UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිගදාය

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූයේ ඇසළ පුරපසළොස්වකදා ඉසිපතනාරාමයේ (සාරානාත්) පුදබිමේදීය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙහි වාරානසී දිස්ත්‍රික්කයේ පිහිටි ඉසිපතනාරාමය (ඍෂි පතන හෙවත් මිගදාය) බෞද්ධ සාහිත්‍යයෙහි සදහන් වන පරිදි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලෙසින්ද සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනය මෙහිදී පැවැත්වීමට ප්‍රථමයෙන් මේ ප්‍රදේශයේ හෝ මෙම පුද බිම ගැන එතරම් ප්‍රසිද්ධියට පත්වී තිබූ ස්ථානයක් නොවීය.

සාරානාත් හි මෙකල ඉතා විශාල ප්‍රදේශයක පුරා පැරැණි කාලයේ ගොඩනැගිලිවලට අයත් නටබුන් දැකිය හැකිය. ඒවා පුරාණ වෙහෙර විහාරවලට අයත් වන්නේය. මේ සියල්ලම ඉන්දියාවේ පුරා විද්‍යා අධිකාරි මගින් නිසි ලෙස සංරක්‍ෂණය කර තිබේ.

මිගදාය :- මිගදාය යන නාමය මෙම ප්‍රදේශයට භාවිතා කර ඇත. එහි අර්ථය මුවන්ගේ අභයභූමිය යන්නයි. මේ ප්‍රදේශයේ සතුන් දඩයම් කිරීම සපුරා තහනම්ය. වන සතුන්ට වාසය කිරීම පිණිස රජතුමා විසින් අභයභූ®මියක් වූ ප්‍රදේශයක් ලෙසින් මෙම පෙදෙස ප්‍රකාශයට පත් කර තිබුණි. සිය ගණන් මුවන් මෙහි සැරිසරන්නට ඇත. බරණැස මහාරාජවරුන් පවා ඉහත සඳහන් නිතිය පනවා තිබුණි. (දඹදිව සිව්මහ පුදබිම් සිරිසමන් විජේතුංග පි. 57 (2011)

බුද්ධත්වය ලබා ගැනීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ බෝමැඩ අසළ සත්සතිය ගත කිරීමෙන් පසුව ගයාවේ සිට කිලෝමීටර් 250 පමණ දුරින් පිහිටි ඉසිපතනාරාමයට (මෙකල ඍෂිපතන හෙවත් මිගදායට) වැඩම කළ සේක. නූතන යුගයේ අනගාරික ධර්මපාලතුමාගේ උත්සාහය නිසා මෙම පුදබිම බෞද්ධයන්ට වැඳුම්පිදුම් කිරීමට නැවත ලැබුණු බව අප මේ අවස්ථාවේදි සිහිපත් කළ යුතුව ඇත. ඉන්දියානු රජයේද අනුග්‍රහය ඇතිව එකල අනගාරික ධර්මපාලතුමා ගේ ඒ සේවය අගැයීම් වස් සාරානාත්හි ප්‍රධාන මාර්ගය අනගාරික ධර්මපාල මාවත නමින් ඉන්දියානු රජය විසින් නම් කර ඇත.

බුද්ධ කාලයට පසුව දඹදිව පුරාණ පුදබිම් හඳුනා ගැනීම පිණිස ඉමහත් සේවාවක් ඉටුකළ භාරතයේ මහා අධිරාජයා අසෝක (ක්‍රි.පූ. 273 – 232 ) රජතුමාය. එතුමා සාරානාතයටද පැමිණියේය. ක්‍රි.පූ. 250 වර්ෂයේදී සාරානාතයට පැමිණි අසෝක රජතුමා මෙහි ආරාම සෑදීම පමණක් නොව මෙහි ශිලා ස්තම්භයක්ද පිහිටුවන ලදී. අදත් එම වෙහෙර විහාරවල නටබුන් දැක ගත හැකිය. මේ අතර ධමෙක් ස්තුපය මහා රාජික ස්තූපය සහ අසෝක ස්තම්භය ඉතා වැදගත් වන්නේය.

වර්තමාන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය – (අසෝක ස්තම්භ ශීර්ෂය)

අසෝක ස්තම්භයේ ශීර්ෂය අදත් සාරානාත් කෞතුකාගාරයේදි ඔබට දැකගත හැකිය. මෙම අසෝක ස්තම්භයට අයත් ශීර්ෂය මෙකල ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වන අතර එහි කැටයම් කර ඇති ධර්මචක්‍රය එරට ජාතික ධජයේ ඇති එකම ලාංඡන යයි.

මෙම අසෝක ස්තම්භයේ ශීර්ෂය මුද්‍රණේ පිහිටි සතර දෙසට මුහුණලා සිංහ නාද පවත්වන ආකාරය නිරූපිත සිංහයින් සතර දෙනාද එම පාද මෙහි ධර්මචක්‍රය කැටයම් කර තිබේ.

