මැදින් පුර පසළොස්වක 2013 මාර්තු 26 වන දා
ගමයි පන්සලයි
ගමේ පන්සල කේන්ද්‍ර කර ගනිමින් අතීතයේ දී අපේ මුතුන් මිත්තන්
දිවි ගෙවූ නිසාම ඔවුන්ගේ සෑම කටයුත්තක දී ම පන්සලේ වැඩ සිටි
ගුණ වෘද්ධ, සීල වෘද්ධ, ඤාණවෘද්ධ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ගම්වාසීන්ගේ අනුශාසකයන් වහන්සේ වූහ. මාර්ගෝපදේශකයන් වහන්සේ
වූහ.
ගමේ පන්සලේ වැඩ සිටි, ස්වාමීන් වහන්සේ ගමට අනුශාසකයන් වහන්සේ
වීමට උන්වහන්සේ ද ගුණ දහමෙන් මෙන්ම දැන උගත්කමෙන් ද පෝෂණය වූහ.
ගම්වැසියාට යහමඟ කියාදීම මෙන් ම ඔවුන්ගේ දුක සැප විමසා
ගම්වැසියන් තුළ සාමය සමඟිය වර්ධනය කිරීමට ද මූලිකත්වය ගෙන
ක්‍රියා කළේ ය.
ඒ නිසා ම ගම්වාසීන් ද තම ශක්ති පමණින් ගමේ පන්සලේ ස්වාමීන්
වහන්සේට චීවර, පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය යන සිව් පසයෙන්
උපස්ථාන කිරීමට ද ඇප කැප වූහ.
ගම්වැසියන් සියලු දෙනා ඒකරාශී වූයේ පොහොයදාට ගමේ පන්සලටය. ගම
පුරා පැවැති බොහෝ ස්වේච්ඡා සංවිධාන ද පිහිටුවූයේ පන්සල
කේන්ද්‍ර කර ගනිමිනි.
ගමත්, පන්සලත් අතර එවන් අඛණ්ඩ ආදර්ශවත් සබඳතාවයක් පැවැතුණි.
විදේශීය ආක්‍රමණ අප රට ට ද බලපෑමෙන් මූලික වශයෙන් අතීතයේ දී
ගමේ පන්සල හා බැඳි සමඟිය සහජීවනය ඈත්වීමට පටන් ගත්හ.
පන්සලත්, ගමත් අතර පැවැති සුහදතාවය නිසා ම විදේශීය
ආක්‍රමණිකයන්ට ඔවුන්ගේ සියලු අපේක්‍ෂා සාර්ථක කර ගැනීමට ද
නොහැකි විය.
මෑත ඉතිහාසයේ රුදුරු ත්‍රස්තවාදය දශක තුනක පමණ කාලයක් පුරා
පැවැතිණි. මේ ආදී විවිධ හේතු බලපෑමෙන් අතීතයේ පන්සල
මෙහෙයවීමෙන් පැවැති ගමයි පන්සලයි අතර සුහදතාවය ඈත් වන්නට විය.
පුර පසළොස්වක පෝදා ට පමණක් නොව අව අටවක, අමාවක සහ පුර අටවක යන
සතර පොහොයදාට ම ගම්වාසීන් ගමේ පන්සලට ඒකරාශී වූහ.
ඇතැම්විට එදා පැරැණි ගම්වැසියන් හතර පෝයට ම පන්සලට යාමට පුරුදු
වී සිටි අතීත සම්ප්‍රදාය අපේ සමාජයෙන් ගිලිහී ගොස් ඇතැම් විට
පසළොස්වක පෝදාටවත් ගමේ පන්සලට යාම අමතක වී යන බවක් දක්නට ලැබෙන
අවස්ථා නැත්තේ නොවේ.
අතීතයේ පෝදාට දවස පුරා පන්සලේ සීල සමාදාන ධර්ම දේශනා, ධර්ම
සාකච්ඡා ආදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය. ඊට සහභාගි වීමට
ගම ම විහාරස්ථානයට ඒකරාශි වූහ.
පෝදාට ගමේ පන්සලේ පෙහෙවස් සමාදන් වූ සිල් පිරිසට දානය, ගිලන්පස
සැපයුවේ ද ගම්වාසීන් විසින්ම ය.
එවන් යහගුණයෙන් පිරි ආදර්ශවත් සමාජයකට උරුමකම් කී අපේ අතීතය
දෙස නැවත සිතා බැලිය යුතු ය. අඩුපාඩු සොයා ඊට නිසි පිළියම්
යෙදවුවහොත් අතීතයේ ගමත් පන්සලත් අතර පැවැති සුහදතාවය, සබඳතාවය
යළි ගොඩ නඟා ගැනීම එතරම් අපහසු නොවනු ඇත.
එසේ වුවහොත් අනාගත පරපුරට ද එය මහඟු ආදර්ශයක් වනු නිසැකය.
සමාජයේ එකිනෙකාට දොස් පවරා ගැනීම පසෙකින් තබා ගමත් පන්සලත් අතර
වූ සබැඳියාව වර්ධනය කර, ගමක් පාසා ගුණ නුවණින් යුතු ගම්වැසියන්
රට පුරා බිහි කරන්නට මැදින් පෝදා අදිටනක් ඇති කර ගනිමු. |