භික්ෂු සංඝස්ස 05
කිලිටි ගතේ
බුද්ධ චීවරය
රැඳෙන්නේ නැත
ලියන්නේ මර්වින් සේනාරත්න
ලොකු හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් අතර ඇතිවූ සංවාදය නිමවූයේ සුහද
ආකාරයෙනි. ගමට ගිනි පිඹින ස්වරූපයක් එහි නොතිබිණ.පොඩි හාමුදුරුවන් ගමට
ගිනි පිඹිනවා යන කතාව නිකම්ම නිකම් පුස්සක් විය.
මදක් නිහඬව සිටි ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රශ්නයක් නැගූ සේක.
“කව්ද පොඩි නම ඒ කතා කළේ අලුත් දායක සභාවක් පිහිටුවන්න?”
“පැටී මහත්තයා!”
“පැටි මහත්තයා පන්සලට සළාක දානයවත් දෙන උපාසකයෙක් නොවෙයි. නමුත් පන්සල
ගැන කැක්කුමක් හැදිලා දායක සභාවල් පිහිටුවන්න”
”කොහොමත් මම ඔය වගේ අය එක්ක වැඩ කරන්න කැමති නෑ ලොකු හාමුදුරුවනේ! මම
යමක් කරන්නේ වැඩ කරන්න සුදුසු අය සමග වැඩ කළ යුතු ආකාරය හරිහැටි දැන
ගෙන පමණයි. පන්සල් වල වැඩ කෙරෙන්නෙ ඕනෑ අන්න එහෙමයි.”
“බොහොම හොඳයි පොඩි තැන දැන් ගමන් ගන්නේ නිවැරදි මගක මං හිතන්නේ මට ඕනෑ
කරන මාර්ගයට පොඩිනම කවදාහරි පිවිසෙයි !”
“අර භික්ඛූ සංඝස්ස’ ගුවන් විදුලිවැඩසටහන ඇසුවාම වැටහෙයි මම ගමන් ගන්න
මඟ කුමක්ද කියා!”
“මම අහනවා ඊළඟ වැඩසටහන් මට මතක් කරන්න!”
“ඈ අප්පුහාමි! කරුන් දේ ලොක්කා මෙතැන තෙපරං බෑවට, ලොකු හාමුදුරුවොයි
අපේ මලයා හාමුදුරුවොයි අතර අමනාප කමක් නැති බව, ඒ කතාවෙන්ම අපට
වැටහෙනවා නොවැ? ඈ ! ? “
“ඔව් කුරුන්දේ ලොක්කා ඔහේ කියන ජාතියෙ විරසකයක් නැහැ නොවැ,ලොකු
හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි අතර? ගමට ගිනි තියන්න හදන්නේ අර පැටී
මහත්තයා! “
දැන් අප්පුහාමි සිය බිරිඳ වන හාමිනේගේ පැත්තේය. කලින් සිටියේ කුරුන්දේ
ලොක්කාගේ පැත්තේය. වාසියට මායිම් වැට පැනලාය. මෙහෙව් අය කොහෙත් සිටිති.
සමාජයේ පැවැත්ම සඳහා අප්පුහාමි, කුරුන්දේ ලොක්කා සහ පැටි මහත්තයා වැනි
අය ද අවශ්‍ය යැයි කියන අය ද සිටිති.
පල්ලේබැද්දේ අප්පුහාමි ගේ සම්පූර්ණ නම, පල්ලේබැද්දේ කංකානම්ගේ
මායාදුන්න අප්පුහාමිය. ප්‍රදේශයේ හොඳම පාරම්පරික ඉඩම් හිමි වැවිලිකරු
ඔහු ය. පොල්, රබර් ,පුවක්, තැඹිලි, දොඩම්, අන්නාසි ආදියෙන් සරුසාර
ආදායමක් ලබන අප්පුහාමි, මායාදුන්න රජුගේ ඥාතියෙකු වශයෙන්ද ප්‍රකට ය.
පල්ලේබැද්දේ කරුණාවති හාමිනේ සමග පල්ලේබැද්දේ මායාදුන්න අප්පුහාමි
විවාහ වූයේ ඇගේ රූප සම්පත්තියත්, පරම්පරා බලමහිමයත් නිසා ය. එසේ හෙයින්
අප්පුහාමි දෑවැද්දද අමතක කළේ ය. යහපත් යුග ජීවිතයක සරුසාර පල ඔවුන්
දෙපළ විඳ ගත්තද ඔවුන්හට දරුපල වාසනාව අහිමි විය.මේ නිසා ඔවුන් කළේ,
හාමිනේගේ බාලම සහෝදරයා වන සුගත් දරුකමට හදා වඩා ගැනීම ය. සුගත්ට හොඳ
ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා දීමද ඔවුන් දෙපළ අතින් ඉටුවිණ.
සුගත් දරුකමට හදා ගැනීම අරඹා තුන් වසරක් පමණ ගෙවෙත්ම අප්පුහාමි
දෙමහල්ලන්ට පුත් රුවනක් ලැබිණ. හේ සම්මත පුතා ය. සම්මත පුතාට වසර පහ
ලබද්දී, සුගත් සසුන්ගත වූයේ පල්ලේබැද්දේ සෝම හිමි නමිනි.
බුද්ධ චීවරය පෙරැවීම ඇත්ත වශයෙන්ම අතිඋත්තරීතර කාර්යයකි. එය හැමටම කළ
හැකි කටයුත්තක් නොවේ. සිවුරු පොරවන අය සිටිති! නමුත් ගත සිත ජරාජීර්ණ
නිසා කිලිටු ගතේ බුද්ධ චීවරය රැෙඳන්නේ නැත. ඉතින් සිවුරු හැර යති.
ලලිතා දැරිවි දිනක් සම්මත සමග සෙල්ලම් පිණිස පැමිණියත් සෙල්ලම් කළේ
නැත. පුංචි යහලු යෙහෙළියෝ වුව ද ඔවුන් හට ද පුංචි මතිමතාන්තර නැත්තේ
නොවේ. සෙල්ලම් පිණිස පැමිණි මොහොතේ සිටම, සම්මතගේ මුහුණ දෙස බලා සිටි
ලලිතා සම්මත වෙතින් විමසුවේ අමුතු ප්‍රශ්නයකි.
“සම්මත අයියේ? ඇත්තද ඔයා මහණ වෙනවා කියන්නේ?”
“ලලිතා නංගි අද මගෙන් ඔය ප්‍රශ්නය අහන්නේ දෙවෙනි වතාවට නේද?”
“අනේ මට දුකයි සම්මත අයියේ!”
“කව්ද ලලිතා කියන්නේ මම මහණවෙනවා කියලා? ”
“ ඔය ගොල්ලගෙ සෝම හාමුදුරුවෝ අපත් එක්ක කීවා සම්මත පුතාව මහණ කරවා ගන්න
ඕනෑ බව !”
“සෝම හාමුදුරුවෝ එහෙම කිව්වට අපේ අම්මයි තාත්තයි ඉඩදෙන්නේ නෑ. නංගියේ
මාව මහණ කරවා ගන්න ”
“සම්මත අයියා කැමතිද මහණවෙන්න?”
“මම මහණවෙන්න නම් කැමති නෑ! හැබැයි හාමුදුරුවන්ට කැමැතියි” “ඇයි ඒ”
“අනේ මන්දා මට හරි ආශාවක් තියෙනවා මාමා හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ දිහා
බලා ඉන්න”
“දවසක් හාමිනේ ආච්චිත් අපේ ගෙදරදි කිව්වා සම්මත පුතා පන්සලට ගියොත්
කරන්නේම බුදු ගෙයි බුදු පිළිමය දෙස බලාගෙන ඉන්න එකයි කියා!”
“ඔව් පන්සලට ගියාම මං කැමති අපේ මාමා හාමුදුරුවී හරි ලොකු හාමුදුරුවො
හරි දිහා බලාගෙන ඉන්න නොවෙයි . බුදුහාමුදරුවෝ දිහා බලාගෙන ඉන්න!”
අනේ දෙයියනේ අපේ රටේ සෑම සිංහල බෞද්ධ ළමයෙක් තුළම සම්මත පුතා තුළ ඇති
ආශාව ඇති වෙනවා නම්, එය කෙතරම් ශාන්තියක්ද ? මේ ආශාව ඇති කිරීමට අපෙ
භික්ඛු සංඝස්සට බැරි ද?
|