මාතර වල්ගම ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති, මාර/පඹුරණ
ශාරිපුත්‍ර විද්‍යාලයේ ධර්මාචාර්ය
ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර
විල්පිට සුධම්මාලංකාර හිමි
නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බානං පරමං සුඛං
පින්වත්නි,
ධම්මපදයේ සුඛ වග්ගයේ එන මෙම ගාථාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ
කොසොල් මහ රජතුමා අරභයා කළ දේශනාවක්.මෙම ගාථාවෙන් කියැවෙන්නේ උසස්ම
ලාභය ලෙස රෝග නැති කම බවත් ඉහළම ධනය සතුට බවත්, ඉහළම ඥාතියා විශ්වාසය
බවත්, ඉහළම සැපය නිවන බවත් ය.
මිනිස් ජීවිතයට අදාළ වටිනා කරුණු හතරක් ඉහත කී බුද්ධ දේශනාවෙන්
පැහැදිලි කොට ඇතත් අද මා මෙමගින් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ
මිනිසෙකුට මෙලොවදී ලැබිය හැකි ඉහළම ලාභය නිරෝගී බව හෙවත් ලෙඩ රෝග නැති
කමයි යනුවෙන් කළ බුද්ධ දේශනාව ගැනයි.
මෙහිදී සිහියට ගත යුතු විශේෂ බුද්ධ දේශනාවක් නම් අංගුත්තර නිකායේ එන “
සප්පායා සප්පායං ජානතී අසප්පායං අපනාමෙති. සප්පායං උපනාමෙති. සප්පානිය
සමණා ජානාති” යන බුද්ධාවවාදයයි. පඨවි, ආපෝ, තේජෝ,වායො සංඛ්‍යාත ලෙඩ
කාරක වලින් සැකසුනු අපේ ශරීරය රෝග ආකරයකි. සැබවින්ම ලෙඩ රෝග හැදීම නොව
නොසෑදීම පුදුමයට කරුණකි. එනිසාම සැණකින් හෝ කුමන මොහොතේ හෝ ලෙඩවීමේ
ප්‍රවණතාව වැඩියි. ඉහත කී බුද්ධාවවාදය වටින්නේද එම පසුබිම තුළයි.
ගැළපෙන නොගැළපෙන දේ කුමක්දැයි දැනගත යුතුයි. නොගැළපෙන දේ ඉවත් කළ
යුතුයි. ගැළපෙන දේ ළගා කරගත යුතුයි. එසේම ගැළපෙන දෙයෙහි වුවත් ප්‍රමාණය
මාත්‍රාව දැනගත යුතුයි. නිරෝගී ජීවිතයක් ද පවත්වාගෙන යාමට මේ
බුද්ධාවවාදය කෙතරම් වටින්නේදැයි බුද්ධිමත්ව සිතා බලනු වටී.
සෞඛ්‍යය යන වචනය ඇසීමත් සමගම අපේ මනසට සුවය කියන අදහසක් වැටහෙනව. අප
සුවසේවා යනුවෙන් කථා කරන්නෙත් මේ සෞඛ්‍යය ගැනයි.
රෝග දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අවස්ථාවක් අංගුත්තර
නිකායේ සඳහන් වෙනවා. එනම් කායික රෝග හා මානසික රෝගයි. මෙයම ආරෝග්‍ය
වශයෙන් විස්තර කළහොත් කායික ආරෝග්‍ය මානසික ආරෝග්‍යය වශයෙන් හඳුන්වන්නට
පුළුවන්. මේ දෙකම අන්‍යෝන්‍ය සබඳතාවකින් යුක්තයි. එහෙයින් මේ ආරෝග්‍ය
දෙක කෙරෙහිම අපේ අවධානය යොමු කළ යුතුයි.
මානසික ආරෝග්‍ය වශයෙන් බුදුදහමෙහි ඉගැන්වෙන්නේ සිත කෙලෙසුන්ගෙන්
නිවාරණය කර ගැනීමයි. කායික ආරෝග්‍ය නම් ශාරිරික වශයෙන් ඇතිවන ලෙඩ රෝග
අවශේෂ කායික වේදනා නිවාරණය කර ගැනීමයි. මෙහිදී ශාරීරික සුවය උදෙසා
මානසික සුවය විශේෂයෙන්ම බලපාන බව අමතක කළ යුතු නොවෙයි. එසේම
විද්‍යාත්මක නිරීක්‍ෂණයන්ගෙන් පවා තහවුරු වී ඇති ඉහත කී ශාරීරික හා
මානසික යන සබඳතාව ගැන අමුතුවෙන් සැක කටයුත්තක්ද නැහැ.
පොදුවේ මිනිස් සමාජය ගැන විමසා බැලුවොත් මිනිස් ජීවිතය ස්වභාවික වශයෙන්
ම සෞඛ්‍ය සම්පන්නයි. නිරෝගී දෙමාපියන්ගේ සම්බන්ධයෙන් බිහිවන කුඩා
බිළිඳාට නිරෝගි ජීවිතයක් ගත කිරීමේ හැකියාව නිතැතින්ම ලැබෙනවා. නමුත්
ස්වභාවික සෞඛ්‍යයෙන් යුත් පුද්ගලයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය
පිරිහෙන්නේ ඇයි කියන එක අපි සාකච්ඡා කළ යුතු වැදගත් ප්‍රශ්නයක්. ඇතැම්
විට දුරදිග නොබලන දෙමව්පියන්ගේ විෂමාචාරවලට වන්දි ගෙවන්නෙ පුංචි දරුවො.
එමෙන්ම දරුවො සදාකාලික රෝගීන් වීමයි එහි අනිවාර්ය ප්‍රතිඵලය . ඒ
හැරුණුවිට උපතේ සිට මරණය තෙක් ක්‍රමයෙන් වර්ධනය වන මිනිසා පටිච්ච
සමුපන්න වස්තුවක්. එබඳු මිනිසාගේ කායික හා මානසික සුවසෙත වර්ධනයට ඉවහල්
වනුයේ ආශ්වාස ප්‍රශ්වාස ආහාරය ජලය හා පරිසරය යනාදි දේවල් බව අමුතුවෙන්
කිව යුතු නැහැ. ශාරිරික හා මානසික වර්ධනය උදෙසා නැතිවම බැරි මේවා
මානුෂිය අවශ්‍යතා නමින්ද හඳුන්වමු.
බුද්ධ දේශනාවට අනුව මානුෂිය අවශ්‍යතා හතරක් චීවර පිණ්ඩපාත, සේනාසන
ගිලානපච්චය යනුවෙන් හඳුන්වා තිබෙනවා. පැවිද්දන්ට පමණක් නොව ගිහියන්ටද
මේ සිවුපසය අවශ්‍යයි. එමෙන්ම මිනිසාගේ සෞඛ්‍ය වර්ධනයට හා සෞඛ්‍යය
පිරිහීමටද හේතුවන කරුණු මේ හතරෙහිම අඩංගු වී තිබෙනවා. මිනිසා පොදු
වශයෙන් ගත්තම ඔහුට අඳින්නට ඇඳුමක් කුසට අහරක් ඉන්නට නිවාසයක් හා ලෙඩට
බෙහෙත් ඉතාම අවශ්‍යයි.මේ කරුණු හතර තුළ අනෙකුත් හැම අවශ්‍යතාවයක්ම
සංග්‍රහ වී තිබෙනවා.
ජීවිතයක ශාරිරික හා මානසික සුවසෙත උදෙසා ආහාරය මූලික අවශ්‍යතාවක් ලෙස
සඳහන් කරන්නට පුළුවන්. සියලුම සත්වයෝ ආහාරය හේතුකොටගෙන පවතින බව
බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එසේම සා දුකට වැඩි රෝගයක් නැතැයි ද වදාළහ.
මෙසේ ආහාරය මිනිසාගේ පැවැත්මට හා සෞඛ්‍ය සංරක්‍ෂණයට මුල් වන්නාසේම රෝග
ප්‍රවාහකයෙක් වශයෙන්ද බලපාන බව අප විසින් අමතක කළයුතු නොවෙයි.
තමන් අනුභව කරන ආහාරය ගැන නිතර සිහි කල්පනාවෙන් යුක්ත විය යුතු ආකාරය
බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යවේෂා ක්‍රමයෙන් දේශනා කර ඇත. නිරෝගී බව රැක
ගැනීම උදෙසා අපේ ආහාරය සපයා ගැනීමේදී රෝග බීජ ඇතුළත් නොවන සේ පිරිසිදුව
සකස් කර ගත යුතුය. ආහාර පිළියෙළ කිරීමේදී රසය හා ගුණය ගැන පමණක් නොව
සෞඛ්‍යාරක්‍ෂාවටද තුඩුදෙන ආකාරයෙන් සකසා ගැනීමට උනන්දු විය යුතුයි.
අහාර පිළියෙල කිරීමට හා අනුභව කිරීමට භාවිත කරන භාජන හා උපකරණ ආදියද
ඉතා පිරිසිදුව තබා ගත යුතුයි. මෙවැනි සුළු කරුණු ගැන පවා අනුගමනය
කළයුතු ආකාරය බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දෙසූ හැටි මහාවග්ග
පාලියේ වත්තකබන්ධක වලින් විස්තර වෙනවා. මේවා සුළු කරුණු වශයෙන් අපි අගේ
නොකරන නමුත් එයින් වන හානිය බරපතල එකක් බව අමතක කළ යුතු නොවෙයි.
තමන්ගේ වයස වෘත්තිය හා ගැන සලකා බලා ශරීරයේ වැඩීම පැවැත්ම හා ආරක්‍ෂාව
සැලසෙන පරිදි සමබර ආහාරයක් ප්‍රමාණවත් පරිදි ප්‍රයෝජනයට ගැනීමට පුරුදු
වීමද ඉතා වැදගත්. කොතරම් ආහාරය තිබුණත් කුසට ගන්නා ප්‍රමාණය සීමාසහිත
විය යුතුයි. එසේ සීමාසහිත ප්‍රමාණයක් නොගැනීම නිසා අපිට නොයෙක්
රෝගාබාධයන්ට දිනෙන් දින මුහුණපාන්නට සිදු වෙනවා. අධික ආහාරය නිසා
නොයෙකුත් ලෙඩ රෝගයන් ඇතිවී ශාරිරික හා මානසික ශක්තිය හා බලය හීන වී
යනවා.
එනිසා බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ආහාර පමණ දැන වළඳන ලෙසට අවවාද
අනුශාසනා කර තිබෙනවා. යථාවාදි තථාකාරී ගුණයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ
භික්‍ෂූන්ට නියම කළා පමණක් නොව තමන් වහන්සේ ද සීමාසහිත ලෙස ආහාරය වැළඳූ
සේක. කිසිවිටෙකත් ප්‍රමාණය නොඉක්මවූ සේක. මේ පිළිබඳව නැවත නැවතත්
භික්‍ෂූන්ටද දහම් දෙසු සේක. මජ්ඣිම නිකායේ කීටාගිරි සූත්‍රයේදී
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක. “මහණෙනි මම රාත්‍රි භෝජනය අත්හලෙමි”
එයින් මගේ ශරීරයේ ලෙඩ රෝග අඩුවිය. බර ගතිය අඩුවිය. ශරීර ශක්තිය අඩුවිය.
එසේම චිත්ත ශක්තියද ලැබිණි. එහෙයින් මහණෙනි, ඔබද මෙසේම හැසිරෙන්න ඉදින්
ඔබ රාත්‍රියට ආහාර ගැනීම අත්හරින්න එවිට ඔබගේ ශරීරයේ ව්‍යාධී අඩුවනු
ඇත. බර ගතියද අඩුවනු ඇත. ශරීර ශක්තිය ඇති වීමත් සමග චිත්ත ශක්තියද
ලැබෙනු ඇත යනු එම දේශනාවයි. කායික හා මානසික සුවසෙත උදෙසා ආහාරය ප්‍රබල
බලපෑමක් කරන බව මේ බුද්ධ දේශනාවෙන් මැනවින් පැහැදිලි වෙනවා.
පියෙක් තම දරුවනට ආදරයෙන් අවවාද අනුශාසනා කරන්නාක් මෙන් ශ්‍රාවකයන්
අමතන බුදුරජාණන් වහන්සේ තමාගේ අත්දැකීම් තුළින් භික්‍ෂුන්ගේ සුඛ විහරණය
උදෙසා වදාළා මෙම දේශනාව මුළුමහත් මිනිස් සංහතියටම ආශිර්වාදයක්. රාත්‍රි
ආහාරය නොගැනීමෙන් සීමාසහිත ආහාරයක් වැළඳීම නිසා සැහැල්ලු ශරීරයක් හා
ලෙඩ රෝග අඩු වූ බව උන්වහන්සේ දේශනා කළා.
සම්පූර්ණයෙන් කුස පිරි තද නොවන පරිදි කුසට අල්ලන ප්‍රමාණයෙන් පිඩු
හතරක් පහක් අඩුකොට වළඳා පැන් පානය කළ යුතුය. එසේ වැළඳීමෙන් ඉරියව්
පැවැත්වීමේ පහසුවක් නිරෝගීසුවයක් ඇතිවෙනවා.
බුදුරජාණන් වහනසේ අනුදැන වදාළ මෙම පමණ දැන ආහාර ගැනීම වර්තමාන
වෛද්‍යවරුන් පවා අනුමත කළ දෙයක්. ඔවුන් ඉදිරිපත් කරන්නේ කුස සිවු
කොටසකට බෙදා දෙකොටසක් ආහාරයෙන් පිරිවිය යුතු බවත්, ඉන් එක කොටසක්
ජලයෙන් පිරවිය යුතු බව හා ඉතිරි කොටස වාතය ඔබ මොබ ගමන් කිරීමේ පහසුව
සඳහා හිස්ව තැබිය යුතු බවයි. බෞද්ධ මතය හා වෛද්‍ය මතය යන මේ දෙකෙන්ම
අපේක්‍ෂා කළේ සෞඛ්‍ය සම්පත්තියයි. මෙයින් නිරෝගිතාවය දීර්ඝාසිරි
නිරායාසයෙන්ම සැලසෙන බව පෙනේ. බුදුදහමෙහි යෝගාවචරයන්ගේ පහසුව සඳහා
දේශනා කළ නමුත් එය සුඛ විහරණය කැමති මිනිස් සංහතියටම සාධාරණ බව ඉහත කී
බුදුවදන වෛද්‍යමතය යන දෙක සසඳා බැලීමෙන් පෙනී යනවා. එහෙයින් අපි අපේ
දෛනික ආහාරය ගැන අදට වඩා අවධානයක් හෙට යොමු කළහොත් ශාරීරික හා මානසික
ආරෝග්‍ය හෙවත් සුවසෙත රැක ගැනීමටත් වර්නය කර ගැනීමටත් හැකිවෙනවා පමණක්
නොව එය පෞද්ගලික වශයෙන් තමාටත් පොදුවේ මුළු මහත් මිනිස් සංහතියටත්
ශාන්තියක් වනු නොඅනුමානය. |