අවිදු අඳුර දුරලන
ප්‍රඥාලෝකය
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී
ශාස්ත්‍රපති
කුකුල්පනේ සුදස්සී හිමි
ඤාණය වූ කලි සංසාරගත සත්වයාට ලැබිය හැකි උසස්ම සම්පතයි. විශේෂයෙන්
මනුෂ්‍යත්වය අර්ථවත් වනුයේ ඤාණය තුළිනැයි කිවයුතුය. මහා ප්‍රඥාවෙන්
විකසිතව අනන්ත ඤාණයෙන් පරිපූර්ණ වූ මිහිතලයේ පහළ වූ උත්තරීතරම මිනිසා
වන තථාගතයන් වහන්සේ ඤාණය සඳහාම ලොවට දහම් දෙසූ සේක. එම දහම අනෙකකු සඳහා
නොව ප්‍රඥාවන්තයන් සඳහාමයැයි තථාගතයන් වහන්සේ දෙසුවේ එහෙයිනි. (පඤ්ඤවතො
අයං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස - අනුරුද්ධ සූත්‍රය, අංගුත්තර නිකාය)
බුදුදහම ඇසුරු කිරීමෙහි, ප්‍රගුණ කිරීමෙහි අනේකවිධ ප්‍රතිලාභ ඇතත් එහි
ප්‍රධාන පරමාර්ථය සත්වයා තුළ “යථාභූත ඤාණ දර්ශනය” (පවතින ආකාරය පිළිබඳ
නිවැරැදි දැක්ම) ඇති කිරීමයි. ඒ අනුව ඤාණ මාර්ගය සහ බුදුදහම දෙකක් නොව
එකක්මයයි පැවසීමද සුදුසු ය.
විශ්වයට අයත් අවිඤ්ඤාණක, සවිඤ්ඤාණක සියල්ල ක්‍රියාත්මක වනුයේ විශ්ව
සාධාරණ වූ පොදු රීතියකට අනුගතවය. මෙම විශ්ව ධර්මතාව ‘සොබාදහම’ ලෙස සරලව
හැඳින්විය හැකි වුවත් වත්මන් ලෝකයේ සොබාදහම ලෙස හඟිනුයේ ඉන් එක්තරා
කොටසක් පමණි. කර්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, සෘතු නියාම, ධම්ම
නියාම යන පඤ්ච නියාමය සොබාදහම විනා අනෙකක් නොවන බව පළමුව වටහාගත යුතු
ය. එම ස්වභාවික සිද්ධාන්තයේ ගැඹුර පහදා දෙනු පිණිස තථාගතයන් වහන්සේ
හේතුඵල ධර්මය හෙවත් ‘පටිච්චසමුප්පාදය’ ලොවට දේශනා කළහ.
පටිච්ච සමුප්පන්න වු (සංස්කාර) ධර්මයන් ක්ෂණයක් පාසා විනාශ වන
(අනිත්‍ය) බවත්, එනිසාම ගතයුත්තක්, හරයක් නැති (දුක්ඛ) බවත්, හේතුවෙන්
ඉපිද හේතූන්ගේ අභාවයෙන් බිඳී යනවා විනා තිරසාරව පැවැතීමට හෝ පැවැත්වීමට
හැකි ශක්තියක් ඒ කිසිවක් තුළ නැති (අනාත්ම) බවත් යමකු අවබෝධ කරයිද
හෙතෙම යථාභූත ඤාණ දර්ශනය ලබයි.
මෙම හේතුඵල නමැති ස්වභාවික සිද්ධාන්තය සහ එයටම ආවේණික වූ ලක්‍ෂණත්‍රය
අවබෝධ නොවීම නිසා සත්වයා නැවත නැවත දුකට පත්වෙමින් සසර පවතියි.
