පුනරුප්පත්ති ලිපි මාලාව - 11
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
හිටපු කථිකාචාර්ය,
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
අන්තරාභව සංකල්පය ථෙරවාදී භික්‍ෂූන් අතර මහාවිහාර සමයේ සිට ම විවාදයට
ලක් වූ කරුණක් බව අප අමතක නොකළ
යුතු ය. පරවාහැර චන්දරතන හිමියන් විසින් සංස්කරණය කර එළි දක්වන ලද
‘ආනන්ද මෛත්‍රෙය නා හිමි පැරීසියේ දී පැවැත් වූ විචිත්‍ර ධර්ම දේශනා’
නම් කෘතියේ සඳහන් පරිදි මහාවිහාරයෙන් භික්‍ෂු පිරිසක් කැඩී අභයගිරි
නිකාය පිහිටුවා ගැනීමට ද බොහෝ සෙයින් බලපා ඇත්තේ
මෙම අන්තරාභව සංකල්පය යි
පෙර ලිපියෙන් අපගේ අවධානය යොමු වූයේ තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් අන්තරාභවය
පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කරන්නේදැයි විමසා බැලීම සඳහා ය. එබැවින්
මෙවර සාකච්ඡාවේ දී අපගේ අවධානය යොමුවන්නේ අන්තරාභවය පිළිබඳ නූතන
ථෙරවාදී යතිවරුන්ගේ අදහස් කෙබඳු ද? යන්න විමසා බැලීමට ය.
අන්තරාභව සංකල්පය ථෙරවාදී භික්‍ෂූන් අතර මහාවිහාර සමයේ සිට ම විවාදයට
ලක් වූ කරුණක් බව අප අමතක නොකළ යුතු ය. පරවාහැර චන්දරතන හිමියන් විසින්
සංස්කරණය කර එළි දක්වන ලද ‘ආනන්ද මෛත්‍රෙය නා හිමි පැරීසියේ දී පැවැත්
වූ විචිත්‍ර ධර්ම දේශනා’ නම් කෘතියේ සඳහන් පරිදි මහාවිහාරයෙන් භික්‍ෂු
පිරිසක් කැඩී අභයගිරි නිකාය පිහිටුවා ගැනීමට ද බොහෝ සෙයින් බලපා ඇත්තේ
මෙම අන්තරාභව සංකල්පයයි.
ඒ අනුව බලන විට අන්තරාභව සංකල්පය මහාවිහාර සමයේ සිටම සංවාදයට තුඩුදුන්
කරුණක් බව පැහැදිලි වේ. මෙම සංකල්පය නැවතත් කරලියට පැමිණෙන්නේ
පුනරුප්පත්තිය පිළිබඳ නවීන පර්යේෂණ එළි දැක්වීමත් සමඟ ය. එම පර්යේෂණ
වලින් මරණින් පසු නැවත ඉපදීමකට පෙර ගතකරන ජීවිතය පිළිබඳව බොහෝ කරුණු
ඉදිරිපත් කැර ඇත. ඒ අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති පර්යේෂණය වන්නේ
ඇමරිකානු ජාතික මෝරි බෙර්න්ස්ටයින් විසින් පවත්වන ලද බ්‍රයිඩේ මර්ෆි
පිළිබඳ පර්යේෂණය යි. එහි සඳහන් කරුණුවලින් අන්තරාභව සංකල්පයට නව
අර්ථකතනයක් සපයා ඇත. එම පරියේෂණ පිළිබඳ තොරතුරු ඊළඟ ලිපියේ දී සාකච්ඡා
කරන්නෙමු.
මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ අන්තරාභවය පිළිබඳ වත්මන් ථෙරවාදී
යතිවරුන්ගේ අදහස් කෙබඳු ද? යන්න විමසා බැලීමට බව මුලින් සඳහන් කළෙමු.
එබැවින් පළමුව අපගේ අවධානය යොමුවන්නේ හේන්පිටගෙදර ඤාණසීහ නා හිමියන්
අන්තරාභවය පිළිබඳ දක්වා ඇති අදහස් පිළිබඳව ය. උන්වහන්සේ විසින් සපයා
ඇති මෙම අර්ථකථනයන් අපට හමුවන්නේ මහරහතන් වහන්සේ නම් වූ උන්වහන්සේගේ
කෘතියෙනි. එම අදහස් මෙසේ ය.
අන්තරාභවික මනෝමය කයක් ඇති ‘ගන්ධබ්බයා’ කරණීයමෙත්ත සූත්‍රයෙහි සම්භවේසී
යන නමින් හඳුන්වා ඇත්තේ සම්භවය හෙවත් උප්පත්තිය සොයන්නන් ලෙසිනි.
