රටට ආශීර්වාද පතා පවත්වන කොටුව සම්බුද්ධාලෝක විහාරයේ කිරිපිඬු
පූජාව
කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරවාසී
කොළඹ දිස්ත්‍රික් සහකාර
අධ්‍යාපන අධ්යක්ෂ
පණ්ඩිත ශාස්ත්‍රපති
විතාරන්දෙණියේ මේධානන්ද හිමි
2013 ජනවාරි 25 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොළඹ කොටුව ශ්‍රී
සම්බුද්ධාලෝක විහාරයට පැමිණ ධාතු මන්දිරය තුළ ධාතුන් වහන්සේලා තැන්පත්
කළා. ඒ තැන්පත් කළ දවසේ සිට දිනපතා හිමිදිරියේ කොළඹ රාජකාරි කටයුතු
සඳහා පැමිණෙන රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන මෙන්ම ආරක්‍ෂක අංශවල ද සේවය
කරන බොහෝ අය සැමදාම උදේ බොහෝ විට පුරුද්දක් ලෙස පාන්දර 7.00 වන විට
පන්සලට පැමිණ පූජාව පවත්වල සියලුම දායකයන්ටත්, රටටත් ආශිර්වාද කිරීම
සිදුකරනවා. එම ආශිර්වාද පූජාව අරඹා වසරක් පිරීම 2014 ජනවාරි 25 වැනිදාට
සම්පූර්ණ වුණා. එම පින්කමේ තිබෙන ආශීර්වාදාත්මක ගුණය නිසාම
ජනාධිපතිතුමා ඉකුත් 25 වැනිදා උදේ පාන්දර කිරිපිඬු පූජාවත් සකස් කරගෙන
විහාරස්ථානයට පැමිණිලා එම කිරි ආහාර පූජාවත් පවත්වමින් එතුමාත් රටටම
ආශීර්වාද කළා.
කිරි ආහාර පූජාව පවත්වමින් මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියෝ ද මෙහි
වෙති. |
කිරිපිඬු පූජාව බෞද්ධ සාහිත්‍ය තුළ විශේෂ පූජාවක් වශයෙන් සැළකෙනවා. එක
පැත්තකින් කිරිපිඬු පූජා ඉතිහාසය දෙස බැලීමේදී බුදුරජාණන් වහන්සේ
පහළවීමටත් පෙර මනුෂ්‍යයන් වෙත ආශීර්වාද ලබාගත හැකි පූජාවක් ලෙස
කිරිපිඬු පූජා පින්කම පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. එහි එක
අවස්ථාවක් ලෙස අජපාල නුගරුක වෙත කිරිපිඬු භාරයක් වූ සුජාතා සිටු දේවිය
එම භාරය ඔප්පු කිරීමට එම අජපාල නුගරුක වෙතට පැමිණැ රන්තැලියක තැන්පත්
කර එය බෝධිසත්වයන් වහන්සේ වෙත කිරි ආහාර පූජාව සිදු කළා. කිරිපිඬු
පූජාව ඉතාම ශ්‍රද්ධාවෙන් සකස් කර ඉතා පවිත්‍රත්වයෙන් යුතුව සිදුකළ බවට
ද සඳහන් වෙනවා. එවන් ඓතිහාසික අවස්්ථාවකින් ආරම්භ වන කිරිපිඬු පූජාව
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දීත්, බුදුරජාණන් වහන්සේ ගේ
පරිනිර්වාණයෙන් පසුවත්, එමෙන් ම ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ උදෙසාත්
මේ ආකාරයට ආශීර්වාද පූජාවක් ලෙස ආශීර්වාද ලබන්නට අඛණ්ඩව කිරිපිඩු පූජාව
පවත්වා ගෙන යනවා.
මෙම පූජාවට පදනම වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. එම ධාතුන්
වහන්සේලා අතර ප්‍රමුඛස්ථානයට ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ පත්වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ අනෙකුත් ධාතුන් වහන්සේලා ලෝකයේත්, ලංකාවේත් විවිධ
ප්‍රදේශවල තැන්පත් කර මෙම පූජාවන් පවත්වනු ලබනවා. මෙම ධාතුන් වහන්සේලා
ඓතිහාසික අනුරාධපුරයේ පොළොව යට නටඹුන් අතරින් මතු වූ මහා ස්ථූපයක
තැන්පත් කළ කුඩා කරඬුවක් තුළින් හමුවිය. මෙම ධාතුන් වහන්සේලා
අනුරාධපුරයේත් මහනුවර විහාරස්ථානයකත් කාලයක් තිස්සේ පුද පූජාවන් පවත්වල
ඒ මහනුවර හාමුදුරුවන් වහන්සේගෙන් මෙම විහාරයේ විහාරාධිපති මහාචාර්ය
ඉත්තදෙමළියේ ඉන්දසර නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමක් අනුව මෙම ධාතුන්
වහන්සේලා සම්බුද්ධාලෝක විහාරස්ථානයට ලැබුණි.
ජනාධිපතිතුමාගේ සුරතින් ධාතුන් වහන්සේ 2013 දී තැන්පත් කළ අවස්ථාව. |
පෙළ පොත්වල “ධාතු” යන වචනය විස්තර කර තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ,
පසේ බුදුරජාණන් වහන්සේලාගේ, මහරහතන් වහන්සේලාගේ ශරීර භෂ්මාවශේෂ පුද
පූජාවන්ට පාත්‍ර වූ බව සඳහන් වෙනවා. ඒ වගේම “ධාතු වංශ” කතාව තුළ
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වෙසෙන කාලයේ ප්‍රජාපතී ගෝතමි දේවියගේ
චිතකයේ කටයුතු අවසන් වුනාට පසුව බුදුරජාණන් වහන්සේ දානය වළඳන පාත්‍රයට
එම ප්‍රජාපතී ගෝතමියගේ භෂ්මාවශේෂ තැන්පත් කොට එය පූජනීය වස්තුවක්
ආකාරයට තැන්පත් කරන ලෙස බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බව බෞද්ධ
සාහිත්‍යයේ සඳහන් වෙනවා එය මාතු ප්‍රාසාදය නම් වේ.
බොහෝ දෙනා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හා මහරහතන් වහන්සේලා උදෙසා මෙම
පූජාවන් පවත්වනු ලබනවා. බුදුරජාණන් වහන්සේ ගේ ආදාහන පූජාවෙන් පසුව ශේෂ
වූ ධාතුන් වහන්සේ පිළිබඳව දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ “භගවතෝ
ශරීරානී” යනුවෙන් සඳහන් වෙනවා. සමහර අටුවාවල දීප වංශය, මහා වංශය වැනි
වංශ කතාවල ධාතු ආගමනය පිළිබඳව සඳහන් වෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ
ගෙන් පසුව පළමුවනම පූජා වස්තුව ලෙස අපේ රටට ලැබෙන්නේ ශ්‍රී මහා බෝධීන්
වහන්සේ යි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පාරිභෝගික වස්තුවක් ලෙස
පූජාවන් පවත්වනු ලබනවා. බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයේ දී
සමන් දෙවියන් විසින් ලද කේශ ධාතුන් තැන්පත් කර මහියංගන ස්ථුපය ගොඩනගා
තිබෙනවා. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් විළඳ හා මී පිඬු
බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව පූජනීය යමක් ඉල්ලූ අවස්ථාවේ
දී බුදුපියාණන් වහන්සේ ලබා දුන් කේශ ධාතුන් වහන්සේලා තිරියායේ ගිරිහඩු
සෑයේ තැන්පත් කළ බව සාහිත්‍යයේ සඳහන්ව ඇත.එය ලංකාවේ ප්‍රථම ධාතු ආගමනය
ලෙස සැලකේ.
එනිසා අපේ රට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම ධාතුන් වහන්සේලා
වන්දනා කළ බව සඳහන් වෙනවා. එනිසා බෞද්ධයන් හැමදාම ආශිර්වාද ලබන විශේෂ
ආශීර්වාද පූජාවක් බවට මෙම ශාරීරික ධාතුන් වහන්සේලා වෙත සිදු කෙරෙන
පූජාව සඳහන් කරන්න පුළුවන්.
ධාතු වන්දනාවේ ආනිසංස ලෙස ඉතිහාසය තුළ සිදුවූ දේවල් පිළිබඳව සඳහන් වන
ආකාරයට පෙර බුදුවරුන්ගේ ශාරීරික ධාතු චෛත්‍ය වන්දනා කළ සැදැහැවතුන්
ලැබූ ආනිසංස පිළිබඳව විස්තරාත්මක කතාවක් විමාන වත්ථු, පේත වත්ථු
ග්‍රන්ථවල සඳහන් වෙනවා. චෛත්‍යයක් වෙත යන අතරමඟ දී ඔහු මරණයට පත්වුව
හොත් ඔහු සැපවත් භවයක උපත ලබන බව හා වෙනත් සැප විපාක ලබන බව ඇතැම්
කතාන්දර වල සඳහන් වෙනවා. සුනන්දා දියණිය අජාතියසත්තිය රජතුමා
බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු නිධන් කළ චෛත්‍යයකට සුවඳ මල්
යැවීමෙන් හා උත්සව දිනක එය වන්දනා කර පුද සත්කාර කර මියගිය පසු දෙව්ලොව
සක්දෙවිඳුන්ගේ සහකාරියක් ව ඉපිද අතිවිශිෂ්ට රූප සම්පත්තියකින් යුතුව වූ
බව සඳහන් වෙනවා. ඇය සක්දෙවි රජුට කියා සිටියේ තමන් ආශ්චර්යත්වයට පත්
වූයේ එම ස්ථුපයට පූජාවන් කිරීම බව සඳහන් ව ඇත.
විමාන වත්ථුවේ සඳහන් ආකාරයට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන්
පෑමෙන් පසුව උන්වහන්සේගේ ධාතු චෛත්‍යයක් ඉදිකොට එයට මල් පූජා කළ
පුද්ගලයකු එම කුසල කර්මය නිසා දොළොස් යොදුන් දිව්‍ය විමානයක උප්පත්තිය
ලබා දෙවි පිරිවරත් සමග ජීවත් වුණා කියලා සඳහන් වෙනවා.
කිරි ආහාර පූජාවට සහභාගි වන කාර්යාල සේවක සේවිකා මහත්ම මහත්මීන් ගෙන්
කොටසක් |
ධාතුන් වහන්සේලා සැදැහැ සිතින් වන්දනා කිරීම අපමණ සැප විපාක ලැබිය යුතු
බවට හේතු වන්නා සේම ධාතුන් වහන්සේලා ට අවමන් කිරීමෙන් දුක් විපාක ලැබෙන
බව සඳහන්ව ඇත. ඒ වගේම මිළින්ද පඤ්ඤහ ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට ධාතු
පූජා පැවැත්වීම ත්‍රිවිධ සම්පත්තිය ලැබීමට හේතුවන මාර්ගයකි.
ත්‍රිවිධ සම්පත්තිය යනු මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුව හොත් සෙසු මිනිසුන්ට
වඩා උසස් මිනිසුන් ලෙස උපත ලබනවා. දිව්‍ය ආත්ම භාවයක් ලැබුවොත් සෙසු
දෙවියන්ට වඩා මහේශාක්‍ය දිව්‍ය තත්ත්වයට පත්විය හැකි කුසල කර්මයක් බවට
පත් වෙනවා. නමුත් තිවර්ග සම්පත්තියේ අවසාන සැපත වන නිවන් සම්පත්තිය
ලැබීමට මෙම පින්කම ආශීර්වාදයක් වන බව සඳහන් වෙනවා.
අපේ ධාතු වංශ කතාවට ඉතිහාසයක් තිබෙනවා. ලංකාව පුරාම වැඩ සිටින ශාරීරික
ධාතුන් වහන්සේලා කුමන ආකාරයෙන් ලැබුණ ද? යන්න පිළිබඳව ඓතිහාසික තොරතුරු
තිබෙනවා. ඇතැම් අය ධාතුන් වහන්සේලා පිළිබඳව මාධ්‍ය ඔස්සේ වැරැදි අර්ථ
කථනයන් ලබා දුන්නත් නියත වශයෙන්ම ධාතු පූජාව සිදු කිරීම තුළ සැපවත් පල
විපාක ලැබීමට හේතුව වශයෙන් යම් කිසි කෙනෙක් මේ ශාරීරික ධාතුන් වහන්සේලා
නිසා කිරිපිඩු පූජාවක් පවත්වන අවස්ථාවේ දී තමන්ගේ සිත තුළ ගොඩ නැගෙන්න
ප්‍රධාන වශයෙන් කුසල ශක්තීන් තුනක් මුල් වෙනවා. අපේ සිත තුළ
නිරන්තරයෙන්ම ගොඩනැගෙන්නේ ලෝභය, ද්වේශය සහ මෝහය යි. එනිසා බුදුරජාණන්
වහන්සේ පිළිබඳව සැදැහැතියකුට ගෞරවයක් ඇතිවන විටම, යම් දෙයක් පූජා
කිරීමේ දී එම පුද්ගලයාගේ සිත තුළ තිබෙන ලෝභකම යටපත් වෙලා පරිත්‍යාගශීලි
සිතිවිලි මතුවෙනවා.
බුදුරජාණන් වහන්සේ රජ මැඳුරේ සිට කම්කරුවා දක්වා මහා කරුණාවක් දක්වනු
ලැබුවා.එවැනි වූ මහා කරුණාවක් දැක්වූ බුදුපියාණන් වහන්සේ දෙස බලාගෙන
වඳින සැදැහැති කෙනෙකුගේ හිතේ යම් කිසි තරහක් තිබුණා නම් ඒ සියල්ල යටපත්
වෙලා හිත තුළ කරුණාව, දයාව, මෛත්‍රිය ගොඩනැගෙනවා. බුදුරජාණන් වහන්සේගේ
ධර්මය පිළිබඳව මෙනෙහි කිරීමෙන් හිත තුළ තිබෙන මෝහය ඉවත් වී මේ කරන
ක්‍රියාවේ ප්‍රතිඵලයෙන් සැපවත් ජීවිතයක් ලැබෙනවා, කර්මපල විශ්වාසය
ඇතිවීම නිසා ඒ පුද්ගලයාගේ හිතේ ලෝභ, දෝස, මෝහ අකුසල සිතිවිලි ඉවත්කර ගත
හැකියි. අඛණ්ඩවම මෙම පූජාව පැවැත්වීම තුළින් හිතට ධර්මය පිළිබඳව ඇතිවන
සිතිවිලි වල ශක්තිය තුළින් සසර ගමන පිළිබඳ අවබෝධයක් ලබාගෙන සසර දුකෙන්
නිදහස් වීමට ප්‍රතිපත්ති පූජාවක නිරත විය යුතු බව සිතා අධ්‍යාත්මික
දියුණුවකට පත්වෙලා නිවන් සැප ලැබීම පවා සිදු කරගත හැකියි.
සටහන: හේමමාලා රන්දුනු |