UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මව් සෙනෙහසට තිළිණ කළ පිරිකර පූජාවක් සේ වූ පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානය

මව් සෙනෙහසට තිළිණ කළ පිරිකර පූජාවක් සේ වූ පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානය

ලාංකේය රාජ වංශ කතාව පිරික්ෂීමේදී රජ කිරුළ බැබළ වූ රජවරුන් හමුවන්නේ අතලොස්සකි. ඒ අතර ලංකාව එක්සේසත් කළ රජවරුන් රන් ඔටුන්නක සිළුමිණ බඳු ය.

අවසන් වරට මව්බිම එක්සේසත් කළ නරේන්ද්‍රයාණන් අපට හමුවන්නේ කෝට්ටේ යුගයේදී ය. එතුමා නමින් vi වන පරාක්‍රමබාහු ය.

මෙම ශ්‍රේෂ්ඨ රජතුමාගේ යුගයේ දී කෝට්ටේ රාජධානිය සාහිත්‍යමය, ආර්ථික, ආගමික සහ අධ්‍යාපන යන ක්‍ෂේත්‍රයන්හි කෙම්බිමක් බවට පත් විය.

කෝට්ටේ යුගයේ මූලාරම්භකයා ද මෙතුමා වන අතර සවැනි පැරකුම්බා රජතුමාගේ පියා ‘ළමැණි ජයමහලැණ ‘ වූ අතර මව සුනේත්‍රා මහා දේවිය නම් වූවා ය.

අද අපගේ මාතෘකාව ට යොමු වන්නේ සුනේත්‍රා මහා දේවී පිරිවෙන් විහාරස්ථානය යි. තම සදාදරණීය මව් බිසවට උපහාර පිණිස vi  වන පරාක්‍රමබාහු නම් ඒ ශ්‍රේෂ්ඨ නිරිඳාණන් විසින් මෙම විහාරස්ථානය ගොඩනංවනු ලබ යි.

ඓතිහාසික විහාරස්ථානය හා සබැඳෙන පුවත් විවරණයේදී අපට මාතෘභූමිය එක්සේසත් කළ විශිෂ්ට රජවරයකු හමුවෙයි. එසේම කළ ගුණ සැලකීමේ උතුම් පින්කමක අග්‍ර ඵලයක් දැක ගැනීමට ලැබෙ යි.කෝට්ටේ යුගයේ සමාරම්භක අවස්ථාවේ නිර්මාණයක් වූ බෞද්ධ මහා ස්මාරකයක් රට දැයට තිළිණ වෙයි.

මේ කරුණු නිසාම සුනේත්‍රාදේවී මහා විහාරය ගෞරවණීය වූ ද පුජනීය වූ ද සදානුස්මරණීය වූ ද අපගේ බෞද්ධ උරුමයේ සිහිවටනයක් බව අවිවාදාත්මකව පිළිගැනීම සිදුව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ මැතිවරණ බල පදේශයේ පැපිලියානෙ හි මෙය පිහිටා ඇත. එහෙත් කොළඹ හොරණ ප්‍රධාන මාර්ගයේ අග නගරයට ආසන්නව ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති මෙම ඓතිහාසික විහාරස්ථානයේ වටිනාකම පිළිබඳ පුළුල් හැඟීමක් බහුතරයක් බෞද්ධ සිත් වලට දැනෙන්නේ දැයි ප්‍රශ්නයක් ද පැණ නැගෙ යි.

ආගමික සිද්ධස්ථානයක් මෙන්ම ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපන ආයතනයක් වශයෙන් ඉතා ප්‍රශස්ථ තලයක පැවැතියා වූ පිරිවෙන් විහාරස්ථානයේ සමාරම්භක වර්ෂය මේ යැයි නිශ්චිතව සඳහන් කළ නො හැක. එහෙත් ආරම්භය ක්‍රි.ව. 1415 – 1417 කාල පරිච්ඡේදයන් අතර සිදු වූවා යැයි අනුමානන කෙරෙ යි.

සවැනි පැරකුම්බා රජතුමා අභිෂේක ලබන්නේ ක්‍රි.ව. 1415 දි බව මූලාශ්‍ර වැඩි ගණනක කියැවෙන අතර ඇතැම් තැනෙක ඇති විස්තර අනුව එම වර්ෂය 1410 – 1412 හෝ 1415 වශයෙන් තවත් වර්ෂ තුනක් ඉදිරිපත් වෙයි.

