දුකසේ විඳින කර්ම විපාක - 37, 38
අම්බ
පේ‍්‍රත වස්තුව
ශාස්තෘන් වහන්සේ සැවැත්නුවර
වැඩ වාසය කරන අතරතුරදී
අම්බ පේ‍්‍රතයා උදෙසා මෙම දෙසුම
වදාළ සේක.
ඔබේ මේ අඹ වනයත්
හරිම ලස්සනයි. හැම සෘතුවකම ගෙඩි හට ගන්නවා.
හොඳට මල් පිපිලා තියෙනවා. බඹර රංචු හැම තැනම ඉන්නවා. මේ සිත්කළු වූ උයන
ඔබට ලැබුණේ කොහොම ද?
’මගේ දුව දානයක් දුන්න නෙව.
ඒ පිනෙන් තමා අඹ යි වතුර යි කැඳ යි මේ සිත්කළු වූ
සීතල සෙවණ යි මට ලැබුණේ’ යැයි ඔහු කියා සිටියා
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
සැවැත්නුවර පිරීගිය සම්පත් ඇති එක්තරා ගෘහපතියෙක් වාසය කළා. ඔහුගේ
බිරිඳ මරණයට පත් වුණා. ඔවුන්ට එක් දියණියක් සිටියා. ගෘහපතියා තමාගේ
මිත්‍රයෙකුගේ නිවසේ දියණිය නවතා ණය වශයෙන් කහවනු සියයක් ගෙන බඩු ගෙන
ඒමට වෙළඳාමේ පිටත්වුණා. ටික කලකදී මුළු මුදල ද ලාභ වශයෙන් කහවනු
පන්සියයක් ද ඔහු උපයා ගත්තා. ඉන්පසුව තමාගේ ගමට ඒම සඳහා වෙළෙඳ කණ්ඩායම
පිටත්වුණා.
අතරමඟ දී සොරුන් කණ්ඩායමක් වෙළෙඳුන් අතරට අවි අමෝරාගෙන කඩා වැදුණා. ඒ
දුටු වෙළෙන්දෝ සී සීකඩ දුවන්නට වුණා. අර ගෘහපතියා ද දුව ගොස් ඔහුගේ
මුදල් ගසක, බෙනයක සැඟවූවා. සොරුන්ට හසු වූ ඒ ගෘහපතියා මියගියා. ඔහු ධන
තණ්හාවෙන් මියගොස් එහිම පේ‍්‍රතයෙකුව උපන්නා.
ඉතිරි වූ වෙළෙන්දන් සැවැත්නුවරට ගොස් ඔහුගේ දියණියට සියල්ල පැවසුවා.
ඇය පියාගේ මරණයෙන් හා මතු ජීවත්වීමේ බියෙන් බලවත් ලෙස දුකට පත්වුණා.
හඬා වැලපුණා. ඒ ගෘහපතියාගේ යහලුවෙක් ඇය සනසන අදහසින් ‘යම් සේ කුඹලෙකු
විසින් තනන මැටි භාණ්ඩ සියල්ල බිඳීමෙන් අවසන් වෙනවා ද? එමෙන්ම
සත්ත්වයන්ගේ ජීවිතය ද බිඳීමෙන් මරණයෙන් කෙළවර වෙනවා. මරණය සර්ව සාධාරණ
යි. වැළැක්විය නො හැක්කක්. එබැවින් ඔබේ පියාගේ ද මරණය පිළිබඳව දැඩි ලෙස
ශෝක නො කරන්න. අද පටන් මම ඔබට පියා වෙමි. ඔබ මාගේ දියණිය ලෙස සිතා මෙය
තමාගේ නිවස මෙන් ජීවත් වෙන්නැයි කියා සිටියා.
ඇය ද ඔහුගේ වචනය පිළිගෙන පියා කෙරෙහි ගෞරව යුක්තව මියගිය පියා උදෙසා
මතක දානය පූජා කරනු කැමැතිව කැඳ සූදානම් කර අඹ සමඟ විහාරයට ගෙන ගොස්
භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කර මෙසේ කියා සිටියා.
’භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කරන සේක්වා. මෙම දානය පිළිගනු මැනවයි
කියා සිටියි’. තථාගතයන් වහන්සේ මහා කරුණා සිත් ඇතිව ඇය කෙරෙහි
අනුකම්පාවෙන් දානය පිණිස වැඩ සිටියා. ඇය අත තිබූ සුදු වස්ත්‍රද
පිළිවෙලින් කැඳ ද තථාගතයන් වහන්සේට පූජා කළා. ඉන්පසු සංඝයා වහන්සේ
උදෙසා ද කැඳ පූජා කළා. දෑත් පවිත්‍ර කොට අඹද පූජා කළා. භාග්‍යවතුන්
වහන්සේ අඹ වැඳදූ පසු ඇය කියා සිටියා ‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මා
විසින් මේ කරන ලද කැඳ හා අඹ පූජාවේ දානමය පින මගේ මියගිය පියාට
අනුමෝදන් කරනු මැනව‘. තථාගතයන් වහන්සේ එසේම වේවායි පවසා ඔහුට පින්
අනුමෝදන් කළා. ඉන්පසු ඇය වන්දනා කොට පිටත්ව ගියා.
