UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලාංකේය බිම වර්ණවත් කළ අවුකන බුදු පිළිම වහන්සේ

ර‍ළු කළුගල සුමුදු කළ ඒ පා කමල යුවළ සිප වැළඳ ගනිමින් අප මාතෘ භූමිය සාඩම්බර කළ ප්‍රබල අභිමානවත් සළකුණක් පාමුල නැවතී සිටිමි.

කලා වැවේ වැව්ජල තලයේ හැපී හමනා ශීතල මද පවන් රැල්ල පහසේ ප්‍රබෝධය නිබඳ සිත වෙළයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැවට බටහිරින් අවුකන නම් ගමේ කලා වැවට මුහුණලා මීට වසර 1500 කට පමණ ප්‍රථමයෙන් ගොඩ නංවන ලද අවුකන බුදුපිළිම වහන්සේ පිහිටි කළු ගලෙහි බහුඋන්නත ක්‍රමයට සමභංග ඉරියව්වෙන් ඉදි කළ ලාංකේය බිම වර්ණවත් කළ, ඔදවත් කළ,තෙදවත්, කළ, සුචිත්‍රවත් කළ, බුදු පිළිම වහන්සේ නමක්ය.

මෙය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ වරමින් ලද අසාමාන්‍ය නිර්මාණ ශක්තියෙන් ඔදවත් වූ ගල්වඩු මී මුත්තනුවන්ගේ දෑතින් නිම කරවමින් වැවයි දා ගැබයි අපගේ සංස්කෘතික ප්‍රදානයට නැවුම් සංකල්පයක් එක්කරමින් වැවයි, සම්බුදු පිළිමයයි නම් වූ නිර්මාණයෙන් අධ්‍යාත්මික හා ලෞකික දියුණුවේ ඒකාත්මිකතාවය සංකේතවත් කරවයි.

සිංහල බෞද්ධ, සංස්කෘතික දියුණුවේ සුසංයෝගය මෙයින් සංකේතවත් කරයි.

මෙය මහා පුරුෂ ලක්ෂණ වලින් යුතුබව වියතුන්ගේ පිළිගැනීමයි. පිටිපතුල් දෙක,පිටි අල්ල දෙක, උරහිස් දෙක හා කඳ පිරිපුන්ව තිබෙන බැවින් එය දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් සත්තුස්සද ගුණය පිළිබිඹු කරයි. පිළිම වහන්සේගේ සුවිශේෂී ලක්‍ෂණයන් පිළිබඳ විග්‍රහයක යෙදෙන මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා මෙසේ සඳහන්කරයි.

“ හිස මුදුනේ අර්ධ ගෝලාකාර ලක්ෂණයෙන් සංකේතවත් වන්නේ හිසින් ඉහළට විහිදෙන බුදුරැස් ය. එය හැඳින්වීමට අනුරාධපුර යුගයේදී භාවිතා කළ වචනය ‘රංසිපුඤ්ජ’ යන්නය. රංස පුඤ්ජයක් තිබුණේ අභයගිරි සම්ප්‍රදායට අයත් බුදු පිළිමවල බවට සාධක තිබේ. “

“අවුකන පිළිමයේ ආසනය පද්මාසනය හෙවත් පද්ම පීඨයයි. බෞද්ධ කලාවේ පද්මාසනය බුදුන් වහන්සේගේ ලොකෝත්තර බව සංකේතවත් කරන්නකි “ (අවුකන බුදුපිළිම – චන්ද්‍රා වික්‍රමගමගේ )

පද්මාසනයේ සට සිරස්පතය දක්වා පිළිම වහන්සේගේ උස මීටර් 11.36 කි. සමභංග ක්‍රමයට නෙළා ඇති බවෙන් අදහස් කරන්නේ ශරීරයේ බර දෙපාවලට සම සමව බෙදී යනසේ ශරීරය කෙලින් තබාගෙන සිටින ආකාරයට නිම වීම ය. ඔසවන ලද දකුණු හස්තයෙන් පෙන්නුම් කරන්නේ අභය මුද්‍රාව ය. වමත උරහිස මට්ටමට ඔසවා සිවුර අල්ලා ගෙන ඉන්නා ඉරියව්ව කටක මුද්‍රාවෙන් යුක්ත ය.

ඇඳුම, තනිපට සිවුර, අඳනය, සහපටිය යන තුනෙන් සමන්විත ය. සිවුරේ ඇත්තේ තනි රැල්ලක් නිසා මෙය අනුරාධපුර යුගයට අයත් පිළිම කලාවේ විශේෂ ලක්‍ෂණයක් බව පැවසෙයි.

සාමාන්‍යයෙන් ගෞතම බුදුන් වහන්සේ දහඅට රියන් බව පිළිගත් මතයවෙයි. මෙයින් අදහස් වන්නේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සැබෑ උස නොව බෞද්ධයාගේ සිත්හි අති බුදු හිමියන්ගේ පිළිබිඹුවේ උස බව චන්ද්‍ර වික්‍රමගමගේ මහතා පවසයි.

අවුකන බුදුපිළිමය රියන් 18 කට වඩා උස්වෙයි. දීපංකර බුදුන් වහන්සේ අසු අට රියනක් හෙවත් අඩි 176 ක් උසය. අවුකන බුදුපිළිම වහන්සේ ගෞතම බුදුන් වහන්සේට හිමි උසට වඩා උස බැවින් ද දීපංකර බුදුන් වහන්සේට හිමි උසට සමීප බැවින් ද දීපංකර බුදුන් වහන්සේට හිමි අභය මුද්‍රාවෙන් යුක්ත බැවින් ද එය දීපංකර බුදු පිළිමයක් බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතාගේ මතය වෙයි.

අවුකන බුදු පිළිම වහන්සේගේ මුද්‍රාව පිළිබඳව මහාචාර්ය අබය ආර්යසිංහ මහාත ඵල කරන්නේ වෙනත් මතයකි.

“බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසමින් පශ්චිම යාමයේ පිබිදී විනේය ජනයන් ආවර්ජන කිරීම මේ පිළිමයෙන් ගම්‍ය වෙයි. එහි දක්වා ඇති මුද්‍රාව ආශිර්වාද මුද්‍රාවයි. (අභය මුද්‍රාව යැයි අධම ජනයා මෙය හඳුන්වා දි තිබීම හාස්‍යයට කරුණකි.”

“බෞද්ධ ලෝකයේ කොතරම් නිර්මාණ තිබුණද හුදු කේවල බුදු පිළිමයක් වශයෙන් උත්තම ගණයේලා සැලකිය හැකි අවුකන පිළිම වහන්සේ සිංහල ජාතියට අපේ මුතුන්මිත්තන් විසින් උරුම කොට දී ඇති අමිල දායාදයකි. “

අවුකන බුදු පිළිම වහන්සේ පිළිබඳ ස්වදේශීය හා විදේශීය කාල විචාරකයන්ගේ අගැයීම් මහත් පොතක් ලිවීමට තරම් ප්‍රමාණාවත් වෙන බව ද ඔහු පවසයි.

මෙම පිළිමය කරවන ලද රජතමා ධාතුසේන රජතුමා බව පිළිගැනෙයි. එහෙත් රජතුමා සහ කාලය පිළිබඳ විවිධ විද්වත්හු වෙනස් මත පල කරති.

සෙනරත් පරණවිතානයන්ට අනුව මෙම පිළිමය ඉදිකරවා ඇත්තේ ධාතුසේන රජතුමා විසිනි.

මහාවංශයේ සඳහන් වන කාලසේල බුදුපිළිමය මෙය බව පරණවිතාන මහතා හඳුන්වා දෙයි. ධාතුසේන රජතුමා හැඳින්වුයේ දාසෙන් කැලිය යනුවෙනි. මෙහි කැලිය යන්න ධාතුසේන සඳහා යොදන ලද්දක් බව පරනවිතාණ මහතා හඳුනා ගනියි.මෙය රාජ්‍ය වර්ෂ පස්වන සියවසෙහි අගභාගයට අයත් බව ඔහු ප්‍රකාශ කරයි.

නමුත් බාරෝස් නම් ඉතිහාසඥයා සාඳහන් කරන්නේ මෙය දොළොස්වන සියවසෙහිදි මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඉදිකරන ලද බවකි.

බරෝස්, ස්මිත්, හා කුමාරස්වාමි යන ලේඛකයන් දැක්වූ මතය අනුව අවුකන පිළිම ගෙයින් ලැබුණූ ශිලා ලිපිය ක්‍රි.ව. අටවන සියවසට අයත් බව ප්‍රකාශ කෙරේ.

මෙසේ විවිධ මත ප්‍රකාශ වුවද මෙය අසහාය නිර්මාණය ශිල්පියකුගේ විශ්මිත ප්‍රතිභාවේ ශක්තියේ අග්‍රඵලයක් බව නම් සක්සුදක් සේ අස්පනාපිට ඔප්පු කර හමාර ය.

ඇත්තෙන්ම වසර ගණනාවක් තිස්සේ දැඩි රළු මහා කළු ගල් තලාවක් මෙල්ල කර ගනිමින් අසමසම පිළිම වහන්සේ නෙළු නිවැවුම් ශිල්පීන් වැගිරූ දහඩිය කලා වැවේ ජල පරිමාව තරම් විය හැකි ය. ඔවුන්ගේ බාහු සවියේ මෙන්ම ප්‍රතිභා ශක්තියෙහි බලය මෙවන් ගල් තලාවක ශක්තිය අභිබවන සුළුය.

මේ නිර්මාණය පිළිබඳව පිටු දහස් ගණනක් පිරෙන තරමට ලියා පල කළ හැකි ය. දවස් ගණනක් බලා සිටිය ද හිතට හැඟෙනා වින්දනයේ කිසිදු අඩුවක් සිදු නොවනු ඇත.

බුදුන් දැක නිවන් දකින්නට නො හැකි වූ අප සැමට මෙවන් රළු කළු ගලක් වෙඬරු පිඬක් බවට පත් කළ ආශ්චචර්ය දැක හිතට හැඟෙන්නේ නිවන් දැක්කා වැනි අධ්‍යාත්මය වින්දනයට පත්කරනා සුවයක් නොවන්නේද?

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 07 වැනි දා අඟහරුවාදා අපර භාග 09.26 ට ලබයි.
08 වැනි දා බදාදා අපර භාග 09.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 08 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 15 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk