UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත හික්මවාගෙන ජයගන්න

සිත හික්මවාගෙන ජයගන්න

බුදු දහමට අනුව ලොව පවතින ඉතා දුර්ලභ කාරණා අතුරෙන් මිනිසත් බව ලැබීම ද එක් දුර්ලභ කරුණෙකි. මිනිසත් බව ලබා ගත් මනුෂ්‍යයා සතුවන මනස හෙවත් සිත ඉතා ප්‍රබල ශක්තියකින් හා උපතේ දී ඉතා ප්‍රභාෂ්වර බවකින් යුතුව තුබූ පුදුමාකාර වස්තුවකි.

“චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගු”

සිත නමැති එකම ධර්මතාවයට ලොව සියලු නොම වසඟව සිටිත්, සිත තුළ නිර්මාණය වන ඔබේ ලෝකය ඉතා විසිතුරු එකක් නම් කුමක් හෝ හේතුවක් නිසා එය අප්‍රසන්න භාවයට දුෂ්ට භාවයට පත්කර නොගත යුතු බැව් බුදුන් වහන්සේ පැහැදිලිව පෙන්වා දුන් සේක.

“මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා
මනසාචේ පසන්නේන
භාසතිවා කරෝතිවා
තතෝ නං සුඛ මන්චේති ඡායාව අනපායිනී
මනසාචේ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛ මන්චේතී චක්ඛංච වහතෝපදං

සියල්ල සිත ප්‍රධාන කොට ඇති බැවින් ප්‍රසන්න වූ සිතකින් යමක් කියයි නම්, කරයි නම් සැප ලැබෙන බවත් එම සැපය අත්නොහරින ලද සෙවණැල්ල මෙන් තමා පසුපස එන බවත් පැහැදිලි කොට දී ඇත. දුෂ්ට වූ සිතකින් යමක් කියයි නම් , කරයි නම් ගැල අදින ගොනුගේ පාදයට අනුව යන රෝදය සේ දුක ඔහු පසුපස ලුහුබඳියි. ඉතා දුර්ලභ මිනිසත් බව ලැබූ ඔබ ආලෝකයෙන් ආලෝකයට යා යුතුය. කිසියම් හේතුවකින් අඳුරට පත් වුවහොත් නැවත අඳුරෙන් ආලෝකයට පැමිණිය යුතුය. එලෙස ගතවන ජීවිත තුළ මෙලොව වශයෙන් ඉලක්ක සපුරා ගෙන අපේක්‍ෂිත ගෘහ සම්පත් විඳිමින් සතුටට පත්විය හැකිය. පරලොව වශයෙන් සසර ගමනේ නිවන් අවබෝධ කර ගන්නා තුරු නැවත මිනිසෙකුව හෝ දෙවියෙකුව ඉපිද සියලු පාපයන්ගෙන් මිදී කුසල් දහම් පුරමින් සසර කෙටි කර ගත හැකිවේ.

එසේ නොමැතිව ලබා ඇති ආලෝකමත් ජීවිතය අඳුරට වැටුණහොත් හෝ අඳුරට වැටුණු ජීවිතය අඳුරෙන් අඳුරටම පත්වුවහොත් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එවිට තිරිසන් යෝනියක,පේ‍්‍රත ලෝකවල, භූත බලවේගවල හෝ නිරි සත්වයන් වශයෙන් යළි යළි උපත ලබා කල්ප ලක්‍ෂ ගණන් අපා දුක්විඳිමින් ජීවිතය කෙළවර ගත හැකි නොහැකිව සසර ගමන් තව තවත් දිගු කර ගැනීමෙන් දුකට පත්වේ.මොහොතක් සිතන්න. ලබා ඇති මේ ජීවිතය ඇතැම් විට වසර 60 –80 අතර දක්වා විය හැකිය. එම ආයු කාලයෙන්ද ළදරුවිය ළමා විය හා තුරුණු වියේ කොටසක් අන්තර්ගත මුල් දශක දෙක හා නිදා ගැනීමට වැය කරන කාලයද මහලු කාලයද අඩු කළහොත් ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා ජය ගැනීම සඳහා කුසල කර්ම රැස් කර ගැනීම සඳහා ඉතිරි වන්නේ වසර 25 ක පමණ ජීවිත කාලයෙන් ආවරණය වන ඉතා සුළු කාලයක් විය හැකිය. මිනිස් ලෝකයේ වසර 100 ක් දිව්‍යලෝකයක එක් දවසක් නම් එම කාල නිර්ණයට අනුව ජීවිතය දිව්‍ය ආයුෂයෙන් හෝරා කිහිපයක් පමණි. මිනිසෙකු මිය ගිය විට ඔහුට නිවන් සැප ලැබේවායි ජීවත්ව සිටින අය බැනර් ප්‍රදර්ශනය කරමින් ප්‍රාර්ථනා කළ ද එලෙස පහසුවෙන් නිවන් අවබෝධ කර ගත නොහැකිය. ඒ සඳහා ඔහු සුදුසුකම ලබා නොසිටියේ නම් එය හුදෙක් අයෝනි සෝමනසිකාරයෙන් යුත් ප්‍රාර්ථනාවක් පමණි.

බුදු දහමේ විග්‍රහ වන පරිදි සිත, කය වචනය යන තිදොරින් මූලිකව කය වචනය හසුරවා ගැනීමට උපකාරි කර ගත හැකි කල්‍යාණ මිත්‍රයා සිතමය.

“චිත්තස්ස දමතෝ සාදු – චිත්තං දන්තං සුඛා වහං
චිත්තං රක්ඛේත මේධාවි - චිත්තං ගුත්තං සුඛා වහං “

මෙලෙස සිත සංවර කර ගැනීමට, දියුණු කර ගැනීමට මූලිකවම කය, වචනය සංවර කර ගත යුතුය. ලබා ඇති මෙම ජීවිතයේ ගෘහ සම්පත් විඳිමින්ම ඉලක්ක සපුරාගැනීමට හා අපේක්‍ෂා කරන දියුණුව ලබා ගැනීමටද ගිහිව සිටියදී සෝවාන් ඵලයේ සිට අනාගාමි ඵලය දක්වා ලොව්තුරා සුවය ලැබීමට ඔබට ඉඩ ප්‍රස්ථාව තිබෙන බැව් බුදුන් වහන්සේ කිහිප අවස්ථාවකදීම පෙන්වා දුන් සේක. කුඩා අවධියේදීම එනම් හත්වෙනි වියේදි සෝවාන් ඵලයට පත් වූ විශාඛා මහෝපාසිකාව ගෘහ සම්පත් විඳිමින් විවාහයට පත්ව දරුමල්ලන් පවා ඇති දැඩි කරමින් ගත කළ ජීවිතය ඊට කදිම නිදසුනකි. බුදුන් වහන්සේ බැහැ දැකීමට පැමිණි දීඝජානු කෝලිය සිටුතුමා ගෘහ සම්පත් විඳිමින් සිටිය දීම මාර්ගඵල අවබෝධ කරගත හැකි දැයි විමසූ අවස්ථාවේ උන්වහන්සේ ගෘහ සම්පත් විඳිමින්ම මාර්ගඵල අවබෝධ කර ගැනීම මාර්ගය ඔහුට පැහැදිලි කර දුන් සේක. මොහොතක් සිතන්න. ඔබ කය සංවර කරගත යුත්තේ කෙසේද? සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, රහමෙර පානයෙන් වැළකීම (මත්ද්‍රව්‍ය ඇතුළුව) යන යහපත් ක්‍රියාවලිය අනුගමනය කරමින් හා ඊර්ෂ්‍යාව ,වෛරය,ක්‍රෝධය, ද්වේෂය දුරලා කය සංවර කර ගත හැකිය. එවිට ඔබ සමස්ත මිනිස් සමාජයේ ආදර්ශමත් අවිහිංසාවාදී නිරෝගී පුද්ගලයෙකු හැටියට කීර්තිමත් භාවයට පත්වීම ඔබේ ලෞකික ජීවිතයේ දියුණුවට බෙහෙවින් ඉවහල්වේ. බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස්වචන කථා කිරීම යන වචනයෙන් සිදුවන අකුසල් ක්‍රියාවලින් වැළකී සිටීමෙන්ද ඔබ මිනිස් සමාජයේ ඍජු නිහතමානි සහ අවංක පුද්ගලයෙකු බවට පත් වීමෙන් ඔබේ ඉලක්ක සපුරා ගත හැකි වනු ඇත. විශේෂයෙන් හිස් වචන කථා කිරීම,කේළාම් කීම සහ රළු වචන කථා කිරීම තුළ ඔබ නොසිතූ වේලාවක නොසිතූ ආකාරයෙන් ඔබෙ හොඳම මිතුරන් සහ ඥාතීන් ඔබ සමඟ අමනාප විය හැකිය. සමහර විට ඔවුන් ඔබගේ පරම සතුරන් බවට පත්වීමටද ඉඩකඩ ඇත. ගෙදර දොරේදී කාර්යාලයේදි හා සමාජ ඇසුරේදි හැකිතාක් දුරට හිස්වචන හා රළු වචන කථා කිරීමෙන් වැළකී සිටීම පුරුදු පුහුණු වීම තුළ ඔබ සමාජයේ යහපත් මිනිසෙකු බවට පිළිගැනීමට ලක්වනු ඇත. මෙකී තත්ත්වයන් තේරුම් ගෙන කය ,වචනය මැනවින් හසුරුවා ගෙන උපන් අකුසල් දුරු කර ගැනීම, නූපන් අකුසල් එන්නට නොදීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් උපදවා ගැනීම යන සතර සම්‍යක් ප්‍රධන් වීර්යය උපදවා ගෙන කටයුතු කළහොත් ඔබේ සිතේ ප්‍රභාෂ්වරය යළි මතුවේ. ශීලයෙන් සමාධියත් ශීල සමාධියෙන් ප්‍රඥාවත් පහළ කර ගනී. උපදවා ගනී.

නිවන් අවබෝධ වීම සඳහා සම්මා දිට්ඨිය (නිවැරැදි දැක්ම) මෙහෙයවා ගෙන සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මතා යෝනිසෝමනසිකාරයෙන් යුතුව හඳුනාගෙන විශේෂයෙන් ඉහත කී වීර්යය තුළ කටයුතු කිරීමෙන් සතර සතිපට්ඨානය ධර්ම (කායානු පස්සනා, වේදනානු පස්සනා, චිත්තානු පස්සනා ,ධම්මානු පස්සනා) තුළ සිත පුරුදු පුහුණු කළහොත් දුක් දොම්නස් දුරු වී ශෝක කිරීම්, වැළපීම් පහව ගොස් විසුද්ධිය උදා කර ගත හැකි වනු ඇත. මෙලොව වශයෙන්ද ගෘහ සම්පත් විඳිමින් ඔබේ ඉලක්ක සපුරා ගෙන සාර්ථක ජීවිතයක් ගත කළ හැකිවේ.

 

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 07 වැනි දා අඟහරුවාදා අපර භාග 09.26 ට ලබයි.
08 වැනි දා බදාදා අපර භාග 09.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 08 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 15 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]