UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර පැතුමන් සේ වූහ අගසවු බුදුන් සෙවණේ

රජගහනුවර වේළුවනාරාමය කේන්ද්‍ර කරගෙන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේ ඇතුළු එක්දහස් දෙසිය පනහකට අධික භික්ෂු සේනාවක් ප්‍රථම වරට මහ සංඝ සම්මේලනය සඳහා එක් වූහ. මෙම මහා සංඝ සන්නිපාතය අවස්ථාවේදී සැරියුත් මුගලන් දෙනමට සම්බුදුසසුනේ අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම සුවිශේෂී කරුණකි. මහා රහතන් වහන්සේ මැද වැඩ හුන් බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරණුවන් හට දකුණත් සව් වශයෙන්ද, මුගලන් තෙරණුවන් හට වමත් සව් වශයෙන්ද තනතුරු පිරිනැමූ සේක. සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ සම්ප්‍රදාය බුදුපියාණන් වහන්සේ ක්‍රියාවෙන් පෙන්වා දුන් එක් අවස්ථාවකි ඒ.

මේ වසරේ අසිරිමත් නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුද්ධචරිතයේ මෙන්ම ශාසන ඉතිහාසයේත් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දිනයක් නිසා නවම් පොහොය බෞද්ධ වූ අපට අනුස්මරණීය වේ. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම, එහිදී සැරියුත් හා මුගලන් දෙනම හට බුද්ධශාසනයෙහි අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුන් පොහෝ දිනක සිදුවිය.එසේම භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමත් බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීමත් සිද්ධ වූයේ නවම්පුර පසළොස්වක පොහොය දවසක දීය.

අසහාය ශාස්තෘවරයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම රාජ්‍යයේ චතුරංගනී සේනාව භික්ෂු, භික්ෂුණී, උපාසක හා උපාසිකා යනුවෙන් හැඳින්වේ. ප්‍රථම වරට භික්ෂූ සේනාව එක් රැස්කොට මහ සංඝ සම්මේලනයක් නවම් පොහොය දින පැවැත්විණි. රජගහනුවර වේළුවනාරාමය කේන්ද්‍ර කරගෙන, තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේ ඇතුළු එක්දහස් දෙසිය පනහකට අධික භික්ෂු සේනාවක් මේ සඳහා එක් වූහ.

මෙම මහා සංඝ සන්නිපාතය අවස්ථාවේදී සැරියුත් මුගලන් දෙනමට සම්බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම සුවිශේෂී කරුණකි. එක් දහස් දෙසිය පනහක් පමණ වූ රහතන් වහන්සේ මැද වැඩ හුන් බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරණුවන් හට දකුණත් සව් වශයෙන්ද, මුගලන් තෙරණුවන් හට වමත් සව් වශයෙන්ද තනතුරු පිරිනැමූ සේක. සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ සම්ප්‍රදාය බුදුපියාණන් වහන්සේ ක්‍රියාවෙන් පෙන්වා දුන් එක් අවස්ථාවකි ඒ. එහෙත් අගසව් තනතුරු පිරිනැමුණු ආකාරය ගැන සමහර භික්ෂූන් වහන්සේ තුළ එතරම් සතුටුදායක බවක් දක්නට නොතිබිණි. එයට හේතු වූයේ, පස්වග මහණුන්, යස හිමියන්, භද්‍රවර්ගික භික්‍ෂූන් හා තුන් බෑ ජටිල භික්ෂූන් සිටියදී නවක භික්ෂූන් වහන්සේ දෙනමකට තනතුරු පිරි නැමීමය. පූර්ව ප්‍රාර්ථනා බලයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් මේ දෙනමගේ පූර්වකෘත පුණ්‍ය මහිමය සහ සසර පුරුදු කළ විශේෂ දක්ෂතා නිසා මේ තනතුරුවලට පත්වූ බව බුදුන් වහන්සේ දේශනා කළ සේක. ඒ දෙනමගේ අතීත ප්‍රවෘත්ති කතාව උන්වහන්සේ ගෙන හැර පා වදාළහ.

බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ එකදු විනය ශීක්ෂා පදයක් හෝ පැනවුයේ නැත. විවිධ අදහස් ඇතිව පසු කාලයේදී පැවිදි වූ හෙයින්, භික්ෂූන් අතින් වැරැදි සිදුවීම නිසා බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේගේ හික්මීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලදී. එය සිදු වූයේ නවම් පුනු පොහෝ දිනක දීය.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං

සියලු අකුසල් නොකිරීම, කුසල් වැඩි දියුණු කිරීම සහ සිය සිත දමනය කිරීම යන මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි.

ඛන්ති පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණෝ හොති පරං විහෙඨයන්තො

ඉවසීම නම් වූ ක්ෂාන්තිය උතුම් තපසයි. බුදුවරු නිවන උතුම් යැයි පවසති. අනුන් පෙළන තැනැත්තා පැවිද්දකු නොවේ. අනුන් වෙහෙස කරන තැනැත්තා ශ්‍රමණයකු නොවේ.

අනූපවාදො අනුපඝාතො
පාතිමොක්ඛෙච සංවරො
මත්තඤ්ඤුතාච භත්තස්මිං
පන්ථඤ්ච සයනාසනං
අධිචිත්තෙච ආයොගො
එතං බුද්ධානසාසනං

අනුනට අපවාද නොකිරීම ද හිංසා නොකිරීම ද, ශීලයේ සංවරයද ආහාරයේ පමණ දන්නා බවද, ගමට දුරු වූ සේනාසනයෙහි ඇලීම ද, සමවත් වැඩීමද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනාවයි.

ලෝවැසි සත්වයා කෙරෙහි ඉතාමත් කරුණාවෙන් යුතුව පන්සාළිස් වසක් තිස්සේ ධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීයේ ද අද වැනි දිනක ය.ආයු සංස්කාරය හැරීම යනු මෙපමණ කලකින් පිරිනිවන් පාන්නෙමි’යි කාලය සීමා කර ගැනීමයි. බුදුපියාණන් වහන්සේ චාපාල චේතිය සමීපයේදී අග්‍ර උපස්ථායක ආනන්ද හිමියනට “ආනන්දය, සතර ඍද්ධිපාද වැඩූවකුට කැමැති නම් ආයු කල්පයක් වුවද ජීවත් විය හැකිය. තථාගතයන් වහන්සේ මොනවට ඍද්ධිපාද වඩනා ලද්දාහුය. ඉදින් කැමැති නම් තථාගත තෙමේ කල්පයක් හෝ කල්පාවශේෂයක් වැඩ සිටින්නේය” යි වදාළ සේක. දෙවැනි,තෙවැනි වරද මෙසේ වදාළ මුත් ආනන්ද ස්ථවිරයෝ නිශ්ශබ්ද වුහ. අනඳ හිමියනට මාරාවේශය වී සිටි හෙයින් සිහි එළවාගත නොහැකි වීමෙන් ආයු කල්පයක් වැඩ සිටිනා මෙන් බුදුහිමියන්ට ආරාධනා කිරීමට අමතක විය. නොබෝ වේලාවකින් වසවත් මාරයා බුදුන්වහන්සේ වෙත සමීප වී සම්බුද්ධ පරිනිර්වාණය සඳහා ආරාධනා කළේය. එය පිළිගත් බුදුරජාණන් වහන්සේ අදින් තෙමසක් ගත වූ තැන පිරිනිවන් පානා බව වදාළසේක. එකෙණෙහිම මහපොළොව කම්පා විය. ඉහත සඳහන් සිදුවීම් අනුස්මරණය කෙරෙන නවම් පුන්පොහොය දිනය ඓතිහාසික හා ශාසනික වශයෙන් අපට ඉතා වැදගත් වේ.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]