උප්පත්තිය යන්නෙහි අදහස නැවත සිරුරකට පැමිණීම ය. එය මාපිය සංවාසයෙන්
හටගත් කලල රූප ශරීරයක් හෝ සමහරවිට මියගිය පුද්ගලයෙකුගේ නරක් නොවූ
සිරුරක් විය හැකි යි. සමහර විට මවගේ කුසෙහි පිළිසිඳගත් වෙනත්
ගන්ධබ්බයෙක් එම කුසෙහි මාස ගණනක් සිට අතහැර දමාගිය සිරුරක් ද විය
හැකියි. එබඳු සිද්ධි දෙකක් මෙම රටේම සිදු වී ඇත. එකක් ඉංගිරියේ ද අනෙක
උඩගොරකේ අනුක්කනේ ද වෙයි. මෙසේ සිරුර කය පිවිසෙන්නේ මියගිය පුද්ගලයාගේ
ආත්මය යැයි කෙනෙකුට සිතෙනු ඇත. ආත්මවාදීන් හඳුන්වන
පටිච්චසමුප්පන්නවූවක් නොවේ. යම්කිසි සර්වබලධාරී දෙවියෙක් විසින් හෝ
බ්‍රහ්මයෙක් විසින් හෝ මවන ලද කිසිකලෙක වෙනස් නොවන සදාකාලික තත්ත්වයක්
ඔවුහු ආත්ම නාමයෙන් හඳුන්වති. අන්තරාභවිකයා සංඛාර පච්චයා විඤ්ඤාණං යන
පටිච්ච සමුප්පාද ක්‍රමයෙන් අද අප ජීවත් වන අපමෙන් මනෝමය කයක් තුළ
පවතින, පටිච්ච සමුප්පන්න විඤ්ඤාණයක් ඇතිව සීමාසහිත ජීවත් වන්නෙකි.
පුද්ගලයාගේ මරණයේ දී ඕලාරික සිරුරෙන් ඉවත් වූ මනෝමය කය පටිච්චසමුප්පන්න
විඤ්ඤාණයකින් යුක්තව අහසෙහි පාවෙමින් යයි. එසේ පාවෙන අන්තරාභවිකයා
ඉහතින් දක්වන පරිදි මවු ගැබකට හෝ ඇතැම්විට මියගිය පුද්ගලයාගේ සිරුරකට
හෝ පිවිසෙයි. (උපුටා ගැනීම මහරහතන් වහන්සේ - හේන්පිටගෙදර ඤාණසීහ නා
හිමි, 59 – 60 පිටු)
මීළඟට අපගේ අවධානය යොමුවන්නේ අන්තරාභව සංකල්පය පිළිබඳ බොහෝ කරුණු
ඉදිරිපත් කොට ඇති කන්නිමහර සුමංගල හිමියන්ගේ අදහස් වෙතය. මේ කරුණු
ඇතුළත්ව ඇත්තේ බ්‍රයිඩේ මර්ෆි සහ අන්තරාභවය යන කෘතියෙහිය. එම කරුණු
මෙසේ ය.
සාමාන්‍ය තත්ත්වයෙන් සිටින අන්තරාභවිකයා සාමාන්‍ය තත්ත්වයෙන් සිටින
මිනිසාගේ ඇසට නොපෙනෙයි. දිවැස් ඇත්තන්ට ඔවුන් පෙනෙන බව සිතන්නට කරුණු
තිබේ. දිවැස පිළිබඳව ඉහතින් කරන ලද විමර්ශනයෙන් ද ඒ බව හෙළිවෙයි.
යෝගාචාරිකයෝද වෛභාෂිකයෝ ද ඒ බව පැහැදිලිවම කියා සිටිති. බෙහෙතක් නිසා
හෝ වෙනත් කරුණක් නිසා හෝ තම ඉන්ද්‍රීය ශක්තිය වෙනස්කරගත් මිනිසාට ද
අන්තරාභවිකයන් පෙනෙන්නට ඉඩ තිබේ. ඇතැම් ප්‍රබල අන්තරාභවිකයන් තමා
කෙරෙහි ඇති කරගන්නා වූ වෙනසක් නිසා ද ඔවුන් මිනිස් ඇසට පෙනෙනවා විය
හැකි ය. කෙසේ හෝ ඇතැම් මළ පුද්ගලයන් කාලයක් යනතුරු ඒ වේශයෙන්ම දක්නා ලද
බව අසන්නට ලැබේ. මෙය ද දුලබව නමුදු සිදුවිය හැකි දෙයකි. මෙසේ දුටුබව
කියන අය මට හමු වී තිබේ. මේ අනුව බලනවිට සාමාන්‍ය මිනිස් අත්දැකීම්වලට
අනුවත්, අන්තරාභවිකයන් පිළිගැනීම යුක්තිසහගත වේ.
(උපුටාගැනීම: බ්‍රයිඩේ මර්ෆි සහ අන්තරාභවය – කන්නිමහර සුමංගල හිමි. 105
පිටුව)
සාකච්ඡා කළේ : බණ්ඩාර පිළවල
පුනරුත්පත්ති ලිපි මාලාව - 10 තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් හෙළිවන මරණින් මතු
පැවැත්ම
|