සසර සුවපත් බව පතා...
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
සැවැත්නුවර ‘ආනන්ද’ නම් මහත් ධනය ඇති සිටුවරයෙක් විය. ඔහුට හිමි ධනය
ප්‍රමාණයෙන් අසූකෝටියක් විය. මුදල්වලින් කිසිදු අඩුවක් නොවුවත්, ඔහු
සිතින් තදබල ලෝභී පුද්ගලයෙක්ය. මසුරෙක් විය. මසුරාගේ ස්වභාවය ධනය
වියපැහැදම් කර හරිහැටි කෑමක් බීමක් පවා නොකිරීමය. එසේ කරමින් ධනය එකතු
කළ ‘ආනන්ද’ සිටුවරයා විශාල ධනයකට හිමිකම් කියමින් ම සැවැත්නුවර විසූහ.
ආනන්ද සිටුවරයාට විවාහයෙන් පසු සිටියේ එකම පුතෙකි. හේ “ මුලසිරි” නම්
විය.පුතාට යම් යම් කටයුතුවලට විය පැහැදම් කරන අවස්ථාවලදීද ඔහුගේ මසුරු
සිතිවිල්ලෙහි කිසිදු වෙනසක් වූයේ නැත. පුතාට නිතර “ආනන්ද” සිටුවරයා
ලබාදෙන උපදේශය වූයේ “මේ සම්පත් සියල්ල වැඩි යැයි නොසිතන්න.තවතවත් කොහොම
කොහොම හරි උපයා රැස්කර තබන්න” යන්නයි. මෙසේ තද මසුරුව ධනය එකතු කළ
ආනන්ද සිටුවරයා තමන් එකතු කළ නිධන්ගත ධනය ස¼ගවා ඇති තැන් සිය පුතණුවන්ට
පවා නොකිව්වේය.තණ්හාවෙන්ම ජීවත් වූ ඔහු මිය පරලොව ගොස් ඒ නුවරම
උත්පත්තිය ලැබුවේය. ආනන්ද සිටුවරයා උපත ලැබුවේ සැඩොල් කුලයකයි. සැඩොල්
කුල දහයක් ඇති සැඩොල් ගමක සැඩොල් මවකගේ කුසයෙහි පිළිසිඳ ගත්තේය.ආනන්ද
සිටුතුමා කලුරිය කිරීමෙන් හිස් වූ සිටු තනතුර සඳහා පියාගේ උපදෙස්
මැනවින් පිළිපදින මුලසිරි තෝරා ගැනීමට කොසොල් රජතුමා පියවර
ගත්තේය.තාත්තා මෙන්ම ඉසුරු නොවිද තද මසුරුකමින් හෙබි මුලසිරි
සැවැත්නුවර සිටු තනතුර ලබා සතුටු විය.
සැවැත්නුවර සැඩොල් මවකගේ කුසයෙහි පිළිසිඳගත් ආනන්ද සිටු මවු කුසයේ
සිටින කාලය තුළ එම සැඩොල් ගමටම ආහාර වේල පවා නොලැබී ගියේය. වෙනදා නැතිව
මෙසේ ආහාර වේල පවා නැති වන්නට හේතුව කුමක්දැයි විමසා බලන සැඩොල් පිරිසට
කිසියම් නිසරු පුද්ගලයකුව වර්ගයා අතර පහළ වීමක් ඇතැයි කල්පනා කළහ.
පිරිස කොටස් වශයෙන් බෙදී වෙන වෙනම යමින් මේ නිසරු පුද්ගලයා කවුදැයි
සොයමින් විපිළිසර වූහ.අවසානයේ දරුවා ලැබෙන තුරු මවගේ කුසටවත් හරිහැටි
ආහාර වේලක් නොලැබුණූ අතර ඇයද පිරිස අතරින් නෙරපා හරිනු ලැබීය. තනිව
අනේක විද දුක් විඳීමින් කුසයෙහි සිටි දරුවා බිහි කළාය. මවගේ කුසයෙන්
බිහිවූ ආනන්ද සිටුගේ ශරීරයේ ඇස, හිස, කන, මුහුණ, නාසය,අතපය නිසි ලෙස
නොපිහිටියේය.දැකීමට පවා ප්‍රසන්න බවක් තිබුණේ නැත.අඟපසඟ නිසිලෙස පිහිටා
නොතිබුණ නිසාම විරූපී බව දක්නට තිබණි. එසේම එම රූපය දකින කෙනකු එකවර
තැති ගනී. බයට පත්වෙයි. මේ මිනිස් රුවක් දෝයි සිතමින් තැති ගැනීමට
පත්වෙයි. නමුත් දරුවා වැදූ මව දරුවා කෙරෙහිම ඇතිවූ දයාවෙන් සියලු දුක්
උහුලා ඔහු රක්‍ෂා කළත් කලක් යන විට කබලක් අතට දී සිඟමනේ ගොස් ආහාර සොයා
ගන්නැයි කියා අත්හැර දැමුවාය.
ශරීරය විරූපී දරුවා සිඟමන් යදිමින් තැන තැන ගියද, ඔහුට කිසිවක්
ලැබෙන්නේ නැත. දවසක් ඔහු සිඟමනේ යන ගමන් ආනන්ද සිටු කලින් විසූ නිවසට
ගොස් එහි සිට ගත්තේය.මේ විරූපී පුද්ගලයා දකින මුලසිරිගේ සිටු දරුවෝ බිය
වී හඬන්නට වූහ. මුලසිරිගේ මෙහෙකරුවෝ තලා පෙලා ඔහු නෙරපා දැමූහ. පාරේ
වඩින බුදුරජාණන් වහන්සේ ඔවුන් කළ සියල්ල දැක මුලසිරි සිටුතුමා කැඳවා මේ
ඔබගේ පියා යැයි විරූපී පුද්ගලයා දක්වා කියා සිටියහ. නමුත් මුලසිරි එය
පිළිගත්තේම නැත. අවසානයේ සිය පුතුට පවා නොකියා සගවා තබා තිබුණු පස්මහ
නිධන් සඟවා තිබෙන තැන් පෙන්වූහ.ඉන් පසු මුලසිරි මේ සිටින්නේ තමාගේ පියා
නොවේදැයි යන සිතිවිල්ල පහළ විය. මේ අද දුකට පත්වී සිටින්නේ තම පියා
නොවේද? යන සිතිවිල්ල ඇති විය.
මෙම ආත්ම දෙකක සිද්ධිය ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ මුලසිරි නමැති
සිටුවරයා අරමුණු කරගෙන ධර්ම දේශනා කරනු ලැබූහ. උන්වහන්සේ එහිදී
පැහැදිලි කරනු ලබන්නේ මෙම පුද්ගලයා මට දරුවෝ ඇතැයි ද ධනය ඇතැයි ද කියා
සිතමින් පින් දහම් රැස්කරන්නේ නැතිව විනාශයට පත්වෙන බවයි. පින්දහම්
නොකිරීම නිසා තමාට,තමාද අහිමි වන බව ඔහු කල්පනා නොකර ධන තණ්හාවෙන් සහ
පුත්‍ර පේ‍්‍රමයෙන් වසඟව සංසාරගත ජීවිතය අවුල් තැවුල් කර ගනී.අසූකෙළක්
ධනය තිබුණු ආනන්ද සිටුවරයාද ජීවත්ව සිටින කාලය තුළ කල්පනා කලේ
බාලයකුගේ සිතිවිලි විලාසයෙන් ඔහු තමන්ගේ දරුවා පිළිබඳව උදම් අනමින්
සතුටු වීම. තමාට තිබෙන අසූකෙළක් ධනය පිළිබඳව සතුටු විය. ඒ අධික තෘෂ්ණාව
නිසා කිසිදු පිනක් දහමක් සිදුකරගනු ලැබුවේ නැත.
කෙනෙකුගේ සංසාර ගමනට අවශ්‍ය වන්නේ ලෞකික භෞතික දේ නොව ආධ්‍යාත්මික
වශයෙන් ඒකරාශි කරගනු ලැබු පින් දහම්ය.කෙනෙකුගේ සංසාර ගමන වඩාත්
සැහැල්ලු වන්නේ තමා කළ යහපත් ක්‍රියා පද්ධතිය මතය.නමුත් බොහෝ
මිනිසුන්ට මෙම කල්පනාව පෑදෙන්නේ සංසාරයේ දුක් විඳීන අවස්ථාවලදීය.
මිනිසා කල්පනා කළ යුතුවන්නේ තම ජීවිකාව සැහැල්ලුවෙන් ගත කරගෙන යාමට
දරුවන් මෙන්ම ධනය ද අවශ්‍ය නමුත් ඒවා තුළ සංසාර සුන්දරත්වය ලැබෙන්නේ
නැති බවය.මෙලොවදී පමණක් අත්විඳින සැප වශයෙන් ඒවා සැළකිය යුතුව තිබේ.
එනිසාම ඒවා ලෞකික භෞතික දේවල් වන්නේය. ලෞකික දේපළ ඇසුරු කරගෙන සංසාරික
පැවැත්ම වෙනුවෙන් මිනිසා පින්දහම් කළ යුතුවේ. සිත, කය, වචනය මනාව පාලනය
කරගත යුතුය. නොඑසේ නම් තමන්ගේ ජීවිතය සාර්ථක වන්නේ නැත.
කෙනෙකුගේ ජීවිතය සාර්ථක වෙමින් පිරිපුන් කරගැනීම සඳහා අංශ දෙකක
සංවර්ධනයක් අවශ්‍ය බව බුදුසමය දක්වා තිබේ. එනම්
1. ලෞකික සැප සම්පත් තිබීම
2. ආධ්‍යාත්මික ශික්‍ෂණයක් ඇතිකර ගැනීම යනුවෙනි.
ඇතැමුන් බුදු දහම පිළිබඳව පවසන්නේ බුදු දහම ලෞකික සැප සම්පත් වලට
විරුද්ධ බවය. එම අදහස අසත්‍ය එකක් බව පැහැදිලිව දන්නේ දහම මැනවින්
හදාරපු කෙනෙකුටය. පුද්ගලයා ලෞකික වශයෙන් අත්විඳීන සැප සම්පත් පිළිබඳව
විරෝධයක් බුදුසමය දක්වන්නේ නැත. බුදුසමයෙහි අවධාරණය කරනු ලබන්නේ තමා
විඳින සැප සම්පත් සදාකාලික ඒවා නොවන බවත් ඒවායේ මුලාව කටයුතු කිරීම
වැරැදි බවත් අවබෝධ කරගැනීමයි.ආනන්ද සිටුවරයා තුළ පැවති දුර්වලත්වය වූයේ
තමන් ලැබූ ධනය නිවැරැදිව පරිහරණය කිරීමට අසමත් වීමය. එම නිසා සංසාරයේ
ඔහුට දුක්විඳීමට සිදුවේ.
සටහන: හේමමාලා රන්දුනු |