පරාක්‍රමබාහු රාජාභිෂේකයට ප්‍රථම ඔහුගේ ජීවිතයේ ඉතා දුෂ්කර අවදියේ දී රැකවරණය සලසා දී ඇත්තේ තම මව විසිනි. කෝට්ටේ යුගයේ ආරම්භයත් සමඟ රාජාභිෂේකයෙන් පසුව ඒ ආසන්නයේ උදාර වූ මාතෘ සෙනෙහසට කෘත ගුණ සැලකීම වශයෙන් දුන් මහා පිරිකර පූජාවක් ලෙස මෙම සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානය නම් කිරීමට හැකි ය.

ප්‍රාකාර, ගෝපුර,ප්‍රතිමා මණ්ඩප, බෝධි, සංඝාවාස, දේවාලය පුස්තකාලය, පුෂ්පාරාම හා ඵලාරාම ආදි විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ විහාරස්ථානය ගොඩ නැගීමට රජතුමා තම භාණ්ඩාගාරයෙන් විසිපන්දහසක ධනය වියදම් කළ බව සඳහන් වෙයි.

වියෝ වූ මව වෙනුවෙන් මෙවැනි උතුම් පින්කමක් කරන්නට රජතුමාට අදහස ඵල කර ඇත්තේ බිසෝ මාලිගයේ කාර්යයේ නියැලී සිටි ‘ සිකුරා මුදල් පොතුන්’ නමැති නිලධාරියෙකි.

එදවස තුන් බෝධියෙන් පිරිපුන් විහාරස්ථානයේ ප්‍රතිමා ගෘහය දෙමහල් මැදුරකි. සර්වඥ ධාතු නිධන් කළ චෛත්‍යය ද කල්පයක් පවතින සේ කරවන ලද බව ගිරා සංදේශයේ සඳහන් වෙයි.

විහාරස්ථානයට ඈඳුණු පිරිවෙන නිසා මෙම සිද්ධස්ථානය ආගමික සේම ශාස්ත්‍රිය අධ්‍යාපනායතනයක් වශයෙන් ද ඉතා ඉහල තලයක වැජඹුණු බවට සාධක හමු වෙයි.

සවැනි පරාක්‍රමබාහු රජුගේ පැපැලියානේ ශිලා ලේඛනය පුරා විද්‍යාත්මක වටිනාකමකින් හෙබි සෙල් ලිපියකි.මෙය නිකුත් කර ඇත්තේ රාජාභිෂේකයෙන් වසර 39කට පසුව 1454 වසරේදී ය.

ඉන් පසුව පරංගි ආක්‍රමණයේදි කුළු ගෙඩි ගසා මෙම සෙල්ලිපිය විනාශ කළ බවත් පසු කළෙක විනාශ වූ කැබැලි එකතු කර කියවීමට හැකිවන සේ නැවත සැකසූ බවත් කියැ වෙයි. එය අද විහාර භූ®මියේ පවුරු බිත්තියක සවි කර තිබේ. පැරකුම්බා කුමාරයා බුද්ධ වර්ෂ 1958 දි රජ වූ බව ද මව් බිසවට පින් පිණිස විහාරස්ථානය කරවීමට රාණි වාසල කාර්යයේ නියැලුණු සකුරා මුදල් පොතුන්ට භාර කළ බව ද සෙල්ලිපිය අනුව සනාථ වෙයි.

එසේම ගලතුරුමුල මේධංකර මහ තෙර ස්වාමීන්ගේ ශිෂ්‍ය මංගල ස්වාමීන්ට විහාරාධිපතිත්වය පවරා ඇත.

පැපිලියානෙන් නැදිමාලෙන්, දිවුල්පිටියෙන්, උඩදෙනියෙන්, කළුතොට බද්දෙන්, අරුග්ගොඩ විල, විල්පිට වතු, පස්දුන්කෝරලේ කුඩා වැලිගමින්, සියනෑ රටින්, දොළොස් දහස් රටින්, ලබුගම සල්තොට, බෙලිගල්නුවර ආදි තවත් බොහෝ ප්‍රදේශ වලින් ගොඩ මඩ ඉඩම් ගම්වර වශයෙන් විහාරස්ථානයට පූජා කර ඇති බවක් ද මෙම ලිපියේ සඳහන් වෙයි. විහාරස්ථානයෙන් ඉටු විය යුතු කාර්යයන් බහුතරයක් එහි සඳහන් වන අතර එහි තවත් විශේෂයක් වන්නේ මෙහි සිට ත්‍රිපිටකයෙන් මසකට ග්‍රන්ථ 1700 ක් ලිවිය යුතු බව ය.

