අනුසස් සපිරි කච්චිවත්ත පුදබිම
මාලක වීරසිංහආරච්චි
ප්‍රධාන සම්බන්ධීකාරක
කච්චිවත්ත පෙරහර කමිටුව
ගාල්ල නාගරික පරිසරය තුළ පිහිටා ඇති කච්චිවත්ත පුදබිම බොහෝ දෙනාගේ
පූජනීයත්වයට පත්ව ඇත්තේ එම පුදබිමේ පවතිනවායැයි විශ්වාස කරන අදෘශ්‍යමාන
බලවේගයන් නිසාවෙනි. බොහෝ දෙනා විශ්වාස කරනු ලබන්නේ එය ආධ්‍යාත්මික
බලවේගයක් ලෙසිනි. ගාලු නගරයේ සිට කි.මී. 2ක් පමණ මාතර දෙසට යන විට මාතර
ගාල්ල ප්‍රධාන මාර්ගයට නුදුරේ පිහිටා ඇති මෙම පුදබිම ඉතා පෞරාණික
වටිනාකමක් ඇති ස්ථානයකි, නාගරික පරිසරයක පිහිටියා වූවද මෙම පුදබිමට
ආගමනය වන්නෙකුට නිබඳව දැනෙන්නේ සිත නිවා පහන් වන හැඟීමකි.
විහාර ඉතිහාසය පිළිබඳව ලිඛිත සාක්‍ෂි හෝ මූලාශ්‍ර නොමැති වුවද
ජනප්‍රවාදයට අනුව ඈත අතීතයේ දී බැතිමතුන්ගේ පූජනීයත්වයට හා ගෞරවයට
පාත්‍රවී ඇත්තේ මෙහි තිබී ඇතැයි සැළකෙන ඉපැරැණි විෂ්ණු කෝවිල නිසාවෙනි.
තොටගමුවේ විහාරයේ විහාරාධිපතිව වැඩසිටි කහවේ ඉන්ද්‍රසාර හිමිපාණන්
විසින් 1779 වසරේදී පරමානන්ද දීපදුත්තාරාමය නමින් මෙම විහාරස්ථානය
ආරම්භ කළා යැයි සැළකේ. උන්වහන්සේ දිනක් තෙල්වත්ත විහාරයේ (තොටගමුව
රන්පත් විහාරයේ) සිට මාතර දක්වා පා ගමනින් වැඩම කරන අවස්ථාවක මෙම
ප්‍රදේශයට පැමිණ නවාතැන් ගැනීමට ස්ථානයක් සොයන කල්හී ප්‍රදේශවාසීන්
විසින් එවක මෙම භූමියේ පිහිටා තිබූ විෂ්ණු කෝවිල පෙන්වා ඇත. නවාතැන්
ගැනීමට ඇති ඉඩකඩ ප්‍රමාණය මදවීම හේතුවෙන් නැවත වෙනත් ස්ථානයකට වැඩම
කිරීමට උත්සාහ ගනිද්දි එදා වෙළෙඳාම තම ජීවිකාව කරගත් මෙම ප්‍රදේශවාසීන්
වහා රෙදි කච්චිගෙනවිත් වටතිර ඇද තාවකාලිකව වහලක් තනා උන්වහන්සේට වැඩ
වාසය කිරීම සඳහා අවකාශ සලසා ඇත. පසුව ප්‍රදේශවාසීන් විසින් කරන ලද
ආරාධනයකට අනුව උන්වහන්සේ මෙහි දීපදුත්තාරාමය ආරම්භ කළහ. මෙම විහාර
පුදබිම එනමින් ආරම්භ කළා වුවද එදා ඉන්ද්‍රසාර නාහිමියන්ට රෙදි
කච්චියකින් ආවරණ සැලැසූ නිසාවෙන් අද මෙම විහාරය ලෝ පතලව ඇත්තේ
කච්චිවත්ත විහාරය නමිනි.
කච්චිවත්ත විහාරය මූලික කරගෙන පසු කාලයේ ගාල්ල මාතර ප්‍රදේශවල
විහාරස්ථාන දහයක් පමණ ආරම්භ කළායැයි පිළිගැනේ. ඒ අතරින් කිහිපයක් ලෙස
ගාල්ල බටදූව සුගතාරාමය, ගාල්ල මාඉටිපේ සුදර්ශනාරාමය, ගාල්ල වලව්වත්ත
ගුණරතන මුදලින්දාරාමය, මානවිල ඛෙත්තාරාමය, මාතර පොල්හේන පූර්වාරාමය
දැක්වීමට පුළුවන.
පුද්ගල ආධ්‍යාත්මයෙහි සංවර්ධනයක් ඇති කිරීමට හා ප්‍රදේශයේ දූ දරුවන්
වෙත ධර්ම ඥානය බෙදා දීමට මූලිකව කටයුතු කළ කච්චිවත්ත විහාරස්ථානය මූලික
වී 1894 වර්ෂයේ දී ගාල්ලේ මුල්ම පිරිවෙන ලෙස ගුණරතන මුදලින්දාරාම
පිරිවෙන ආරම්භ කරන ලදී. එහි විදේශ ශිෂ්‍යයන් පවා ඉගෙනුම ලබා ඇති බව
සඳහන් වෙයි. මෙම විහාරස්ථානය මූලික වී ගාල්ල අවට බෞද්ධ පාසල් කිහිපයක්
ද ආරම්භ වී ඇත. ඒ අතරින් බටදූව රතනජෝති විද්‍යාලය, මානවිල උපනන්ද
විද්‍යාලය, උක්වත්ත ශාක්‍යරාජ විද්‍යාලය සඳහන් කිරීමට පුළුවන. කහවේ
ඉන්ද්‍රරතන නායක හිමිපාණන්ගෙන් ආරම්භ කරන ලද මෙම විහාරයේ භික්‍ෂු පරපුර
විහාරස්ථානයේ සංවර්ධනයට හා ආධ්‍යාත්මික ගුණවගාවට ඉමහත් කාර්ය භාරයක්
සිදුකරන ලදී. එහිදී කටුකුරුන්දේ දේවරක්‍ඛිත හිමිපාණන්, වේරගොඩ
මේධාලංකාර නාහිමිපාණන් හා වර්තමාන විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ
හිමිපාණන් සුවිශේෂී වේ. එදා සිට අද දක්වා විහාරස්ථානයේ විහාරාධිපති
ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩසිට ඇත. පෙර සඳහන් කළ පරිදිම මෙම විහාරය
බෞද්ධ හා අන්‍යාගමික බැතිමතුන්ගේ පූජනීයත්වයට හා ගෞරවයට පාත්‍රව ඇත්තේ
මෙහි ඇතැයි සැලකෙන අසීමිත අදෘශ්‍යමාන බලවේගයන් නිසාවෙනි.
වර්තමාන විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමිපාණන් මෙම විහාරස්ථානයේ
දියුණුවට කළ මෙහෙය අතිවිශිෂ්ටය. නව විහාරංග රැසක් අභිනවයෙන් ඉදිකර
විහාර සංවර්ධනයට සුවිශේෂී කාර්ය භාරයක් උන්වහන්සේ ඉටුකර ඇති අතර
කච්චිවත්ත විහාරයට සම්බන්ධ අනෙකුත් විහාරස්ථාන ද සංවර්ධනයට කළ මෙහෙය
අගය කළ යුතු ය. නොකඩවා මෙම විහාරයේ ඇසළ මංගල්‍යය පැවැත්වූවද මෙහි ඇසළ
පෙරහර මංගල්‍යය ආරම්භ කරන ලද්දේ 2011 වසරේ නොවැම්බර් 20 වන දිනයි.
විහාරයේ ආරම්භයේ දී කුඩාවට පෙරහර මංගල්‍යයක් පැවැති බව සඳහන් වුවද පසුව
එය පවත්වන්නට කටයුතු යෙදී ඇත. වර්තමාන විහාරාධිපති හිමියන්ගේ අපමණ වූ
ධෛර්යය පෙරහර මංගල්‍යයේ සාර්ථකත්වයට හේතු වී ඇත. උන්වහන්සේ මෙම විහාරයේ
භික්‍ෂු පරපුර අතර සුවිශේෂී වන්නේද කච්චිවත්ත ඇසළ මහා පෙරහර මංගල්‍යයේ
ආරම්භක විහාරාධිපති හිමියන් ලෙසිනි. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී, මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් ලෙස ගිය වසරේ සිට ආරම්භ
කරන ලද පෙරහර මංගල්‍යය ශ්‍රී ලාංකේය සංස්කෘතික අංගයන්ටත් පෝෂණයටත්
විහාරස්ථානයේ අභිමානයට හා අනන්‍යතාවයට එක් කරන්නේ අමුතු කළ එළියකි.
විහාරස්ථානය ආරම්භයේ සිටම අඛණ්ඩව පවත්වාගෙන ආ ඇසළ මංගල්‍යය බැතිමතුන්ගේ
ඉමහත් ගෞරවයට පත් වූවකි. ඇසළ මහා මංගල්‍යයට සමගාමීව විහාරස්ථානය
ආරම්භයේ දී කුඩාවට ඇසළ පෙරහරක් පැවැත්වූ වද එය ටික කලකින් අත්හිටුවා
ඇත.
2011 වසරේ දී මෙම පින්බිමට උපහාරයක්, ගෞරවයක් ලෙසට පෙරහර මංගල්‍යයක්
පැවැත්වීමේ උතුම් සංකල්පය සිත් පහළ වූයේ ගාල්ල දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මැතිතුමාට ය. දකුණු ලක අග නගරය
ලෙස ප්‍රසිද්ධියට පත් ගාල්ල නගරයේ ඓතිහාසිකත්වයට හා අනන්‍යතාවයට නව
අරුතක් එක් කිරීම එතුමාගේ පරම අභිප්‍රාය විය.
මෙවර ඇසළ මහා පෙරහර 2012 ඔක්තෝබර් 05 වන දින රාත්‍රී 8.00 සිට ගාලු
නගරය පුරා වීථි සංචාරය කෙරිණි. |