අවබෝධ කරගත යුතු
සරණ
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
තථාගතයන් වහන්සේ වදාළා දුකත්, දුක හට ගන්නා ආකාරයත්, දුක නැතිවීමේ
ස්වභාවයත්, දුක නැති කරන්නා වූ මාර්ගය
උපද්දවා ගත යුත්තේත් තමා විසින්මයි. එයට වුවමනා කරන මාර්ග උපදේශය පමණයි
ශාස්තෘත්වයෙන් ලබා දෙන්නේ.
මේක තමා සැබෑ ‘සරණ’. මේ සරණ තුළින් පුද්ගලයෙක්
අතරමං වන්නේ් නැහැ. ඒ ‘සරණ’ තුළින් මේ පුද්ගලයා තුළ
යම්කිසි පෞරුෂත්වයක් ගොඩ නැෙගනවා
අප හැමදෙනා තථාගතයන් වහන්සේ ‘සරණ’ යා යුත්තේ අවබෝධයෙන්ම යි. සරණ යනවා
කියා කොතරම් අප කථා කළත් එහි ගැඹුරින් අර්ථය විමසා බැලීමක් දක්නට නැහැ.
බෞද්ධ අප තෙරුවන් සරණ යනවා වගේම සායිබබාගේ ස්ථානයේ පවා ‘සායි සරණං
ගච්ඡාමි’ කියා පාලියෙනුත් හදාගෙන තිබෙනවා. ඒ කාලයේ සිට පොදුවේ භාවිතා
වූ වචනයක් ලෙස ‘සරණ’ වචනය හඳුන්වන්න පුළුවන්.
තථාගතයන් වහන්සේ වදාළා බහුං චෙ සරණං යන්ති පබ්බතානි වනානි ච
ආරාමරුක්ඛචේතියානි මනුස්සා භයතජ්ජිතා (බියෙන් තැතිගත්ත මිනිස්සු බොහෝ
ගස් වැල් පර්වත ආදී දේ සරණ යනවා.ඒවායින් පිහිට ඉල්ලුවාම පිහිට ලැබෙනවා
කියලා රුක්ෂ සරණ, පර්වත සරණ, දේවතා අධිශෘහිත සරණ යනවා. එහෙම සරණ ගිහින්
යම් යම් උපකාර බලාපොරොත්තු වෙනවා. නේතංකෝ සරණං ඛේමං - නේතං සරණමුත්තමං
(නමුත් එහෙම ආරක්ෂාව බලාපොරොත්තු වුණාට එහෙම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.
උතුම් දෙයක් බලාපොරොත්තු වුණාට උතුම් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
නේතං සරණමාගම්ම - සබ්බදුක්ඛා පමුච්චති ( ඒ සරණට ආවා කියා කවදාවත්ම
දුකින් නිදහස් වීමක් බලාපොරොත්තු වෙන්න බැහැ). නේතංකෝ සරණං කේමං - නේතං
සරණමුත්තමං (මේක අපට සරණ නොවේ. උතුම් සරණ එය නොවේ) කියා තථාගතයන්
වහන්සේ වදාළා. ඒ වගේම උන්වහන්සේ වදාළා සැබෑ සරණ පිළිබඳවත්. (ඒතං කෝ
සරණං ඛේමන් – ඒතං සරණමුත්තම (මේ සරණ තමා බිය රහිත සරණ - මේ සරණ තමා
උතුම් සරණ) ඒතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති (මේ සරණට පැමිණිලා සියලු
දුකින් නිදහස් වෙන්න පුළුවන්.) සාමාන්‍ය ලෝකයේ හා වෙනත් ආගම්වල ‘සරණ’
ගැන කථාකරන විට ඒ සියලු දෙනා නො පෙනෙන ලෝකයෙන් ‘සරණ’ බලාපෙරොත්තු
වෙන්නේ. භෞතික දේ වගේම සසරින් නිදහස් කිරීමේ විමුත්කිය පවා ඔවුන් නො
පෙනෙන ලෝකයෙන් බලාපොරොත්තු වෙනවා.
අප බුදුරජාණන් වහන්සේ කියා එක් පුද්ගලයෙක් ‘සරණ’ යනවා. අප එසේ ‘පුද්ගල
සරණ’ යන්නේ අවබෝධයෙන්ම යි. පුද්ගල සරණක් ලෙස සරණ යන්නේ උන්වහන්සේගේ
ගුණය සලකා යි. උන්වහන්සේ තව කෙනෙක් විමුක්තිය කරා යොමු කළේ ඒ පුද්ගලයා
තුළ තිබෙන්නා වූ ධර්මය ඉස්මතු කරලයි. ඒකයි මෙම ‘සරණයි’ වෙන ආගම්වල ඇති
‘සරණයි’ අතර වෙනස.
තථාගතයන් වහන්සේ ළඟට කෙනෙක් ඇවිත් කියනවා භාග්‍යවතුන් වහන්ස, මම ඔබ
වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත්, ශ්‍රාවක සංඝයාත් ‘සරණ’ යනවා කියා. ඒ සරණ
යාමත් සමඟ ධර්ම ශ්‍රවණය, ඒ ශ්‍රවණය කළ ධර්මය ප්‍රගුණ කිරීම ආදිය
අවශ්‍යයි. බුදු දහමේ තනි සරණක් නොවේ තිබෙන්නේ. ‘සරණ තුනක්. බුදුන්,
දහම්, වගේම ශ්‍රාවක සංඝයා. අනෙක් හැම තැනම තිබෙන්නේ තනි සරණක්. බොහෝ
ආගම්වල තිබෙන්නේ දෙවියෙක්නම් ඒ දෙවියා සරණ යනවා විතරයි. ධර්මයක් හෝ
ශ්‍රාවක පිරිසක් නැහැ.
අප පිළිම වහන්සේ ළඟට හෝ චෛත්‍යයක් අසලට ගොස් කෙතරම් කීවත් භාග්‍යවතුන්
වහන්සේ මගේ සිත, කය, වචනය සංවර කර දෙන්න කියා ඒක කෙරෙන්නේ නැහැ. මට
සමාධියක් උපදවා දෙන්න හෝ මට මේ ධර්මය අවබෝධ කර දෙන්න කියා ඉල්ලුවාට එය
කෙරෙන්නේ නැහැ. උන්වහන්සේ වදාළා තමා තුළයි දුක තිබෙන්නේ. දුක හට ගන්නා
ආකාරයත්, දුක නැතිවීමේ ස්වභාවයත්, දුක නැති කරන්නා වූ මාර්ගය උපද්දවා
ගත යුත්තේත් තමා විසින්ම යි. එයට වුවමනා කරන මාර්ග උපදේශය තමා
ශාස්තෘත්වයෙන් ලබා දෙන්නේ. මේක තමා සැබෑ ‘සරණ’. මේ සරණ තුළින්
පුද්ගලයෙක් අතරමං වන්නේ නැහැ. ඒ ‘සරණ’ තුළින් මේ පුද්ගලයා තුළ යම්කිසි
පෞරුෂත්වයක් ගොඩ නැෙගනවා.
උන්වහන්සේ ගේ අවබෝධය තුළින් තමයි අපට ‘සරණක්’ ලැබෙන්නේ. ඒ අවබෝධය
ලබාගත් නිසා තමයි අප පුද්ගල ‘සරණක්’ යන්නේ. වෙනත් ආගම්වල දී ඒ ආගම
තුළින් දැනුමක්, මාර්ගයක්, ප්‍රතිපදාවක්, ශ්‍රාවකයාට ලැබෙන්නේ නැහැ.
අකුසල් දුරු කිරීමත් කුසල් වැඩීමක් ගැන සාධාරණ විග්‍රහයක් ලැබෙන්නේ
නැහැ. නමුත් භක්තිය නිසා ඒ මාර්ගයේ ගියාට එය උතුම් සරණක් නොවේ. ඒ සරණ
තුළ දුකෙන් නිදහස් වීමක් නැහැ.
මේ නිසා ‘සරණ’ බොහෝම වැදගත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්
සරණ පදනම් කොට ගෙනයි තිබෙන්නේ. ඒකයි උන්වහන්සේ ගේ ශාසනය තුළ ‘සරණ’
කිලුටුවෙනවා කියන්නේ. ධර්මයට ආපු කෙනෙක් ධර්මය ප්‍රතික්ෂේප කළොත්
ඔහුගේ සරණ කිලුටු වෙනවා. එක්තරා සමාජයක් තුළ සතුන් නො මරන, සොරකම්
නොකර, වැරැදිකාම සේවනයේ නො යෙද, බොරු නො කියන, මත්වතුර භාවිතා නො කරන
අය ඉන්නවා. නමුත් ඒ අයට තිසරණය නැහැ. තිසරණය නැති ඒ රකින පංචසීලය මහත්ඵල
මහානිශංස වන්නේ නැහැ. එයට හේතුව ඒ තුළ මිත්‍යා දෘෂ්ඨියක් සම්බන්ධ වෙලා
තිබෙන්නේ. සීල සංවරය තුළින් ඔහුට කිසියම් පිනක් ලැබෙනවා. නමුත් සීල
සංවරය පිනක් රැස්වන බවවත් එයා දන්නේ නැහැ. පින ගැන විග්‍රහයක් නැහැ.
තමා පිළිබඳ අවබෝධයක් තමා පිළිබඳව වැටහීමක් ඒ සරණ තුළින් ලැබෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේත්, ධර්මයත්, ශ්‍රාවක සංඝයාත් ‘සරණ’ යන පුද්ගලයාට උන්
වහන්සේ දේශනා කරනවා අත්ථදීපා භික්ඛවේ විහරත අත්ත සරණා අනත්ත සරණා
(තමන්ට දූපතක් කරගෙන වාසය කරන්න. තමාව සරණ යන්න. වෙන දෙයක් සරණ යන්න
එපා.) තිසරණය තිබෙන කෙනා තමා තුළ නිවැරැදිතාවයක් ගොඩනඟා ගන්න ඕන. ඒකයි
තමා සරණ යනවා කියන්නේ. තමාගේ අකුසල් ප්‍රහාණය කිරීම, ප්‍රඥාව ගොඩනැගීමට
උදව් කිරීම බාහිර කෙනෙකුට කරන්න පුළුවන් උපදේශයකින් විතරයි. මෙයයි
අකුසල් මේකයි කුසල්. මෙයයි යෝනිසෝමනසිකාරය, මෙයයි අයෝනිසෝමනසිකාරය,
මෙහෙමයි මෙනෙහි කරන්නේ, මෙහෙමයි මෙනෙහි නො කරන්නේ. ආදි බාහිර උපදේශ
දෙන්න පුළුවන්. ඒක ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සරණ කරගෙන. ඊට
පස්සේ ඒ දහම තමාට ගලපා ගැනීමේදී තමාට තමා සරණ කර ගන්න ඕන. බාහිර
කෙනෙකුගෙන් පිහිටක් සොයන තාක් තිසරණය ස්ථිරවය පිහිටන්නේ නැහැ. ඒකයි
‘සරණ’ පිහිටීමේ වැදගත්කම තිබෙන්නේ.
එනිසා මේ ‘සරණ’ කියන දේ අවබෝධයකින් ලබා ගැනීමේ අවස්ථාව බුදුදහමේ
තිබෙනවා. බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන උන්වහන්සේගේ ධර්මය හා ශ්‍රාවක
සංඝයා හඳුනාගෙන සරණ යෑම අප කළ යුත්තේ.
සටහන: නයනා නිල්මිණි |