සැම දා දියුණුව සලසා ගන්නෝ
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
උප කුලපති ,මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
අප ජීවත් වන සමාජය දිනෙන් දින ඉදිරියට යෑම, එනම් සමෘද්ධිය, දියුණුව කරා
පියමන් කිරීම කවුරුත් පොදුවේ අපේක්ෂා කරන ස්වභාව යි. මේ සඳහා රටේ මිල
මුදල් තත්ත්වය ඉහළ යෑම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මිල මුදල් තත්ත්වය
ඉහළ යෑම වුවද ධාර්මික බවින් යුතු වූ තරමටයි ඒ සමාජයේ ආර්ථිකය වුවද
චිරස්ථායි බවට පත් වන්නේ. අධාර්මික තත්ත්වයන් තුළ හදිසියේ අයුතු
අසාධාරණ ආකාරයෙන් එක්රැස් වන ධනය මඟින් ආර්ථික වශයෙන් ඇති කරන
ස්ථාවරත්වයක් ගැන සිතීම දුෂ්කරයි.
වර්තමාන සමාජයේ වුවද හදිසියේ ඉහළට ගමන් කර නොසිතූ ආකාරයෙන් පහළට ඇද
වැටෙන ඇතැම් පුද්ගලයන්, ව්‍යාපාර පිළිබඳ විමසීමෙන් ඒ බව වටහා ගැනීමට
හැකියාව තිබෙනවා. මේ නිසා සමාජය හැම අතින්ම නිවැරැදි විය යුතුයි.
පුද්ගලයකුගේ කිසිම ක්‍රියාවක්, පැවැත්මක් ඒ තැනැත්තාගෙන් පිට බාහිර
පිරිසකට, පාර්ශවයකට හෝ පුද්ගලයකුට මොනම ආකාරයකින්වත් අගතියක්,
හිරිහැරයක් නොවිය යුතු යි.
එහිදී ඔවුනොවුන්ගේ අදහස් හුවමාරුව, සාකච්ඡාව, විමසීම, විවේචනය, සංවාදය,
විවාදය වගේම අවසානයේ දී සමඟියෙන් තීන්දු තීරණ ගෙන විසිර යෑමත් වැදගත්ම
කරුණක් වනවා. මේ කරුණට අදාළව බුදුරජාණන් වහන්සේ වජ්ජින් අනුගමනය කළ
ප්‍රතිපත්ති හතක් ඔවුන්ගේ සමෘද්ධියට, ප්‍රගතියට හේතු වූ ආකාරය ලිච්ඡවී
රජදරුවන්ට පැහැදිලි කර දුන් වැදගත් අවස්ථාවක් අද දවසේ ජීවත් වන අපට
ප්‍රයෝජනවත් වනවා.
බුදුරජාණන් වහන්සේ එක් අවධියෙක විශාලා මහනුවර සාරන්දද නම් විහාරයෙහි
වැඩ වාසය කළා. ඒ අවස්ථාවෙහි ඒ නුවර වාසය කළ ලිච්ඡවි රාජකුමාරවරුන්
බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ එකත් පසෙක සිටි විට ඒ පිරිස ඇමතූ
බුදුරජාණන් වහන්සේ, යම් කිසි අයකු මේ මිනිස් සමාජය තුළ ඉදිරියටම යමින්
සමෘද්ධිය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් අනුගමනය කළ යුතු පිළිවෙත
කුමක් දැයි පැහැදිලි කිරීමට සාරන්දද නම් වූ සූත්‍රදේශනාවෙන්
සප්තඅපරිහානීය ධර්ම කරුණු වශයෙන් එකිනෙක ගෙන හැර දක්වා වදාළා. මේවා
කරුණු වශයෙන් හතක් වනවා. මේ කරුණු හත ප්‍රතිපත්තියක් වශයෙන් අනුගමනය
කරන තාක් කල් එබඳු අය ඉදිරියටම ගොස් නොපිරිහී සමාජය තුළ ඉස්මතු වී
ක්‍රියා කරන බවයි උන්වහන්සේගේ දේශනාව වුණේ.
නොපිරිහී ඉදිරියටම යන පළමු වැනි කරුණ ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා
දෙන්නේ නිතර නිතර ඔවුනොවුන් රැස්වීමයි. අවශ්‍ය කරුණෙහිදී දවසට තුන්
වතාවක් වුවද රැස්වෙනවා. දිනපතාත් රැස්වෙනවා. එසේ නිතර රැස්වීමෙන් ඇතැම්
පුද්ගලයන්ගේ කේලාම් බස් නිසා හෝ වෙන යම් කුමන්ත්‍රණයක් නිසා හෝ
ඔවුනොවුන් අතර බිඳවීමක් ඇති කිරීමෙහි අවස්ථාව මඟ හැරී යනවා. ඒ මක් නිසා
ද ඕනෑම අවස්ථාවක අසන්නට ලැබෙන එවැනි කේලාම් බස් පිළිබඳ ඒ අවස්ථාවෙහිදීම
විමසීමක් කිරීමට අවස්ථාව සැලසෙනවා. නිතර නිතර රැස්වීම නිසා තමන් වෙත
එල්ල වන විවිධ සොර සතුරු බලවේග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වනවා.
එමෙන්ම එවැනි අහිතකර බලපෑම්වලට හසු නො වී හැම විටම තමන්ගේ විමුක්තිය
ළඟා කරගැනීමේ හැකියාව උදා වනවා. රාජ සභාවේ පවා මෙවැනි නිතර රැස්වීම්
පැවැත්වීම හේතුවෙන් සතුරා හඳුනා ගැනීමේ ශක්තිය උදා කරගත හැකි වෙනවා.
ඉතාමත් කෙටි කාල සීමාවෙකින් සතුරාගෙන් බේරීමට අවශ්‍ය උපාය මාර්ග සලසා
ගැනීමේ හැකියාවත් තමන්ට ළඟා කර ගත හැකි වනවා. නිතර රැස්වීම නිසා
නිවැරැදි තතු තමන්ට දැන ගැනීමට ඇති හැකියාව බහුල මට්ටමක පවතින නිසා
එවැනි උවදුරුවලින් මිදී ජීවත් වීමේ හැකියාව ද වැඩි දියුණු වනවා. එපමණක්
නොව සොරසතුරන් පවා මෙම සමඟිව රැස්වෙන උදවිය පිළිබඳ වඩාත් විමසිලිමත්
වීම නිසා බියට පත්ව හැම විටම නිවැරැදිව ජීවත් වීමට යොමු වනවා. ඔවුන්
දුසිරිතෙන් ඈත් වනවා. ඒ ආකාරයෙන් නිවැරැදි මාවතට යොමු නොවන්නන් සමාජයේ
අපහාසයට උපහාසයට ලක් වීම තුළ හුදෙකලා වූ තත්ත්වයකට පත්වීම වුවද
නොවැළැක්විය හැකියි. එමෙන්ම නිතර රැස්වීම හේතුවෙන් ඔවුනොවුන් පිළිබඳ
පැහැදිලි වැටහීමක් ලබා ගැනීමෙන් පුද්ගල අබල දුබලතා හඳුනාගැනීමෙන්
සද්පුරුෂ මාර්ගයට යොමුවීමටත් හැකි වනවා. කෙසේ වුවද නිතර රැස්වීම් තුළ
කිසිවිටෙකත් අභිවෘද්ධියක් විනා පිරිහීමක් ඇති නොවන බව බුදුරජාණන්
වහන්සේ දේශනා කරනවා.
දෙවැනිව, ඔවුන් රැස්වන්නේද අතිශයින් සමඟි සම්පන්නවයි. එසේ රැස්වී තමන්
වාසය කරන ප්‍රදේශයෙහි හෝ ජනපදයෙහි අසවල් අසවල් අකටයුත්තක් ඇත, එහි
විෂමාචාරයක් ඇත, දූෂණයක්, මංකොල්ල කෑමක් ඇත යනා දී අඩුපාඩු දැන් වූ
විගසින් නොපසුබට වී ඒ ඒ ස්ථානවලට යෑමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වී සමඟිව
එය තමන්ගේ පොදු කරුණක් සේ සලකා පොදු හැඟීමෙන් ක්‍රියාකාරි වෙනවා. සමාජය
හැම විටම නිවැරැදි කිරීමේ කාර්යයෙහි දී සමඟියෙන්ම ඉදිරිපත් වී සමඟියෙන්
යුතුව කළයුත්ත තීන්දු කර සමඟියෙන්ම විසිර යෑමට ද ඔවුන් පෙළැඹෙනවා.
එමෙන්ම තවත් අයකුගේ මංගල්‍යයකදී මෙන්ම අවමංගල්‍යයකදී ද එකතුව රැස්වනවා.
එකතුවම එවැන්නට සහභාගි වී සමඟියෙන්ම ගැටලු විසඳාගෙන තීන්දු තීරණ ගෙන
සමඟියෙන්ම විසිර යනවා.
තෙවැනුව, අලුතෙන් නව නීති අණපනත් පැනවීමෙන් හැම විටම වළකිනවා. එයින්
අදහස් කරන්නේ ජනතාවට බරක් නො වී සමාජයේ රටේ, පාලනය ගෙනයෑමයි. වජ්ජින්
විසින් පරපුරෙන් පවත්වා ගෙන ආ අයබදු, ඒ ඒ වරදට දඬුවම් ආදි යමක් විනා ඒ
ඒ කරුණට ඒ ඒ සිදුවීමට අදාළ පුද්ගලයා බලා, සිදුවන පාඩුව, අලාභය ගණනය කර
එවැන්නක් පැනවීම ජනතා හිතවාදී නොවෙයි. එසේ කළහොත් වෛරය, ක්‍රෝධය සමාජය
තුළ තහවුරු වීමෙන් ඔවුනොවුන් අතර මෙන්ම රටේ පාලනය පිළිබඳවත් අප්‍රසාදය
තීව්‍ර වීමෙන්ම සමාජයේ යහපැවැත්මට හානිකර තත්ත්වයන් දියුණු වනවා.
එනිසා, නොපැන වු නවනීති-රීති රෙගුලාසි නොපැනවීමට ම වගබලා ගැනීම ඔවුන්ගේ
වැදගත්ම ප්‍රතිපත්තියක් වුණා. මේ හේතුවෙන් සමාජයේ නීතිය, සාධාරණය ගැන
ජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම තුළ සාමය තහවුරු වනවා.
විශේෂයෙන් අයබදු ආදිය අය කිරීමේ දී නොපැනවූ අයබදු අය කිරීම තුළ ජනතාව
පාලනයට එරෙහි වීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත් පාරම්පරිකවම පවත්වා ගෙන ආ
අයබදු පමණක් ගැනීමෙන් ඒ අයබදු යථාපරිදි ගෙවීමට ජනතාව පෙළැඹෙනවා. එයින්
රටේ භාණ්ඩාගාරය වුව ද ශක්තිමත් වී ජනතාව තම ආදායම නියම පරිදි අවංකව
ප්‍රකාශ කිරීමේ මනා ගති සිරිත් සමාජයේ තහවුරු වෙනවා. වරදට දඬුවම්
පැමිණවීමේ දී ඒ ඒ කරුණට ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ වන නීති-රීති පනවා
ඇතැම්විට පාලකයන් හිතුවක්කාර ලෙස අතීතයට පවා බලපාන ආකාරයෙන් නීති-රීති
පනවා ඒ තුළින් දඬුවම් පැමිණවීමත් ඉහත සඳහන් වාතාවරණය තුළ සිදු වන්නේ
නැහැ.
මේ නිසා ජනතාව තුළ නීතියේ සාධාරණත්වය පිළිබඳ විශ්වාසය ද තහවුරු වනවා.
එමෙන්ම වරදකරුවන් තුළ පවා තමන් වෙත සාධාරණව පිළිගත් සම්ප්‍රදායික
නීති-රීති ප්‍රකාරවම මේ දඬුවම් පැනවූ බවට විශ්වාසය තහවුරු වීමෙන්
යහපාලනය කෙරෙහි යහපත් වූ ආකල්ප ගොඩනැඟෙනවා. හැම විටම ජනතාවත් පාලනයත්
අතර විශ්වාසය තහවුරු වීමෙන් පාලනයට විරුද්ධව තර්ජන, ගර්ජන සමාජයේ හට
ගැනීමක් සිදු වන්නේම නැහැ.
සිව්වැනුව මෙම වජ්ජින් තම මහලු ජනකොටස් පිළිබඳ මහත් ගෞරවයකින් සිතමින්
ක්‍රියා කරමින් ඔවුන්ට නිරන්තරයෙන් ගරු කරනවා; පුද සත්කාර කරනවා;
බුහුමන් දක්වනවා; පූජනීය තත්ත්වයෙන් ඔවුන් පිළිබඳ ක්‍රියා කරනවා. එම
වැඩිහිටියන් කියන කරන දේ පිළිබඳ ගෞරවයෙන් කීකරුව ඇහුම්කන් දෙනවා. මේ
මහල්ලා, නාකියා කියන කථා යැයි කිසිවිටෙකත් වැඩිහිටි ඔවදන් අපහාසයට,
උපහාසයට ලක් කරමින් නොසලකාහරින්නේ ද නැහැ. එම වැඩිහිටියන් දවසකට තෙවරක්
හෝ දෙවරක්වත් බැහැ දැක ඔවුන්ගේ වචනයට සවන් දෙනවා. එපමණක් නොව යම් වජ්ජි
කෙනෙක් මේ මහලු උදවියගේ වචන නොසලකා හරිත් නම් ඒ අයට අවශ්‍ය ඇප උපස්ථාන
නො කෙරෙත් නම් එවැන්නවුන් සමාජයෙන් කොන් කර අයින් කිරීමටත් ඔවුන්
පිළිබඳ කිසිදු පිළිගැනීමක් නොකිරීමටත් සෙසු වජ්ජින් ක්‍රියා කරනවා.
ඒ මහලු රජදරුවන් සියලුම දෙනා නිතර තරුණ හා ළාබාල වජ්ජී දරුවන්ට කළයුතු
නොකළයුතු දෑ පැහැදිලි කර ඔවුන් අවැඩෙන්, දුසිරිතෙන් මුදවා ගැනීමට
ක්‍රියා කරනවා. එපමණක් නොව වජ්ජින්ගේ ප්‍රවේණිගත සිරිත් –විරිත් කියා
දෙමින් එම හැදෙන වැඩෙන වජ්ජීන් ගේ දියුණුව පිණිසම මේ මහලු වජ්ජින්
ක්‍රියා කරනවා.
එමෙන් සතුරාට විරුද්ධව වුවද යුද වැදෙන විට කළයුතු නොකළයුතු දෑ මෙන්ම
සතුරාගේ දරුණු උපක්‍රමවලට හසු නො වී බේරී සියලු සතුරු අභියෝග ජයග්‍රහණය
කරන ආකාරය එම වැඩිහිටියන් මේ නවක තරුණ පිරිස්වලට කියා දෙනවා. මේ නිසා
සමාජයේ විශාල ප්‍රගතියක් මෙන්ම හොඳ මානසික මෙන්ම කායික ශක්තියෙන් යුතුව
උද්‍යෝගිමත්ව ක්‍රියා කිරීමේ හැකියාවන් ඔවුන් ඇති කර ගන්නවා. එමෙන්ම
රජපරපුර කිසිදු සතුරු බලවේගයකට යටපත් කර ගත නොහැකි වීමෙන් මෙම වජ්ජින්
කවදත් ඉදිරියටම යෑමේ ශක්තිය උදා කර ගන්නවා.
පස්වැනුව බුදුරජාණන් වහන්සේ මෙම වජ්ජින්ගේ තවත් ශ්‍රේෂ්ඨ පිළිවෙතක්
හඳුන්වා දෙනවා. එනම් විවාපත්ව ජීවත් වන කාන්තාවන්ට හෝ විවාහ ගිවිස නො
වී සිටින නව යොවුන් කුමාරිකාවන්ට කිසිවිටෙකත් බලපෑම් කරමින් නොමනා
කටයුතුවලට පොළඹවා ගැනීමෙන් වජ්ජීන් වැළැකී සිටිනවා. එවැනි ක්‍රියාවන්හි
යෙදීමෙන් සිදුවන අනර්ථය පිළිබඳ මනා වැටහීමක් ඇති වජ්ජි තරුණයන්
අතිශයින් සාමකාමි සමාජ පරිසරයක් ඇති කිරීමට සමත් වනවා.
එහෙත් එවැනි අවැඩෙහි යෙදෙන සමීප ගම්දනව්වල ජීවත් වන තරුණයන් හැමදා
කලකෝළාහල කරමින් ගම්බිම් වනසමින් රටට ද අපරාධයක් අනර්ථයක් වන ආකාරයෙන්
ක්‍රියා කිරීම නිසා රජයේ භාණ්ඩාගාරයේ මුදල් යොදවා විවිධ ආරක්ෂක සංවිධාන
ඇති කරමින් කුලස්ත්‍රීන් මෙන්ම කුලකුමාරිකාවන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ට
රැකවරණය ලබා දීමටත් යෑමෙන් රජයට විශාල මුදලක් වැය වනවා. ඒ බව දන්නා
වජ්ජින් හැම විටම බුද්ධිමත්ව සංවරශීලිව ක්‍රියා කිරීම නිසා භාණ්ඩාගාරයේ
මුදල් ද අනවශ්‍ය වැය සඳහා යෙදවෙන්නේ නැහැ. එය රටේ සංවර්ධනයට හේතුවන බව
මෙම වජ්ජින් මැනැවින් පසක් කර ගෙන සිටිනවා. මේ තත්ත්වය දිනෙන් දින එම
සමාජයේ අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා.
සයවැනුව වජ්ජීන් තම රටෙහි ඇති පූජනීය ස්ථාන ලෙස පාරම්පරිකව පිළිගෙන
පවත්වා ගෙන ආවා වූ ස්ථාන වෙත දැහැමි ලෙස පුද පූජා පවත්වනවා. එමෙන්ම
ඇතුළු නුවර මෙන්ම පිටිනුවර පවතින එවැනි ස්ථාන මහත් ගරුබුහුමනින් යුතුව
ආරක්ෂා කරමින් පුදපූජා විධිමත්ව පවත්වමින් එම ස්ථාන පිළිබඳ ප්‍රවේණිගත
චාරිත්‍ර වාරිත්‍ර විධි නොකඩ කොට ආරක්ෂා කරමින් පවත්වා ගෙන යනවා. එවැනි
සද්චාරිත්‍ර විධි නොපවත්වන වජ්ජීන්ට නොයෙක් විපත් කරදර අනදර සිදු වනවා.
එමෙන්ම සැපත ළඟා කර ගත නොහී එවැනි අය නිරන්තරයෙන් දුකට පත් වනවා.
එමෙන්ම ඔවුන්ට විවිධ රෝග පීඩා ආදියට මුහුණ දීමට පවා සිදු වනවා. එහෙත්
එම ධාර්මික ප්‍රවේණිගත බලි පූජා පවත්වන අයට දෙවියන්ගේ වුවද ඇල්ම බැල්ම
ඇතිවී දියුණුව කරාම ගමන් කරන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි
කරදෙනවා.
සත්වැනුව බුදුරජාණන් වහන්සේ වජ්ජීන්ගේ තවත් වඩාත් සිත්ගන්නා සුළු
ලක්ෂණයක් ලිච්ඡවීන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. එය නම් මේ දක්වා තමන්ගේ
විජිතයට හෙවත් රටට හෝ අඩවියට නොපැමිණි රහතන් වහන්සේ හෝ එවැනි පූජනීය
උතුමන් යම් අවස්ථාවක පැමිණි කල්හි උන්වහන්සේ මහත් ගෞරවයෙන් පිළිගෙන දන්
පැන් දෙමින් පුදසත්කාර කරමින් උසස් ලෙස සැලකීම් දක්වනවා පමණක් නොව
අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කරනවා. කිසිවිටෙකත් නිගරුවක්, අපහාසයක්
කරන්නේම නැහැ. එමෙන්ම කවදත් පැමිණ හුරු පුරුදු එවැනි උතුමන් දුටුවිට,
තම අඩවියට වැඩම කළ විට, මැනැවින් සත්කාර සම්මානත් කරනවා. මේ නිසා මේ
වජ්ජීන් පිළිබඳ සමාජයේ රටේ විශාල කීර්තියක් පැතිරී තිබෙනවා වගේම ශ්‍රමණ
බ්‍රාහ්මණයන් වැනි උතුමන් තුළ එම පිරිස් පිළිබඳ බරපතළ විශ්වාසයක් ද
ගොඩනැඟෙනවා. යම් ආකාරයකින් වර්තමානයේ වුවද සමාජයේ වැඩ වසන උසස්
බ්‍රහ්මචාරී ජීවිත ගෙවන පැවිදි උතුමන් පිළිබඳ යම් ගමක හෝ ප්‍රදේශයක
පිරිසක් මේ තත්ත්වයට විරුද්ධ ආකාරයෙන් උන්වහන්සේට අපහාස, උපහාස කරමින්
නින්දා කරමින් කටයුතු කරන තත්ත්වයන් තුළ දී එවැනි ගම් ප්‍රදේශ පිළිබඳ
පොදුවේ විශාල අපකීර්තියක් රටේ පැතිරී යන ආකාරය අපට ප්‍රත්‍යක්ෂයි. |