UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

සොදුරු ඉසව්වක සුන්දර ගිරි පව්ව යාපහුව

අපගේ උරුමයේ ඓතිහාසික අද්විතීය පුරා විදු බිමක් වශයෙන් හැඳින්විය හැකි යාපහුව රාජධානිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්ධියට කි.මී. 4 ක් පමණ වයඹ දිසාවෙහි පිහිටා තිබෙයි.

දහතුන් වන සියවසෙහි වසර දහයක පමණ කෙටි කලක් දිවයිනේ අග නගරය වශයෙන් පැවැති යාපහුව පර්වතාශි‍්‍රත පැරැණි නගරයකි. පුරා විද්‍යා සාධකයන් අනුව මෙය බෞද්ධ සංස්කෘතික අංගයන්ගෙන් පිරිපුන් ප්‍රබල පුදබිමක් වශයෙන් ද හඳුනා ගැනීමට පුළුවන.

මුහුදු මට්ටමේ සිට අඩි 300 ක් උස සම බිමෙහි අඩි 450 ක් පමණ උස කඳු පරිසරයක් ආශ්‍රයේ මෙහි භූගෝලීය පසුබිම සැකසී තිබෙයි.

ආකර්ෂණීය වූ රමණිය පරිසර පද්ධතියක් තුළ ඉතා විචිත්‍රවත් ස්වරූපයකින් සැදි යාපහුවේ නිමැවුම්හි අංගයන් අදත් අපට දැක ගැනීමට හැකියාව තිබෙයි.

පැරැණි නගර බලකොටුවක් වශයෙන් පැවැති යාපහුවේ සුවිශේෂීත්වය දෙවැනි වන්නේ සීගිරි ආලක මන්දාවට පමණක් බව මහාචාර්ය සෙනරත් පරණ විතාණයන්ගේ කියමන අනුව මෙහි ඇති අගයක විශේෂතා හඳුනා ගැනීමට හැකි වෙයි.

පොළොන්නරු රාජධානිය පැවැති සමයෙන් පසුව නිබඳව ඇතිවූ විදේශීය ආක්‍රමණයන්ට මුහුණදීමට මෙම ස්ථානයේ පිහිටීම අනුවත් උචිත සැකැසීම අනුවත් මෙය දැඩි ආරක්‍ෂිත ස්ථානයක් වශයෙන් යොදා ගත් බවට පුරාවිද්‍යාත්මක සාධක මතින් තහවුරු වෙයි. පූර්ණ මෙන්ම මූල ඓතිහාසික යුගයන්හිදී මෙහි ජනාවාසව පැවැති බවට සාධක හමුවෙන අතර විශ්වාසනීය ලිඛිත මූලාශ්‍රගත සඳහන් දහතුන වන සියවසට බොහෝ දුරට සීමාවන බව සඳහන් වෙයි.

මෙය බෞද්ධ උරුමයේ ප්‍රබල ඓතිහාසික පින් බිමක් වශයෙන් පැවැති බවට සාක්‍ෂි හමුවන්නේ ක්‍රි.පූර්ව 2 ක්‍රි.වර්ෂ 1 සියවස් වල ට අයත් පූර්ණ බ්‍රාහ්මී අක්‍ෂරයන් සහිත කටාරම් කෙටු ලෙන් තුනක් හමුවීමෙනි. එසේම තවත් කටාරම් සහිත ලෙන් 25 ක් ද එම ලකුණු නොමැති එහෙත් භාවිතයට උචිත ලෙස සකසා ඇති තවත් ලෙන් 15 ක් ද යාපහුව පර්වතය බෑවුම වටා පිහිටා තිබෙයි. ‘මෙසේ අධික ලෙන් සංඛ්‍යාවක් පිහිටා තිබීමෙන් පෙනී යන්නේ යාපහුව මූල ඓතිහාසික අවධියේ වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බවයි. (යාපහුව - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව) එමෙන්ම දෙවනපෑතිස් නිරිඳානන්ගේ රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 250- 210) ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දෙතිස් ඵල රුහ බෝධිශාඛාවන්ගෙන් එකක් යාපහුවේ සුන්දර ගිරි පව්වෙහි රෝපණය කළ බව සිංහල බෝධිවංශයෙහි සටහන්ව ඇත.