සත්වයාගේ මෙම පීඩාකාරී සසර පැවැත්ම සහ එහි නැවැත්ම පිළිබඳ නොවෙනස් වන
සත්‍යයක් තථාගතයන් වහන්සේ අවබෝධ කළ සේක. එනම්,
1. දුක්ඛ සත්‍යය (සියලු සසර පැවැත්ම අසාර බව, වෙනස්වන බව හා පීඩාකාරී
බව)
2. සමුදය සත්‍යය (අනවබෝධයෙන් ඒ හා බැඳී සසර දිගින්දිගට පවතිනුයේ
තෘෂ්ණාව නිසා බව)
3. නිරෝධ සත්‍යය (එම තෘෂ්ණාව නැති කිරීමෙන් සසර පැවැත්ම නිමා වන බව)
4. මාර්ග සත්‍යය (ඉහත කරුණු ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කර ගැනීම සඳහා අංග
අටකින් සම්පූර්ණ විය යුතු බව)
මෙහි සිව්වෙනුව සඳහන්වන අංග අටකින් යුත් ‘මාර්ග සත්‍යය’ බුදුදහමේ
දැක්වෙන ප්‍රතිපදා මාර්ගය හෙවත් ඤාණ මාර්ගයයි. බුදුදහම, බෞද්ධ දර්ශනය,
බෞද්ධ ප්‍රතිපදාව, නිවන් මඟ, භාවනාව සහ ඤාණ මාර්ගය ආදී කවර නාමයකින්
ගෙන අධ්‍යයනය කළත් අසන්නට දරන්නට පුහුණු කරන්නට ඇත්තේ මෙම ආර්ය මාර්ගයම
බව විශේෂයෙන් අවධාරණය කළ යුතු ය. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප,
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සහ
සම්මා සමාධි යන අංග අටයි.
1. සම්මා දිට්ඨි
‘ දිට්ඨි’ යනු දැක්මයි. ‘සම්මා දිට්ඨි’ යනු නිවැරැදි දැක්මයි. හොඳ, නරක
කවර ධර්මයක හෝ හේතුව සහ ඵලය නිවැරැදිව වෙන්කොට දැක ගැනීම, සංස්කාරයන්ගේ
අනිත්‍යාදී ලක්‍ෂණත්‍රය දැක ගැනීම, ආර්ය සත්‍ය සතර පිරිසිඳ දැක ගැනීම
සහ සම්මුතිය, පරමාර්ථය වෙන්කොට දැක ගැනීම, සම්මා දිට්ඨියයි. මෙය ඤාණ
මාර්ගය පිළිබඳ ඉතා වැදගත්ම අංගයයි. දැක්ම නිවැරැදි නොවුණහොත් අනෙකුත්
මාර්ගාංග කිසිවක වැඩීමක් සිදු නොවේ.
සම්මා දිට්ඨිය ගොඩනැඟීමේ දී විශේෂයෙන් හඳුනා ගත යුතු ධර්ම තුනකි. එනම්
සංඥාව, විඤ්ඤාණය සහ ප්‍රඥාවයි.
සංඥා
සංඥා යනු ඕනෑම අරමුණක් හඳුනා ගැනීමට උපකාරවන එක්තරා චෛතසික ධර්මයෙකි.
කිසියම් ආරම්මණයක් ගනිමින් සිත් පහළ වෙද්දී එම අරමුණ පිළිබඳ එක්තරා
සටහනක් ගනිමින්ම එම සිත පහළ වේ. එම සංඥාවේ ස්වභාව අනුව අරමුණ පිළිබඳ
හඳුනා ගැනීම විවිධ විය හැකිය. මනුෂ්‍ය රූපයක් අරමුණු කරමින් සිතක්
පහළවන විට එම රූපයේ ඇති අලංකාර බව හඳුනා ගැනීමටත් පුළුවන. පිළිකුල් බව
හඳුනා ගැනීමටත් පුළුවන. හැඩය පමණක් හඳුනා ගැනීමටත් හැකිය. සතුරකුය,
මිතුරකුය ආදී වශයෙන් හඳුනා ගැනීමටත් පුළුවන. මෙසේ එක් අරමුණක් පිළිබඳ
විවිධාකාර සිත් පහළ විය හැකි ය. කෙබඳු සිතක් පහළ වන්නේද යන්න නිශ්චය
කිරීමේ දී අරමුණ පිළිබඳ ඇති වූ සංඥාව ප්‍රධාන සාධකයක් වේ.
සංඥාවෙන් අරමුණ පිළිබඳ යම් හැඳිනීමක් ඇති වුවත් එය නිවැරැදි හඳුනා
ගැනීමක් නොවීමට ද ඉඩ තිබේ. ලී දණ්ඩක් දැක සර්පයකු යයි බියපත් වන්නේ ද,
රාත්‍රී කාලයේ පරඬලා පතක් සෙලවෙනු දැක ‘හොල්මනක්’ යයි බියපත් වනුයේ ද
එබඳු වැරැදි සංඥා නිසාවෙනි. ලෝකයේ ජීවත්වන සත්වයන් පංචේන්ද්‍රියන්ගෙන්
ගන්නා අරමුණු පිළිබඳ බොහෝ විට වැරැදි සංඥා ඇතිකර ගනී. එහෙයින් වැරැදි
ආකාරයෙන් ලෝකය දකී. එය සම්මා දිට්ඨියට බාධාවකි. නිවැරැදි සංඥා තුළින්
සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට අනුග්‍රහයක් ලැබුණත් වැඩි වශයෙන් ඇතිවන
විපරීත සංඥාවන්ගෙන් මුළා වී පවත්වන මේ සසර ගමන ‘සංඥා විපල්ලාසය’ (සංඥා
විකෘතිය) නිසාම සිදුවන බව තථාගතයන් වහන්සේ දෙසූ සේක.
යම් අරමුණක් පිළිබඳ පළමුව වැරැදි සංඥාවක් ඇතිවුවහොත් නැවත නැවත එම
අරමුණ ගනිද්දී ද පෙර ගත් වැරැදි සංඥාවම පහළ විය හැකිය. ලෝකයේ පවතින
සැබෑ තතු කොතෙක් ඇසුවත්, කෙතෙක් පැහැදිලි කළත් මනුෂ්‍යයන් තුළ නිවැරැදි
දැක්මක් ඇති නොවන්නේ එම පූර්ව සංඥා නැවත නැවත ඇති වෙමින් මනැස මුළා කරන
බැවිනි.
මෙම තත්ත්වයෙන් මිදී අරමුණු නිවැරැදිව හඳුනා ගත හැකි නම් එම නිවැරැදි
සංඥාව සම්මා දිට්ඨිය උපදවා ගැනීමට උපකාරයකි. ඒ සඳහා පූර්ව සංඥාවලින්
මනැස නිදහස් කරගෙන, අනාගත උපකල්පනයන්ගෙන් මනැස වික්ෂිප්ත නොකරගෙන ‘මේ
මොහොතේ’ එම අරමුණ පවතින ස්වභාව හඳුනා ගන්නට උත්සාහවත් විය යුතු ය. එය
‘සතිය’, ‘සතිපට්ඨානය’ නමින් හැඳින්වේ. අප්‍රමාදය යනු ද එයට නමෙකි.
විඤ්ඤාණ
විඤ්ඤාණය යනු ‘දැනීමයි’. අරමුණු ගැනීම් වශයෙන් පසිඳුරන් හරහා ලෝකය
දැනගනු ලබනුයේ විඤ්ඤාණය විසිනි. ඇස හරහා අරමුණු ගනිමින් පහළ වන ‘දැනීම’
චක්ඛු විඤ්ඤාණය වශයෙන් ද, කන, නාසය, දිව, කය හා මනැස තුළින් අරමුණු
ගනිමින් පහළවන දැනීම් සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය
විඤ්ඤාණ සහ මනෝ විඤ්ඤාණ යනුවෙන් ද හැඳින්වේ.
අරමුණු දැනගැනීම් වශයෙන් පහළවන මෙම විඤ්ඤාණයන්ට වඩා සම්මා දිට්ඨිය ඇති
කිරීමෙහි ලා විශේෂයෙන් හේතු වනුයේ මනෝ විඤ්ඤාණය හෙවත් ‘ප්‍රතිසන්ධි
විඤ්ඤාණයයි. සත්වයා එක් භවයකින් ච්‍යුත වී අලුත් භවයක ඉපදීම් වශයෙන්
ඇතිවන ප්‍රතිසන්ධි විඤ්ඤාණය එම භවය පවත්වනතාක් ඔහු තුළ සම්මා දිට්ඨිය
හෝ මිච්ඡා දිට්ඨිය ඇති කිරීමෙහිලා ප්‍රධාන සාධකයක් වේ.
ශක්තිමත්, දීප්තිමත් ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් ඇතිව උපන් තැනැත්තා එම මනෝ
විඤ්ඤාණයේ දීප්තිය හේතුවෙන් පසිඳුරන්ගෙන් ගන්නා අරමුණු වඩා සියුම්ව හා
නිවැරැදිව දකී. එය සම්මා දිට්ඨිය ඇතිකරයි. ප්‍රතිසන්ධි විඤ්ඤාණයේ
දීප්තිමත් භාවය තීරණය වනුයේ ඊට පාදක වූ කුශල කර්මයේ ශක්තිය මතය. අලෝභ,
අද්වේශ, අමෝහ යන කුශල මූලයන් තුනම සහිත ප්‍රබල කුශලයක විපාකය වශයෙන්
උපදින ප්‍රතිසන්ධි සිත ‘ති‍්‍රහේතුක’ ප්‍රතිසන්ධියක් ලෙසද අලෝභ, අද්වේශ
යන හේතු දෙක පමණක් ඇතිවිට ‘ද්විහේතුක’ ප්‍රතිසන්ධිය ලෙසද, එම හේතු
කිසිවක් නැති විට ‘අහේතුක’ ප්‍රතිසන්ධිය ලෙසද හඳුන්වනු ලැබේ. සම්මා
දිට්ඨිය දියුණු කිරීමට හැකියාව ඇත්තේ එම ‘ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්’
ලැබූ අයකුට පමණි. එහිද අමෝහ චෛතසිකයේ උස් පහත් බව මත සම්මා දිට්ඨියේ
විවිධ තරාතිරම් පැවැතිය හැකි ය.
පඤ්ඤා
පඤ්ඤා හෙවත් ප්‍රඥාව යනු ‘අමෝහ’ චෛතසිකයයි. ‘පජානනට්ඨෙන පඤ්ඤා’ යමක්
ඇති සැටියෙන් දැනගන්නා අර්ථයෙන් ප්‍රඥාව නම් වේ. එය අරමුණ පිළිබඳ
වැරැදි වැටහීම ඇති කරන මෝහය නමැති අඳුර දුරු කිරීමෙහි සමත් වෙයි.
එහෙයින් ප්‍රඥාව ආලෝකයක් හා සමානය. ඒ තුළින් හේතුව-ඵලය,
සත්‍යය-අසත්‍යය, වරද- නිවරද, සම්මුතිය-පරමාර්ථය ආදිය මැනැවින් වටහා
ගනී.
සම්මා දිට්ඨියට සෘජුවම හේතු වනුයේ ප්‍රඥාවයි. ප්‍රඥාව හෙවත් අමෝහ
චෛතසිකය පහළ වනුයේ කුසල් සිතක පමණි. එම ප්‍රඥාවේ පහළවීම පිණිස අලෝභය
(නොඇලෙන බව), අද්වේශය (නොගැටෙන බව), ඒකග්ගතාව (නොසැලෙන බව), විමංසාව
ආදී බොහෝ ධර්මයන්ගේ සහයෝගය අවැසිය. එමෙන්ම පූර්ව භවයන්හිදී එම ධර්මයන්
පුහුණු කර තිබීම හා ත්‍රිහේතුක ප්‍රතිසන්ධි විඤ්ඤාණයකින් උපත ලබා
තිබීමද විශේෂ හේතූන්ය. යමකුට ප්‍රඥාව පහළවේද හෙතෙම නොවැරැදීම සම්මා
දිට්ඨියෙන් යුක්ත වේ. යමකුට සම්මා දිට්ඨිය වේද හෙතෙම නොවැරැදීම ඤාණය
ලබයි.
මේ ලිපියේ
ඉතිරි කොටස
අප්‍රේල් 3 වනදා
පත්‍රයේ පළවේ. |