UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මැදින් පෝදා සිරිපා කරුණා කිරීමට බොදු ජනතාව පුරුදු වී සිටිනවා

මැදින් පෝදා සිරිපා කරුණා කිරීමට බොදු ජනතාව පුරුදු වී සිටිනවා

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේත්, දෙස් විදෙස් සංචාරකයන්ගේත් ගෞරවනීයත්වයටත්, පූජනීයත්වයටත් පත්ව තිබෙන ශ්‍රීපාදස්ථානය, එහි පෞරාණිකත්වය සුරැකෙන අයුරින් සංරක්ෂණය කර සංවර්ධනය කරන බව වත්මන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

එළැඹෙන මැදින් පුර පසළොස්වක් පොහෝ දිනයේදී අතිවිශාල සැදැහැවතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙනු ඇතැයි විශ්වාසය පලකරන නාහිමියෝ ඒ සියලු දෙනාට ඉතා පහසුවෙන් ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් දැනටමත් සකස් කර අවසන් බවද කියා සිටිති.

නාහිමිපාණන් ශ්‍රී පාදස්ථානාධිපති තනතුරට පත්වීමෙන් පසුව එම ස්ථානයේ සිදුකර ඇති සංවර්ධන කටයුතු පිළිබඳව බුදුසරණ සමඟ සාකච්ඡාවට එක්වෙමින් දැක්වූ අදහස් මෙසේය.

වෙන කවර කාලයකටත් වඩා අති පූජනීය ශ්‍රී පාදස්ථානය කෙරෙහි මේ වනවිට සෑම කෙනෙකුගේම විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

රාජ්‍ය නායකයාගේ සිට සියලුම බෞද්ධ සැදැහැවතුන් ශ්‍රී පාදස්ථානය කෙරෙහි දැඩි උනන්දුවකින් පසුවෙන බව පෙනෙන්ට තිබෙනවා.

මා, මේ පූජනීය ස්ථානය භාරගත් දවසේ පටන් අද දක්වා වෙහෙසෙන්නේ එහි පුරාවිද්‍යාත්මක අගය හා පෞරාණික වටිනාකම සුරැකෙන අයුරින් එහි අවශ්‍යතා ඉටුකරලීමටයි.

අවුරුදු 30 ක් පමණ කාලයක් මේ රටේ පැවැති ත්‍රස්තවාදී උවදුරින් රට නිදහස් වීමෙන් පසුව අද ජනී ජනයා නිදහසේ තම තමන්ගේ ආගමික සිද්ධස්ථාන වැඳ පුදාගෙන ඒ ඒ වතාවත් ඉටු කිරීමට වැඩි වැඩියෙන් උනන්දුවෙන් කටයුතු කරනවා.

ඒ අනුව ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් ප්‍රමාණයත් ඉතා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වතාවේ ලක්ෂ මෙපමණක් ආවාය, ඒ ප්‍රමාණය එයට පෙර වතාවල් වලට වඩා සියයට ගණනකින් වැඩවී තිබෙනවාය කියමින් මේ ප්‍රමාණයන් ගණනය කරන්නට යෑම අනවශ්‍යයි.

රට සාමකාමී වූ පසුව ජනතාව නිදහසේ තම තමන්ගේ කටයුතු කරගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. අවශ්‍ය වන්නේ ඒ පැමිණෙන පිරිසට අවශ්‍ය යටිතල පහසුකම් හා ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමයි. මගේ අවධානය යොමුවී තිබෙන්නේ ඒ සඳහායි.

මා මේ තනතුරට පත්වූවාට පසුව සුමණ සමන් දිව්‍ය රාජයාණන්ගේ පිළිරුව තැන්පත් කර තිබෙන ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරය වචනයේ පරිසමාප්තයෙන්ම විහාරස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළා. බෝධීන් වහන්සේ වටා රන් වැටක් ඉදි කළා. සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමාව සහ කරඬුව තැන්පත් කිරීමට මණ්ඩපයක් සකස් කළා. මෙය හඳුන්වන්නේ සඳුන් මණ්ඩපය කියලා යි.

ගල්පොත්තාවෙල විහාරස්ථානය කියන නමට ගැළපෙන ආකාරයෙන් කලුගලෙන් නිමැවූ උලුවහු සවි කළා. සඳකඩපහණක් නිර්මාණය කළා.

එපමණක් නොවෙයි, දිනපතා බුද්ධ තේවාව මෙන්ම දේව තේවාව පටන් ගත්තා. හොඳ සැදැහැවතුන් පිරිසක් නිතර ගැවසෙන නිරන්තරයෙන් පුද පූජා පවත්වන පුණ්‍ය භූමියක් බවට පත් කිරීමට හැකිවුණා.

දුරුතු පොහොය දිනයේ අප රටේ කැලණි විහාරය මුල් කරගෙන ජනතාව ආගමික වතාවත්වල යෙදෙනවා. නවම් පොහොයට ගංගාරාමයේ පින්කම් සිදු කෙරෙනවා. එසේම පොසොන් පොහොයට මිහින්තලේ කේන්ද්‍ර කර ගෙනත් උඳුවප් පොහොයට ජයසිරි මහ බෝ සමිඳුන් මුල් කරගෙන අනුරාධපුරයට පැමිණෙමින් බෞද්ධ ජනතාව සිය ආගමික වතාවත් ඉටුකරනවා.

ඒ අනුව මැදින් පොහොය දිනයේ සිරිපා කරුණා කර ගෞතම බුදුපියාණන්ගේ සිරීපාද පද්මය වැඳ නමස්කාර කිරීමට අප රටේ බෞද්ධ ජනතාව පුරුදුවී සිටිනවා.

මැදින් පුර පසළොස්වක් පොහොය දිනය ඒ නිසා ශ්‍රී පාදස්ථානයට සුවිශේෂියි. මේ පොහොය එළැඹෙන්නේ් ගොවිතැන් බත් කරන ජනතාව තම භවභෝග සම්පත්වල අස්වනු නෙළා ගැනීමෙන් අනතුරුවයි. පරිසරය වුනත් ඉතාමත් දැකුම්කලුයි. සුන්දරයි, කාලගුණය යහපත්. මේ සාධකත් සියල්ල ශ්‍රීපාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුවට හේතුවෙනවා.

ගල්පොත්තාවෙල ශ්‍රීපාද විහාරයේ සිට දේව ප්‍රතිමාව ශ්‍රී පාදස්ථානය කරා වැඩමවීම මා පැරණි රජ මාවතෙහි සහ දැනට භාවිතා කරන මාර්ගයෙන් යන මාර්ග දෙකෙන්ම සිදු කළා.

ශ්‍රී පාදස්ථානය කියන්නේ ලෝක උරුමයක් ලෙස නම් කළ පූජනීය ස්ථානයක්. එබැවින් සමන් දෙවිඳු ප්‍රතිමාව වැඩම කරවීම සිදු කෙරෙන ආකාරය අපේ සැදැහැවතුන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ද නොමඳ සැලකිල්ලට භාජනය වෙන කාරණාවක්.

එමනිසා මේ ප්‍රතිමා වඩම්මවන පෙරහර දැකීමෙන් ජනතාවගේ සිත් ගෞරවාන්විතවීම සඳහා දේව ප්‍රතිමාවට සහ කරඬුවට දෝලා දෙකක් සකස් කළා. දේව ප්‍රතිමාව සහ කරඬුව රන් සිවි ගෙවල් දෙකක තැන්පත් කර ඒවා දෝලාවේ තබා පැමිණි සම්ප්‍රදායට අනුව සුදු පිරුවටයෙන් සැරසුණු යුද හමුදා භටයින් පිරිසක් විසින් මෙවර වැඩම කරවනු ලැබුවා.

දේව ප්‍රතිමාව සහ කරඬුව වැඩම කරවීමට යුද හමුදා නිලධාරීන් ඉදිරිපත් වුනේ සිය කැමැත්තෙන් බව විශේෂයෙන් සඳහන් කරන්ට ඕනෑ. ඒ අය සතියක් තිස්සේ පේවෙලා ඉතා ගෞරවාන්විත අයුරින් එය ඉටු කළා.

ගිනි අවි දැරූ සුරතින් සමන් දෙවිඳු ප්‍රතිමාව සහ කරඬුව වැඩම කරවීමට ලැබීම ඒ හමුදා නිලධාරීන්ටත් සමස්ත හමුදාවටත් මහත් ගෞරවයක් බව ඔවුන් මා සමඟ පැවසුවා.

මේ ක්‍රියාව සිදු කිරීමෙන් ඒ හමුදා නිලධාරීන් තුළ ඇතිවූ ආධ්‍යාත්මික තෘප්තිය හා සිතට දැනුන ශ්‍රද්ධාවත් අතිමහත්. ගිනි අවි දරාගෙන සිටි පිරිසක් ශ්‍රද්ධාවෙන් හා මෛත්‍රියෙන් සිත් පිරුණු පිරිසක් බවට පත්වීමෙන් ඔවුන් නිරාමිෂ ප්‍රීතියත් භුක්ති වින්දා. ඒ දර්ශනය දුටු සැදැහැවතුන්ගේ සිත් තුළත් මහත් ගෞරවයක් හා පිළිගැනීමක් ඇතිවුණා. මා ශ්‍රී පාදස්ථානයට යන විට එහි තිබූ ඉපැරණි ඝන්ඨාර තිබුණේ නැහැ. ඒ වෙනුවට අලුතෙන් ඝාන්ඨාර කුලුණක් ඉදිකර ස්ථානයට සුදුසු ආකාරයේ ඝාන්ඨාරයක් ඉදිකිරීමට පියවර ගත්තා.

ශ්‍රී පාදස්ථානයේ ඝාන්ඨාරය ඒ ස්ථානයට සුවිශේෂයි. සිරිපා නැමදීමට පැමිණෙන සැදැහැවතුන් තමන් පැමිණි වාර ගණනට ඝාන්ඨාරය නාද කිරීම ඉස්සර කාලයේ සිට පැවැති චාරිත්‍රයක්. එය යළිත් මනාව ඉටු කිරීමට සුදුසු ආකාරයේ ඝාන්ඨාරයක් සවි කිරීමට සියලු කටයුතු අවසන්. ශ්‍රී පාදස්ථානයේ ඝන්ඨාර නාදය වෙනත් ඝාන්ඨාර නාදවලට වඩා වෙනස් යැයි මහජනතාව අතර මතයක් පවා තිබෙනවා. ඒ නිසා අලුතෙන් එකක් සකස් කළා.

ශ්‍රී පාදස්ථානයේ දැල්වෙන දොළොස් මහේ පහනත් ජනතාවට ඉතාමත් වැදගත් කමකින් යුක්ත ඒ වගේම ජනතාව සිය අසනීපවලට පාවිච්චි කිරීම සඳහා තෙල් රැගෙන යන සහ රට පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන දේශීය වෛද්‍යවරුන් පවා තෙල් තැන්පත් කරන ස්ථානයක්. ඉතින් එවැනි වැදගත් කමක් තිබූ දොළොස් මහේ පහනත් මට අලුතින් සකස් කිරීමට සිදුවුණා. තනි කලුගලෙන් නිර්මාණය කරන ලද පහනක් සඳකඩපහණක් ද සහිතව සකස් කරදීමට පරිත්‍යාගශීලී මහත්මයෙක් ඉදිරිපත් වුණා. ඒ නිසා අපට දොළොස් මහේ පහන යළි සකස් කිරීමට හැකිවුණා.

දෙවැනි විජයබාහු රජ සමයේ ශ්‍රීපාදස්ථානයේ සියලුම බැමි සකස් කර තිබී ඇත්තේ කලුගල් වලින්. එපමණක් නොවෙයි සලපතල මලුව පවා කලුගල් අතුරා තිබූ බවට සාධක තිබෙනවා. පින්දහම් කිරීමට කැමැත්තෙන් පසුවෙන විශාල පිරිසක් අප රටේ සිටින එක අපට ලොකු ශක්තියක්. මේ විදියට ශ්‍රී පාද ස්ථානයේ කලුගල් ඇතිවීමට අවශ්‍ය වුණා. ඒ සඳහාත් පරිත්‍යාගශීලී මහත්මයෙක් ඉදිරිපත් වුණා. ඒ මහත්මයා කලුගල් පන් දහසක් මළුවට ප්‍රවාහනය කරලා ඉතාමත් ඉක්මනින් වැඩේ අවසන් කළා. මේවා මෙහෙම කරන කොට සමහර අයට දරා ගන්ට බැහැ. ඒ අය එක එක කරදර ඇති කරන්ට බලනවා. මා වැඩ කරන්නේ ශ්‍රද්ධාවෙන් හා විනිවිද භාවයෙන් යුතුවයි. ඒ නිසා කුමන බාධක සිදු කළත් ඒවා යටපත් කරගෙන වැඩ ටික කෙරෙනවා.

ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට වැඩම කරන ගරුතර මහා සංඝරත්නයට අවශ්‍ය උපස්ථාන සැලසීමට මා කෙනෙකු පත් කළා. දැන් මේ වනවිට දාන මාන ගිලන්පස සියල්ල මහා සංඝරත්නයට පිරිනමනවා. ශ්‍රී පාද පද්මෙට බුද්ධ පූජාව ඇතුලු සියලු වතාවත් විධිමත් කළා. ක්‍රමවත් කළා.

මා වාසය කරන පැල්මඩුලු රජ මහා විහාරස්ථානයේ පවා ආගමික වැඩකටයුතු ඉතා ක්‍රමවත්ව හා ගෞරවාන්විතව සිදු කෙරෙන බව මහා සංඝරත්නය ඇතුලු මුළු රටම දන්නවා.

සෑම කටයුත්තක්ම මා මාගේ පෞද්ගලික අවධානයට යොමු කරලා ඉටු කරන්නේ. කෙතරම් වෙහෙසක් දැනුනත් කරන වැඩ කොටස හරියට නිමවෙන අයුරු දැකීමෙන් ආත්ම තෘප්තියක් හා ආධ්‍යාත්මික සුවයක් ලැබෙනවා.

ශ්‍රී පාදස්ථානයේ ඉපැරණි පුරා විද්‍යාත්මක අගය සුරකිමින් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර සංවර්ධනය කිරීමට ඉදිරියටත් කැපවෙනවා.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk