UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිබඳ විහිදෙනා රශ්මි මාලාවෙන් නැහැවෙනා පින්බර සෝමවතී මහ සෑරදුන්

නිබඳ විහිදෙනා රශ්මි මාලාවෙන් නැහැවෙනා පින්බර සෝමවතී මහ සෑරදුන්

සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින් ක්‍රි.පූ. දෙවන සියවසේ දී සේරු ජනපදයත් ගිරි (කන්ද උඩරට) ජනපදයත් අතර සෝම නුවර පිහිටුවා ගන්නා විට දේවානම්පියතිස්ස මහරජුගේ බාල සොහොයුරු මහානාග කුමරු රෝහණයට පැමිණෙන මොහොතේ එම කුමාරයාගේ නමින්ම නාගාරාමය නමින් ඉදිකරන ලද විහාරයෙහි මිහිඳු මා හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ 60 නමක් විසූ බව ජිනකාලමාලී ධාතුවංශ ආදි ඓතිහාසික ග්‍රන්ථයන්හි හා මහාදාඨික කුමරු විසින් පිහිටුවන ලද සෙල්ලිපියේ (ක්‍රි.පූ. 9 සිට 21) “පජින නකඅරබ” යනුවෙන් පශ්චිම නාගාරාමය ලෙස සඳහන් වේ.

සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු තම සීයා වන මහානාග රජතුමා විසින් ඉදිකරන ලද මෙම විහාරයෙහි දාගැබක් ඉදිකිරීමට පටන් ගත් මොහොතේ මෙහි නිධන් කිරීමට ධාතූන් වහන්සේලා ලබා දෙන ලෙස මිහිඳු මා හිමියන්ගෙන් ඉල්ලා සිටියෙන් උන්වහන්සේ ළඟ වැඩ සිටි දකුණු දළදා වහන්සේ මහා සමය සූත්‍ර දේශනාවත් සමඟම පරිත්‍යාග කළ මොහොතේ පොළව කම්පාවෙමින් රශ්මිමාලාවන් සහිත ආශ්චර්යවත් සිද්ධීන් පහළ වූ හැටි උක්ත ග්‍රන්ථයන්හි සඳහන් වේ.

එම ආශ්චර්යවත් සිද්ධීන් අද දක්වාම ඒ අයුරින් දක්නට ලැබේ. අපමණ බුද්ධාලම්බන පී‍්‍රතියට පත් සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු එම දකුණු දළදා වහන්සේ නිධන් කොට චෛත්‍යරාජයා ඉදිකොට නැගෙනහිර පැත්තට අඩි 1000 ක් හා බස්නාහිර පැත්තට මහවැලි ගඟ අසබඩ දක්වා අඩි 600 කට ඈතින් ආරක්‍ෂක දොරටු සහිත ප්‍රාකාරය, දිය අගල, ආරක්‍ෂක විහාර 8 ක්, සතර පැත්තේ ආරක්‍ෂක විහාර 4 ක් හා ඇතුල් මළුවේ දකුණු දෙසින් ආරක්‍ෂක විහාරයක් යන ආරක්‍ෂක දොරටු හා ආරක්‍ෂක විහාර 17 කින් යුක්තව සුරක්‍ෂිත කොට දළදා වහන්සේ ආරක්‍ෂා කරගනිමින් ‘මණි අගිය’ යන නාමය තැබූ බව දිග්ගලේ හා චෛත්‍යරාජයා සමීප සෙල්ලිපියෙහි ‘මණිඅගිය රජමහ වෙහෙර, මනි අගිය පොහොතකර යන නම් වලින් පැහැදිලි වේ.

එදා පටන් රජවරු මෙම ස්ථානය අපමණ භක්තියෙන් වැඩිදියුණු කරමින් සුරක්‍ෂිත කළ අයුරු චෛත්‍යරාජයා සමීපයේ ඇති දිග්ගලේ හා චෛත්‍යරාජයා සමීපයේ ඇති ශිලාලේඛන 11 කින් කරුණු සඳහන් කෙරේ.

සෙල්ලිපි තොරතුරු

ක්‍රි.පූ. 41 දී අදට වසර 2054 කට පෙර කූටකණ්ණතිස්ස රජතුමා දෙගම නම් දිය ඇළක් කපා කුඹුරු සංවර්ධනය කළ අයුරු,

ක්‍රි.පූ. 21 මහාදාඨික රජතුමා අඩපිටිගම පූජා කළ අයුරු එම දිග්ගලේ හා රජලි නම් කුඹුරු යායෙන් කිරිය 8 ක් හෙවත් අක්කර 56 ක් පූජා කළ වගත්,

ගජබා රජතුමා සොළීරටට ගොස් ලංකාවෙන් පැහැර ගත් සිංහලයන් 12000 ක් හා සොළීන් 12000 යන විසිහතර දහසක් සෙනඟත් පාත්‍රාධාතුන් වහන්සේත්, දේවාභරණත් රැගෙන ආ මොහොතේ සෝමවතී විහාරයේ වැඩසිටි භික්‍ෂූන් වහන්සේ රජතුමාගේ විජයග්‍රහණය දැක අපමණ සතුටට පත්ව ‘යුද්ධ ජයග්‍රාහක යන ගෞරව නාමය පිරිණැමූ අයුරුත් රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇළක් කපා එයින් වැඩ කරන සියලුම කුඹුරු මණිඅගිය හෙවත් මෙම සෝමවතී විහාරයට පූජා කළ සැටි ‘ක්‍රි.ව. 112 දී’ දිග්ගලේ පිහිටුවා ඇති සෙල්ලිපියේ සඳහන් වේ.

ක්‍රි.ව. 164 දී කනිට්ඨතිස්ස රජතුමා පේලි පහමාරකින් හා එම ලිපියම චෛත්‍යරාජයා සමීපයේ පේළි 10කින් ලියා ඇති අයුරින් තොටුපල තුනක බදු චෛත්‍යරාජයාට ගෙවන පිනිසත්, රාජකාරි කළ ගොවියන් රජතුමාගේ වැවේ වැඩ වලින් නිදහස් කොට රාජකාරියෙහි යෙදූ සැටිත් එසේ කටයුතු නොකළොත් කහවණු පන්සියයක් (රන් පවුම් 4000 ක් හෙවත් වර්තමාන මුදලින් රුපියල් කෝටි විස්සකට අධික මුදලක්) දඩ ගැසූ සැටිත් තවත් සෙල්ලිපියක අනුරාධපුරයේ අභයගිරි විහාරයේ සිට භික්‍ෂූන් වහන්සේලා වැඩමවා පුද පූජා පැවැත් වූ සැටි සඳහන් වේ.

මහාපරාක්‍රමබාහු රජතුමාගේ බිසව වන ලීලාවතී රැජින බු.ව. 1700 දී දොළොස් දහස් රටින් (ගිරුවා පත්තුවෙන්) අඩපිටිගම පූජා කළ අයුරු චෛත්‍යරාජයා සමීපයේ ඇති තවත් සෙල්ලිපියක සඳහන් වේ.

මහා පරාක්‍රමබාහු මහ රජතුමා මහවැලිගඟේ සිට කඳුරුවඩම (කදුරුවෙල) දක්වා මාතිකාවක් (ඇළක්) කපා පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙනගිය බව මහාවංශයේ 79 වන පරිච්ඡේදයේ සඳහන් වේ. මේ අනුව පොළොන්නරු යුගය අවසානය දක්වාම රාජකීයයන් ඇතුළු සැදැහැවත් පිරිස සෝමවතී චෛත්‍යරාජයා ආරක්‍ෂා කරගෙන වැඩිදියුණු තත්ත්වයට පත්කළ හැටි මැනවින් පැහැදිලි වේ.

කාලිංග මාඝ, චන්ද්‍රභාණ ආදී විදේශ ‍ෙපාළොන්නරුවත්, අනුරාධපුරයත් මහා විනාශයකට පත්කළ මොහොතේ සිංහල රජවරු දඹදෙණිය ආදී ආරක්‍ෂිත ස්ථාන සොයා ගිය අතර මහජනතාව හා භික්‍ෂූන් වහන්සේ ද ඒ සමඟම පැණගියහ. වම් දළදා වහන්සේ රැගත් භික්‍ෂූන් වහන්සේලා කොත්මලේ සපුගසක බෙණයක දළදා වහන්සේ සඟවා බුරුම රටට පැන ගියහ. සෝමවතී චෛත්‍යරාජයා ඇතුළු සියලු වෙහෙර විහාර මහ ගණ කැලයෙන් වැසී නටබුන් බවට පත්විය.

සීතාවක රාජ කාලයේ සීතාවක රාජසිංහ රජු දහම් පොත්පත් සහිත මහා ශාසන සංහාරයක් කිරීම නිසා සම්බුද්ධ ශාසනය ද විනාශයට පත්විය. නැවතත් මහනුවර රාජ්‍යකාලයෙන් පසු 1815 දී ඉංගී‍්‍රසීන්ට රට අත්පත්විය. ඔවුන් ලංකාව මැනීමට පටන්ගත් 1860 දී පමණ සෝමවතී ප්‍රදේශය මණින විට බෙරශබ්ද සහිත රශ්මිමාලාවන් ඇසීම හා දැකීම නිසා දකුණු දළදා වහන්සේ වැඩ වසන බව දැනගත් මහනුවර දළදා මාලිගාවේ ගිරාගම දියවඩන නිලමේ ඇතුළු පිරිසක් දළදා වහන්සේ ගැනීමට ගොස් අනතුරකට පත් වූ බව ද සඳහන් වේ.

නැවත සොයා ගැනීම

1947 ඩී. ඇස්. සේනානායක අගමැතිතුමන් මුල්වී ගොවිජනපද පිහිටුවීමත් සමඟ සෝමවතී ප්‍රදේශයට ගිය මුස්ලිම් ජනතාව ශබ්ද පූජා සිය කනින් අසා ආලෝක ධාරාවන් දැක සිංහල බෞද්ධ බැතිමතුන්ට දැන්වූහ. ඔවුන් ද ඒ අයුරින්ම ඒ ආශ්චර්යමත් සිද්ධීන් සිය කනින් අසා සියැසින් දැක මේ කරුණු දැන්වීමට එකල පොළොන්නරු ප්‍රදේශය තුළ එකම විහාරස්ථානයකවත් භික්‍ෂූන් වහන්සේලා නොසිටි හෙයින් මහනුවර මල්වතු මහා විහාරයට පැමිණ මහානායක මාහිමියන් වහන්සේට දැන්වීමෙන් පසු මල්වතු මහාවිහාරයේ ගරුතර කාරක සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි, පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමි ප්‍රධාන භික්‍ෂූන් වහන්සේත් මහනුවර සැදැහැවත් පිරිසත්, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ආදි ජනපදවල සැදැහැවතුන් හා සුංගාවිල මුස්ලිම් පිරිසගේ ද මඟ පෙන්වීම අනුව යන විට රාත්‍රියේ බෙර ශබ්දයක් ඇසිණි. එම ශබ්දය ඔස්සේ යන විට අහස දෙසට දිස්වෙන ගින්දරක් දැක ඒ අනුව නටබුන් බවට පත්ව ගස්වලින් වැසුනු දාගැබ දක්නට ලැබුණි.

මේ අයුරින් සොයාගත් චෛත්‍යරාජයා ක්‍රමයෙන් එළිපෙහෙළි කරගෙන 1966 දී ඩඩ්ලිසේනානායක අගමැතිතුමා මුල්වී චෛත්‍යරාජයාගේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන මොහොතේ නිකුත් වූ රශ්මිමාලාවන් සියැසින් දුටු. සී.පී.ද. සිල්වා ඇමැතිතුමා, ආර්. ප්‍රේමදාස ඇමතිතුමා ඇතුළු පිරිස අපමණ ශ්‍රද්ධාවට පත්වී සුංගාවිල පාලමද ඉදිකරමින් චෛත්‍යරාජයා වෙත යන මාර්ගය ද වාහනයක් ගෙනයාහැකි අයුරින් සකස් කරන ලදී.

ත්‍රස්තවාදී ප්‍රහාර

1981 දී කේතුපිලන්දන උත්සවය පටන්ගන්නවාත් සමඟම නැවතත් පෙර අයුරින්ම බුද්ධරශ්මිමාලාවන් විහිදීමෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් ඇතුළු දහස් සංඛ්‍යාත ගිහි පැවිදි පිරිස් බුද්ධාලම්භනපී‍්‍රතියට පත්වූ බව මම ද සියැසින්ම දුටිමි.

1983 දී පමණ ත්‍රස්තවාදී ග්‍රහණයට අසුවීමත් සමඟම චෛත්‍යස්ථානයෙහි සිටි පිරිස් ඉවත්වී සුංගාවිල ගමට ගියහ. ත්‍රස්තවාදීන් පැමිණ බලනවිට කිසිවෙක් චෛත්‍ය සමීපයේ නොදැක සුංගාවිල ගමට ගොස් එහි සිටි 28 ක් පමණ සිංහල බෞද්ධ පිරිස කුඩා ළමයි සමඟම කපා කොටා මරා දමා ඔවුන්ගේ බඩු ද රැගෙන චෛත්‍යරාජයා වෙත අවුත් දාගැබට ගොඩ වී චූඩාමාණික්‍යය ගලවනවාත් සමඟම ඔහුට වෙඩි වැදී මරණයට පත්විය. සෙසු ත්‍රස්තවාදීහු චූඩාමාණික්‍ය චෛත්‍යය ළඟ දමා පළා ගියහ.

පසු දින හමුදාවෙන් අවුත් මරා දමා ඇති පිරිස දැක චෛත්‍යරාජයා වෙත අවුත් බලන විට කොත ඇදකර චූඩාමාණික්‍යය ගලවා දමා ඇති බවත්, චෛත්‍යයෙන් කොටසක් සාරා ඇති බවත් බලා ඒ සමීපයේ පස් ගොඩක දෙමළ බසින් ලියා තිබෙන (රවි) යන අකුරු දැක පස්ගොඩ අවුස්සන විට එහි ත්‍රස්තවාදියෙකුගේ මළකඳක් දක්නට ලැබුණි. අලි විසින් වටකරගත් අතු ගොඩක් දැක ශබ්ද කරන විට අලි අයින් විය. එම අතුගොඩ යට චූඩාමාණික්‍යය තිබී හමුවිය.

වසර 10 කට පසු මහවැලි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සෝමවතී රජමහ විහාරාධිපති පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමි ඇතුළු අප, චෛත්‍යරාජයා වෙත එක්ක ගොස් ටික වේලාවකින් ආපසු පැමිණීමත් සමඟ එදින රාත්‍රියේ ත්‍රස්තවාදීන් සුංගාවිල ගමට පැමිණ පිරිසක් මරා දැමීය. 1999 දී පමණ භික්‍ෂූන් වහන්සේ නමක් පොළොන්නරු පොලීසියට ගොස් චෛත්‍යයේ හතරැස් කොටුව හාරණ බව කියා පොලිසියෙන් එළියට එනවාත් සමඟ අතුරුදහන් විය. පොලිසියේ නිලධාරි මහතුන් පැමිණ බලන විට චෛත්‍යරාජයාගේ හතරැස් කොටුවේ ගල් ගලවා තිබුණි. සුමානයකට පමණ පසු චෛත්‍යය හෑරූ පුද්ගලයා පොලිසියට පැමිණ භාරවිය. 1999 වර්ෂයේ අගෝස්තු මස පමණ නැවතත් අප විසින් පොලිස් ආරක්‍ෂාව මැද පද්මසිරි රාජපක්‍ෂ ලේකම්තුමා හා පුරාවිද්‍යා නිලධරයන් සමඟ ගොස් චෛත්‍යරාජයා දැක බලා පැමිණෙනවාත් සමඟ එදින සවස ද සුංගාවිල ප්‍රදේශය ත්‍රස්තවාදී පහරකට ගොදුරුවේ. මෙවන් ත්‍රස්තවාදී ග්‍රහණයට පත්ව තිබූ අවස්ථාවක 2002 වසරේ රටේ සාමය තාවකාලිකව අඩු වූ මොහොතේ නෙල්සන් ඇමැතිතුමාට මතක් කිරීමෙන් පසු එතුමා ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමා, මහදිසාපති අබේවික්‍රම මැතිතුමා, නියෝජ්‍ය පොලිස්පති පතිරණ මැතිතුමා ආඥාපති ජනරාල් සුනිල් තෙන්නකෝන් මැතිතුමා ඇතුළු හමුදා නිලධරයන් හා පොලීසියත්, මහවැලියේ නිලධර පිරිසත් සැදැහැවත් පිරිස ද සම්බන්ධ කරගෙන පාරශුද්ධ කරගෙන ගොස් බලන විට මහ ගණ කැලයකින් වැසී තිබුණි.

සංවර්ධන යුගය

පොලීස්යේ හා හමුදාවේ බලවත් උත්සාහයෙන් සියල්ල එළි පෙහෙළි කර නළලිං මඟින් ජලය ජයවික්‍රම පෙරේරා මැතිතුමා ද ජෙනරේටරයක් මඟින් විදුලිය කරු ජයසූරිය මැතිඳුන් ද මුල්වී ලබාදුන් අතර සෙසු සියලු සංවර්ධන කටයුතු සැදැහැවතුන්ගේ ආධාර ඇතිව උක්ත ආයතන මුල්වී සිදු කිරීමට පටන් ගනී. 2005 දී ගංවතුරෙන් ද විනාශයට පත් වූ අවස්ථාවක මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමන් පැමිණ යුද හමුදාව මඟින් ද ප්‍රමාණවත් ආරක්‍ෂාව ලබා දී සංඝාවාසයට ද මුල්ගල් තබා ස්ථිර සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට හැකිවිය. දෙවන වරටත් මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමන් පැමිණ මෛත්‍රිපාල සිරිසේන, සිරිපාල ගම්ලත්, දමු දසනායක ආදි මැති ඇමැතිවරුන් ද සම්බන්ධ කරගෙන මාර්ගයට ද මුල්ගල් තබා අද වන විට කිලෝමීටර් 40 ක මාර්ගය පාලම් හා බෝක්කු සහිතව ඉදිවෙමින් පවතී. සරත් එන් ද සිල්වා අගවිනිසුරු තුමන් ද මුල් වී සේරුවිල දක්වාම මාර්ගය සකස් කර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් මුල්වී ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් ඇතුළු පිරිස සම්බන්ධ වී ප්‍රධාන විදුලි පද්ධතියෙන් විදුලි ආලෝකයත් ජනාධිපති තුමන් හා බැසිල් රාජපක්‍ෂ ඇමැති තුමන් මුල්වී මහවැලි ගඟ හරහා සෝමවතියේ සිට සේරුවිල දක්වා සුවිශාල පාලමක් දැන් නිමාවට පත්වෙමින් තිබෙන අතර මහජනතාවගේ පහසුව සඳහා සැදැහැවතුන්ගේ හා ආයතන කීපයක ආධාර ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහ සම්බන්ධතාවය ලබාගෙන සළපතල මළුව, බෝධීන් වහන්සේගේ ආරක්‍ෂක වැට හා රන්වැට, බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීම, සංඝාවාසය සහිත විශ්‍රාමශාලා ආදී පහසුකම්, විහාරමන්දිරය ධර්මශාලාව, පෝයසීමාව ආදිය සංවර්ධන කටයුතු නිමාවෙමින් හා සිදුකරමින් පවතී.

මේ අයුරින් සංවර්ධන වෙමින් පවතින සෝමවතී චෛත්‍යරාජයා වෙත පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුකම් හැකි අයුරින් සපුරාලන අතර ශ්‍රී දකුණු දළදා වහන්සේ උදෙසා වර්තමානයේ චූඩාමාණික්‍ය පැළඳ වූ 2002 ජූනි 24 දින සිට රාජකීය මහා මුළුතැන් බුද්ධ පූජාව සහිත තුන්වේලේ පුද පූජාවන් පවත්වන අතර 2550 ශ්‍රී සම්බුද්ධ ජයන්ති වර්ෂයේ හෙවත් 2006 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ දී උදේට දළදා වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවන් ම පැවැත් විය යුතුයැයි පළකරන්නාක් මෙන් උදේ පූජාව වැඩමවන විට පෙ.ව. 7 ට පමණ චූඩාමාණික්‍ය සහිත කොත් කැරැල්ලෙන් සුදුපාටට කිරි වැගිරෙන්නාක් මෙන් කීප වතාවක් දිස් විය.

ඡායාරූපයට හසු වූ ආශ්චර්යය

වර්තමානයේ රශ්මිමාලා සහිත ආශ්චර්යයමත් සිද්ධීන් සිදු වූ අවස්ථා.

2002 ජූනි 19 දින චූඩාමාණික්‍යය පැළඳවූ මොහොතේ මුළු පළාතම කාෂාය වර්ණයෙන් දිස් වෙමින් රශ්මිමාලා නිකුත්වීමට පටන් ගති. එම අවස්ථාව පසුදින ස්වාධීන රූපවාහිනිය මඟින් ප.ව. 7.00 ප්‍රවෘත්ති කථනයෙහිලා දර්ශනය කර පෙන්වීය.

2006 වර්ෂයේ (2550 ශ්‍රී සම්බුද්ධ ජයන්ති වර්ෂයේ දී) අප්‍රේල් මස මුල් සතියේ දී ද කොත් කැරැල්ලෙන් සුදුපාටට කිරි වැගිරෙන්නාක් මෙන් දිස්විය.

2006 වර්ෂයේ අප්‍රේල් 23 දින චෛත්‍යරාජයාගේ පදනමේ සිටම අහස දක්වාම ෂඩ්වර්ණ රශ්මී ධාරාවන් නිකුත් වූ අතර එම රශ්මිධාරාවන් ගාමිණී ජයවික්‍රම පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හා හේම තුසාරි අතුකෝරළ මහත්මිය ඇතුළු පිරිස ඡායාරූපගත කරගෙන 2006 මැයි 01 දින වෙසක්පුර පසළොස්වක් පොහෝ දින පෙ.ව. 9.00 ට ජාතිකරූපවාහිනිය මඟින් පෙන්විය.

2006 ජූනි 12 දින පොසොන් පොහෝ දින රාත්‍රී 12 ට රශ්මිමාලාවෙන් චෛත්‍යරාජයාගේ කොත්කැරැල්ල ප්‍රදේශය වැසී ගියාක් මෙන් දිස්වීය. චන්ද්‍රයාගේ රූපය ද පැත්තකින් දිස්විය.

2006 ඔක්තෝබර් 07 දින පුර පසළොස්වක් පොහෝ දින උදේ 10.15 ට පමණ දේවතාවන්ගේ ආලෝකධාරාවන් සහිතවම රශ්මිමාලාවන් දිස්විය.

දළදා වහන්සේ මහනුවර දළදා මාලිගාවේ පූජා අවස්ථාවන්හි වැඩමවා එකී පූජාව අවසන් වෙනවාත් සමඟම නැවත සෝමවතී චෛත්‍යරාජයා වෙත වඩින බවත් ඒ බව දළදා වහන්සේ සහිත කරඬුවම 2010.08.23 දින පෙ.ව. 7.00 ට කිරිආහාර පූජාව වැඩමවන අවස්ථාවේ ගර්භය මත දිස්වීමෙන් තහවුරු වේ. එම ඡායාරූපය ද මොරටුව විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය පී.කේ.එස්. මහානාම මහත්මා විසින් ගන්නා ලදී.

බොරැල්ලේ සිරි සුමන හිමියන් රාත්‍රී කාලයේ පූජාවක් පවත්වමින් පිරිත් දේශනා පැවැත් වු මොහොතේ 2010.08.24 දි රාත්‍රී 1.30 ට චෛත්‍යරාජයාගේ කොත්කැරැල්ලේ සිට ගින්දරක් වැනි ආලෝකයක් දිස්විය. (ඡායාරූප ගතකර ඇත)

මේ අයුරින් රශ්මිමාලාවන් මාසයකට කීපවතාවක් නිකුත්වෙන ආකාරය සිහිපත් කළයුතු අතර 1947 චෛත්‍යරාජයා සොයා ගැනීමේ සිට මේ දක්වාම ආශ්චර්යවත් ලෙස රශ්මිමාලාවන් විහිදෙන අතර එම අවස්ථාවන් දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමන්, කේ.බී. රත්නායක ඇමැතිතුමන්, මර්වින් සිල්වා ඇමැතිතුමන්, නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමන් ඇතුළු සැදැහැවත් ජනතාව දහස් ගණනක් මේ වන විට දැක ඇති බව සඳහන් කළ යුතු අතර සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ගෞරවාර්ග සාහිත්‍ය චක්‍රවර්ති නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයත් දුටු බව සිහිපත් කරන අතරම චෛත්‍යරාජයාගෙන් නිකුත්වන ශබ්ද පූජාවන් විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයත් දහස් ගණන් සැදැහැවත් පිරිසද සිය කනින් අසා ඇති බව සඳහන් කළ යුතු ය.

ඇත් පෙරහර

රශ්මිමාලාවන් සහිත ශබ්දපූජාවන් පමණක් නොව චෛත්‍යරාජයා තුළින් ආශ්චර්යමත් සිද්ධීන් නිකුත්වන අයුරු සියසින්ම දැක ඡායාරූප ගත කිරීමට හැකිවිය. 2009 වසරේ රටේ සාමය ඇති වෙනවාත් සමඟම ඉබේ හටගත් බෝධීන් වහන්සේගෙන් රන්වන් පාට මල් දෙකක් හා රන්අළු මතුවිය. 2009 ජූනි 08 දින පෙ.ව. 6.30 ට පමණ චෛත්‍යරාජයා තුළින් ඇතෙකු පිට රන්සිවිගෙයක් සහිත පෙරහරක් මතු වී දකුණු පැත්තට ගමන් කරනු දැක ජයවික්‍රම පෙරේරා මන්ත්‍රී තුමා විසින් එම ඡායාරූප ගතකර ගන්නා ලද අතර 2009.6.28 දින ප.ව. 7.47 ට පමණ චෛත්‍යරාජයා තුළින් සුදු ඇත්පැටියෙක් මතු වී ඇත. අවුරුදු 3 ක් වයසැති මේනක තසිඳු කුඩා ළමයාගේ ඇඟේ හැප්පී දකුණු දෙසට ගමන් කොට දාගැබ තුළට ඇතුල්වන ආකාරය රංග රුවන් කුමාර නැමති එම දරුවාගේ පියා ඡායාරූප ගත කරගන්නා ලදී. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමෙතුමා විසින් දළදා මාලිගාවේ පෙරහර කරඬුව වැඩමවන ලද ඉන්දිරාජා ඇතා එවන ලදින් එම ඇතා පිටින් පෙරහර කරඬුව වැඩමවා ගෙවදිනවාත් සමඟම එක දළක් ඇති ඇත්පැටවෙක් කැලයෙන් එළියට අවුත් චෛත්‍යරාජයා වෙත පැමිණ ආපසු ගොස් පසු දින ප.ව. 5.00 ට පමණ මා ඉදිරිපිටට පැමිණ අද දක්වාම එම ඇත්පැටියා චෛත්‍යරාජයා සමීපයේ සිටින අතර එම ඇත් පැටියා සමඟ සුදු ඇත්පැටියෙක් සිටින බව 2009.9.10 දින පෙ. 11.30 ට පමණ සාජන් කුණ්ඩල මහතා ඇතුළු පිරිස ගත් ඡායාරූපයේ දිස්වේ. එමෙන්ම 2010.7.25 දින දළදා පෙරහර පටන් ගන්නා මොහොතේ ප.ව. 6.30 ට පමණ දර්ශනීය කාන්තාවක් චෛත්‍යරාජයාට ඉහළින් වැඳගෙන සිටින අයුරු ද ඡායාරූපගත කර ගැනීමට හැකි වූ අතර 2012 නොවැම්බර් 4 දින කඨින පින්කම් පැවැත් වූ මොහොතේ චෛත්‍යරාජයාට ඉහළ අහසේ සුදු ඇත් පැටියෙක් සිටිනු දැක පිටකෝට්ටේ නිලන්ති ජයනෙත්ති මහත්මිය විසින් ඡායාරූප ගත කරන ලදී.