අසෝක රජතුමා පසුව මෙම පුදබිමට පැමිණි ක්‍රි.ව. 120 දී ගන්ධාරයේ රජවූ කුෂාන රාජවංශික කණිෂ්ක රජුද සාරානාත්හි බොහෝ ආරාම සහ මූර්ති ද නිර්මාණය කර වූයේය. සාරානාත්හි ඇති බෝධිසත්ව රූපය සහිත ඡත්‍රය ද කණිෂ්ක රාජ යුගයට අයත්ය. කණිෂ්ක රජුගේ තුන්වන රාජ වර්ෂයේදි බල නමින් යුත් භික්‍ෂූන් වහන්සේ නමක් විසින් මෙම මූර්ති සාදවන ලදී.

කුෂාණ රාජ යුගයට පසුව එළඹුණේ. භාරත දේශයේ කලාශිල්ප සාහිත්‍යය හා ආර්ථික වර්ධනයෙන්ද ඉතා දියුණු යුගයකි. ඒ රාජ යුගය ගුප්ත රාජ කාලය ලෙසින් භාරත ඉතිහාසයේ සඳහන් වී ඇත. ක්‍රි.ව. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 6 වන සියවස තෙක් ගුප්ත රජවරුන් විසින් ඉදිකරවන ලද වෙහෙරවිහාර හා මූර්ති මෙහි දක්නට ලැබේ. ගුප්ත රාජ යුගයේදී ඉදිකරන ලද ඉතා විශිෂ්ට මුර්තියක් ලෙසින් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනය පැවැත්වීම නිරූපණය කෙරෙන හිඳිබුදු පිළිමය පෙන්වා දිය හැකිය. ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිරූපිත මෙම බුදු පිළිමය ද ඉහතින් සඳහන් කළ අසෝක ශිලා ස්තම්භ ශීර්ෂයද තවත් බොහෝ ප්‍රතිමා සහ ශිලා කැටයම් හා මූර්ති සාරානාත්හි කෞතුකාගාරයට ගිය විට දැකගත හැකිය.

සාරානාත් බුදබිමට ක්‍රි.ව. 399-414 අතර කාලයේදි භාරත දේශයේ සංචාරය කළ චීන සංචාරක ෆාහියන් හිමියන්ද පැමිණි බව උන්වහන්සේගේ චාරිකා වාර්තාවල සඳහන් වී ඇත. ඒ අනුව එහි ස්තූප හතරක් තිබූ බවද මෙහි තිබූ සංඝාවාසවල භික්‍ෂූන් වහන්සේලා වාසය කළ බවද සඳහන් කරයි. උන්වහන්සේ ගේ සංචාරයෙන් පසුව භාරත දේශය ආක්‍රමණය කළ ආක්‍රමණිකයන් විසින් මෙම සාරානාත් පුදබිම මුල්වරට විනාශ කර දමන ලදී.

ඉන්පසුව නැවතත් සාරානාත් පුදබිමෙහි දියුණුවක් දක්නට ලැබෙන්නේ බුද්ධාගමට බොහෝ අනුග්‍රහය දැක්වූ හර්ෂ රජු (ක්‍රි.ව. 606- 647) ගේ රාජ්‍ය කාලයේදීය. ඒ කාලයේදී එනම් ක්‍රි.ව. 638 දී සාරානාතයට පැමිණි තවත් චීන ජාතික භික්‍ෂූන් වහන්සේ නමක් වූ හියුංෂාං හිමියන් ධමෙක් ස්තූ®පය ධර්ම රාජික ස්තූපය සහ අසෝක ශිලා ස්තම්භය ගැනද සඳහන් කර ඇත. සාරානාතය ගැන ඉතා දීර්ඝ විස්තරයක් එම වාර්තාවල සඳහන් වේ. ක්‍රි.ව. 1017 වර්ෂයේදි ඉන්දියාව ආක්‍රමණය කළ මොහමද් සෂ්ණි ආක්‍රමණිකයාගේ හමුදාව විසින් සාරානාත්හි පුදබිමෙහි වෙහෙර විහාර විනාශ කළ බවද සඳහන් වේ. (BUDDHIST SHRINES IN INDIA D.C.AHIR –P 23 –25 1986)
 

ඉහතින් සඳහන් කළ ආක්‍රමණය නිසා විනාශ වු සාරානාත් පුදබිම නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 1026 දී පාලරාජ වංශික මහීපාල රජු ගේ අනුග්‍රහයෙන් සිදු කළ බව ඉතිහාසයෙහි සදහන් වේ. පාලරජවරුන් වූ ස්තිරපාල හා වසන්තපාල යන රජවරුන් දෙදෙනා විසින් ධර්මරාජික හා ධර්මචක්‍ර යන ස්තූප දෙක අලුතෙන් ශිලාමය ප්‍රතිසංස්කරණය කළ බව ද වාර්තා වී ඇත.

ධමෙක් ස්තුපය අසළින් හමුවී ඇති ශිලා ලේඛනය අනුව ක්‍රි.ව. 11 (එකොළොස්වන) වන සියවස වන තෙක්ම මෙම සාරානාත් පුදබිම බෞද්ධ ජනතාවගේ වැඳපිදුම් ලැබූ බව දක්නට ලැබේ.

මෙසේ සාරානාත් පුදබිමෙන් සොයා ගන්නා ලද බෞද්ධ පුරාවස්තු හා මූර්ති ඵලක මෙසේය.

1. අසෝක ස්තම්භය 2. අසෝක රජු විසින් සාදවන ලද ධමෙක්ස්තුපය 3. ධර්ම රාජික ස්තූපය (එහි මුල් ස්තූපය ක්‍රි.පූ. 3 වන සියවසේදි අසෝක රජතුමා විසින් සාදවන ලදී)

4.සාරානත්හි ආරාම සංකීර්ණය 5.මූලගන්ධකුටි විහාරය (ප්‍රධාන) ගුප්තරාජ යුගයේදි ක්‍රි.ව. 4 –6 සියවස්හිදී සාදන ලදී. 6.ධම්මචක්ක ජීව විහාරය (කුමාරදේවිය විසින් සාදවන ලදී 7. මීට අමතරව ක්‍රි.ව. 3 – 4 සියවස්වලදී කුෂාණ රාජ යුගයේදි සාදන ලද වෙහෙර විහාර සහ නටබුන්ද හමුවී ඇත.

(අ) ප්‍රධාන මූලගන්ධකුටි විහාරය (ප්‍රධාන) පුරාණ මූලගන්ධකුටි විහාරයෙහි බුදුරජාණන් වහ්නසේගේ ප්‍රථම වස්විසීම සිදු කළේ මෙහිය. පුරාණ මූලගන්ධකතුටි විහාරයට අයත්වූ නටබුන් රැසක් මෙහි දැකගත හැක. අසෝක රජතුමා විසින් නැවත මෙය සංරක්‍ෂණය කරන ලදී.

(ආ) ධර්ම රාජික ස්තූපය :– අසෝක රජතුමා විසින් සාදවන ලද මෙම ස්තූපයට පසුව කණිෂ්ක රජු (ක්‍රි.ව.2 සියවස) විසින් සංරක්‍ෂණය කරන ලදී. ඉන්පසු මෙම ස්තූපය දෙවනවරට සාදවන ලද්දේ ගුප්ත රජවරුන් (කි‍්‍ර.ව. 500-600 ) විසිනි.

(ඇ) දම්සභා මණ්ඩපය – මූලගන්ධකුටි විහාරය (පුරාණ) අසළ පිහිටි දම්සභා මණ්ඩපය මෙකල කොන්ක්‍රීට් කණුමත ඉදිකළ වහළය කින් යුක්තය. එහි පියස්ස යට පුරාණ ගඩොල්වලින් සාදන ලද වේදිකාවක් එය ධර්මාසනය සේ සැළකේ.බෞද්ධ සාහිත්‍යයෙන් සදහන් වන යසකුල පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ හමුවූයේ මෙහිදීය. 1956 වර්ෂයට යෙදුනු බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මෙම දම්සභා මණ්ඩපය එවක අග්‍රාමාත්‍යවයා වූ ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා ගේ අනුග්‍රහයෙන් සාදවන ලදී.

(ඈ) සාරානාත්හි නව මූලගන්ධකුටි විහාරය :- නව මූලගන්ධකුටි විහාරය සාදවන ලද්දේ අනගාරික ධර්මපාලතුමාගේ අනුග්‍රහයෙනි. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ මූලගන්ධකුටි විහාරවල (පුරාණ) භාවිතා කළ නාමය මේ සඳහා යෙදීමට හේතුව වූයේ මෙම ස්ථානය පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් කරන අවස්ථාවේදි “මූලගන්ධකුටි යන නාමය ලියූ ශිලා ලේඛනයක් හමුවී ඇත. එම නිසා මෙම විහාරය නව මූලගන්ධකුටි විහාරය යන නාමයෙන් හදුන්වනු ලැබේ. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුර තුනක් අනගාරික ධර්මපාලතුමා විසින් මෙම පුදබිමෙහි රෝපණය කරන ලදී. සාරානාත්හි ධර්මචක්‍ර මුද්‍රාවෙන් ඇති පුරාණ බුද්ධ ප්‍රතිමාවට සමාන බුද්ධ ප්‍රතිමාවක් නව මූලගන්ධ කුටි විහාරයෙහිද අලුතින් සාදා ඇත.

(ඉ) කෞතුකාගාරය

අසෝක ශිලා ස්තම්භ ශීර්ෂය සහ පුරාණ ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුක්ත ලොව ප්‍රකට බුද්ධ ප්‍රතිමාවද සාරානාත් කෞතුකාගාරයෙහිදී දැකගත හැක. තවත් බොහෝ මූර්ති ද මෙහි දී දැකිය හැකිය.

අනගාරික ධර්මපාලතුමා නොවන්නට මෙම පුදබිම් අපට වැදපුදා ගැනීමට නොහැකි වන බවද අප බෞද්ධයන් විසින් නිතර සිහිපත් කළ යුතු කරුණකි.

 

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk