස්ගේ අපවත් වීමෙන් අනතුරුව විහාරාධිපතිත්වය ඉසිලූ කඹුරාගල්ලේ පඤ්ඤාජෝති නා හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික තනතුරද ඉසිලූහ.

එම යුගයේ විහාරස්ථානයේ භාරකාරත්වයට පත්වූ අපරැක්කේ සුමනවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් ධර්ම ශාලාව ගොඩනැගුණේ ය. වෙහෙර බිම සරසමින් තේජාන්විත කරන කළු ගලෙන් නිර්මිත ඝණ්ටාර කුලුන සාදා නිම කරන ලද්දේ පෙතියාගොඩ ධම්මාලෝක හිමියන්ගේ යුගයේදී ය. ඒ ඒ යුගයන් නියෝජනය කරමින් විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපතින් වහන්සේලා තම ශක්ති ප්‍රමාණයෙන් කළ සේවය නිසා විහාරස්ථානය ක්‍රමයෙන් සකලාංගයන්ගෙන්ම පරිපූර්ණත්වය කරා ළඟා වී තිබෙයි.

ඒ අතර 1983 වසරේ දී විහාරාධිපතිත්වයට පත්වන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දිසා පාලක ශාස්ත්‍රවේදී පණ්ඩිත මාතලානේ ධම්මාරාම නා හිමියන්ගේ යුගයේ දී විහාරස්ථානයට අනුබද්ධිතව සුදර්ශන දහම් පාසලත් ශ්‍රී සුදර්ශන ධර්මායතන පිරිවෙනත් ආරම්භ වීම සංඝ සංස්ථාව සහ සමීප ගම්දනව් වෙනුවෙන් ඉටුකළ ප්‍රශංසනාත්මක විශේෂ කාර්යයකි. ඊට සමගාමීව නව සංඝාවාසය පොත්ගුල, පොහොය සීමාව ආදී විහාරාරාංගයන්ගෙන් තව තවත් පොහොසත් වන ශ්‍රී සුදර්ශනාරාමය ප්‍රදේශයේ පුරෝගාමී විහාරස්ථානයක් වශයෙන් ජන ප්‍රසාදය දිනා ගැනීමට සමත් වී තිබෙයි. මෙසේ අවට ගම් දනව්වල ආගමික කටයුතු නොපිරිහෙළා ඉටුකර දෙන ගමේ විහාරස්ථානය භික්ෂු සමාජය උදෙසා තක්සලාවක් තැනීමෙන් කරනා ඉමහත් වූ ශාසනික ශාස්ත්‍රීය සේවාව මෙන්ම ප්‍රදේශවාසී දරු පරපුර වෙනුවෙන් නැණ ගුණ වර්ධනය කරනා දහම් පාසල, පුස්තකාල සේවාවන් ආදී දෑ සදහම් පඬුරු ලෙස ප්‍රදානය කරමින් අවට ගොදුරු ගම් දනව්හි සියලු දෙනාගේ අධ්‍යාත්මික මානසික සුව සහනය සඳහා ඉටුකෙරෙනා කාර්යභාරය අගය කළ යුතු ය.

වර්තමාන විහාරාධිපති රාජාංගනේ ගුණරතන ස්වාමීන් වහන්සේ ශ්‍රී සුදර්ශන පිරිවෙනෙහි පරිවෙණාධිපති ධූරය ද දරමින් ඉටුකරදෙන ආගමික සමාජ සද්කාර්යය විහාරස්ථානය වෙත යනෙන කාගේත් ප්‍රසාදයට අගැයීමට බඳුන් වී තිබෙයි.

පිරිවෙන් අධ්‍යාපනය ලබනා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙත මෙම පිරිවෙනින් ලබා දෙන ආගමික, ශාස්ත්‍රීය, සමාජ විද්‍යාත්මක දැනුම සහ භාෂා ඥානය නිසා අනාගත සංඝ සංස්ථාව ආලෝකවත් කරනා බුදුපුතුන් රටේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් පෙළගැස්වීම රට දැය සමයට කෙරෙනා සුවිසල් ආයෝජනයකි.

බෞද්ධ මන්දිරයේ බිතු මත නිර්මාණය වී ඇති සිතුවම් ද විශේෂ යුග නියෝජනයක පිළිබිඹුවකි. එවන් කලා නිර්මාණයන්ගේ රුව ගුණ දැක දැන හඳුනා ගැනීමේ භාග්‍යය ද මෙම සිතුවම් කලා සම්ප්‍රදාය උදාකර දී තිබෙයි. නුවර චිත්‍ර සම්ප්‍රදායට අයත් යුගයත් සාර්ලිස් මාස්ටර්ගේ පුරෝගාමිත්වයෙන් එළඹෙන බටහිර සරල චිත්‍ර සම්ප්‍රදායන් අතර පැවැතුණු සිතුවම් ශෛලියේ නිර්මාණයන් දැක ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. එවන් විරල අවස්ථාවක් උදාකර ගැනීමට ශ්‍රී සුදර්ශනාරාමයේ සිතුවම්, විහාර චිත්‍ර සම්ප්‍රදාය හදාරන්නෙකුට පිටිවහලක් වනු ඇතැයි සිතෙයි.

ගම හා බැඳෙමින් සහ ශිෂ්‍ය භික්ෂු සමාජයටද තක්සලාවක් වූ තිඹිරිගම ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන් විහාරස්ථානය ශාසනික, ආගමික සමාජීය ප්‍රවර්ධනය උදෙසා සැදී පැහැදී සිටීම අගය කළ යුතු අතර ඒ වෙනුවෙන් ගමේ පින්වතුන්ගේ දායකත්වයෙන් විහාරාධිපතින් වහන්සේගේ අනුග්‍රාහක අනුශාසකත්ව ශක්තියෙන් හෙටත් ඒ වගකීම් යුතුකම් ඉටුකරලීමට ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය තව තවත් සවිමත් වේවා.

 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk