UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සධාතුක ධා කරඬුවක් බඳුවූ බුද්ධංගල

මුරපළක් වූ බුද්ධංගල ගැන හැම සිංහලයකු තුළම කැක්කුමක් ඇති විය යුතුයි “

බුද්ධංගල තපෝ වනය නම් වටිනා පොත් පිංච ලියා පල කළ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ එහි පෙර වදනෙහි ඉහත සඳහන සටහන් කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයට කි.මී. 7 ක් පමණ උතුරෙන් බුද්ධංගල වන සෙනසුන පිහිටා ඇත.

අක්කර දොළොස්දහසක් පමණ වූ සුවිසල් ගල් තලාවන් මෙන්ම ගල්කුළු සහිත වන ගහණයක අක්කර 200 ක පමණ වපසරියක් තුළ බුද්ධංගල තපෝ වනයට අයත් නටබුන් විසිරී පවතියි. නිරන්තරයෙන් වනසතුන් සරණ භූමියේ පිහිටි සුවිසල් ගල් තලා පහ මෙහි ස්වභාවික පරිසරය විචිත්‍ර කරවයි.

තද බෑවුම් සහිත වූ ගල් කුළු පාදමේ මහ වරුසාවට, දැඩි නියඟයට මෙන්ම දීර්ඝ කාලීන පරිවර්තනයන්ට කීකරු වෙමින් තැන තැන ගල් කෙමි ආදියද සෑදි දිය පරී වියළි මුඩු බිමකට සිසිලස එක්කරමින් මෙම ස්වභාවික පරිසරය තව තවත් සොඳුරු කරවන සෙයකි.

මෙසේ ප්‍රවිශ්ට වී බුද්ධංගල වන සෙනසුන පිළිබඳව විමසීමේදී මෙහි ඓතිහාසික වටිනාකම ගැන කිසිසේත් අමතක කළ නො හැකි වෙයි. පෙරදා බිහිසුනු කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයන් හමුවේ ද නොසැලුනු බුද්ධංගල තපෝවනය උල් දත්, විෂ කෝෂ මධ්‍යයේ වුව දිදුලන නාග මාණික්‍යයක්සේ සුරක්‍ෂිත වීම බෞද්ධ ජනතාව ලද භාග්‍යයකි.

එහෙත් ඒ පිළිබඳ ප්‍රබල හැඟීමක් බහුතරයක් තුළ නොතිබීම පිළිබඳ පවතින්නේ කනස්සල්ලකි.

මෙහි අති උස්ම පර්වතය අඩි 500 ක් පමණ වෙන අතර එහි මුදුනත සිට දකුණින් ඉඟිනියාගල, වඩිනාගල හා බුවනකබා ඈපාගේ රජධානිය වූ ගෝවින්ද පබ්බතයද උතුරින් හා බටහිරින් ගල්ඔය මිටියාවතෙහි ජනපද ව්‍යාපාරයත් හා මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ නිධන් වූ වා යැයි මතයක් පවතින ස්තූපය ද පූජනීය වූ ගිරි කුම්භීල විහාරය පිහිටි රාස්සහෙල කඳු වැටිය ද නැගෙනහිරින් නිල්ලෙන් සපිරි කෙත් යාය ද එකවර නෙත් පහසට හසුවෙමින් සිත් සතන් පිනවීමේ පින උදාකරවයි. තැන තැන විසිරී පවතින නටබුන් ශේෂයන් අතර ස්තූපය හා බුදුමැදුර පවතින සෙල් තලාව මෙහි පවතින ප්‍රධාන ස්ථානයකි. මේ මත පැරැණි ගොඩනැගිලි හයක නටබුන් දැක ගැනීමට හැකියාව ඇත.

පැරැණි ස්තූපය ප්‍රතිසංස්කරණය වී ඇති අතර පෙරදා එතැන වටදාගෙයක් සහිත චෛත්‍යයක් තිබූ බවට සාධක හමුවී තිබේ.

1964 වසරේදී මෙම ස්ථානය නැවත සොයාගන්නා ලද්දේ කළුතර ධම්මානන්ද හිමියන් විසිනි. මෙහි වන මහා කළු ගල් පර්වතයන් තරමට සුවිසල් වූ අනේක දුක් කන්දරාවක් මධ්‍යයේ දුරාතීතයේ මහරහතුන් වහන්සේ වැඩ සිටි පින් බිම වෙත උන්වහන්සේ නෙපැමිණියේ නම් අදටත් බුද්ධංගල පින්බිම තවමත් වල් වැදී තිබෙන්නට ඉඩ ඇත.

එදා පස්ගොඩැල්ලක්ව පැවැති ස්තූපය කැණ පිරීක්සීමේදී නිධන් වස්තු රාශියක් සොයා ගැනීමට ධම්මානන්ද හිමියන්ට හැකි විය. ඒ අතර සුවිශේෂී වන්නේ අඟල් 4ක් පමණ උස දඹරන් කරඬුවකි. මෙය තුළ රනින් කළ නෙළුම් මල් ත්‍රිත්වයක් විය.දෙපස නෙළුම් මල්දෙකකි. මධ්‍යයේ වූ නෙළුම් මල ඊට මඳක් උසින් නිමවා තිබුණි. මෙම පද්මයන් තුළ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ අතර දෙපස පුෂ්පයන් සමීපයේ ‘සරිපුතශ මහමෙගලන ‘ යන සටහන සඳහන් විය.

මෙවන් සුවිශේෂී ධාතු නිධානයක් මෙතෙක් ලක්බිමේදී හමු වී නැති බව කියැවෙයි. ප්‍රධාන නෙළුම් මලෙහි සර්වඥ ධාතුන් තැන්පත් කර ඇති බවත් දෙපස පද්මයන්හි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතුන් තැන්පත් කර තිබූ බවත් ප්‍රාමාණික වියතුන්ගේ නිගමනය වී තිබෙයි.

එසේ නම් මෙය සුවිශිෂ්ට සොයා ගැනීමකි. එමෙන්ම බුද්ධංගල නම් වූ පුදබිමෙහි අගය කොතරම්දැයි තක්සේරු කරගැනීමට කදිම පෙළඹුමකි. එම මිල කළ නොහැකි නිධන් වස්තුව අවශ්‍ය ඕනෑම වේලාවක නැවත ලබා ගත හැකි ආකාරයට වර්තමාන ස්තූපයේ තැන්පත් කර ඇත.

එසේම මෙම පුද බිමෙහි ඇති ලෙන් සමූහය කටාරම් සලකුණූ සහිතය. ඇතැම් ලෙන්හි සෙල්ලිපි දැක ගැනීමට ලැබෙයි. මේ අනුව ගවේෂණය කිරීමේදී පෙනීගොස් ඇත්තේ මෙහි ඉතිහාසය ක්‍රි.පූර්ව දෙවන ශත වර්ෂය දක්වා ඈතට දිවෙන බවය.

එම වකවානුවේදී මහ රහතන් වහන්සේගේ පහසින් මේ පින් බිම පූජනීයත්වයට පත්ව තිබූ බව නිසැකය.

ස්ථානයේ ඇති සියලු නටබුන් සමස්තයක් ලෙස විමසන විට පෙනී යන්නේ ක්‍රි.පූර්ව යුගයෙන් ආරම්භ වී රා.වර්ෂ 8 වන සියවස තෙක් මෙතැන වරින්වර වර්ධනය වී තිබූ බවය.

සෙල්ලිපි අතර එක් ලෙනක ‘චිත්‍ර දෙවිය අයක පරුමක’..සහ තවෙකක ‘කරකගල’ වශයෙන් සඳහන් ව තිබෙයි.

පුරාතනයේ දිඝාමඩුල්ල පාලනය කළ දීඝගාමිනී විවාහ වූ උන්මාද චිත්‍රා පිළිබඳ වංශ කතාවේ මතකය නැවත මෙනෙහි වීමට මෙම සටහන් පාදක වෙයි.

උන්මාද චිත්‍රා හෝ එම පරපුරේ වෙනත් චිත්‍රාවක විසින් මෙහි ලෙන් සාදා සසුනට පිදීමට දායක වූ බව සිතිය හැකිවෙයි.

කෙසේ වෙතත් බුද්ධංගල සුවිශේෂ වී පින්බිමක් වශයෙන් පැවැති බවට තුඩුදෙන සාධක බොහෝමයක් අදත් අපට දැක ගැනීමට ලැබේ. පධානඝරයන් ,මලසුන්, පියගැටපෙළ ස්තූප අසිරිමත් සිරිපතුලක්, නාගසිංහ ලාංඡන පැරැණි කාසි ආදිය ඒ අතර වෙයි.

අද මෙයට බුද්ධංගල යන නම පටබැඳී ඇත්තේ මෙහි ස්වභාවික විචිත්‍රවත් පරිසරයේ දී දිස්වන පර්වතය සැතපෙන බුදුරුවක් ආකාරයෙන් පෙනෙන බැවින් යැයි මතයක් පවතී. එසේම මේ අවට වාසය කරන ද්‍රවිඩ මුස්ලිම් ජනතාව ‘බුද්ධංකලෙයි’ වශයෙන් මෙය හඳුන්වති. එහි අරුත බෞද්ධ නටබුන් ඇති ගල්කුල යන්නය. එසේ බුද්ධං කලෙයි බුද්ධංගල වූවා ද විය හැකිය.

මෙම ප්‍රදේශයේ ඉතිහාසය වඩාත් පිරික්සීමේදී පෙනීයන්නේ ලංකාවේ අසහාය රජවරයකු වූ සද්ධාතිස්ස නිරිඳුන් දිගාමඬුල්ල පාලනය කරමින් එය ධාන්‍යාගාරයක් බවට පත් කළ බවයි. එතුමා වැපුරුවේ ධාන්‍ය පමණක් නොව බුදු දහම බෞද්ධ සංස්කෘතිය සදහම් කෙතක් සේ වැපිරීමට දායක වූ බව ද පැවසෙයි.

එසේ නම් සද්ධාතිස්ස රජතුමාගේ අනුග්‍රහයද මෙතැන ලැබෙන්නට ඇති බවට මත පලවීම සාධාරණය. එසේම මෙවන් පුදබිම් පිළිබඳව වඩාත් පුළුල් ලෙස ගවේෂණයන් කර නොමැති බව හැඟේ. ඒ නිසා ඉතිහාස වංශකතාවේ තවත් හෙලිකරගත යුතු බොහෝ රහස් මේ ගල්කුළුපාමුල නටබුන් සේ අයාලේ වැටී පැවතෙනු ඇත.

මෑතදී සොයාගත් අඟල් 4 ක් උසැති ධාතුකරඬුවේ වටිනාකම අහස උසට බැඳි මහා දාගැබ් පවා පරදවන සුළු ය.

එවන් වටිණාකමක් ප්‍රදානය කළ මෙවැනි මැණික් ආකරයක් වැනි තැන් තුළ තවත් අමිල නීල මාණික්‍යයන් මිහිදන් වී තිබෙනු නියත ය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]