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදි අෂ්ටඵල සහ දෙතිස්ඵල රුහ බෝධි ශාඛා රෝපණය කිරීමට තෝරාගෙන ඇත්තේ සම්බුදු දහම දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් සද්ධර්මය හොඳින් පවත්වා ගත හැකි හෝ පැතිර විය හැකි ප්‍රබල ස්ථානයක් හරහා යැයි සිතිය හැකිය. එසේ නම් එම යුගයේ මෙම ස්ථානය භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි පූජනීය වූ බෞද්ධාගමික මධ්‍යස්ථානයක් වශයෙන් සම්භාවනාවට පාත්‍රව පැවැති බව සනාථ වෙයි.

මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වඩාත් විස්තරාත්මකව කළ ගවේශනයන්හිදි හමුවූ පර්වත මස්තකයේ ඇති එක් ලෙනක පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපියේ මුල සහ අග අක්‍ෂරයන් මැකී ගොස් ඇතත් ‘මනපදශ’ යන වදන කියවන්නට හැකිව තිබේ. එහි අරුත ‘මනාප දර්ශනය’ යන්න ය.

බෝධිවංශයේ සඳහන්ව ඇති යාපහුව ‘සුන්දර ගිරි පබ්බත’ යන්න හා මෙම වදන මනාසේ ගැලපෙයි. ඉන්පසු යුගයේ 13 වන සියවසේදි සුභ නම් සෙනවියකු විසින් කාලිංග මාඝ ආක්‍රමණයෙන් ආරක්‍ෂා වීමට මෙහි බලකොටුවක් සාදාගෙන වාසය කර තිබේ.

ධ්ඍ වන විජයබාහු සිය සොහොයුරා වු බුවනෙකබාහු ප්‍රදේශයේ ආරක්‍ෂාව පිණිස යාපහුවේ රැඳවූ බැව් මහාවංශයේ සඳහන් වෙයි. ක්‍රි.ව. 1270 දී ධ්ඍ වන විජයබාහු ඔහුගේ සෙනවියකු විසින් මරණයට පත් කළ පසු සොයුරා බුවනෙකබාහු නමින් 1272 දී රජකමට පත්වෙයි. දඹදෙනියේ රජ කළ මෙම රජතුමා යාපහුවට පැමිණ ‘සෞභාග්‍යයෙන් බබලන අතිශයින් විස්තීර්ණ වූ රාජධානියක් කරවා ගෙන එහි වාසය කළබව“ මහාවංශය පවසයි.

යාපහුව රාජධානියට සම්බන්ධ රාජ්‍යත්වය අඛණ්ඩ ගමන්මඟ සහ එහි කළ ඉදිකිරීම් ආදිය පිළිබඳ වංශකතාවන්ට අනුව ගැටලුකාරී තත්වයක් මතුව පෙනුනද මෙහි කටු කොහොල් හැර පැහැදිලි කර ගැනීමට මෑතකදී යාපහුව පිළිබඳ කළ ගවේෂණාත්මක කෘතියක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කළ ‘යාපහුව‘ කෘතියෙහි සඳහන් වන්නේ ‘යාපහුවෙහි විසිතුරු සෝපාණ පන්තිය සහ පවුරු දිය අගල් බොහෝමයක් අගනගරයකට හොබිනා අයුරෙන්ද මහේශාඛ්‍ය අයුරෙන් ද තනවන්නට ඇත්තේ පළමුවන බුවනෙකබාහු රජු විසින් බව සිතීමට සිදුවන බවත්” ‘යාපහුවේ මෙන්ම දිවයිනෙහිම සුවිශිෂ්ටතම වාස්තු විද්‍යාත්මක නිමැවුමක් ලෙස සම්භාවනාවට පාත්‍රව ඇති විසිතුරු සෝපාණ පන්තියෙහි නිර්මාතෘ කවරෙක්දැයි අප්‍රකට මුත් මෙවන් ආයාසකර, සිත් ගන්නා සුළු නිමවුමක් එය අගනගරයට පත්වීමෙන් ඉක්බිති තනන ලද්දේ යැයි උපකල්පනය කළහොත් එහි නිර්මාතෘන්වය යාපහුව රාජධානිය කොට විසූ පළමු බුවනකබාහු රජුට පැවැරීමට සිදු වන බවත්’ ය.

කඳු සිඛරය මත අක්කර 5 ක පමණ භූ®මියක් මධ්‍යයේ දළදා මාලිගාව නමින් හඳුන්වන ගොඩනැගිල්ලක නටබුන් දක්නට ලැබෙයි. මෙම ස්ථානයට පිවිසීමට පහත සම බිමේ සිට ශීඝ්‍ර නැග්මක් වන අතර මෙම නැග්ම තරණය කිරීම සඳහා පහළ බිමේ සිට එකිනෙකාට උසින් පිහිටි මළු හතරක් පනා බැමි අධාරයෙන් නිමවා තිබෙයි. මෙම මළු හතර සම්බන්ධ කළ ශීඝ්‍ර නැග්මකින් යුතු පියගැට පන්තීන් වෙයි.

දළදා මාලිගය සහිත ඉහළම මළුවට පිවිසෙන අවසාන සෝපානය සහ එහි ඉහළම ඇති ද්වාර මණ්ඩපයත් අතිශය සංකිර්ණ මෙන්ම විචිත්‍රවත්ව නිර්මාණය කර තිබේ. ඉදිකිරීම් මාධ්‍ය ලෙස යොදාගෙන අත්තේ කළුගල්ය. මෙම අනභිබවනීය උත්කෘෂ්ඨ,නිර්මාණය සාඩම්බරණීය ලාංකීය පුරාවිද්‍යාත්මක උරුමයක් වශයෙන් ලෝකයේ අවධානය ආකර්ෂණයද දිනා ගන්නා ලද්දකි.

මෙහි ගෘහ නිර්මාණාත්මක අංග මෙන්ම කලා කෘති මුළුමනින්ම පාහේ දක්‍ෂිණ ඉන්දියා වාස්තු විද්‍යා හා කලා නිර්මාණයන්හි ආභාෂය ප්‍රකට කරවන බව නූතන පුරා විද්‍යාඥයන්ගේ මතයයි.

සිංහ මුර්ති, ගජසිංහ, කොරවක්ගල්, නර්ථන වාදන පෙළ, ලියවැල් දොරටුපාලිකාවන් , වාමන රූ ආදියෙන් අලංකෘත මෙම අති විසිතුරු ද්වාර මණ්ඩපයකින් අලංකෘත සෝපනය, උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවාලු දළදා මාලිගයට පිවිසීම සඳහා කළ විචිත්‍ර වූ විශිෂ්ට වුද කලා කෘතියක් විය හැකිය.

යාපහුව රාජධානිය එක් යුගයක ආරක්‍ෂාව සැකය මත බලකොටුවක තත්වයෙන් පැවැතුනද එහිම සන්තාපය විය වුල සන්සිඳවන නිවී සැනසෙන මානසික සුවය උදෙසා නම් වු තැන තැන ඉදිව ඇති වෙහෙර වහන්සේලා ගේ නටබුන්, විහාර මන්දිරය, භික්‍ෂූන් වහන්සේ උදෙසා වූ ලෙන් කුටි, බෝධිඝර නටබුන් ආදියෙන් සමන්විත විහාර සංකීර්ණයක ලක්‍ෂණ දකින්න ලැබෙයි.බලය හා විමුක්තියේ සංඝට්ටනයෙන් ජනිත වන යාපහු රාජධානියේ වන ද්වාරමණ්ඩප සෝපාන පද්ධතියේ නිර්මාණාත්මක විශිෂ්ඨත්වය අනෙකුත් සියලු නිර්මාණයන් අභිබවන සුළුය. එය උදාන වාක්‍යයකින් පවසා නිම කළ නොහැකි උදාරතර වූ සදාතනික සිහිවටනයකි.

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]