ඇය විසින් ඒ දානය පූජා කළ සැනෙන් ඒ පේ‍්‍රතයාට අඹ උයන්, විමාන, පොකුණු
ආදී වූ මහත් දිව්‍ය සම්පත් ලැබුණා.
පසු කලක අර වෙළෙන්දෝ වෙළෙදාමේ යන අතරතුර පෙර දවසේ සිද්ධිය සිදු වූ තැනම
රාත්‍රී නවාතැන් ගත්තා. ඒ දුටු ඒ විමාන පේ‍්‍රතයා උයන්, විමන් සමග තමා
ඔවුනට පෙනෙන්නට සැලස්සූවා. වෙළෙන්දෝ ඒ දැක මේ සම්පත් කෙසේ ලැබුණේ ද
යන්න මෙසේ අසා සිටියා.
ඔබේ මේ පොකුණ නම් හරිම ලස්සනයි. සමයි. ලස්සනට ඉවුරු තියෙනවා. ගොඩක්
වතුර පිරිලා තියෙනවා. හොඳට මල් පිපිලා තියෙනවා. බඹර රංචු හැම තැනම
ඉන්නවා. මේ සිත්කළු වූ පොකුණ ඔබට ලැබුණේ කොහොම ද?
ඔබේ මේ අඹ වනයත් හරිම ලස්සනයි. හැම සෘතුවකම ගෙඩි හට ගන්නවා. හොඳට මල්
පිපිලා තියෙනවා. බඹර රංචු හැම තැනම ඉන්නවා. මේ සිත්කළු වූ උයන ඔබට
ලැබුණේ කොහොම ද?
’මගේ දුව දානයක් දුන්න නෙව. ඒ පිනෙන් තමා අඹ යි වතුර යි කැඳ යි මේ
සිත්කළු වූ සීතල සෙවණ යි මට ලැබුණේ’ යැයි ඔහු කියා සිටියා.
ඉන්පසු ඒ විමාන පේ‍්‍රතයා වෙළෙඳුන්ට තමා සැඟ වූ කහවනු පෙන්වා මෙයින්
භාගයක් ඔබලා ලබා ගන්න. ඉතිරි භාගය මගේ දුවට දී සුවසේ ජීවත් වෙන්න
කියන්නැයි ඉල්ලා සිටියා. සැවැත්නුවරට පැමිණි වෙළෙන්දෝ ඒ දියණියට කථා
කොට සියලුම මුදල් ඇයට ලබා දුන්නා. ඇය තම පියා ණයට ගත් කහවනු සියය පියවා
තමා රැක ගත් පියාට ඉතිරිය දුන් අතර ඔහු තමා වැඩිමහල් පුතාට ඇය විවාහ කර
දී සතුටින් සිටින ලෙස දන්වා සිටියා. ඇය පසුකලෙක ධර්මයේ හැසිරී සෝවාන්
ඵලයට පත්වුවා.
පාඨලීපුත්ත
පේ‍්‍රත වස්තුව
ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ
වැඩ වාසය කරන සමයේ
එක්තරා විමාන ප්‍රේතයකු අරභයා
මෙම දේශනාව වදාළා
පින්වත ඔබ මගේ යහපත කැමැති කෙනෙක්.
පින්වත ඔබ මගේ හිත
කැමැති කෙනෙක්.
මම ඔබේ වචනය කරනවා.
ඔබ මගේ ආචාර්යවරයා වන්න.
මම නිරි සතුන් දැකල තියෙනවා. තිරිසත් අපායත් දැකලා
තියෙනවා. පෙරේතයන්, අසුරයන් දැකල තියෙනවා.
ඒ වගේම දෙවියන් මිනිසුන්
දැකල තියෙනවා.
තම තමන්ගේ කර්ම විපාක තමන්ම දැකල තියෙනවා.
මම බොහෝම
පින් කර ගන්න ඕන
සැවැත් නුවර වාසීහු ද, පැළලුප් නුවර වාසිහු ද, වෙළෙන්දෝ බොහෝ භාණ්ඩ
පුරවාගත් නැවකින් ස්වර්ණ භූමියට ගියා. එහිදී එක් වෙළෙන්දෙක් බලවත්ව
රෝගාතුර වී කලුරිය කළා. ඔහු මිය යනවිට එක් කාන්තාවක් කෙරෙහි සිත අලවා
ගත්තා.
ඔහු කරන ලද කුසල් බලයෙන් දෙව්ලොව නො ඉපද, මුහුද මැද විමාන පේ‍්‍රතයකු
වී උපන්නා. ඔහු යම් ස්ත්‍රියක් කෙරෙහි දැඩි ලෙස සිත් බැඳ ගන්නේ ද ඒ
ස්ත්‍රිය ද නැවෙන්ම ස්වර්ණ භූමියට පැමිණ සිටියා.
ඒ විමාන පේ‍්‍රතයා අදාල ස්ත්‍රිය ලබාගනු පිණිස නැවේ ගමන නතර කළා.
වෙළෙන්දෝ කුමන හේතුවක් නිසා නැව නැවතුනේ දැයි සොයා බලා යම් අකුසල සහිත
පුද්ගලයෙක් ඇතිබව සොයාගෙන ඔහු සොයනු පිණිස කුසපත් ඇද්දා. අමනුෂ්‍යයාගේ
සෘද්ධි ශක්තියෙන් තුන් වරක්ම ඔහු සිත බැඳගත් ස්ත්‍රියට ඒ කුසපත ලැබුණා.
ඒ දුටු වෙළෙන්දෝ හුණු මිටියක් මුහුදට දමා ඒ මතට ස්ත්‍රිය බැස්ස වූවා.
ස්ත්‍රි එයට බැස්ස වූ සැණින්ම නැව ස්වර්ණ භූමිය කරා වේගයෙන් ගමන් කළා.
විමාන පේ‍්‍රතයා ඒ ස්ත්‍රිය තමන්ගේ විමානයට ගෙනගොස් ඇය සමඟ ජීවත්
වුණා. ඇය එක් අවුරුද්දක් ඔහු සමඟ ජීවත්වෙලා කළකිරුණු සිතින් යුතුව
විමාන පේ‍්‍රතයාට කියා සිටියා ‘මාගේ පරලොව ගමන සඳහා පිනක් දහමක් කර
ගැනීමට අවශ්‍යයි.
එබැවින් මා පැළලුප් නුවරට ගිහින් ඇරලවන්නැයි ආයාචනා කළා. විමාන
පේ‍්‍රතයා ඇයට ‘දැන් ඔබ නිරි සතුන්ව දැකලා තියෙනවා. තිරිසන් අපායත්
දැකල තියෙනවා. පෙරේතයන් අසුරයන් දැකල තියෙනවා. ඒ වගේම දෙවියන් මිනිසුන්
දැකල තියෙනවා. තම තමන් ගේ කර්ම විපාක තමන්ම දැකල තියෙනවා. මම දැන් ඔබ
කවුරුවත් නො දුටු පාඨලිපුත්‍ර නගරයටයි එක්කරගෙන යන්නේ. එහේ ගිහිල්ල
පින් දහම් කරන්න.
පින්වත ඔබ මගේ යහපත කැමැති කෙනෙක්. පින්වත ඔබ මගේ හිත කැමැති කෙනෙක්.
මම ඔබේ වචනය ප්‍රිය කරනවා. ඔබ මගේ ආචාර්යවරයා වන්න.
මම නිරි සතුන්ව දැකල තියෙනවා. තිරිසත් අපායත් දැකලා තියෙනවා. පෙරේතයන්,
අසුරයන් දැකල තියෙනවා. ඒ වගේම දෙවියන් මිනිසුන් දැකල තියෙනවා. තම
තමන්ගේ කර්ම විපාක තමන්ම දැකල තියෙනවා. මම බොහෝම පින් කර ගන්න ඕන.
එවිට ඒ පේ‍්‍රතයා මේ ස්ත්‍රිය අහසින් ගොස් පැළලුප් නුවරට ඇරලවා ගියා.
ඉක්බිති ඇගේ ඥාති මිත්‍රාදින් ඇය දැක අප පෙර ඔබ මුහුදේ දමන ලදුව
මැරුණා යැයි සිතුවා. ඒත් ඔබ සුවසේ ආපසු පැමිණියා.
ඇය මුල පටන් තමන් දුටු දේ ද අනුභව කළ සම්පත්ද ආදී සියල්ල කියා සිටියා.
සැවැත්නුවර වැසි ඒ වෙළෙන්දෝ පිළිවෙලින් පැමිණි කල්හි ශාස්තෘන් වහන්සේ
සමීපයට එළඹ වැඳ එකත්පසව සිටිමින් ඒ ප්‍රවෘත්තිය කියා සිටියා. තථාගතයන්
වහන්සේ ඒ කාරණාව අර්ථ සහිතව ධර්ම දේශනා කළා.
සටහන
නයනා නිල්මිණි
දුකසේ විඳින කර්ම විපාක, ගුථ ඛාදන පේ‍්‍රත වස්තුව |