දුරුතු පුර අටවක 2014 ජනවාරි 08 වන දා බදාදා
ගුණ නැණ අගයමු
මව්පිය දෙපළ වෙතින්, දරුවන් වෙත බොහෝ උපකාර ඇතැයි බුදුපියාණන්
වහන්සේ වදාළසේක. අංගුත්තර නිකායේ සබ්‍රහ්ම සූත්‍රයේ සඳහන් වන
පරිදි දරුවන් වෙනුවෙන් මව්පියවරු කළ යුතු ප්‍රධාන කාර්ය
තුනක්වේ. ‘ආපාදකා’ හෙවත් දරුවන් ඇතිදැඩි කිරීම “පෝසකා” පෝෂණය
කිරීම සහ “ඉමස්ස ලෝකස්ස දස්සේතාරා” දරුවන් වෙත ලෝකය දකින්නට
සැලැස්වීම යනුවෙන් එම කරුණු සඳහන් වෙයි.
ඉහත සඳහන් කළ කරුණු මව්පියවරු වෙතින් දරුවන් වෙත ඉටු කැරෙන විට
දරුවා ශක්තිමත් තැනැත්තකු වේ. එමෙන්ම මනා පෞරුෂයකින් හෙබි
අයෙකුද වේ. එමෙන්ම දරුවා කායික හා මානසික ශක්තියෙන් යුක්ත
අයෙකුද වේ.
එබඳු කායික, මානසික ශක්තියෙන් යුත් දරුවා නිවසට, ගමට ,පළාතට
,රටට හිතකාමී ප්‍රයෝජනවත් තැනැත්තකු ද වේ.
මව්පියවරු තරම් ස්වකීය දරුවන් වෙත ආදරය, කරුණාව, සෙනෙහස දක්වන
වෙනත් කෙනෙකු නැත. සමාජයේ වෙසෙන බොහෝ මව්පියවරු එබඳු
ගුණවත්,ආදර්ශවත් අය වෙති.
එහෙත් අවාසනාවකට මෙන් දරුවන් කෙරෙහි අකාරුණික වූ මව්පියවරුද
අපේ සමාජයේ නැත්තේ නොවේ. ඇතැම් විට දරුවාගේ වටිනාකම අවබෝධකර
නොගත් එබඳු මව්පියවරු ආදර්ශවත් මව්පියවරුද නොවේ.
දරුවා මෙලොවට බිහි කළදා පටන් හදා වඩා ඇති දැඩි කරමින් සිය කාලය
,ශ්‍රමය, ධනය ඔවුන් වෙත වැය කරනුයේ මව්පියවරුන්ට දරුවන් තරම්
වෙනත් වටිනා වස්තුවක් තවත් නොමැති හෙයිනි.
ඒ නිසාම පෙර පාසල් අධ්‍යාපනයේ සිටම දරුවා තරඟකාරි අධ්‍යාපන
රටාවකට යොමුකරවීමට උනන්දු වනුයේද මව්පියවරුන්මය. අනෙකුත් දරුවන්
අභිබවා තම දරුවාගේ අනාගත අභිවෘද්ධිය පතා දැනුමෙන් පෝෂණය කරවීම
සඳහා නො ගන්නා උත්සාහයක් නැති තරම් ය.
ඇතැම් විට සතියකට වරක් එක් දිනක් තුළ පැය කීපයක් පැවැත්වෙන
දහම් පාසලට පවා දරුවා යොමු කරවීමට ඇතැම් මව්පියවරු එතරම්
උනන්දුවක් නොදක්වනුයේ දහම් පාසලෙන් ලැබෙන ශික්‍ෂණය ගැන
අවබෝධයක් ඔවුන් තුළ නොමැති නිසා විය හැකිය.
මහින්දාගමනයෙන් ඇරැඹුණු මෙරට සංස්කෘතියේත් සදාචාර හා
ආධ්‍යාත්මික පෝෂණයෙහිත් කේන්ද්‍රස්ථානය වූයේ පන්සල හෙවත්
විහාරස්ථානයයි. පන්සල කේන්ද්‍ර කරගත් පූජනීය මහ සඟරුවනෙහි
මාර්ගෝපදේශකත්වය යටතේ හැදුණු මෙරට ජනතාව දැනුම මෙන්ම ගුණ
දහමෙන්ද පෝෂණය වූ පිරිසක් බවට පත් විය.
එහෙත් යුරෝපීයයන්ගේ බලපෑම් වලට රට ගොදුරුවීමත් සමඟ එතෙක්
පැවැති තත්වය කෙමෙන් වෙනස් වන්නට විය.
වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ සංඝ
පීතෘන් වහන්සේ නමක් පහළවීම මෙරට ශාසනික මෙන්ම ධර්ම ශාස්ත්‍රීය
ප්‍රබෝධයටද හේතුවිය.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, රත්මලානේ් ශ්‍රී‍්‍ර ධර්මාලෝක
නාහිමි, මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණනාන්ද නාහිමි ආදී පැවිදි මිණි
පහන්හි ආලෝකයෙන් යළිත් උදාවූ මෙරට ධර්ම ශාස්ත්‍රෝන්නතියත්
ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ලංකාගමනයත් මෙරට
යළි බෞද්ධ ප්‍රබෝධයක් උදාකිරීමට සමත් විය.
හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ සංකල්පයකට අනුව මෙයට වසර 118 කට
පමණ පෙර එනම් ගාල්ල වැලිවත්ත විජයානන්ද මහා විහාරයේදී 1895
අගෝස්තු 3 වනදා ඇරැඹුනු දහම් පාසලත් සමගම දහම් පාසල් රට පුරා
ව්‍යාප්තවන්නට වූයෙන් අපේ බෞද්ධ සිරිත් විරිත් යළි රැක ගන්නට
හැකිවිය. ගුණ නැණ බෙලෙන් යුතු සුචරිතවත් දරු පරපුරක් බිහි
කිරීම උදෙසා දහම් පාසලෙන් සිදුවනුයේ අති උදාර මෙහෙවරකි.
නිශ්සරණාධ්‍යාශයෙන් එහි සේවය කරන දහම් ගුරුවරුන්ගේ මෙහෙවරද
අගයකළ යුතුවේ.
දැයේ අනාගතය වත්මන් දරු පරපුර වේ. එබැවින් එම දරුපුරපුර
විෂයානුබද්ධ දැනුමට පමණක් සීමා කළ යුතු නොවේ. ඔවුන් ගුණ නැණ
බෙලෙන් යුතු දරුපරපුරක් විය යුතු බැවින් ඊට හොඳම තෝතැන්න දහම්
පාසලය. රජයේ මෙන්ම සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේද
අනුග්‍රහයෙන් දහම් පාසල් වෙතින් සිදුකෙරෙන සේවය පැසසිය යුතුය.
දහම් පාසල වෙත සිය දරුවන් යොමු කිරීමට මව්පියවරු තව තවත්
උනන්දුවෙන් කටයුතු කළ යුතුවේ. |