UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසර 69 කට පසු යළිත් වීදි සංචාරය කෙරෙන අත්තනගල්ලේ සඟබෝ පෙරහර

වසර 69 කට පසු යළිත් වීදි සංචාරය කෙරෙන අත්තනගල්ලේ සඟබෝ පෙරහර

ශ්‍රී ලාංකේය පෙරහර වංශ කතාව දෙස ඉතා විමසිලිමත්ව බලන කල එය පුරාතනය දක්වා විහිද යන්නේ මහා ප්‍රෞඩත්වයකට හිමිකම් කියාපාමිනි. රාජ රාජ මහාමාත්‍යාදීන් පවා මූලිකත්වයක් ගෙන ක්‍රියාකාරමින් එකල පැවැති පෙරහර අවස්ථාවන් මහත් උත්සවශ්‍රීයක් ගත්තා සේම සැණකෙළි ස්වරූපයක්ද ගත් බව කියැවේ.

කාලයාගේ ඇවෑමෙන් බොදුනුවන්ගේ සිත් සතන් පහන් කරවමින් ආගමික මුහුණුවරක් ගත් මෙරට පෙරහර කලාව, වර්තමානය වන විට දෙස් විදෙස් කොයි කා අතරත් අවධානය දිනාගත් අසිරිමත් පූජෝපහාරයක් වී හමාරය. හෙළයේ මහා කලා කෙත අස්වද්දමින්, විවිධාකාර වූ සංස්කෘතිකාංගයන් ද ඉස්මතු කරවා පවත්වනු ලබන්නා වූ දේශීය පෙරහර කර්තව්‍යයන් එදා මෙන්ම අදටත් සිදු කරනු ලබන්නේ පෞරාණික චාරිත්‍රයන්ට මුල් තැනක් ලබා දෙමිනි.

සම්බුදු මුවින් පිටවන්නට යෙදුනු අසූහාරදහසක් වූ ශ්‍රී ධර්මස්කන්ධයේ පරම සුව විඳී. උතුම් ශ්‍රී දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහර වර්තමානයේ පැවැත්වෙන ඉතාමත් සුවිශේෂිතම වූ පෙරහර වේ.

ඉතිහාසයේ සඳහන් වෙන පරිද්දෙන් මහනුවර දළදා පෙරහරට පමණක් දෙවෙනි වූ එහෙත් අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ගමන්ගත් පෙරහරක් වශයෙන් නම් දැරූ තවත් එක් පෙරහරක් තිබිණි. ඒ “ඓතිහාසික අත්තනගල්ලේ පෙරහරයි”

ප්‍රදේශයට මෙන්ම ලක් දෙරණටත් මහත් ආශිර්වාදයක් ගෙන දෙමින් මීට වසර අසූවකට පෙරාතුව, එනම්, 1923 දී ඇරඹී මෙම අත්තනගල්ලේ පෙරහර සැදැහැතියන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය වඩවමින් විචිත්‍රවත්ව සෑම වසරක් පාසාම පැවැත්වීය. බෙහෙවින් සාර්ථකව පැවැත්වූ මෙම පෙරහර දෙවන ලෝක යුද්ධයත් සමගම 1944 දී අභාවයට පත්විණි.

එකොළොස් වසක් මුළුල්ලේ වාර්ෂිකව අතිඋත්කර්ෂවත්ව පැවැත්වූ මෙම අත්තනගල්ලේ පෙරහර කාලයේ වැලිතලාව යට එසේ සැඟවී ගියද ගෞරවනීය වූ විහාරස්ථ මහා සංඝරත්නයේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද ඉල්ලීම හා කැපවීම මත යළිත් වරක් මෙම පෙරහර පවත්වන්නට අවශ්‍ය කටයුතු සූදානම් කෙරිණි.

ඒ අනුව අත්තනගල්ලේ පෙරහර 2013 මාර්තු මස 26 වෙනි මැදින්පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දී යළිත් වරක් වීදි සංචාරය කරන්නට සැරසෙන්නේ මීට හැට නව වසරකට පෙරාතුව පැවැති බෙහෙවින් අලංකෘත වූ සුන්දර පෙර මතකයන් මතිනි.පෙරහර ආරම්භ කරන්නට මත්තෙන් 25 වෙනිදා රාත්‍රියේ සිට තුන් තිස් පෑ පිරිත් සජ්ඣායනාවක් පවත්වා ආශිර්වාද ලබා ගෙන පසුදා වීදි සංචාරය කිරීමට නියමිතය.

පොහෝදා රාත්‍රියේ විහාර මළුවේ පිහිටි ඓතිහාසික බුදු මැදුරේ සිට රාත්‍රි හත පසුවී විනාඩි 47 ට යෙදෙන සුබ මුහුර්තයෙන් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව වීදි සංචාරය ආරම්භ කරන්නට නියමිත මෙවර පෙරහර අග්‍රගණ්‍ය පූපෝපහාරයක් වශයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තුණුරුවන් වෙනුවෙන් සියලු වත් පිළිවෙත් පවත්වා ආශිර්වාද ලබා ගැනීම සියල්ලට ප්‍රථමයෙන් සිදු කෙරේ. ශ්‍රී බුද්ධ වර්ෂ 779 දී සිය හිස තම අතින්ම ගලවා දුගියකු වෙනුවෙන් දන් දෙන්නට තරම් මහා කාරුණික උත්තමයෙකු මෙන්ම ලක්දිව රාජාවලියේ ධාර්මිකත්වයෙන් පිරිපුන් රජ කෙනකු වශයෙන් රටවාසි සියලු දනන්ගේ නිබඳ ගෞරවාදරයකට පාත්‍රව සිටි සිරි සඟබෝ බෝධි සත්වයාණන් වහන්සේට ගෞරව උපහාර පිරිනැමීමටද මෙම පෙරහරින් බලාපොරොත්තුවේ. බෝධිසත්වයාණන් වහන්සේ නමක් වැඩ සිට ඇත්තේ ද මෙම අත්තනගල්ලේය.

එමෙන්ම, අත්තනගල්ල විහාරස්ථ පරිශ්‍රයේ වැඩ වෙසෙමින් ධූතාංග 13 ක් අතරින් එකක් සමාදන් වී අභ්‍යවකාශයේ බවුන් වඩා රහත්භාවයට පත්වුණා වූ අබ්භෝකාසිකංගධාරි මහරහතන් වහන්සේ වෙත ගෞරව කිරීමක්ද මෙම පෙරහරේදී සිදු කෙරේ.

සිරි සඟබෝ රජතුමාගෙන් පසුව මෙම අත්තනගල්ල රාජමහා විහාරස්ථාන පරිශ්‍රය දිනෙන් දින දියුණු කරන්නට එකල නිබඳ විමසිල්ලකින් කටයුතු කළා වූ ගෝඨාභය, මුගලන්, පරාක්‍රමබාහු, විජයබාහු වැනි උදාරතර රජ උතුමන් වහන්සේලා වෙනුවෙන් ගෞරව උපහාර දැක්වීමටද අපේක්‍ෂිතය.

මෙවර අත්තනගල්ලේ පෙරහරට සුවිශේෂී වූ අංගයන් රැසක් ද එක්කර තිබේ.බොදු ජනයාගේ මුදුන් මල්කඩ වන් උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සිහිපත් කර පුද පූජාවන් පවත්වන ගමන්ම විෂ්ණු, කතරගම, පත්තිනි, සමන් යන දේවප්‍රතිමා වහන්සේලා පෙරහරේ වැඩම කරවමින් එම දෙවි දේවතාවුන්නාසේලා වෙනුවෙන් පූජාවන් පැවැත්වීමටත් නියමිතය.

මීට අමතරව අලි ඇතුන් 18 දෙනෙක් පිරිවරා පැවැත්වෙන මෙම පෙරහර වෙනුවෙන් දළදා මාලිගාවේ හා රත්නපුර මහ සමන් දේවාලයේ පළපුරුදු නර්තන ශිල්පීන්ගේ උඩරට පහතරට නර්තනාංගයන් ගිනිබෝල කරකවන්නන්, කසකරුවන්ද සහභාගි වන බැවින් පෞරාණිකත්වය පිරි අතිශයින්ම විචිත්‍රවත් වූත්, අලංකාරවත් පෙරහරක් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රදේශවාසීන්ට හිමිවේ.

විහාරස්ථාන පරිශ්‍රය වටා අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු පෙරහර මාවතේ වරක්,දෙවරක් නොව,තෙවරක්ම වීදි සංචාරය කරවා ගෙට ගෙවදීමට නියමිත මෙම අසිරිමත් පුන්‍යකර්මයේ සමාප්තිය සනිටුහන් කරනු ලබන්නේ ආසියාවේ දැවැන්තයකු වශයෙන් සංවර්ධිත දේශයක් කරා රට යන ගමනටත්, තිස් වසරක කුරිරු ත්‍රස්තවාදි පිළිලයෙන් රට මුදාගත් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන රජයටත්, රටවාසි සියලු දෙනාටත් තුන්රුවනේ ආශිර්වාදයත්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ රැකවරණයත් පිහිටත් නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරවමිනි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]