UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආලෝකයෙන් දිලුළන සෝමාවතී මහා සෑ රදුන්

කාන්තාවකගේ නමින් ඉදිව ඇති ලංකාවේ ප්‍රධානම ස්තූප දෙකින් එකක් ලෙස ඓතිහාසික සෝමවතී මහාසෑය හඳුනාගත හැකිව තිබේ. ලංකාවේ මහා ස්තූපය වූ රුවන්වැලි මහා සෑ රදුන් ස්වර්ණමාලි මහා සෑය වශයෙන් දෙවඟනක නමින් හැඳින්වීම ද කාන්තා නියෝජනයකි.

රාජ්‍ය වර්ෂ පූර්ව දෙවැනි සියවසේ දී, සෝම නම් නුවර සෝමවතිය මහා සෑය ඉදිකරවන ලද්දේ අභයරාජ නම් රජවරයකු විසිනි. ඒ බව ධාතු වංශයේ සඳහන් වෙයි. ධාතු වංශයටම අනුව මේ පුරාවෘත්තය ගොඩ නැඟෙන්නේ මෙසේ ය. ක්‍රි.පූ. 2වන ශත වර්ෂයේ දී ලංකාවේ අග නුවර වූ අනුරාධපුරය පාලනය කළේ දකුණු ඉන්දීය ආක්‍රමණික එළාර (ක්‍රි.ව. පූ. 205 – 161 ) නම් ද්‍රවිඩ රජතුමාය. මේ සමයේ සිංහල ප්‍රාදේශීය රාජධානි රැසක් බිහි වී තිබුණි. ඒ අතරින් රෝහණ රාජධානියේ අගනුවර වූ මාගමට හිමිව තිබුණේ ප්‍රබල තත්ත්වයකි. ඒ නිසා සිංහලයන්ගේ නිල නොවන අගනගරය වූයේ මාගම ය. මාගම පාලකයා වූයේ කාවන්තිස්ස රජතුමා ය. කැලණිය (ශිව රජු) ගිරි නුවර (හම්බන්තොට ගිරුවාපත්තුව) සේරුනුවර (ශිව රජු) මෙකල පැවැති රාජධානී කීපයකි.

කැලණියේ පාලකයා වූ ශිව රජු තම බෑණා වූ අභයරාජ කුමාරයාට කාවන්තිස්ස රජුගේ සොහොයුරියක වූ සෝම කුමරිය විවාහ කර දුන්නේය. මේ විවාහයෙන් පසුව කාවන්තිස්ස රජු අභය කුමරුට මාගමට ආසන්නයේ වූ ගිරි නුවරෙහි පාලනය බාර දුන්නේ ය. ඒ නිසා අභය, ගිරි අභය විය.

ඉන් පසුව දුටුගැමුණු, කුමරුගේ ආරක්‍ෂාව සඳහා ඔහුව ගිරිනුවරට පිටත් කර යැවී ය. අභය විසින් දුටුගැමුණු කුමරු හරසරින් පිළිගෙන සංග්‍රහ සත්කාර කළ ද, පසු කලෙක ඇති වූ ආරවුලක් නිසා අභය රජු තම බිසව වූ සෝම දේවිය ද සමඟ සේරු නුවර තම හිතවත් ශිවරජුගේ පාලන ප්‍රදේශයට පිටත් වූයේ ගැටුමක් හෝ ආරවුලක් ඇති කර නො ගනිමිනි.

සේරුනුවර ශිව රජු හා අභය රජුගේ හමුවීම ඉතා සුහද විය. ශිවරජතුමා පසුව ගිරි අභය රජතුමාට තම රාජධානියේ සුදුසු භූමියක් සොයා දීමට වෙහෙස විය. මහා වාලුකා නදිය අසබඩ (මහවැලි නදිය) විල් වලින්, තණ පිටිවලින් යුක්ත වූ වියළි කලාපයේ වුවද, නදී විල් ජල තටාක නිසා සෞම්‍යවූ ද මනෝරම්‍ය වූ ද මේ භූමියෙහි ගිරි අභය රජතුමා රාජධානිය ගොඩ නංවා ගත්තේ ය.

