වප් අමාවක 2012 නොවැම්බර් 13 වන දා
යුතුකම
කවර සමාජයක වුවද එකී සමාජයෙහි පැවැත්ම මෙන්ම දියුණුව හෝ
පරිහානිය රඳා පවතිනුයේ එම සමාජයෙහිම ජීවත් වන තැනැත්තන්ගේ
අන්‍යෝන්‍ය සුහදත්වය හා සහයෝගය මතය.
තම තමන් සතු යුතුකම්, වගකීම් අයිතිවාසිකම් මෙන් ම සම්ප්‍රදායන්
ද නොපිරිහෙළා ඉටු කිරීම එම සමාජයේ ප්‍රගමනයට හේතු වේ.
සමාජය පිළිබඳ අගනා බෞද්ධ විග්‍රහයක් ලෙස සඳහන් වන සිඟාලෝවාද
සූත්‍රය පිළිබඳ බොදුනුවාට ඇත්තේ මනා දැනුමකි. එහිදී මව් පිය,
දූ දරු, ගුරු ශිෂ්‍ය, ස්වාමි භාර්යාව, ස්වාමි සේවක, ගිහිපැවිදි
ආදි වශයෙන් සමස්ත සමාජය කොටස් හයකට ඇතුළත් කර තිබේ. කවර ආගමක,
කවර ජාතියක, කවර රටක වුවද කවර සමාජයක වුවත් එකී සමාජයේ වෙසෙන
ඕනෑම තරාතිරමක අයකු ඉන් එක් කොටසකට හෝ එසේත් නොමැති නම් කොටස්
කීපයකට හෝ ඊට අයත් වේ.
සමාජයක් යහපත් ලෙස ආරක්ෂා වනුයේ ඒ ඒ කොටස් මගින් අනෙකුත් සමාජ
කොටස් සඳහා යුතුකම් ඉටු කිරීමෙන් බව ඉහත සූත්‍රයෙන් මනා ලෙස
පැහැදිලි වන්නකි.
ගිහි පැවිදි දෙපක්ෂය ද ඊට අයත් වේ.
මෙහිදී ගිහි පැවිදි සම්බන්ධතාවය වඩාත් තහවුරු වී ආරක්ෂාවීමට
දායක පිරිස විසින් යුතුකම් පහක් සපිරිය යුතුවේ.
මෙත් සිතින් කටයුතු කිරීම, මෙත් සිතින් වචන භාවිතා කිරීම,
මෛත්‍රි සහගත සිතිවිලි සිතීම, පැවිදි පක්ෂය නිතර පිළිගැනීම,
සිවුපසයෙන් සංග්‍රහ කිරීම යන එම කරුණු ය.
එසේම දායක පිරිස විසින් යුතුකම් සපිරීමේ දී ප්‍රතිග්‍රාහක
පක්ෂය හෙවත් භික්‍ෂූන් වහන්සේ මගින්ද දායක පක්ෂය කෙරෙහි ඉටුවිය
යුතුකම් කීපයකි.
පවින් වළක්වා ගැනීමත්, යහපතෙහි යෙදවීමත් පවිත්‍ර සිතින්
අනුකම්පා කිරීමත් නො ඇසූ දහම් ඇසීමට සැලැස්වීමත් ඇසූ දහම්
තහවුරු කරවීමත්, නිවන් මග පෙන්වාදීමත් යන යුතුකම් වේ.
ගෙවී ගිය වසර දෙදහස් පන්සිය පනස් හය වසක් පුරා අද දක්වා එම
ගිහි පැවිදි සමාජ සබඳතාවය පවතිනුයේ ගිහි සමාජයෙන් පැවිදි සමාජය
වෙතත්, පැවිදි සමාජයෙන් ගිහි සමාජය සඳහාත් එම යුතුකම් හා
වගකීම් නොපිරිහෙලා ඉටුවූ හෙයිනි. දැනුඳු එසේ ඉටුවන බැවිනි.
ගිහි ජීවිතය සැබැවින්ම කම්කටොළුවලින් පිරි එකකි. එහෙත් භික්ෂූ
ජීවිතය බෙහෙවින්ම නිරවුල්ය. සැහැල්ලුය. එම පසුබිම යටතේ ගිහි
සමාජයට වඩා පැවිදි සමාජය දියුණූ සතිය පවත්වා ගැනීමේ ශක්තිය
බෙහෙවින් වැඩිය. ඒ නිසාම බෞද්ධ සමාජය තුළ “මුර දේවතාවුන්
වහන්සේ, කුල දේවතාවුන් වහන්සේ” ලෙස භික්‍ෂූන් වහන්සේ පිදුම්
ලබා ඇත.
දායකයාට පසු කාලයක දී අවබෝධ වන දේ භික්‍ෂූන් වහන්සේට ආරම්භයේ
අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබී ඇත්තේ ද ඒ නිසාය.
මේ අසිරිමත් වස්සාන සමයේ චීවර මාසය යි. කඨින පින්කම් සිදු
කැරෙන සමයයි.
ගිහි පැවිදි දෙපක්ෂයට පින් වැඩෙන පුණ්‍ය සමයයි. අන් කාලවලට වඩා
ප්‍රතිපත්ති පූජාවට ම යොමු වෙමින් ශීලාදී ගුණ දහම් වඩා
ආධ්‍යාත්මික සුවයට තව තවත් ලඟා විය හැකි සමය යි.
එබැවින් තම වටිනා දිවියෙන් අර්ථවත් මෙහෙවරක් තමාටත් සමාජයටත්
සිදු කළ හැකි වූයේ නම් මෙවර වස්සාන සමයේ දි තව තවත් සතුටට
පත්විය හැකි නොවේද?
ලෝකෝත්තර සුවය සිතන පතන ගිහි පැවිදි දෙපක්ෂයටම අගනා වටිනා යමක්
චිත්ත සන්තානයේ වර්ධනයට යොමු කර ගත හැකි වූයේ නම් එය කෙතරම්
නම් සහනයක් සැනසීමක් උදාකරනු ඇත් ද?
ජීවිතයක ඉඩ ලද හැම විට බුද්ධිමත් භාවය පෙරමුණට ගෙන නුවණින්
විමසා බලා සසර ගමනේ යහපැවැත්මට හේතුවන යමක් ම ඒකරාශී කර ගත
යුතුවේ.
ජීවිතාවසානයේ දුකට, වේදනාවට අසහනයට පත්වීමෙන් සසර දුගතියට පත්
නොවී සුගතියට යන මග විවර කර ගැනීමේ අවස්ථාව උදාවී ඇත්තේ තමාට ම
බව නිතර මෙනෙහි කළ යුතුව ඇත.
එවිට සමාජයේ ඇතිවන අවුල් නිරවුල් වනු ඇත. දුක දුරුවී සතුට
උදාවනු ඇත. සැමට යහපත සැලසෙනු ඇත. ජීවිතය අර්ථාන්විතව ගෙවුවා
යැයි ලබන සතුට නිරන්තරයෙන් තමන්ට හිමිවනු ඇත. ඒ සැනසීම උදාකර
ගැනීමට වෙසෙසින් මෙම චීවර මාසයේ උත්සාහ කරමු. |