වැගිරෙන කෙලෙස් මැද
බැබළෙන කල්‍යාණවන්තයා
බත්තරමුල්ල
සිරිසුදස්සනාරාම
සදහම් සෙනසුනේ
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
චතුහි භික්වේ ධම්මේහි” සමන්නාගතෝ අසප්පුරිසො වේදිතබ්බෝ ති
“මහණෙනි සතර ආකාර දහමකින් සමන්වාගත වූයේ අසත්පුරුෂයා යි දත යුතුය”
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් මෙම අසප්පුරිස වධුකා සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සැවැත්නුවර දී ය.මෙම සූත්‍ර
දේශනාව විමසා බලා,අසත්පුරුෂ ගති පැවතුම් වේ නම් ඒවා දුරුකොට හැකිතාක්
දුරට සත්පුරුෂයන් බවට පත්වෙමු.සත්පුරුෂ ගතිවේනම් ඒවා වඩාත් පෝෂණය
කරගනිමින් නිවන් මඟ අරමුණු කරගත් ප්‍රතිපදා මාර්ගයට උපකාරක ධර්මයන් බවට
පත්කර ගනිමු.භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.
“මහණෙනි, මේ ලෝකයේ අසත්පුරුෂයා අන් කෙනෙකුගේ යම් අගුණයෙක් ඇත්ද? යමෙක්
එය නොවිචාරන ලද්දේත් මතුකොට දක්වයි. විචාරන ලද්දේ කවර නම් කතාද? විචාරන
ලද්දේ, ප්‍රශ්න කොට මතුකරන ලදුව,නොපිරිහෙලා නොවසා සම්පූර්ණ කොට විස්තර
වශයෙන් අන්කෙනෙකුගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයෙක් යැයි
දත යුතු ය. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් අසත්පුරුෂ ලක්‍ෂණ මෙසේ
පැහැදිලි කර දේශනා කරති. “මහණෙනි, අසත්පුරුෂයා අන්අයකුගේ යම් ගුණයක්
ඇත්ද, එය විමසන ලද්දේත් ප්‍රකාශ නොකරෙයි. නොවිචාරන ලද්දෙ කවර කතාද?
යමෙක් විචාරන ලද්දේ, ප්‍රශ්න කරන ලද්දේත් ගුණ වසා, අසම්පූර්ණ කොට,
යම්තමින් අන් පුද්ගලයාගේ ගුණ කියන්නේ වෙයි. මහණෙනි, අසත්පුරෂයෙක් යැයි
දැනගත යුතුය. “තවද මහණෙනි, අසත්පුරුෂයා තමාගේ යම් අගුණයක් ඇත්ද? එය
විචාරන ලද්දේ ප්‍රකාශ නොකෙරෙයි. නොවිචාරන ලද කල්හි කවර කතාද? විචාරන
ලද්දේ, ප්‍රශ්න ලෙසින් විමසන ලද්දේ මුළුමනින් වසා අසම්පූර්ණ කොට
යම්තමින් තමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි. මේ අසත්පුරුෂයෙක් යැයි එය
දැනගත යුතුය “
“තවද මහණෙනි, අසත්පුරුෂ තමාගේ යම් ගුණයක් ඇත්ද? එය නොවිචාරන ලද්දේත්
මතුකොට දක්වයි. විචාරන ලද්දේ නම් කවර කතාද? විචාරන ලද්දේ ප්‍රශ්න කරනු
ලබන්නේ නොපිරිහෙළා නොවසා පරිපූර්ණ කොට, විස්තර වශයෙන් තමාගේ ගුණ කියනුයේ
වෙයි. මහණෙනි. මේ අසත්පුරුෂයා යි මින් දැනගත යුතුයි “
මේ සතර ආකාරයේ කරුණෙන් සමන්වාගත වූයේ අසත්පුරුෂයා යැයි දත යුතු ය.
මෙම අසත්පුරුෂ ලක්‍ෂණ නුවණින් මෙනෙහි කොට බලා තම ජීවිතයෙන් ඒවා බැහැර
කිරීමට වෑයම් කළ යුතුය. කැත කුණු අවුස්සන කපුටෙක් හා සූකරයෙක් මෙන්
අනුන්ගේම අඩු පාඩු සොයන ඒවා මහත්කොට දක්වමින් අවමන් කරන්නට උත්සාහ කරන
මොනතරම් පිරිස් සිටිනවා ද? යම්විටක දැකිය යුතු හෝ සැලකිය යුතු තරම්
අඩුවක් හෝ නුගුණයක් ද නොවිය හැකි ය. එනමුත් අසත්පුරුෂ පුද්ගලයෝ ඒවා
මහත්කොට ද, මවා පාමින් ද දක්වන්නේ මොනතරම් අකාරුණිකවද යම්විටක මෙම
අසත්පුරුෂ තැනැත්තා හෝ තැනැත්තිය නිසා යහපත් වුද සමාජයට ප්‍රයෝජනවත්
වූද ජීවිතයක් විනාශ වී යා හැකි ය. යහපත් වූ පවුල් පරිසරයක් විනාශ වී යා
හැකිය. අනුන්ගේ කුඩා වුවද වරද දකින මෙම අවාසනාවන්ත තැනැත්තා තම ලොකු
වරදක් වුවද දකින්නේ නැත. එසේත් නැතිනම් තව වරද සඟවන්නට උත්සාහ ගනී.
එමෙන්ම අනුන්ගේ ඇති ගුණ ඕනෑකමින්ම මගහැර හෝ නොකියා තම ස්වල්ප වූ
ගුණයක්වේ නම් එය විස්තර කොට කියයි. නිතර කියවයි. නොඇසුවත් කියන්නට පටන්
ගනී. දැඩි ආත්ම දෘෂ්ටියෙන් යුතු මෙවැනි තැනැත්තා හෝ තැනැත්තිය කටින්
පව් පුරවා ගන්නා පහත් අයෙකි.ආශ්‍රයට සුදුස්සෙක් නොව්. “පරිවජ්ජනා” නම්
වූ බැහැර කළ යුතු අයෙකි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සතර ආකාරයකින් යුතු සත්පුරුෂගුණ ලක්‍ෂණද
දේශනා කරනු ලබයි. ”මහණෙනි, මේ ලෝකයේ සත්පුරුෂයා අන් අයකුගේ යම් අගුණයක්
ඇත්ද? එය විචාරන ලද්දේත් පහළ නොකෙරෙයි. නොවිචාරන ලද්දාහු කවර කතාද?
විචාරන ලද්දේ ප්‍රශ්න කරන ලදුව,අඩුකොට වසා අසම්පූර්ණව යම්තමින් අන්
පුද්ගලයාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි.මේ සත්පුරුෂයායි දැනගත යුතුය.
”තවද මහණෙනි,සත්පුරුෂයා අන්අයකෙªගේ යම් ගුණයක් ඇත්ද? එය නොවිචාරන
ලද්දේත් පහළ කෙරෙයි. විමසනලද්දාහු කවර කතාද? විචාරන ලද්දේ, ප්‍රශ්න කරන
ලද්දේ නොපිරිහෙළා නොවසා පරිපූර්ණකොට විස්තර වශයෙන් අන්පුද්ගලයාගේ ගුණ
කියනුයේ වෙයි. මේ සත්පුරුෂයැයි දැනගත යුතු යි”
තවද මහණෙනි, සත්පුරුෂයා තමාගේ යම් අගුණයක් ඇත්ද? එය නොවිචාරන ලදුවත්
ප්‍රකට කෙරෙයි. විචාරන ලද්දේ කවර කතාද? විචාරන ලද්දේ, ප්‍රශ්න කරන
ලද්දේ, නොපිරිහෙළා නොවසා, පරිපූර්ණ කොට විස්තර වශයෙන් තමාගේ අගුණ
කියනුයේ වෙයි.මහණෙනි, මේ සත්පුරුෂයා යැයි දත යුතුය”.
“තවද මහණෙනි සත්පුරුෂයා තමාගේ යම් ගුණයක් ඇත්ද එය විචාරක ලද්දේත් පහළ
නොකෙරයි. නොවිචාරන ලද්දාහු කවර කතාද? විචාරන ලද්දේ ප්‍රශ්න කරන ලද්දේ
අඩුකොට වසා යම්තමින් තමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි,මේ සත්පුරුෂයා
යැයි දැනගත යුතුය”
භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් පෙන්වා දෙති. මහණෙනි, යම් පරිදි අලුත
විවාහ වූ කාන්තාවක් යම් වූ රැයෙක හෝ දවසක කැඳවාගෙන එන ලද්දේ ද? පැමිණි
අලුත ඇයට නැන්දනිය කෙරේ ද, මාමණ්ඩිය කෙරේ ද , ස්වාමියා කෙරේද, යටත්
පිරිසෙන් දැසි දස් කම්කරුවන් කෙරේද බලවත් වූ විලිබිය ඇතිව සිටියේ වෙයි.
ඇය පසු කලෙක එක්ව වාසය ට ගොස් විශ්වාසයට ගොස් නැන්දනියටද මාමණ්ඩියද
ස්වාමියාටද මෙසේ කියයි. ඉවත යන නුඹලා කුමක් දන්නවාද? යනුවෙනි”
“මහණෙනි, එපරිදිම මේ ශාසනයෙහි යම් මහණෙක් යම් රාත්‍රියක හෝ දවසක
ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේද එකෙනෙහි ඔහුට භික්‍ෂූන් කෙරේද
භික්‍ෂුණීන් කෙරේද උපාසකයන් කෙරේද උපාසිකාවන් කෙරේද යටත් පිරිසෙයින්
ආරාමයේ සාමණේරයන් කෙරේද බලවත් ලෙස පාපයට ලජ්ජා බිය ඇතිව සිටියේ
වෙයි.හෙතෙම පසුකලෙක එක්ව වාසයට පැමිණ, විශ්වාසයට එළඹ, අචාර්යවරයාටත්
උපාධ්‍යායන්ටත් මෙසේ කියයි. බැහැර යව නුඹලා කුමක් දන්නවා ද?
“මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය” අලුත පැමිණි” මනමාලියගේ “සිතට බඳු
සිතින් වාසය කරමුයි” මහණෙනි, නුඹලා මෙසේම හික්මෙන්නේ ය”
සත්පුරුෂ ලක්‍ෂණ ගැන කියන විට, ඔබේ ජීවිතයට ගළපා මෙනෙහි කිරීමට උත්සාහ
ගන්න. මා අනුන්ගේ දොස් නොදකින, දොස් නොසොයන සත්පුරුෂයෙක් ද? එමෙන්ම
අන්අයගේ ගුණ දකින්නට ද අවශ්‍ය විට ඒ ගුණ කියන්නට සිතක් ඇති අයෙක්ද?
මාගේ වරදක් වුවද බුදු දහමට සහ රටේ නීතියට අනුව වරදක් ලෙස දකින්නට සහ
පිළිගන්නට කැමැති ද? අවශ්‍ය තැන මාගේ වරදක් වුවද අන් අය ඉදිරියේ
පැවසීමට මා නොබිය ද? එමෙන්ම එම වරද නිවැරැදි කරගන්නට තරම් මා
නිහතමානිද? නිතරම, තමා පමණක් නිවැරැදි බවත් අනෙක් අය වැරැදි බවත්
නොසිතන අයෙක් ද? තමා උසස් කොට තබා අන් අය නිතරම පහත්කොට සිතන සහ කතා
කරන කෙනෙක් ද? මේවාට පිළිතුරු සිතා ගැනීමේ දී භාග්‍යවතුන් වහන්සේ
පෙන්වා දුන් සත්පුරුෂ සහ අසත්පුරුෂ ගති ලක්‍ෂණ මතකයට පැමිණේ ද?
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සත්පුරුෂ ගුණද ආර්ය මාර්ගයට ප්‍රත්‍ය
බවට පත්වේ. හේතුව නම් අසත්පුරුෂ ගති ලක්‍ෂණ මතුවන්නේ දැඩි මමත්වය
මුල්කරගෙන බැවිනි. ඒ මත රාග, දෝෂ, මෝහ බහුල ය. සත්පුරුෂයා “සක්කායදිට්ඨිය”
බැහැර කරන්නට උත්සාහ කරන්නෙකි. අලුත පැමිණි මනමාලිය මෙන් නොව ජීවිතය
පුරාම සත්පුරුෂ ගුණ පුරුදු කිරීම අවශ්‍ය ය. භාග්‍යවතුන් වහන්සේ එක්
අවස්ථාවක ආනන්ද තෙරණුවන්ට වදාළේ මේ ශාසනයෙන් බාගයක් නොව මුළු බුදු
සසුනම පවතින්නේ සත්පුරුෂ හෙවත් කලණ මිත්‍ර ආශ්‍රය නිසා බවය.බුදුරජාණන්
වහන්සේ ඇතුළු අර්හත් උතුමෝ සත්පුරුෂයෝම ය. ආර්ය මාර්ගයට පිවිසී මෙම
බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයට විරිය වඩමු. |