UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දුක වළක්වා ගැනීම

බෞද්ධයාගේ උපතේ සිට මරණය දක්වා ජීවිතය සංවිධානය විය යුත්තෙ කෙසේද යන ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් සකසා ගැනීමට දුක්ඛ නිරෝධ සත්‍ය ශක්තිමත් පදනමක් වෙයි. ඒ අනුව ජීවිතය මූලික අරමුණ විය යුත්තේ දුක නිවා ගැනීමයි

චතුරාර්ය සත්‍යය යනු කල්ප ගණන් දීර්ඝ කාලයක් තිස්සේ බෝසතුන් වහන්සේ විසින් කළ අතිශය දුෂ්කර එමෙන් ම කටුක පර්යේෂණයක ප්‍රතිඵලයකි. සංසාරය සහ නිර්වාණය පිළිබඳ යථාර්ථවාදී විවරණයක් එයින් ඉදිරිපත් කෙරෙයි. බුදුදහමේ මූලික හරය නිරූපණය වන්නේ එමඟිනි. යම් කෙනෙකුට යම් අවස්ථාවෙක ඒ පිළිබඳ ස්වයංප්‍රත්‍යක්‍ෂයක් ලෙසින් පූර්ණ අවබෝධයක් ලැබුණොත් එදාට හෙතෙමේ සර්වසම්පූර්ණ වශයෙන් සසරින් මිදුනේ වෙයි.

එහෙයින් නිවන් කැමති බෞද්ධ පින්වතා චතුරාර්ය සත්‍යය පසක් කර ගනු පිණිස නිරන්තර උත්සාහයක නිරත විය යුතුමය.සත්‍යයයන් හතරෙන් තුනක් මෙම පුවත්පතේ වෙන වෙන ම විස්තර වන හෙයින් මෙම ලිපියෙන් අපේක්‍ෂා කෙරෙන්නේ එහි ඇතුළත් තුන් වැනි සත්‍යය පිළිබඳව පමණක් කෙටි හැඳින්වීමක් කිරීමයි. එය දුක්ඛනිරෝධ සත්‍යය නැතහොත් නිරෝධ සත්‍යය යන නමින් බෞද්ධ සාහිත්‍යයෙහි නියෝජනය වෙයි. වචනාර්ථය ගතහොත් ඉන් ප්‍රකාශ වන්නේ දුක වළක්වා ගැනීම පිළිබඳ සත්‍යය යන්නය. දුක වළක්වා ගැනීම යනු කුමක්දැයි ඉන් ඉතා සැකෙවින් විස්තර කෙරෙයි.

ඒ මෙසේ ය. “යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ” සරල සිංහල භාෂාවෙන් එම ප්‍රකාශනය මෙසේ දැක්විය හැකි ය. එකී තණ්හාව මුළුමනින්ම නොඇලීම බවට පත්කිරීමයි. අභාවයට යැවීමයි, අත්හැරීමයි, ආපස්සට වීසි කිරීමයි, එයින් සහමුලින් ම අත්මිදීමයි. බැම්මෙන් නිදහස් වීමයි. දම්සක් පැවතුම් සුතුරෙහිදී බුදුපියාණන් වහන්සේ විසින් ම දුක්ඛනිරෝධ සත්‍ය නිර්වචනය කළ ආකාරයයි ඒ.

‘එකී තණ්හාව‘ යනුවෙන් මෙහි සඳහන් කරනු ලැබුවේ මීට කලින් සමුදය සත්‍යය හඳුන්වාදීමේ දී දුකෙහි උල්පත ලෙසින් දක්වන ලද තණ්හාවම ය. පුනර්භවයට හේතු වන්නේ එයයි. ගිය ගිය තැන ඇලීම එහි සාමාන්‍ය ලක්‍ෂණයයි. කාමතෘෂ්ණාව භවතෘෂ්ණාව සහ විභවතෘෂ්ණාව යනුවෙන් එය ත්‍රිවිධ වන බවද එහිදී පෙන්වා දෙන ලදී.

මෙම සන්දර්භයේ දී ඉදිරිපත් වන්නේ ප්‍රභේද තුනක් පමණක් වුවත් ක්‍රියාත්මක ජීවිතයේ දී තෘෂ්ණාව එකසිය අට වර්ගයක් දක්වා සියුම් ලෙස විකාශනය වන බව බුදුසමය පෙන්වා දෙයි. තෘෂ්ණාව පමණක් ගෙවා දැමීමෙන් සසරින් මිදිය හැකියැයි මෙම විස්තරයට අනුව කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඒ නිරවද්‍ය නිගමනයක් නොවේ. කෙලෙස් අතර ප්‍රධානත්වය උසුළන්නේ තෘෂ්ණාවය. අනෙකුත් කෙලෙසුන් ජනනය වීමට, විකාශනය වීමට හේතු වන්නේ එයයි. ද්වේෂය නිදසුනට ගනිමු. යම් කිසි අරමුණක් කෙරෙහි කෙනෙකු තුළ ද්වේෂයක් පහළවීමට නම් ඊට කලින් ඒ කෙරෙහි ඔහු තුළ රාගයක් හෙවත් ඇල්මක් පහළ වී තිබිය යුතු ය. අනිත් කෙලෙසුන්ට ද මේ න්‍යාය සාධාරණයි.

එසේ නම් කෙලෙස් සියල්ල ගැන සඳහන් නොකොට තෘෂ්ණාව පමණක් දක්වන ලද්දේ ඇයිදැයි ප්‍රශ්නයක් නැගිය හැකිය. පිළිතුර ඉතා පැහැදිලිය. සියලු ආකාරයේ ධාන්‍ය වර්ග එක්කොට දැක්වෙන තැනෙක වී හෝ තිරිඟු ආදිය ගැන සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නැත්තා සේය. පොදු ලක්‍ෂණය ප්‍රධානත්වයෙන් ගෙන නියෝජනය කිරීමක් වන හෙයිනි.

තෘෂ්ණාව මූලික කොට ගත් සම්පූර්ණ කෙලෙස් සම්භාර ය ම මුලිනුපුටා දැමීම යනු සසර පුරා අත්විඳීමට සිදුවන සම්පූර්ණ දුක් කන්දරාව ම අහෝසි කිරීමයි. නැවත නැවත සංසාරගත වීමේ දුෙක්‍ඛීත්පාදක සිද්ධිය සදහට ම නවතා දැමීමයි. නිර්වාණය හෙවත් සදාතනික ශාන්තිය සාක්ෂාත් කර ගැනීමයි.

දුක්ඛ නිරෝධ සත්‍යයෙන් ඉගැන්වෙන කෙටි පාඩම කුමක්දැයි ඉහතින් විස්තර කෙළෙමු. අපේ ජීවිතය සම්බන්ධයෙන් එහි වැදගත්කම කුමක්දැයි මීළඟට සළකා බලමු. ජීවිතය යනු කුමක්දැයි වටහා ගැනීමටත් එය හැසිරවිය යුත්තේ කුමන අරමුණක් ඔස්සේදැයි සිතා ගැනීමටත් මෙලෙස සිතා බැලීම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

දුක්ඛ නිරෝධ සත්‍යයෙන් අවධාරණය වන්නේ උපන් සත්ත්වයාගේ ක්‍රියාකාරීත්වය කවර බලවේගයක් පදනම් කොට ගෙන පවතින්නේ ද යන්නය. ඒ අන් කිසිවක් නොව කර්මය හා ක්ලේශය යන බලවේග දෙක බව මෙම සත්‍යයෙන් මනාව පැහැදිලි කෙරෙයි. වර්තමාන භවය පුරාකෘත කර්මය විසින් ජනනය කරනු ලබන්නකි. එම ජීවිතයට ඇලුම් කිරීම කෙලෙස්වල බලපෑමෙන් සිදුවන්නකි.

විශේෂයෙන් සැප සොයා යාම සියලු ජීවීන්ගේ අභිප්‍රාය වෙයි. (සුඛකාමානි භුතානි) වර්තමාන භවයේ දී ඉන්ද්‍රියයන් හා ගැටෙන අනේකප්‍රකාර අරමුණු කෙරෙහි යොමු වන සිත නැවත තෘෂ්ණා, මාන, අවිද්‍යාදී කෙලෙසුන් රැස් කරයි. දුක හෙවත් අතෘප්තිකර ස්වභාවය එහි ප්‍රතිඵලය වෙයි.

මුදල සහ පස්කම් සැප කෙරෙහි දැඩි අවධානය යොමු කරන ආර්ථිකමය ජීවන රටාවකට යොමු වී සිටින මෙකල ශ්‍රී ලාංකික සමාජය බොහෝ විපත්වලට මූණ පාන්නේ ඇයිදැයි වටහා ගැනීමට උපකාරී වන තුන් වන ආර්ය සත්‍යය තරම් වූ වෙනත් ධර්මයක් හෝ න්‍යායයක් හෝ සිද්ධාන්තයක් නැත. බෞද්ධයාගේ උපතේ සිට මරණය දක්වා ජීවිතය සංවිධානය විය යුත්තේ කෙසේද යන ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් සකසා ගැනීමට දුක්ඛ නිරෝධ සත්‍ය ශක්තිමත් පදනමක් වෙයි. ඒ අනුව ජීවිතය මූලික අරමුණ විය යුත්තේ දුක නිවා ගැනීමයි.

දුක ප්‍රභව වන්නේ තෘෂ්ණාව ආදී කෙලෙස් මුල් කොට ගෙන නම් ජන්මයෙන් අනිවාර්යයෙන් ලැබෙන ඒ ප්‍රේරකයන් ක්‍රමක්‍රමයෙන් දුර්වල අයුරින් තම කටයුතු මෙහෙයවීමය.

බෞද්ධයාට කාමභෝගී ජීවිතයක් ගෙවීම තහනම් දැයි ඉහත විස්තරය තුළින් කෙනෙකුට සිතෙන්නට පුළුවන. මේ ගැන තීන්දුවකට එළඹෙන්නට පෙර කාමභෝගී යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි සිතිය යුතු ය. කෙනෙකු සතු සම්පත් ඉතාම ආත්මාර්ථකාමී ලෙස පරිහරණය කිරීම සහ ඒවා හුදෙක් ඉඳුරන් පිනවීම සඳහා ම යෙදවීම බුදුදහමින් අනුමත නොවන බව ඉඳුරා පළ කළ හැකි ය.

එවැනි ප්‍රතිපදාවකින් පෙනී යන්නේ ඒ අදහස වැළඳ ගත් කෙනෙකු තුළ දුකින් එතෙර වීමේ අපේක්‍ෂාවක් නැති බවය. මෙහිදී ප්‍රශ්නයක් පැන නැගිතොත් ඒ සම්පත් ඒකරාශි කිරීම හා ඒවා භුක්ති විඳීම පිළිබඳ ආකල්ප සම්බන්ධයෙනි. සීමාන්තික ධනෝපාර්ජනය නිදසුනට ගත්තොත් එය බෞද්ධ ප්‍රතිපදාව සමග ගැටෙන්නට පුළුවන. ධනය ඉපයීම සම්බන්ධයෙන් බුදුදහම සීමා පනවා නැති බව අවධාරණයෙන් සඳහන් කළ යුතු ය. නමුත් ඒවා පරිහරණයේ දී බුද්ධිමත් විය යුතු බව නොයෙක් අවස්ථාවලදී බුදුන් වහන්සේ විසින් පැහැදිලි කර දී ඇත. ජීවිතය යනු කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මොහොතකින් අවසන් විය හැකි දෙයක් බවත් ලෞකික සම්පත් කොතෙක් උපයා ගත්තත් ඒ සියල්ල මරණයේ දී පුද්ගලයාට අහිමි වන බවත් ප්‍රකාශ කරන බුදුසමය තමන් සතු සම්පත් තම තෘෂ්ණාව ලිහිල් වන ආකාරයෙන් පරිපාලනය කළ යුතු බවත් අස්ථීර වූ ජීවිතය ස්ථිර වන ආකාරයේ ප්‍රතිපදාවක පිහිටා කටයුතු කළ යුතු බවත් අවසාන වශයෙන් නිරෝධ සත්‍යයෙන් උපදෙස් ලැබෙයි.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]