රජතුමාගේ බල පරාක්‍රමයෙන් සතර දිග් භාගයේ මෙතරම් පුළුල් ප්‍රදේශයක ගම්වරයන් විහාරස්ථානයට පිදීමෙන් පෙනී යන්නේ මෙම සිද්ධස්ථානය සතුව පැවැති මහ ශක්තියයි.ධර්ම ග්‍රන්ථ එළි දැක්වීමෙන් පසක් කර ගත හැක්කේ සදහම් නදිය ගලා මේ දම් දිව පෝෂණය වූ බව යි. එසේ මෙම මහ සිද්ධස්ථානය ශාසනික සමාජ ප්‍රවර්ධනයට දායක වෙමින් මොනතරම් නම් අනභිබවනීය ලෙස පැවැතෙන්නට ඇද්දැයි සිතා ගැනීමටත් නොහැකි තරම් ය. ඉතිහාස ගත තොරතුරු අනුව යමින් අද අපට හැකි වන්නේ ඒ මහා ප්‍රතාපවත් බිමෙහි දර්ශනය චිත්ත රූප මගින් මවා ගැනීම පමණි.

කෝට්ටේ යුගය මහනුවරට මාරුවීමත් ආභාග්‍යවත් පරංගි ආක්‍රමණයන් නිසා ද විනාශයට පත්වෙන සුනේත්‍රාදේවී විහාරස්ථානය සියවස් දෙකක් පමණ කාලයකට පසු පුනර්ජීවය ලබන්නේ 1815ට ආසන්න වසරකදී ය.

ඉහත ආක්‍රමණික විනාශයන්ගෙන් පසුව පෞරණික වශයෙන් ඉතිරි කර තබන්නේ කෝට්ටේ යුගයේ සඳකඩපහණක් සහ පිරිවෙන් භූමියේ තැන තැන විසිරුණු ගල්කණු කීපයකුත් පමණි. එමෙන්ම අද පවතින බෝධින් වහන්සේ ද ඓතිහාසික එකම බව විශ්වාස කෙරෙ යි.

වර්තමානයේ අපි දකින සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානය නැවත ගොඩ නැගුණකි. ප්‍රතිසංස්කරණය වු චෛත්‍ය පැරැණි කුඩා බුදු මැදුර ආදිය ඒ අතර පවති යි.

නව නිමැවුම් අතර අපූරු ආකෘතියකින් හෙබි නව විහාර මන්දිරය, දෙමහල් ආවාස ගෘහය, සිව්මහල් පිරිවෙන් ගොඩනැගිල්ල දැක ගැනීමට ලැබෙ යි.

සුවිසල් භූ®මි ප්‍රදේශයක පිරිපුන්ව විහිදී පැවැති මහා විහාර සංකීර්ණය සහිත බිම අද කුඩා භූ®මියකට ලගු වී තිබෙයි.

එහෙත් එදා ඓතිහාසික උරුමයක භෞතික පක්‍ෂය විනාශ කර මකා දැමීමට කුරිරු ආක්‍රමණිකයන්ට හැකි වුව ද, එමෙන්ම ලිඛිත සාක්‍ෂි සහිත ගලේ කෙටූ සෙල්ලිපිය මහා යකුළු පහරින් කුඩු පට්ටම් කිරීමට හැකි වුණද ගලේකෙටූ අකුරුමෙන් හද හද රැඳී අධ්‍යාත්මික මේ මහා ශ්‍රී විභූ®තිය කිසි දා විනාශ කළ නොහැකි ය.

මෙහි භෞතික වටිනාකමට මිලක් නියම කළ හැකි වුව ද උතුරා පිටාර ගලන ආදරණීය මව් සෙනෙහස වෙනුවෙන් තිළිණ කළ සිහිවටනයක අධ්‍යාත්මික වටිනාකමට හෙටත් මතුවටත් මිලක් නියම කළ නොහැකිය.

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09 අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk