එක්ව පින් කරන පුණ්‍යවන්ත සමය
චීවර මාසය
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය
කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
තවමත් ඇතැම් විහාරස්ථානවල කඨින වස්ත්‍රයක් පූජා කොට බොහෝ දෙනාගේ
සහභාගිත්වයෙන් කඨින සිවුර මසා නිම කිරීම විහාරස්ථානයේදීම සිදු කරයි.
බොහෝ දෙනකුට කඨිනානිශංස
ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම පිණිස සිවුර මැසීම පවා
වැඩි දෙනකුගේ සහායෙන් සිදු කෙරේ. කඨින වස්ත්‍රය හෝ
සිවුර රැගත් පෙරහර ගම පුරා ගමන් කිරීමෙන් බහුතරයකට
ඊට සහභාගි වීමට අවස්ථාව සලසාදෙයි.
වප් පුන්පොහෝ දිනයෙන් ආරම්භව ඉල් පුර පොහෝ දිනයෙන් අවසන් වන මාසය මෙරට
බෞද්ධයන් හඳුන්වන්නේ චීවර මාසය යනුවෙනි. ඒ මේ කාලය තුළ මෙරට සෑම
විහාරස්ථානයකම පාහේ කඨින පූජා පින්කම් පැවැත්වෙන නිසයි.
ඇසළ පුන් පොහොය දින විනය කර්මය සිදුකොට පසු දා, එනම් ඇසළ අවපෑලවිය දා
පෙර වස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේ, තෙමසක කාලයක් වස් ශික්‍ෂා පදය
ආරක්‍ෂා කොට, වප් පුන් පොහොය දින වස් පවාරණය සිදු කරති. 2012 වර්ෂය
අධික අවුරුද්දක් නිසා වස් සමාදන් වන පොහොයේ වෙනසක් ඇති විය. අගෝස්තු
මාසයට පසළොස්වක පොහොය දෙකක්ම යෙදුණි. එයින් මුල් පොහොය අධිඇසළ ලෙස
හැඳින් වූ අතර, සියලුම නිකායන්හි අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේගේ
අනුමැතියෙන් අධිඇසළ පොහොය දිනය, වස් සමාදන් වියයුතු දිනය ලෙස තීරණය
විය. ඒ අනුව පෙර වස් සමාදන් වූ ස්වාමීන් වහන්සේ තෙමසක කාලය වස් සමාදන්ව
සිට, වප් පොහොය දිනයේ මහා පවාරණයෙන් පවාරණය කළහ. වස් ශික්‍ෂා පදය
ආරක්‍ෂා කොට මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂූන් වහන්සේ නමක් වෙසෙන
විහාරස්ථානයක, වප් පොහොයෙන් පසු එළැඹෙන මාසයක කාලය තුළ කඨින චීවර
පූජාවක් සිදුකරගත හැකි ය.
බෞද්ධ පුද පූජා අතර කඨින පූජාව උත්සවාකාරයෙන්, ඉතා ගෞරවයෙන් සිදු කරනු
ලබන පින්කමකි. ඊට හේතු කිහිපයකි. කඨින පූජාව අටමහ කුසල් අතර
පළමුවැන්නයි. කඨින යන්නෙහි අර්ථයද සෙලවිය නොහැකි, බිඳිය නොහැකි යන්නය.
මෙම පින්කම මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නොවෙන, මහාමේරු පර්වතය
මෙන් අධික සුළඟින් නොසෙල්වෙන, ඒකඝන වජ්ර පර්වතයක් මෙන් නො බිඳෙන ස්ථාවර
ගරු පින්කමකි. මෙහි අගය දැනගත් පෙර රාජ රාජමහාමාත්‍යාදීන් පවා කඨින
පූජා පින්කම උත්සවශ්‍රීයෙන් සිදුකළ බව ඉතිහාසගත තොරතුරුවලින් අනාවරණය
වෙයි. නිකාය වශයෙන් භික්‍ෂූන් වහන්සේ බෙදී සිටි අවධියක පොළොන්නරුවේ රජ
කළ මහා පරාක්‍රමබාහු රජතුමා භික්‍ෂූන් සමඟි සම්පන්න කොට අසූ මහා
ශ්‍රාවකයන් වහන්සේ උදෙසා ස්ථාන අසූවක ස්වාමීන් වහන්සේ අසු නමක් වස්
වසවා ගෙන කඨින පූජා අසූවක් කළ බව සඳහන් වෙයි. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර
රාජධානිය කරගත් සවැනි පරාක්‍රමබාහු මහ රජතුමා ද තුන් සිංහලයෙහි සෑම
විහාරස්ථානයකම වස් සමාදන්ව සිටි භික්‍ෂූන් වහන්සේ උදෙසා කඨින සිවුරු
පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. අනුරාධපුර රාජ්‍යය හෙබ වූ ගැමුණු
රජතුමන්, මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්, රාජාධිරාජසිංහ
නරපතිතුමන් වැනි බොහෝ රාජ්‍ය පාලකයන් ඉතා උසස් අන්දමෙන් කඨින පූජා
පැවැත්වූ බව ඉතිහාසයේ දැක්වෙයි.
වෙනත් පින්කම් කැමැති පරිදි, කැමැති හා හැකි වේලාවක කළ හැකි වුවත් කඨින
පූජාව එසේ කළ නොහැකි පින්කමකි. අවුරුද්දකට එක් විහාරස්ථානයක එක් වරක්
පමණක් කළ හැකි දුර්ලභ ගණයේ පින්කමක් වීම නිසාම බෞද්ධ ජනතාව මේ පුණ්‍ය
කර්මය ගැන වැඩි උනන්දුවක් දක්වති. භික්‍ෂු විනය කර්මවලදී ගිහි පිරිසගේ
සහභාගිත්වයක් සිදු නොවේ.
කඨින සිවුරු පූජාව සාමාන්‍යයෙන් භික්‍ෂූන් වහන්සේ සඳහා කෙරෙන සිවුරු
පූජාවක්ද නොවේ. සැබැවින්ම එය ශාසනික විනය කර්මයකි. භික්‍ෂූන් වහන්සේගේ
විනය කර්මයකට දායක පිරිසට සහභාගි වන්නට ලැබෙන එකම අවස්ථාව ද මෙම කඨින
පූජා පින්කමයි.
කඨිනයක් ලැබිය හැක්කේ පෙර වස් සමාදන්ව වස් ශික්‍ෂා පදය කඩ නොකර,
ආරක්‍ෂා කොට වප් පොහෝ දින වස් පවාරණය කළ භික්‍ෂුවකට පමණි. නම නියම කොට
භික්‍ෂූන් වහන්සේ නමකට කඨිනයක් පූජා කර ගැනීමට දායකයකුට පුළුවන්කමක් ද
නැත. දායකයා කළයුතු වන්නේ විනයානුකූලව පිළියෙළ කරන ලද තනිපට සිවුරක්,
දෙපට සිවුරක්, හෝ අඳන සිවුරක් ගෙන කඨිනයක් වශයෙන් භාර ගන්නා ලෙස
ඉල්ලීමක් කර, මහ සඟරුවනට සඟසතු කොට පූජා කිරීමයි. මහා සංඝයා විසින්
එතැනට රැස්ව සිටින සුදුසුකම් සපුරා ඇති භික්‍ෂූන් වහන්සේ නමකට නම නියම
කොට කඨිනය පවරනු ලබයි. දුර්වල සිවුරු ඇති භික්‍ෂුවකට කඨිනය ඇතිරීම සඳහා
පැවැරීම ශාසනික පිළිවෙතයි. මෙහිදී කඨිනය ලබන භික්‍ෂුව කඨිනය ලැබීමෙන්
පසු කඨිනය ඇතිරීමට හැකියාව ඇති අයකු විය යුතු යි. එසේ නොහැකි නම් එතැනට
රැස් වූ භික්‍ෂූන්ගෙන් වැඩිහිටි භික්‍ෂුවට කඨිනය පැවැරීම ශාසන
සම්ප්‍රදායයි. භික්‍ෂු විනය කර්මයකට ගිහි පිරිසට සම්බන්ධවීමට ලැබෙන එකම
අවස්ථාව මෙය වීමද බෞද්ධයන් කඨින පූජාව කෙරෙහි දක්වන උනන්දුව වැඩිවීමට
හේතු වී තිබේ.
පින්කම් අතර ශ්‍රේෂ්ඨ පින්කම් අටක් අට මහ කුසල් නමින් හැඳින් වේ. එයින්
පළමුවැන්න කඨින මහා පින්කමයි. කඨින පින්කම ගිහි පැවිදි දෙපිරිසටම මහත්
අනුසස් ලබාදෙන කුසල කර්මයකි. තමන් කඨිනයක් පූජා කරගත් අනුහසින් සසර
කිසි අවස්ථාවක දුගතියක නූපන් බවත්, සක්විති සැපත් ඇතුළු සියලු ලෞකික
සැප වින්ද බවත් බුදුන් දවස වැඩ සිටි නාගිත තෙරුන් වහන්සේ ප්‍රකාශ කළ
බැව් නාගිතාපදානයේ සඳහන් වෙයි. එපමණක් නොව බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා
නිවන් පසක් කර ගැනීමට ද එකී පින්කම උපනිශ්‍රය වූ බව උන්වහන්සේ දක්වති.
වෙනත් පින්කමකින් ලද නොහැකි සුවිශේෂී වූ අනුසස් ලද හැකි බැවින් ද, කඨින
පූජාව බොහෝ දෙනාගේ අවධානයට යොමුවුණ පින්කමකි.
බෞද්ධ පූජා විධි සැකසී ඇත්තේ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ජනනය කොට විමුක්ති
මාර්ගය වෙතට ඔහු යොමු කරවන අටියෙනි. ජීවිතය සාර්ථක කරගෙන දුක්සහගත
සසරෙන් එතෙරවීම ගිහි, පැවිදි දෙපිරිසගේම ඒකායන බලාපොරොත්තුවයි. ඒ සඳහා
නිර්දේශිත මාර්ගය වන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. රාග චරිත, දෝස චරිත, මෝහ
චරිත ආදී වශයෙන් පුද්ගල චරිත විවිධ වන බැවින් එක් එක් පුද්ගලයා
ධර්මාවබෝධය සඳහා භාවනා වැඩීමේ දී ලබාගත යුතු කමටහන් ද විවිධ වේ. ඒ
පුද්ගල ස්වභාවයේ වෙනස නිසාවෙනි.
ධර්ම මාර්ගයට යොමුවීමට කෙනකු තුළ ශ්‍රද්ධාව ඇතිවිය යුතු ය. ශ්‍රද්ධාව
කුසල බීජයයි. සද්ධාබීජං යැයි එය ධර්මයේ දක්වන්නේ බීජයක් වශයෙනි. බෞද්ධ
පුද පූජාවන් ගොඩනැඟී ඇත්තේ ශ්‍රද්ධාව නැතියවුන් තුළ ශ්‍රද්ධාව
ඇතිකරවීමටත්, ශ්‍රද්ධාව ඇතියවුන් තුළ ශ්‍රද්ධාව වැඩිකරලීමත් සඳහා ය.
කඨින පින්කම ඉතා විසිතුරු ආකාරයට සංවිධානය කරනු ලබන්නේ ද එබැවිනි.
දායක පිරිස විසින් නූල් කැටීමෙන් පිළියෙළ කර ගනු ලබන වස්ත්‍රය කඨින
වස්ත්‍රය ලෙස මුල් කාලයේ දී පූජා කෙරිණි. සිවුරකට සරිලන ලෙස කඩකොට, ඒ
සඳහාම පිළියෙළ කරන ලද අච්චුවෙහි ලා මසා නිම කොට එසේ මසා නිම කර ගන්නා
ලද සිවුරට පඬු පොවා කඨින සිවුරක් ලෙස පිළියෙළ කර මහා සංඝරත්නය අතුරෙන්
සුදුසු එක් නමකට පිරිනැමීම චාරිත්‍රය වේ. එම සිවුරට අදාළ සියලු කටයුතු
එක් දිනයකදීම නිමා කළයුතු විය. එබැවින් ඒ සඳහා සූදානම් විය. කඨිනය ලබන
භික්‍ෂුවද විනය ප්‍රඥප්තීන්ට අනුව කඨිනය ඇතිරීම කළ යුතු වෙයි. කාලයාගේ
ඇවෑමෙන් පවතින කාර්යබහුලත්වය, ඒ නිසා කාලය පිරිමසා ගැනීමට කටයුතු කිරීම
හා සිවුරු පිරිකර සකසා ගැනීමට ඇති පහසුකම වැනි හේතූන් නිසා වර්තමානය වන
විට බොහෝ විට සිදු කෙරෙන්නේ මසා නිම කරන ලද සිවුරක් කඨිනය සඳහා යොදා
ගැනීමයි. එහි ද වරදක් ඇති බවක් නොපෙනේ. තවමත් ඇතැම් විහාරස්ථානවල කඨින
වස්ත්‍රයක් පූජා කොට බොහෝ දෙනාගේ සහභාගිත්වයෙන් කඨින සිවුර මසා නිම
කිරීම විහාරස්ථානයේදීම සිදු කරයි. බොහෝ දෙනකුට කඨිනානිශංස ලබා ගැනීමට
අවස්ථාවක් සලසා දීම පිණිස සිවුර මැසීම පවා වැඩි දෙනකුගේ සහායෙන් සිදු
කෙරේ. කඨින වස්ත්‍රය හෝ සිවුර රැගත් පෙරහර ගම පුරා ගමන් කිරීමෙන්
බහුතරයකට ඊට සහභාගි වීමට අවස්ථාව සලසාදෙයි. කඨින පූජාව වඩාත් අලංකාර
වන්නේ ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, පිඟන් භාණ්ඩ ආදී සංඝයාගේ ප්‍රයෝජනය
සඳහා වුවමනා ගරු ලඝු පරිෂ්කාර රාශියක් ඊට සමගාමීව පූජා කරන නිසයි. බොහෝ
විට කප්රුක් පූජාව ද දැකිය හැකි ය.
දීම හෙවත් දානය උතුම් ක්‍රියාවකි. නිවන් අරමුණු කර බුදු, පසේබුදු,
මහරහතුන් වහන්සේ විෂයෙහි හෝ නිර්වාණාවබෝධය පිණිස ප්‍රතිපත්ති ආරක්‍ෂා
කරනු ලබන භික්‍ෂු මහා සංඝයා විෂයෙහි කම්පල අදහාගෙන, ශ්‍රද්ධාවෙන් යුතුව
දෙනු ලබන දානය මහත් ආනිශංස ගෙන දෙන දක්‍ෂිණාවෙකි. දන් දීමෙන් දායකයාට
වැඩි අනුසස් ලැබීමට නම් ඊට සුදුසු ප්‍රතිග්‍රාහකයන් වහන්සේ පිළිබඳ
වේලාම සූත්‍රයේ මෙසේ දක්වා ඇත.
සෝවාන් මාර්ගයට පත් තෙරුන් වහන්සේ සියයකට පූජා කරන දානයකට වඩා වැඩි
ආනිශංසයක් සෝවාන් ඵලයට පැමිණි එක් භික්‍ෂූන් වහන්සේ නමකට පූජා කිරීමෙන්
ලද හැකි ය. සෝවාන් ඵලයට පැමිණි භික්‍ෂූන් වහන්සේ සියයකට පූජා කරන
දානයකට වැඩි ආනිශංසයක් සකදාගාමි මාර්ගස්ථ භික්‍ෂුවකට පූජා කරනු ලබන
දානයකින් ලැබිය හැකි ය. මේ ආකාරයෙන් සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය හා
ඵලය, අරහත් මාර්ගය හා ඵලය ලැබූ උතුමන් වහන්සේටත්, පසේ බුදුරජාණන්
වහන්සේ හා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා පිළිවෙළින් දක්‍ෂිණාවකින්
ලැබෙන අනුසස් වැඩිවන බව එහි දැක්වෙයි. ඒ අනුව අග්‍රතම දක්‍ෂිණාර්යයන්
වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. කඨිනය අරමුණු කරගෙන ආර්ය සංඝයා
විෂයෙහි දානය පූජා කරන බැවින් සඟසතු දානයකින් ලද හැකි ආනිශංස මහත්ඵල
මහානිශංසයි.
තේ දක්‍ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
එසේ දැක්වෙන්නේ දක්ෂීණාර්යයන් වහන්සේ වන ආර්ය මහා සංඝරත්නය විෂයෙහි
පූජා කරනු ලබන දානය මහත්ඵල මහානිශංස වන බවයි. මහත් අනුසස් ලැබෙන කඨින
චීවර පූජා පින්කමට සහභාගි වීමට මේ කාලය තුළ ඔබටත් අවස්ථාවක් ලැබී ඇත.
ඊට සහභාගි වීමෙන් මෙලොවටත් පරලොවටත් බොහෝ සැප විපාක ලබා දෙන කුසල් සිදු
කරගන්නා පින් ඇත්තෝ බවට පත් වෙත්වා! |