වී, කුරක්කන්, මෙනේරි ඇතුළු ධාන්‍යාදියෙන් ස්වයංපෝෂිත වූ ද ද්වාරමණ්ඩප ගෝපුර, ප්‍රාසාද කුටාගාරා දී ගොඩනැඟිලිවලින් පූර්ණ වූ ද ආරක්‍ෂක කොටු පවුරෙන් සුරක්‍ෂිත වූ ද නෙක දිසා පැතිරුණු ඕලු, නෙළුම් පුෂ්ප පිපුණු විල් දියෙන් සුන්දර වූ ද උද්‍යාන ගමන් පහසුකම් ආදියෙන් පහසු වුද මෙම රාජධානියට ගිරි අභය රජතුමා නම් තැබුවේ ඒ සුන්දරත්වයට ම සරිලන ලෙස තම ආදරණීය දේවියගේ නමින් ‘සෝම නුවර’ ලෙස ය.

මෙම ධාර්මික රජතුමා ප්‍රදේශය සශ්‍රීක කළ අතර අඩුවක්ව පැවැතියේ රාජ්‍ය හා සබැඳෙන ආගමික පසුබිම ය. දේවියගේ ඉල්ලීම වූයේ ඒ සඳහා දා ගැබක් විහාරයක් ඉදිකරන ලෙස ය. මේ සශ්‍රීක රාජ්‍යයේ සොඳුරු සල් වනයක් සහිත රමණීය බිමක් විය. මෙය පූජනීය ස්ථානයකට කදිම පරිසරයකි.

ඒ වන විටත් මේ පියකරු මලින් පිරී ගිය විසල් නිසසල වන අරණේ මහා අරිට්ඨ සංඝ පරම්පරාවට අයත් මහින්ද නම් මහ තෙරුන් වහන්සේ සමඟ තවත් භික්‍ෂූන් වහන්සේ 60 නමක් බවුන් වඩමින් වාසය කළහ. රජතුමා මහින්ද තෙරුන් වෙත තම අදහස ප්‍රකාශ කළ අතර උන්වහන්සේ එයට ප්‍රසාදය පළ කළ සේක.

දැන් මහා දාගැබක් ඉදි කළ හැකිය. එහෙත් එවන් දාගැබක් තුළ නිධන් කිරීමට සර්වඥ ධාතූන් වහන්සේ අවශ්‍ය ය. මේ පිළිබඳව මහින්ද තෙරණුවන් පැවසුවේ ‘දා ගැබ ඉදිකරන්න’ ධාතූන් වහන්සේ අවශ්‍ය වේලාවට ලැබෙන බවකි.

මේ අනුව චෛත්‍ය ඉදිවිය. තුන්මහල් පේසාව දක්වා ස්තූපය ගොඩනැඟෙන විට මහින්ද තෙරුන් වහන්සේ අවශ්‍ය ධාතූන් වහන්සේ එහි නිධන් කිරීමට භාර දුන් සේක. මෙය මහාර්ඝ සර්වඥ ධාතුවකි. එතෙක් මහින්ද තෙරුන් ළඟ තබා ගනිමින් පුද සත්කාර කළ එය බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වීම සුවිශේෂී කරුණකි.

මහා ස්තූපය අතිශය වටිනාකමකින් මෙසේ ඉදි වූයේ දේවියගේ ඉල්ලීම නිසා ය. ඒ බව සිහිපත් කරමින් මේ ඓතිහාසික සිහිවටනය සෝමවතිය මහා සෑ රදුන් ලෙස ඉතිහාස වංශ කතාව ධවල පැහැ ආලෝකයෙන් දීප්තිමත් කර තිබේ. ඒ සමඟ එම සාල උද්‍යානය දම් සුවඳ හා සිල් සුවඳ පැතිරුණු පින් බිමක් බවට පත් විය. භික්‍ෂූන් වහන්සේ හැට නමට ආවාස කුටි 60 ක් ඉදි විය. පැන් පොකුණු, මාලක, කූටාගාර, ප්‍රසාද, රාත්‍රී කුටි, දිවා මණ්ඩප ආදියෙන් පරිපූර්ණ වූ විහාර සංකීර්ණයකින් මෙම පුණ්‍ය භූමිය අලංකෘත විය.

එය එසේ සිදු වූයේ මීට වසර 2100කට පමණ පෙරදී ය. ඒ වන විට ලක්බිමේ මහා සෑය වන රුවන්වැලි සෑය හෝ ඒ ආසන්නයේ වුන සේරු නුවර ස්තූපයවත් ඉදිවී නොතිබුණි. මේ විස්තරය සඳහන් වන්නේ ධාතු වංශයෙහි ය. ඉන්පසු යුගයේ දී කූට කණ්නතිස්ස (රාජ්‍ය වර්ෂ 41 – 19 ) මහාදාඨික මහා නාග (රා.ව. 9-21) අමණ්ඩගාමිණී අභය (රා.ව. 22 – 31) කණිට්ඨතිස්ස (රා.ව. 164 – 192) ආදී රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය මෙම සෝමවතී චෛත්‍යය වෙත ලැබුණු බව වංශකතා හා සෙල්ලිපි ආදියෙන් හෙළි වෙයි.

අනුරාධපුර යුගයෙන් පසුව ජනාවාස වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීමෙන් භූ®මිය මෙම ප්‍රදේශය ජනශූන්‍ය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වනය විසින් ආක්‍රමණය කළ අතර, වනේ වන සතාගේ විශේෂයෙන් වන අලින්ගේ කෙළිබිමක් බවට පත්විය.

19 වන සියවස වන විට මේ අසදෘස මහා සෑ රදුන් පස්කන්දක් බවට පත් වී පැවැතුණි. ධාතු වංශයට අනුව දකුණු දළදා වහන්සේ නිධන් කර සාදා ඇති මේ මහා ස්තූපය නැවත සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ මහනුවර මල්වතු විහාර පාර්ශ්වයේ සිරිමල්වත්තේ ශ්‍රී සරණංකර සුමංගල පියරතන හිමියන්ට ය.

1947 වසරේ දී ඉංගී‍්‍රසි ආණ්ඩුවේ අනුමැතියෙන් එවකට ආණ්ඩුකාරවරයා වූ හෙන්රි මේසන් මන්ක් මුවර්ගේ සහායෙන් සෝමවතිය දාගැබ අවට ප්‍රදේශය පූජාබිමක් බවට පත් කෙරිණි.

1948 ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වනය මැදින් බොරළු පාරක් ඉදිවිය. 1963 වන විට සෝමවතී චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවාගෙන දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමට විවිධ කටයුතු පිළියෙළ වෙමින් පැවතුණි. 1969 වසරේ දී මාර්ග පහසුව වෙනුවෙන් ස්ථිර පාලමක් ඉදි විය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිසංස්කරණය කළ දාගැබේ ධාතු නිධානෝත්සවය පැවැත්වූයේ 1974 වසරේදී ය. මෙසේ සියලු ප්‍රතිසංස්කරණ කාර්යයන් නිමා කරමින් නැවත කොත් පැළඳීමේ උත්සවය සිදු වූයේ 1981 ජූලි 4 වන දා එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා අතිනි. නැවත සෝමවතියට තර්ජන එල්ල වූයේ කොටි ත්‍රස්තවාදී උවදුර නිසා ය. 1987 වසරේ දී එසේ කොටි ප්‍රහාරයක් එල්ල විය. මෙසේ විටින් විට මේ අවට සිදු වූ භික්‍ෂූන් වහන්සේ මෙන්ම වෙනත් මිනිස් ඝාතන හමුවේ මෙ පුදබිම ජන ශූන්‍ය විය.

2009 වසරේ කොටි ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මේ බිම මුදා ගත් බැවින් නැවත ආපදා විපතකින් තොරව දැන් එම මහා සෑ රදුන් වැඳ පුදා ගැනීමට භාග්‍ය ලැබී තිබේ. සෝමවතිය මහා සෑ රදුන් අසිරිමත් වූ ද සුවිශේෂිත වූ ද මහා ස්තූපයක් වශයෙන් මේ වන විට ප්‍රකට වී තිබේ.

1981 වසරේ කොත් පැළඳවීමේ උත්සවයේ දී ෂඩ්වර්ණවත් ආලෝකයෙන් ඒ අවට අහස්කුස වර්ණවත් වූ බව කියැවෙයි. 1987 වසරේ දී කොටි ත්‍රස්තවාදීන් ගලවා දමා නැවතත් හමු වූ චූඩා මාණික්‍ය 2002 වසරේ ජූනි 19 වන දින පෙ.ව. 9.31 යෙදුන සුබ මොහොතින් පැළඳවූ අවස්ථාවේ දී ෂඩ්වර්ණ රශ්මි ධාරාවෙන් අහස්කුස බැබළුණු ආකාරය වීඩියෝ ගත කර එය 2002 ජූනි 20 වන දින ප.ව. 7 ට ස්වාධීන රූපවාහිනිය මඟින් මුළු ලෝකයටම දැක ගැනීමට සැලැස්වූ බව පහමුණේ ශ්‍රී සුමංගල නා හිමියන් රචිත පොළොන්නරුවේ බුදුරැස් විහිද වූ සෝමවතී චෛත්‍ය රාජයා නම් ග්‍රන්ථයේ සඳහන්ව තිබේ.

අවට වනයේ වන අලින් පැමිණ මේ සෑ රදුන්ට හොඬ උස්සා පූජෝපහාර දැක්වූ අවස්ථාවන් බොහෝමයක් පිළිබඳව වාර්තා වී තිබේ. සෝමවතී සෑ රදුන් පසුබිමෙහි අහසේ ෂඩ්වර්ණ රශ්මි ධාරාවෙන් ආලෝකවත් වී ඇති අයුරු දර්ශනය වන ඡායාරූප රාශියක් ද මේ වන විට දැක ගැනීමට ලැබේ.

ගංවතුර උවදුරු, කාලවිපත්, සතුරු උවදුරු රාශියක් පැමිණුන ද සෝමවතී අභය භූමිය පුරා මෙන්ම සෑ රදුන් සමීපයේම සිත් සේ සැරිසරණ වන අලි ගහණයෙන් මේ මහා සෑයට කිසිදු විපතක් සිදු නොවී තිබීම විශේෂිත කරුණකි.

මේ සියලු විපත් මැද ධවලාලෝකයෙන් දිදුලන සෝමවතී මහා සෑ රජාණන්, මහා ස්තූප නාමාවලිය හෙටත් වර්ණාවලියක් පරිද්දෙන් සරසමින් දෑස, හිත, ගත, සනසවන පින් බිමක අසිරිය ලොවට හඬගා පවසන මහා ස්තූපයක් වශයෙන් විරාජමානව වැඩ වසනු නියතය.

ඇසුර –
අසිරිමත් සෝමවතිය මහ දාගැබ
කුසුම්සිරි විජයවර්ධන

සෝමවතී චෛත්‍ය රාජයා
පහමුණේ සුමංගල නා හිමි

 

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 14 වැනි දා සිකුරාදා පූර්ව භාග 03.10 ට ලබයි.15 වැනි දා සෙනසුරාදා අපරභාග 05.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 22 වැනි දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk