ජය ගමු
දෙලොවම වී නොපමා
සුභාෂිණී ධම්මිකා ගඟුල්දෙණිය
හිටපු සහය කථිකාචාරිනී
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පුද්ගල, සමාජයීය, ආර්ථිකාදී අංශයන්හි අභිසංවර්ධනයක් අපේක්‍ෂාවෙන්
වර්තමාන මානව වර්ගයා කිසිදු ඉසිඹුවක් නොගෙන සංවර්ධන ඉලක්කයන් පසුපස
හඹායති. ජීවන ඉලක්කයන් හා ස්වකීය ජීවන පැවැත්ම තුළදී සාධනය කරගත යුතු
වන අරමුණු හා අභිමතාර්ථයන් බහුත්වයකින් යුක්ත මිනිසා නොදැනුවත්වම වාගේ
අතෘප්තිකර බවින් අසහනකාරිත්වයෙන් හා ආතතියෙන් පරිපීඩිත වූ ජීවිතම උරුම
කරගෙන ඇත. මෙ නිසාම මිනිසුන් කායික හා මානසික ස්වස්ථතාවයෙන් පිරිහී
ගොස්, ගිලන් බවට පැමිණීමේ ප්‍රවණතාවය ඉමහත්ය. මෙකී අවිවේකී, ආතතිමය
තත්ත්වය සමනය කර ගැන්මෙහිලා අප ලබන නින්ද වැදගත් වේ. කායික සහ මනෝ
භාවාත්මක විඩා භරිත භාවයට ‘නින්ද’ යනු කදිම ඔසුවකි.
”ඇමරිකානු තෝමස් පර්යේෂණ ආයතනය” මගින් ඉදිරිපත් කරන වාර්තාවන්ට අනුව
(Thomas Research Report for Sleep Pathology)
වැඩිහිටියකුට දිනකට
සාමාන්‍යයෙන් පැය 7 ක පමණ නින්දක් ඇවැසිය . අලුත උපන් දරුවාට නම් පැය
16 ක පමණ නින්දක් අවශ්‍යය.
නමුත් දහවලේදීද නින්දට යාම, පමණ ඉක්මවා ලබන නින්ද ආදිය තුළින්
උද්ගතවන්නේ අහිතකරවූ ප්‍රතිඵලයන්ය. අධිනිද්‍රාව සහ අනිද්‍රාව හේතුවෙන්
පුද්ගල ජීවිතයේ කාර්යක්ෂමතාව, සංවර්ධනය හීනවේ.
සම්මා සම්බුදුපියාණන් වහන්ස්ගේ ශ්‍රී මුඛ දේශිත ධර්ම ස්කන්ධය සංගෘහිතව
ඇති පෙළෙහි පැණෙන ඇතැම් සූත්‍රයන්හි නිද්‍රාව හා නිද්‍රාසීලි බව ගැන
බොහෝ කරුණු විවරණය කර ඇත. පුද්ගලයාගේ පරිහානියට හේතුභූත වන කරුණු
අනාවරණය කරන සුත්ත නිපාතාගත උරග වග්ගයෙහි එන පරාභව සූත්‍රයෙහි මෙසේ
සඳහන් වේ.
නිද්දාසීලි සභාසීලි – අනුට්ඨාතාච යො නරො
අලසො කොධපඤ්ඤාණො - තං පරාභවතො මුඛං... යන ගාථා පාඨයෙන් ගම්‍ය වන්නේ යම්
තැනැත්තකු නිතර නිදන සුළු වේද, සමූහයා කෙරෙහි ඇලෙන සුළුවේද, උට්ඨාන
වීර්ය රහිත වූ අලස බව සහජ ලක්‍ෂණයක් කරගත්තේ වේද, ක්‍රෝධි වේද එකී
ලක්‍ෂණයන් පරිහානිය උදාකරන කාරණාවන් බවයි.
නින්දට අධිකව ලොල් ස්වභාව සහිත කුසීතයා “දැන් ඉතා ශීතය, ඉතා උෂ්ණය, ඉතා
සවස් වී ඇත. ඉතා උදෑසනය, කුසගිනි ඇත්තේය, කුස මහත්සේ පිරී ඇත.” යැයි
පවසමින් ස්වකීය කර්මාන්තයන් හා ඉටු කළ යුතු වගකීම් පැහැර හරියි. මෙසේ
නිද්දාසීලිවු අලස වූ තැනැත්තාගේ උපන් භෝගයෝ විනාශයට පත්වෙති. නූපන්
භෝගයන් ද නූපදනා බව තථාගතයන් වහන්සේ (දීනි, පාටික වග්ග) සිඟාල
සූත්‍රයේදී දේශනා කළසේක. තවද, දහවල් කාලයේදි නිදන සුලුවූ ,රාත්‍රියෙහි
අවදිවීමට නොරිසිවු, නිතරම මත්වූ ස්වභාව ඇති ඇලීම් බහුල වූ පුද්ගලයා වසන
නිවස පිරිහීමට පත් වන බව සිඟාල සුතුරෙහි සංග්‍රහව ඇත.
සැබෑ සංවර්ධනයක් අපේක්‍ෂා කරන පුද්ගලයා නිද්‍රාසීලිවූ අලස කමෙන් අත
මිදිය යුතුමය. සුත්ත නිපාතයේ උට්ඨාන සූත්‍රයට අනුව නිද්දාසීලි බව යනු
මෙලොව පරලොව උභයාර්ථ සාධනයෙහිදීම පුද්ගලයාව අකර්මණ්‍ය කරන සාධකයකි. එහි
පැණෙන පරිදි බුදුරදුන් දක්වා වදාළේ, “....අලස බවින් නැගී සිටිමු. පළක්
බැඳ කර්මස්ථානානුයෝගය සඳහා සැරසෙවු. නින්දෙන් නුඹට කවර නම්
අර්ථයක්ද?....” යනුවෙනි. මින් ගම්‍ය වන්නේ විමුක්ති සාධනය පරම නිෂ්ඨාව
කර ගෙන අරිමඟට ප්‍රවිෂ්ට වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ස්වකීය
පරමාර්ථයන් පසෙකලා නිද්දාසීලි වේද, එය ශ්‍රමණ ප්‍රතිරූපයට උචිත වූවක්
නොවන බවයි. නිමක් නොවූ සංසාරික දුක්ඛ දෝමනස්සයන්ට මිනිසා ගොදුරු වන්නේ
ඔහු සතුව ඇති ඕලාරික වු , පාපී ක්ලේශ ධර්මයන් කරණ කොට ගෙනය. එසේ කෙලෙස්
හුල් ඇනී ආතුර වී ගත් මිනිසා නිද්දාසීලි නොවී අප්‍රමාදීව කටයුතු කළ
යුතු බව බුද්ධෝපදේශයයි. මෙසේ අධි නිද්‍රාවට යොමු නොවූ, සති සම්පඤ්ඤ වූ
තැනැත්තා සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සමාධිගත වු සිත් ඇත්තේ අවසන
මෝහාන්ධකාරයෙන් මනැස මුදවා, පැණැස (ප්‍රඥා ඇස) ප්‍රභාමත් කර ගනියි. ඒ
සඳහා නිදිවැරිම ආවශ්‍යක සාධකයක් බව (ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාළියේ
එන) ජාගරිය සූත්‍රයෙහි සඳහන් වේ.
නිද්දාසීලි නොවීම විමුක්ති සාධනයට පමණක් නොව ලෞකික ජීවිතයේ සංවර්ධනයටද
මහෝපකාරිවේ. අධ්‍යාපනය ලබන දූ පුතුන් තම අධ්‍යයන කටයුතු පසෙකලා අලසව
නිද්දාසීලි ස්වභාවය සහිත වී නම්, ඔවුන් ලබන අධ්‍යාපනයෙන් නිසි ඵල
නෙළාගැන්මට නොහැකිවේ. ක්‍රමවත් සැලැස්මකට අනුව, කාල කළමනාකරණය
කරගනිමින් උද්යෝගීව හා ප්‍රසන්න වූ මනසින් අධ්‍යාපන කටයුතුවල නියැලෙන
දරුවා ගේ ජීවිතය සාකල්‍යයෙන්ම සාර්ථකත්වයට පත්වේ. එනමුත්, අලස කමින් හා
නිද්දාසීලි බව නිසා ශිෂ්‍යයාට සිය අධ්‍යාපන ඉලක්කයන් සපුරා ගැනීමට
නොහැකිවේ. එසේම රැකියාවක නියැලි පුද්ගලයකු හෝ වේවා, ගෘහනියක හෝ වේවා
නින්දට ඇලුණේ නම් ඔහුට තම ආයතනය නිවසද ප්‍රසන්න පරිසරයක් බවට පත් කර
ගැනීම දුෂ්කර වේ. තමන්ට පැවරෙන වගකීම් හා කෘත්‍යයන් ඒ ඒ දිනයන්හි
ඉටුකිරීමට නොහැකි වීමෙන් සිදුවන්නේ ඔහ ඇය බහුකෘත්‍යතාවට සහ
අසහනකාරිත්වයට පත්වීමයි. ගෘහ කටයුතු වුවද මනාව සංවිධානය කර ගැනීමට
නොහැකි වේ. අධිකව නින්දට ලොල් වීමත්, ස්වල්ප වු නිද්‍රාවක් සහිත වීමත්
යන තත්වයන් දෙකින්ම වෙන්වී තමන්ට ප්‍රමාණවත් වූද, සුවපත් වු ද නින්දක්
ලබා ගැනීම අත්‍යාවශ්‍යය.
අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ පචලායන සූත්‍රයෙහි දී නිද්දාසීලි බව
දුරැලීමට ඉවහල් වන ක්‍රමවේදයන් දක්වා ඇත. එහිදී යම් යම් සංඥා සහිතව වසන
අයට ‘මිද්ධය’ හෙවත් නිදිබර ස්වභාවයක් පහළ වේද, එවිට
1. එකී සංඥාව මෙනෙහි නොකර සිටිය යුතුය. එවිට නිදිබර බව පහව නොයයි නම්
පහත දක්වාවූ යම් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට හැකිය.
2. ධර්මය මෙනෙහි කිරිම සිතින් විමසා බැලීම
3. ධර්මය මැනවින් හඬ නගා කියවීම
4. දෙකන සහ ගාත්‍රා අත්ලෙන් පිරිමැදීම
5. හිඳගෙන සිටින අසුනෙන් නැගී සිට, දෑද දියෙන් තෙමා ඒ මේ අත මොහොතකට
බැලීම
6. ආලෝක සංඥාව මෙනෙහි කිරීම
7. සිත එක අරමුණක රඳවාලමින් සක්මන් කිරිම යනාදි ක්‍රමවේදයන් මගින්
නොකල්හි හටගත් නිදිබර බව දුරු කර ගත යුතුය. එකී කිසිදු ක්‍රමයකින්
නිදිබර ස්වභාවනය දුරු නොවන්නේ නම් බුදුරදුන් අනුදැන වදාළේ එවිට, දකුණු
පාදය මත වම් පාදය මඳක් ඇලව තබාගෙන (සිංහ සෙය්‍යාව සහිතව) ස්මෘත්මත්ව,
එළඹ සිටි සිහිය ඇතිව අවදි විය යුතු වේලාව (උට්ඨාන සංඥාව) මෙනෙහි කරමින්
සයනය කළ යුතු බවයි.
එපමණක්ද නොව විකාල භෝජනයෙන් වෙන් වීමේ සිඛ පදය බුදුරදුන් භික්ෂු සංඝයා
විෂයයෙහි පණවාලූයේ ද අහේතුකව නොවේ. යම් භික්ෂුවක් රාත්‍රී දානය වැළදුවේ
නම් කුස පිරීයාම හේතුවෙන් නිදිබර බව ඇතිවී එය, යෝග භාවනා වැඩීම සඳහා
බාධා පමුණුවන හෙයිනි. එසේම එම සිඛ පදය පැණවීම තුළින් සෞඛ්‍යාරක්‍ෂණය ද
සැලසේ.
මේ අනුව සුදුසු කල්හි සුදුසු පරිදි සුවදායි නින්දක් ලබා ගැනීමත්, කාල
කළමණාකරනයකින් යුතුව දෛනික වැඩකටයුතු ක්‍රමවත්ව ඉටු කිරීමත්, නිදිබර
බවින් වෙන්වී උද්යෝගීමත්ව හා අනලස්ව කටයුතුකිරීමත් තුළින් ජීවිතයේ
සාර්ථකත්වය සලසා ගැන්මට අපිත් යුහුසුළු වෙමු. |