බිනර අමාවක 2012 ඔක්තෝබර් 15 වන දා
සැබැවින්ම හඳුනා ගනිමු
පැවිදි දිවියට පත්වීම සසර ගමනේ සිදු කර ගත හැකි මහ පින්කමකි.
පැවිදි බිමට පත්වීම තබා එබඳු සිතිවිල්ලක් පවා පහළවන්නේ ද
කලාතුරෙකින් අයෙකු වෙත ම පමණි.
පැවිදිබිමට පත්වන්නේ ද සසර පතා ආ පින් ඇති ඇත්තෝම ය.
පැවිදි දිවිය බැලූ බැල්මට කෙනෙකුට ඉතා සුව පහසු දිවියක් බවට
පෙනේ. එහෙත් ඒ බාහිර සමාජයට පෙනෙන අයුරු ය.
පුහුදුන් ගතිය නිසා ම සසර බැඳීම්, ඇලීම් අපමණ ය. ඉන් සිත මුදවා
ගැනීමට මහන්සි ගන්නා අයෙකුට ම පමණක් පැවිද්දට ඇතුළත් විය
හැකිය.
පැවිද්ද සැබැවින් ම උත්තරීතරය. “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ,
සච්චි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං
උපාධාය” සසර දුකෙන් එතෙරවීම පතා මව්පිය අවසරයෙන් ආචාර්ය
උපාධ්‍යායන් වහන්සේ නමක් යටතේ උතුම් සසුන් කෙතේ දායාදය ලබා
ගැනීම පෞරාණික සිරිතයි.
පැවිද්දට පෙර ආගමානුකූල දිවියට හුරුකරවා ඇවතුම් පැවතුම් සංවර
කරවා,සාමණේර බණ දහම් කියවා, ගිහි ගෙදර ඇති බැඳීමෙන් ඈත්කර මනා
පුහුණුවකින් පසු පැවිද්දට පත් කිරීම ද ශාසනික සිරිතය.
තම පවුලට අයත් දරුවෙකු පැවිදි කිරීම හතර වරිගයක් ඤාතීහු නිවන්
දකිනා මහා පින්කමකි. ඒ නිසා ම පවුලක දරුවකු පැවිදි කිරීම ඒ
පවුල් රැසකටම යම් ආධ්‍යාත්මික සුවයක් ගෙන දෙන කරුණකි. පැවිදි
වන දරුවාගේ මවගේ මව්පිය පාර්ශ්වය සහ පියාගේ මව්පිය පාර්ශ්වය
යනු හතර වරිගය යි. පැවිදිවීමේ ආනිශංස පෙන්වාදීම මෙහි අරමුණ
නොවේ. සැබැවින්ම දරුවකු පැවිදි කරන යම් පවුලක් වේද ඒ දරුවා
පැවිදිකළ නිසාම ඉහත කී පවුල්වල පරිසරය බෙහෙවින් ආදර්ශවත් වේ.
සංයමයෙන් යුක්ත වේ. යම් ආධ්‍යාත්මික නැඹුරුවීමක් ද අනිවාර්ය
කරුණකි.
මෙසේ පැවිද්ද ලබන සාමණේරයන් වහන්සේගේ පෙර ගිහි නම් භාවිතාවෙන්
බැහැර වී උපන් ගමේ නාමයෙන් නව නාමයකින් අභිනව පැවිදි සාමණෙරයන්
වහන්සේ හඳුන්වනු ලැබේ.
එම සාමණේරයන් වහන්සේ පැවිදි කළ ආචාර්යන් වහන්සේ විසින් අභිනව
සසුනට එක්වූ සාමණේරයන් වහන්සේ පිළිබඳ තොරතුරු අදාළ නිකායේ
මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත දන්වා අදාළ සාමණේරයන්
වහන්සේ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරවා
පැවිද්ද පිළිබඳ නීත්‍යානුකූල භාවයක් ඇති කරනු ලැබේ.
අපේ සැදැහැවත් බෞද්ධයා භික්‍ෂූන් වහන්සේ නමක් දුටු පමණින්
හුනස්නෙන් නැගිටියි. ඇතිරිල්ලක් යොදා අසුනක් පනවනු ලැබේ. එසේ
ගෞරව දක්වනුයේ නිරන්තරයෙන් ඒ බොදුනුවා භික්‍ෂූන් වහන්සේට ගෞරව
උපහාර දක්වන හෙයිනි. එමෙන්ම අපගේ පාරම්පරික හුරුව ද නිසා ය.
භික්‍ෂුවට ගෞරව දැක්වීම බෞද්ධයාගේ වගකීම වේ. මෙසේ ගෞරව දක්වන
භික්‍ෂුවට අගෞරව කිරීමට කිසි විටෙක බොදුනුවා පෙළඹෙන්නේ නැත. ඒ
බොදු හැදියාව නිසා ම ය.
බොදු භික්‍ෂූන් වහන්සේ නමක් යම් ආධාරයක් අපේක්‍ෂාවෙන් යම් බොදු
නිවසකට වැඩම කළ විට ශක්ති පමණින් එය ඉටුකිරීමට බෞද්ධයා
පෙළඹෙන්නේ ද භික්‍ෂුවගේ ඉල්ලීමට ද ගෞරවයක් ඇති හෙයිනි.
එහෙත් ඈත දුර බැහැරක සිට තම නිවසට භික්ෂුවක් වැඩම කළ ද ඒ
භික්‍ෂූන් වහන්සේ එදා දුටු පළමු වර වුව ද සැබෑ භික්‍ෂූන්
වහන්සේ නමක්දැයි කිසි විටෙක බොදුනුවා නො විමසති. ඒ සිවුර හා
භික්‍ෂුවට බොදුනුවා දක්වන ගෞරවය හෙයිනි.
සැබෑ භික්‍ෂූන් වහන්සේට බෞද්ධයා එසේ දක්වන ගෞරවය නිසා ම පැවිදි
කළ ආචාර්යවරයකු ද නොමැති ව්‍යාජ වංචනිකයන් අපේ සම්බුදු සසුනට
නිගා කරමින් පුද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට පෙළඹීමත් පිළිබඳ
වාර්තාවක් ඉකුත් 10 වැනිදා “දිනමිණ” පුවත්පත වාර්තාකර තිබිණි.
චීවරයට මුවාවි ව්‍යාජ භික්‍ෂූ වෙස් ගන්වා අයථා ලෙස මුදල් උපයන
එවැනි වංචනිකයන්ට අපේ බොදුනුවා කිසි විටෙකත් නොරැවටිය යුතුය.
සැබෑ භික්‍ෂූන් වහන්සේ හඳුනාගෙන ගරු කළ යුතුය. උපස්ථාන කළ
යුතුය. අපේ වගකීම මැනවින් ඉටුකළ යුතුය.
එහෙත් ව්‍යාජ භික්‍ෂූ වෙස් ගෙන භික්‍ෂු සමාජය අවමානයට ලක් කරන
වංචනිකයන්ට නොරැවටී ඔවුන් නීතියේ රැහැනට යොමු කළ යුතුය.
බොදුනුවා විමසිලිමත් වී බුද්ධිමත්ව සිතා සසුනට එන එවන් උවදුරු
වළක්වා ගැනීමට ද කල්පනා කළ යුතුය. |