මේ අයුරින් නොයෙක් ආශ්චර්යයමත් සිද්ධීන් සමඟම රැස් විහිදුනු අතරම 2013 පෙබරවාරි 4 දින පාන්දර 1.30 ට පමණ ඇඹිලිපිටියේ යාපා මහතා ඇතුළු පිරිස මහා ගංවතුර බැසයනවාත් සමඟම චෛත්‍යරාජයා වෙත පැමිණ ලක්‍ෂයක දහස්පෙතියා මල් පූජාවක් පවත්වා පිරිත් දේශනාවන් පවත්වන මොහොතේ චෛත්‍යරාජයාගේ ගර්භයේ සිට අහසට වළාකුල් සහිත පැවිදි රුවක් මතුවනු දැක ගණේමුල්ල සිට පැමිණි නිපුනි නිමේෂා සෙව්වන්දි පාසල් දැරියක් විසින් ගත් ඡායාරූපයෙහි මනාව දිස්වෙන අතර 2010 අප්‍රේල් 19 දින කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු එම දායක පිරිස සමාධිබුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සෝමවතී චෛත්‍යරාජයා සමීප බෝධීන් වහන්සේ අභියස තැන්පත් කරන මොහොතේ නිකුත් වූ රශ්මි මාලා සහිත ආශ්චර්යය මත් සිද්ධීන් ද ඡායාරූප ගතකර ගත් අයුරුත් මෙවන් ආශ්චර්යමත් සිද්ධීන් සමහරක් විද්‍යුත් මාධ්‍යයෙන් (ඉන්ටනෙට් ජාලය තුළින්) දැකබලා ගත හැකි අතර මෙවන් ආශ්චර්යමත් සිද්ධීන් සියැසින් දැක සිය කනින් අසා ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩවසනවා සමානව ශ්‍රී දකුණු දළදා වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇති බව අපමණ සතුටින් සිහිපත් කරන අතර මෙවන් සිද්ධීන් ඇතිවීමට හේතූන් පිළිබඳව විමසීම් කොට ගවේෂණයන්හි යෙදී සත්‍යතාවයන් මැනවින් වටහාගෙන ඒ අනුව කටයුතු කිරීම සකල ලෝකයාගේ පරම යුතුකමක් බව මෙහිලා ඉත සිතින් ප්‍රාර්ථනය කරමු.

ඔබ සැමට
සිරි දකුණු දළදා සමිඳු පිහිටයි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]