UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික නාමල් උයන

ජාතික නාමල් උයන

වර්ග කිලෝමීටර් හැටපන් දහස් හයසිය දහයක් තරම්වූ, පුංචි ගොඩබිම් තීරුවකින් හෙබි අපේ රට, ලෝකයේ විවිධ කලාපයන් තුළ විද්‍යාමාන වන විවිධ දේශගුණික තත්ත්වයන්ගෙන් පෝෂණය වූ රටකි. අපේම වාසනාවට එම දේශගුණික ගතිකත්වයන්ද සමබරය. අසිරිමත් වූ මෙරට ඉපදීමට වරම් ලැබූ අප කොයි තරම් වාසනාවන්තද, භාග්‍යවන්තද!

මෙරට හරි මැද ලෙස ප්‍රකට නොනිදන දඹුල්ල නගරයේ ඓතිහාසික වටිනාකම් රාශියකින්ම විරාජමාන වූවකි. දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් 15 ක් තරම් දුරකින් මං පෙත් දෙකක් ඔස්සේ ගිය තැන හමුවන ජෛවවිවිධත්වයෙන් යුත් මහා වනස්පතියකි. අක්කර දෙදහසක් තරම් වූ භූමි භාගයක් පුරා මේ වනපෙත සිය අණසක පතුරුවාගෙන ඇත.

දඹුල්ල නගරය හරහා යාපනය දක්වා දිවෙන ඒ – 9 මාර්ගයේ මඩාටුගම හංදියෙන් හැරි ආඩියාගල දෙසට ගමන් කිරීමෙනුත්, ගලේවෙල දඹුල්ල මාර්ගයේ 91 හන්දියෙන් හැරි ඉබ්බන්කටුව වැව් කොමළිය මතින් ගල්කිරියාගම දක්වා දිවෙන මඟ දක්වා පුබිබෝගමට පැමිණ එතැන සිට ආඩියාගල දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 02ක් තරම් දුරක් ගමන් කිරීමෙන් මෙම වනස්පතිය වෙත ළඟා විය හැක. ගලේවෙල, කලාවැව හරහා කැකිරාව මාර්ගයේ ආඩියාගලින් හැරී පැමිණීම තවත් පහසු මාර්ගයකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ගල්කිරියාගම උල්පතගම නම් වූ සුන්දර ගම්මානයටත් රණව ගම්මානයටත් මැදිව පිහිටි මෙම ඓතිහාසික වටිනාකම් රැසකින් හෙබි වනස්පතිය මීට දශක දෙකකට ප්‍රථම එවැන්නක් තිබුණු වගක්වත් නොදැන නිසොල්මනේ පැවතියකි. ඒ බව දැනගත් අයෙක් වේ නම් හෙතෙම හොර දැව ජාවාරම්කරුවෙකු විය. නැතිනම් නිදන් මංකොල්ලකරුවෙකු විය. එසේ නැතිනම් හිත් පිත් නැති පර පණ නසන දඩයක්කරුවෙකු විය.

ඉහතින් දැක් වූ කිනම් මගකින් පැමිණියත්, ඔබ ප්‍රවිෂ්ට වන්නේ ‘මොරගහ උඩ පෙරලියෙන්’ මෙලොව එළිය දුටු අග්නිදිග ආසියාවේ විශාලතම රෝස තිරිවානා නිධියෙන් වර්ණවත් වූ ජාතික නාමල් උයනටමය. වියළි කලාපීය දේශගුණයත්, තෙත් කලාපීය දේශගුණයත් උරුම කර ගත් ප්‍රදේශයක පිහිටි ජාතික නාමල් උයන වෙත ඉහතින් සඳහන් කළ කිනම් මගකින් පැමිණියත්, ජාතික නාමල් උයන වෙත පැමිණීම ගතට දැනෙනුයේ ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි සිසිලසකි. නෙත ද, ගත ද, සිත ද සොබාසිරියෙන් ඇලලී නිරාමිස සුවයේ පහස අපවෙත සමීප කරවීම අදාහාගත නොහැක්කකි. පරිසර පද්ධතියේ සොඳුරු බව කීමට අප දන්නා වචන නැති තරම් ය. ඉන්දියාවේ ‘ටජ් මහල්’ ප්‍රාසාදය තැනීමටත් ජාතික නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධියේ ගල් ගෙන ගිය බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එවන් ඓතිහාසික වටිනාකමින් යුත් රෝස තිරිවානා නිධිය අක්කර හයසියයක් පමණ වපසරියක්ව පවතී. නාමල් උයන සමස්ත භූමි ප්‍රදේශයේ එකම තැනකදිවත් කලු ගලක් සොයා ගැනීමට නොහැකිවීම ස්වභාව ධර්මයේ විශ්මකර්ම මැවීම කෙතරම් දැයි ස්වභාව ධර්මයට වින කරන මානවයාට කියාදෙන පාඩමක් වැනි ය.

ජාතික නාමල් උයන ලෙසින් අප හඳුන්වන අක්කර දෙදහසක් තරම් වූ බිම් ප්‍රදේශය තුළ ඉතිහාසයේ මෙම පුණ්‍ය භූමිය කෙලෙස පැවැතියේ දැයි සිතා ගැනීමට ඇති සාක්‍ෂි, නටබුන් හා ස්මාරක අපමණ ය. ඒ ඓතිහාසික වටිනාකම් ඔස්සේ මෙහි ඉතිහාසය පිළිබඳ හෙළිදරව් වී පවතින කරුණු සඳහන් කිරීම පාඨක ඔබට වැදගත් යැයි සිතමි. ජාතික නාමල් උයනට නැඟෙනහිරින් පිහිටි යාබද ගම්මානය රණවය. ලාංකිය ඉතිහාසයේ දුටුගැමුණු, එළාර යුද්ධයේ ‘විජිතපුර සටන’ ඉතා බිහිසුණු සහ තීරණාත්මක සංග්‍රාමයක් ලෙසින් පොත පතෙහි සඳහන් ය. එළාර රජු මරණයට පත්කර දුටුගැමුණු රජතුමන් ලක්දිව පාලනය සියතට ගනුයේ මෙම යුද ජයග්‍රහණයෙන් පසුවය. විජිත පුරයට රණව සිට දුර කිලෝමීටර 15 ක් පමණය. රණව ගම්වැසියන් එදා මෙම සංග්‍රාමය සඳහා ආයුධ නිපදවූ බවත්, ගැමුණු කුමරුගේ සේනාවට එක්ව යුද පිටියට ගිය බවත් සඳහන් ය. 5 වන දප්පුල රජු විසින් කරවූ බවට හඳුනාගෙන ඇති ආඩියාගල ටැම් ලිපිය ඇත්තේ රණව පිහිටි ඓතිහාසික දෙව්රද රන්රද විහාරයේ ඉදිරිපිටය. ආඩියාගල ටැම් ලිපියේ සඳහන් වන්නේ මෙම ප්‍රදේශයට ඇතුළු වූ රාජද්‍රෝහි පුද්ගලයෙකු වුවද ඇල්ලීමට රජුට බලයක් නොතිබූ බවයි. මොරොත්තේගම, උල්පතගම, නාරන්ගස්වැව, රණව, දඹුළුහල්මිල්ලවැව යන ග්‍රාමයන්ගෙන් වට වී ඇති නාමල් උයන අයත් මෙම වන උයන වන සතුන්ට පමණක් නොව මානවයාට ද අභය සැලසු ලෝකයේ ප්‍රථම සහ එකම මිනිස් අභය භූමිය ලෙස හඳුනාගෙන ඇත. මෙම ඓතිහාසික සාක්‍ෂිය පමණක් ජාතික නාමල් උයනේ ඓතිහාසික වටිනාකම සහ එහි සම්බන්ධතාවය පසක් කර ගැනීමට ප්‍රමාණවත් ය.

එහෙත් එපමණකින් ම සෑහීමකට පත් නොවී පාඨක ඔබ වෙනුවෙන් ජාතික නාමල් උයනේ යට ගිය දවසේ තොරතුරු පිපාසයෙන් නාමල් උයනට පිවිසියෙමි. මහා මාර්ගයේ පිවිසුම් දොරටුවේ සිටම නාමල් උයනේ දක්නට ඇත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නා ගස් ය. නා ගස අපේ රටේ ජාතික වෘක්‍ෂයයි. මංගල, සුමන, රේවත හා සෝභිත යන බුදුවරුන් බුද්ධත්වය ලැබුයේ නා ගස් සෙවණේ සිට බව බෞද්ධ ඉතිහාසය අපට කියාදෙයි. ඒ නිසාම නා ගසට බෞද්ධ ඉතිහාසයෙන් ලැබී ඇත්තේ පූජනීය ස්ථානයකි. ඉතිහාසය විසින් ලබා දී ඇති එම පූජනීයත්වය කොයි තරම් සාධාරණ ද යන්න නා උයනට පා තබන ඕනෑම අයෙකුට පසක් වනු නියතය. නාමල් වලින් පිරුනු නා ගස් සමූහය අතරින් විහිදෙන සුවඳ කා තුළත් ජනිත කරනුයේ පහන් හැඟුමන් ය.

ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය බව ද අපට සිහිපත් කරවයි. අක්කර දෙසිය හැටක් පුරාම දකින්නට ඇත්තේ මලින් පිරුණු දෙව්ලිය දෙතොල්වලට සමකළ හැකි නා දළු වලින් පරිසරයම අලංකාරවත් කරන නා ගස් ය. ස්වභාවධර්මයේ අසිරිමත්ම මවා පෑම මෙය නිසාම දෝ මෙම වන පියස 2005 අප්‍රේල් 26 දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රක්‍ෂිත වනාන්තරයක් බවට පත් කර ඇත.

තවත් පියවර ගණනාවක් නා ගස් සෙවණ මතින් එහි සිසිලස ගතට උරා ගනිමින් ගමන් කරන විට හමුවනුයේ විශාල මොරගසකි. නා ගස් අතර සෘජුව සිට ගනිමින් විරාජමාන වන මොර ගස ද කිසියම් ආඩම්බරයකින් වට පිට බලන සැටියකි දක්නට ලැබෙන්නේ. තොරතුරු විමසීමේදී මෙම මොර ගසට ද නා උයන ගැන සාධාරණ වූ ආඩම්බරයක් ඇති බව පසක් කර ගත්තෙමු. ඒ ජාතික නාමල් උයන ලෝකයාට හඳුන්වාදීමේ පුරෝගාමියාවූත්, වර්තමානයේ එහි ආරක්‍ෂකයාවූත්, සිය පණ මෙන් ආදරයෙන් රැක බලා ගන්නාවූත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ට පළමුව සෙවණ ලබා දී ඇත්තේ මෙම මොර ගසය. වන අලින්ගෙන්, රුදුරු වන සතුන්ගෙන්, විෂඝෝර සර්පයින්ගෙන් උපද්‍රවයක් නොවන ලෙසට රාහුල හිමියන් රැක බලා ගත්තේ, රාහුල හිමියන්ට නවාතැන් දී ඇත්තේ මෙම ඓතිහාසික මොරගසමය. ස්වභාවධර්මයාගේ විනාශයට මානවයා විසින් වින කටිනු ලැබුවත්, මානවයාගේ පැවැත්මට ගහකොළ කොයි තරම් උදව් උපකාරි වනවාද කියන යථාර්ථය අවබෝධ කර ගැනීමට මෙය හොඳම සාක්‍ෂියකි. ගස සතුරු - මිතුරු වෙනසක් නොමැතිව සැමට එක සේ සෙවණ, සිසිල ලබා දේ යන තේරුමින් යුත් ‘රුකෙඛා ජායා මකනං කරෝති’ යන පාලි පාඨයෙන් බුදුදහම සොබා දහමට මොන තරම් ඇලුම් කළාද? කරනවාද? යන්න අවබෝධ කරගත හැකිය.

මේ සා විශාල නා උයනක් විවිධ වූ උපද්‍රව වලින් ආරක්‍ෂා කරගනිමින් අනාගත පරම්පරාවට දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දුන් හා දෙමින් සිටින වනවාසි රාහුල හිමියන් මිනිස් පුළුටක් නැති මහා වනය මැද මොරගසක් උඩ විසීම කොයි තරම් බිහිසුණු ද, එහි බිහිසුණු බව කටුක බව වඩාත් දියුණු තියුණු වන්නේ භික්‍ෂුවක් වීම නිසා ය.

“පරිසරය රකින්නා පරිසරය විසින්ම රකී” මහත්තයෝ මේ කැළය මම රකින්නේ මගේ දරුවෙක් වගේ. ඒ උන්වහන්සේගේ පිළිතුර ය. ස්වභාවධර්මය ගැන උන්වහන්සේගේ ඇති විශ්වාසය එයින්ම අවබෝධ කරගත හැකිය.

අනුරාධපුර මුල් යුගයේ රජකම් කළ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිට ක්‍රි.පූ. 8 වන සියවස දක්වා නා කැළය ආශි‍්‍රත මෙම ප්‍රදේශය දිවයිනේ ප්‍රසිද්ධ ආගමික ස්ථානයක් වශයෙන් තිබූ බවට නාමල් උයනේ ඇති ඓතිහාසික නෂ්ටාවශේෂයන්ගෙන් සාක්‍ෂි සැපයේ. අපි මෙතෙක් වෙලා තොරතුරු කියවූයේ ජාතික නාමල් උයන හා එම පුණ්‍ය භූමියේ ඉතිහාසය ගැනය.

අද අප සියැසින් දකින ස්වභාවධර්මයේ අසිරිමත් මැවීමක පහස ගතින් විඳගනු ලබන ජාතික නාමල් උයන ලෝකයාට හඳුන්වා දීමට පුරෝගාමි වූ පාරිසරික විශ්වවිද්‍යාලයක් බඳු ජෛව විවිධත්වයෙන් අනූන මෙම ක්‍ෂේමභූමිය හෙට පරපුර වෙනුවෙන් රැකබලා ගන්නේ ද වනවාසි රාහුල හිමියන් ය.

වනවාසි රාහුල හිමිගෙන් තොර ජාතික නාමල් උයනක් ගැන කථා කළ නොහැක. ස්වභාවධර්මයේ අසිරිමත් මැවීමක් වූ රෝස තිරිවානා නිධිය සමගින් වූ ජාතික නාමල් උයනත් වනවාසි රාහුල හිමියනුත් අතර ඇත්තේ අවියෝජනීය වූ සම්බන්ධතාවයකි.

මෙම නා වනය ලෝකයාගේම ආදරය දිනූ සංචාරක ක්‍ෂේත්‍රයේ තවත් එක් කෙම් බිමක් බවට සනිටුහන් කරන නාමල් උයනක් බවට පත්කරලමින් දිවි නොතකා අනේක විධ දුක් ගැහැට විඳිමින් අඛණ්ඩව විසි දෙවසරක් පුරා පවත්වාගෙන ඒම තුළම උන්වහන්සේගේ අධිෂ්ඨානශීලී බව කැපකිරීමේ ස්වභාවය මොන තරම් දැයි පෙන්වන කැඩපතක් බඳු ය.

නා කැළය ලෝක පූජිත නා උයනක් බවට පත් කරලීමේ ‘බිජුව‘ රෝපණය කිරීමට උන්වහන්සේ යොමු වන්නේ තමන් දුටු සිහිනයක් ඔස්සේ පියවර තැබීමෙනි. එහි ප්‍රතිඵලය වූයේ අද වන විට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වී මේ රටේ ජාතික සම්පතක් බවට පරිවර්තනය වීමයි. එදා මෙදා තුර මෙම ජාතික මෙහෙවරට උරදුන් සියලු ගෞරවයන් මේ රටේ සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලට හිමි විය යුතු බව වනවාසි රාහුල හිමියන් ඉතා සංවේදීව ප්‍රකාශ කරයි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk