කඨින පින්කමට
අපිත් සහභාගි වෙමු
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය
ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි
කඨින පින්කමේ ආනිශංස ස්ථිරසාරය; අකම්ප්‍යය නොසෙලවෙන සුළුය. බෞද්ධයන්
වශයෙන් අපට මෙම කඨින පින්කම
සිදුකර ගැනීමට දුෂ්කරතාවක් වෙතොත් අඩු තරමෙන් එයට
සම්බන්ධ වීමටවත් උත්සාහවත් විය යුතුය. ඉදිරි ඉල් පුර පසළොස්වක පොහොය
දක්වා ඒ සඳහා කාලයයි. එම කාලයෙහිදී මේ බලගතු
පින්කමට අතහිත යොදවා පුණ්‍ය ශක්තිය වඩා වර්ධනය කර ගැනීමට සියල්ලන්ටම
අවස්ථාව උදාවෙයි.
බුදු දහමෙහි විවිධ පින්කම් වර්ග පෙන්වා දී තිබේ. එම පුණ්‍යක්‍රියාවල
ආනිශංස ද විවිධය. දාන වශයෙන් සලකන කල ආමිස දානය, අභය දානය සහ ධර්ම දානය
වශයෙන් බෙදා දැක්විය හැකිය. දානය පාරමිතාවක් වශයෙන්ද දස රාජධර්ම අතර
රාජ ධර්මයක් ලෙසද සතර සංග්‍රහ වස්තූන් අතරින් එකක් සේද දස පුණ්‍ය
ක්‍රියා අතර එක් පින්කමක් වශයෙන්ද දක්වා ඇත.
කම්පල අදහාගෙන නිරතුරුවම මෙබඳු දානාදී පින්කම්හි නියැළෙන බෞද්ධයෝ මේ
දිනවල සුවිශේෂී පුණ්‍යකර්මයකට සහභාගි වෙති. දුලබ පින්කමක් වන මෙය
මහානිශංස දායක කඨින චීවර පූජා පුණ්‍යකර්මයයි. වප්පුර පසළොස්වක පොහොය
දිනට පසුදින සිට ඉල් පුර පසළොස්වක පොහොය දක්වා වන මාසයක කාලය කඨින
පින්කම් සිදුකරන සමයයි. බෞද්ධයෝ මෙය ‘චීවර මාසය’ යැයිද හඳුන්වති.
කඨින පින්කමෙහි මහත් වූ ආනිශංස පිළිබඳ බොහෝ දෙනා දැනුම්වත්ව සිටිති. එය
අටමහා කුසල් අතර පළමුවැන්නයි. ආනන්තර්ය පාප කර්මයක් සිදුකරගෙන නොමැත්තේ
නම් ඊළඟ භවය සුගතිගාමී වීමට කඨින පින්කම් මුලටම ඉදිරිපත් වී විපාක දීමට
සමත්ය.
ආනන්තර්ය පාපකර්ම මොනවාදැයි අපි මෙහිදී මතක් කර ගනිමු. මව මැරීම, පියා
මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරේ ලේ සෙලවීම සහ සංඝභේදය ආනන්තර්ය
පාපකර්ම පහයි. මේ අකුසලයක් කරගත්තකුගේ ඊළඟ භවය අනිවාර්යයෙන්ම අපායගාමී
වන අතර දීර්ඝ කාලයක් නිරයේ දුක් විඳීමට සිදුවේ. අජාසත් රජු සහ දේවදත්ත
තෙරහු මෙසේ ආනන්තර්ය පාප කර්ම සිදුකොට අපාගත වූවෝ වෙති. එබඳු පාපකර්මයක
විපාක හැරෙන්නට වෙනත් බොහෝ අකුසල කර්මවල විපාක යටපත් කරමින් ඊළඟ භවය
සුගතිගාමී වීමට බලපාන තරමට කඨින පින්කමේ ආනිශංස ඉතා ප්‍රබලය.
කඨින පූජාවෙහි බලවත් ආනිශංස පිළිබඳ විස්තරයක් නාගිත ථෙරාපදානයේ
ඇතුළත්ය. එහි සඳහන් වන ලෙස, බුදුරජාණන් වහන්සේ ඒහි භික්ඛු භාවයෙන්
පැවිදි උපසම්පදාව ලැබූ සිව්පිළිසිඹියා සහිතව රහත් වූ රහතන් වහන්සේ
පන්සිය නමක පිරිවාගෙන අනවතප්ත විල් තෙරට වැඩමවා, එහි වැඩසිටිමින් එම
භික්‍ෂු පිරිසට ප්‍රකාශ කර සිටියේ සසර විශේෂ පින්කමක් කළ හිමිනමක වේ
නම් ඒ බව දක්වන ලෙසටය. එහිදී, නාගිත තෙරුන් වහන්සේ ඉදිරිපත්ව දොහොත්
මුදුන්දී බුදුන් වහන්සේට වන්දනා කොට, තමන් විසින් සසර සිදුකරන ලද කඨින
දානයේ මහත් ආනිශංස පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කළහ.
“මම මෙයට අනූ එක් කල්පයකට පෙර විපස්සි බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයෙහි
බන්දුමතී නුවර ඉපිද දානපතියකුව බොහෝ දුගී මගී යාචකාදීන් උදෙසා
දන්දෙමින් පින් සිදුකර ගනිමින්ද සිල් ආරක්‍ෂා කරමින්ද දැහැමිව
විසුවෙමි. එසේ සිටින කල්හි දිනක් බුදුරදුන්ගෙන් බණ අසා පැහැදී
බුදුපාමොක් මහසඟනට සපිරිකර සහිත මහ දන්ද පිළිගැන්වූයෙමි. එක් වස් කාලයක
බුදුපාමොක් මහ සඟනට ආරාධනා කර වස් වසවාගෙන සිව්පසයෙන් උපස්ථාන කොට අවසන
බොහෝ පිරිකර සහිතව කඨින චීවර පූජාවක් පවත්වා එයින් ලැබෙන කුසලය සියලු
කෙලෙසුන් දුරු කිරීමට උපකාරී වේවා’යි ප්‍රාර්ථනා කළෙමි”
එම මහා බලගතු පින්කම හේතුවෙන් සතර අපායෝත්පත්තියකට නොවැටී සදෙව් ලොව හා
මිනිස් ලොව ඉපිද නොයෙක් සැප සම්පත් ලැබූ ආකාරය උන්වහන්සේ විස්තර කළ
සේක. මේ කතා පුවත අපට කඨින චීවරයේ අනුසස් දැක්වීමට ඇති හොඳම හා
පැහැදිලිම නිදර්ශනයකි. නාගිත හිමි වැඩිදුරටත් එම පින් විපාකයෙහි බල
මහිමය, පිළිබඳ බුදුරදුන් ඉදිරියෙහි විස්තර කළ අකාරය ඉතා මනරම්ය.
කඨින දානං දත්වාන
සංඝෙ ගුණ වරුත්තමේ
ඉතො තිංසේ මහා කප්පේ
නාභිජානාමි දුග්ගතිං
ශීලයෙන් සහ ගුණයෙන් උතුම් මහා සංඝයා විෂයෙහි කඨින චීවර පූජාව සහිත දන්
දීමෙන් මහා කල්ප 30 ක් දුගතියක් නොම දනිමි ආදී වශයෙන් එම බලගතු පින්කමේ
අනුසස් වර්ණනාත්මකව ගාථා සමූහයකින් ඉදිරිපත් කළහ.
කඨින පින්කමේ ආනිශංස ස්ථිරසාරය, අකම්ප්‍යය, නොසෙලවෙන සුළුය. බෞද්ධයන්
වශයෙන් අපට මෙම කඨින පින්කම සිදුකර ගැනීමට දුෂ්කරතාවක් වෙතොත්
අඩුතරමෙන් එයට සම්බන්ධ වීමටවත් උත්සාහවත් විය යුතුය. ඉදිරි ඉල් පුර
පසළොස්වක පොහොය දක්වා ඒ සඳහා කාලයයි. එම කාලයෙහිදී මේ බලගතු පින්කමට
අතහිත යොදවා පුණ්‍ය ශක්තිය වඩා වර්ධනය කර ගැනීමට සියල්ලන්ටම අවස්ථාව
උදාවෙයි. එබැවින් පසුබට නොවී එම බලගතු පින්කම සිදුකර ගැනීමට සෑම දෙනකුම
උත්සාහවත්වීම ප්‍රඥාගෝචරය. එතුළින් සතර අපා දුක්වලින් මිදී දෙව්,
මිනිස් භවයන්හි උපත ලබා සුවසේ පාරමී පුරාගෙන ඉතා ඉක්මන් භවයකදී
නිර්වාණාවබෝධය ලබා සසර දුක් කෙළවර කිරීමට සැමට මඟ පෑදෙනු ඇත. |