නවම් පුර පසළොස්වක 2014 පෙබරවාරි 14 වන දා
සසර තරණය
“අ” “ආ” යනු කියා අකුරු කරන වයසේ හෝ ඇතැම් විට බොහෝ දෙනා බහ
තෝරන වියේ සිටත් තමා කළ, කී, දේ බොහෝ විට මතකයේ පවතී. ඒ මතක
ශක්තිය ජීවිතය කාලය පුරා ද පවතී.
අධ්‍යාපනය ලබන කුඩා දරුවකු කුඩා කල පටන් තරග විභාගවලින් සමත්
වනුයේ ද ගුරුවරයා ලබාදුන් දැනුමත්, පොත පතෙන් ලබා ගත් දැනුමත්
මතකයේ තබා ගෙන තරග විභාගයේ දී අහන ප්‍රශ්නවලට නිවැරැදිව
පිළිතුරු ලබාදීම මඟිනි.
මෙසේ අධ්‍යාපනය ලබන කාලය තුළ පමණක් නොව සමස්තයක් ලෙස මුළු
ජීවිත කාලය පුරාම තමන් කළ කී දේ තමාගේ මතකයේ පවතී.
ජීවිතය පිළිබඳ ආපස්සට හැරී බැලීමේ දී ඒ මතකය ඇදී එන්නේ
නිරන්තරයෙනි.
“මතක ගබඩාවක්” මෙන් පැවැතියද ඇතැමෙක් අපට බොහෝ විට අමතක වන
බවක් ඇති බවද කියයි.
ජීවිතයේ විඳි බොහෝ දුක් ගැහැට මෙන්ම සතුටු වූ අවස්ථාද බොහෝ
දෙනාගේ මතකයේ පවතී. ජීවත්වීම යනු අතීත අද්දැකීම් ද ආදර්ශයට ගෙන
ජීවත්වීමය.
මිනිස් ලොව ජීවත්වීම තාවකාලිකය. එහෙත් අප උත්සාහ කළ යුතු වන්නේ
කෙතරම් කෙටිකාලයක් ජීවත් වුවද ඒ ජීවිත කාලය තුළ තමන්ට සතුටුවි
හැකි ජීවිතයක් ගත කිරීමටය.
ජීවිතයක ඉඳ හිට හෝ ගැටලු විසඳා ගත නොහැකිව ඇතැමෙක් ඉතා
කනගාටුදායක තීරණවලට ද එළඹේ. කවර තීරණයකට එළඹිය ද සසර පුරා ඊට
මුහුණ දිය යුතු වන්නේ තමාටම ය.
සසර බියකරුය. ඒ බියකරු සසර තරණය කළ යුතු වන්නේ ද තමාමය. බාහිර
කිසිවකුගේ පිහිටක් සසර තරණයට අපේක්‍ෂා නොකළ යුතු ය.
ජීවිතය හැකිතාක් පිනට යොමු කළ යුතු ය. ජීවත්වන්නන් හැම විට පින
පව තෝරා ගෙන, දැන හැඳිනගෙන ජීවත් විය යුතු ය. සසර මහා වාසනාවකට
මෙන් ලද මිනිසත්භවය සුවපත් කර ගැනීමට නොපමාව කටයුතු කළ යුතු ය.
එසේ නොවුවහොත් සසර කටුක දුක් විපාක විඳින අහිමිරි අවස්ථාවලට
ගොදුරුවීමෙන් වැළකිය නොහැකිය. තමා සුවපත්ව වෙසෙන අතර ඇසුරු
කරන්නන්ද සුමගට, සුසිරිතට යොමු කිරීමට ද උත්සාහ කළ යුතු ය.
පව පවමය. දැන කරන පව තවත් බරපතළය. පවෙන් වැළකිය යුත්තේ ද
එබැවිනි. පින, පව, හඳුනා ගත නොහැකි ඇතැම් අය පිනෙන් බැහැරව
පවටම ඇදීයයි. කරන කලට පව් මිහිරි වුවද, විඳින කලට දුක් දැඩි
වෙන බව බෞද්ධයා දැනුම්වත්ව සිටියි. පොහොය දිනට පමණක් නොව ජීවිත
කාලය පුරාම පවෙන් තොරව විසීම සැප ගෙන දෙන්නකි. පින් දහම් සිදු
කර අමා නිවනෙන් මෙපිට සැප පැතිය යුතු නොවේ. කවර පින් දහමක නිරත
වුවද පැතිය යුත්තේ නිවන් සැපතමය.
අපේ බෝධිසත්වයන් වහන්සේ අසංඛෙය හතරකුත් කල්ප ලක්‍ෂයක් පුරා
පාරමී දම් පිරූ සේක. අතට පත් නිවන පතා අතහැර ලොව්තුරා
බුදුපදවිය වෙනුවෙන්ම පෙරුම් දම් පිරූ සේක.
බෞද්ධයා හැම විට අසිරිමත් බුදුසිරිත මෙනෙහි කරමින් තම ජීවිතය
ගොඩ නඟා ගැනීමට උත්සාහ කළ යුතු ය. අපේ බුදුරජාණන් වහන්සේ දෙව්,
බඹ, මිනිස් යන තිලොවට අග්‍ර වූයේ සම්මා සම්බුදු පදවිය නිසා ය.
ඒ උතුම් සම්මා සම්බුදු පදවිය හැම විට මෙහෙයවූයේ අනන්ත අප්‍රමාණ
සත්වයා මේ ඝෝර කටුක සසර කතරෙන් එතෙර කරවීමටය.
අසිරිමත් බුදුු සිරිත මෙනෙහි කරන මොහොතක් පාසා ජීවිතයට ලැබෙන
අප්‍රමාණ සැනසිල්ල භවගාමි ජීවිතයෙන් නිදහස්වීමට හේතුවනු ඇත.
ජීවමාන බුදුරුවක් හදවතෙහි තැන්පත් කර ගනිමින් බුදු ගුණයට
නැඹුරුවී ජීවිතයේ සදා මතකයේ රැඳෙන අවස්ථාවක් කර ගන්න. |