UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 අසමසම බුදු පියාණන් වහන්සේ

බ්‍රාහ්මණය ලොව සම්මා සම්බුදුවරුන්ගේ පහළවීම ඒකාන්තයෙන්ම දුර්ලභ සෙයකි. බ්‍රාහ්මණය මම් වනාහි රාගාදි ක්ලේශ මුල් දෙව්මිනිස හදවත තුලින් ඉවත් කරනු ලබන අනුත්තර වූ ‘සම්බුද්ධ’ නම් ශල්‍ය වෛද්‍යවරයා වෙමි.

වෙසක් පසළොස්වක පෝදා පත්‍රයේ මෙම ලිපියෙහි මුල්කොටස පළවිය

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ ‘බුද්ධ ශුන්‍ය කල්ප’ වශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ ‘මහාභද්‍ර කල්පය’ වශයෙනි. මක්නිසාද යත්, සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි. උන්වහන්සේලා පිළිබඳව කළ සාකච්ඡාවේ ඉතිරි කොටස මෙතැන් සිට.

මහබෝසත්වරු බිහිවන මොහොතේ උණුසුමින් හා සිසිලසින් යුතු දිය දහර දෙකක් පොළොවෙන් මතු වී බෝසත් පුතු හා මාතාවගේ දියකිස කෙරේ. මෙයද සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

ඒ මහබෝසත්වරු උපන් කෙණෙහි උතුරු දෙසට සත් පියවරක් තබා වැඩමකොට හාත්පස සිසාරා බලා දකුණත උඩට ඔසවා අභීත වදන් පවසති.

“මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මෙය අවසාන උපතයි” දැන් මා හට පුනර්භවයක් නැත්තේ ය’

කියා පැවසීම සියලු සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

සියලු මහබෝසත්වරුන් දෙතිස් මහාපුරුෂ ලකුණින් සමන්විත වූවාහු වෙති. උන්වහන්සේලා ගෘහවාසය සිඳ බිඳ දමා අභිනිෂ්ක්‍රමණය කරනු ලබන්නේ දෙවියන් විසින් පෙන්වනු ලබන සතර පෙර නිමිති දැකීමෙනි.

සියලු මහබෝසත්වරු දුෂ්කර ක්‍රියා කෙරෙති. අවසානයෙහි කාමසුඛල්ලිකානුයෝගි අන්තයත්, අත්තකිලමථානුයෝගි අන්තයත් බැහැරකොට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩති.

මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරූපදේශ රහිතව සොයාගනු ලබන්නේ උන්වහන්සේලා විසින්ය.

සියලු සම්බුදුවරු වෘක්ෂයක් සෙවණකදී චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනය මත වැඩහිද සේනා සහිත මරු පරදවා සම්මා සම්බෝධිය සාක්ෂාත් කෙරෙති. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබන මොහොතේදී සෙවණ ලබාදුන්නේ ඇසතු රුක නම් වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේය. මෙසේ බෝ සෙවණකදීම බුදුබව ලැබීම සම්බුදුවරුන්ට පමණක් විශේෂ වූ දෙයකි.

ඒ සම්මා සම්බුදුවරු කවරහුදැයි හඳුනා ගැනීමට දෙවියන් සහිත ලෝකයා හට උපකාර වන්නේ උන්වහන්සේලා විසින් වදාරනු ලබන ධර්මය තුළිනි. ධර්මයෙන් තොරව සම්බුද්ධත්වය කුමක්දැයි ලොවට වටහා ගැනීමට ක්‍රමයක් නැත. එනිසා බොහෝ අවස්ථාවන්හි දී උන්වහන්සේලා තම ස්වභාවය හෙළිදරව් කොට දක්වති. සේල බ්‍රාහ්මණයා හට අප බුදුරජුන් තමන් වහන්සේ ගැන පැවසූ ආකාරය මොනතරම් අසිරිමත්ද!

’සේලය මම් වනාහි රජෙක් වෙමි. අන්තර වූ ධර්ම රාජයෙක් වෙමි ලොවෙහි අන් කෙනෙකුට පැවැත්විය නොහැකි ආඥාචක්‍රය මම ධර්මයෙන් ආඥාව පවත්වමි.

මා විසින් විශිෂ්ට වූ ඤාණයෙන් අවබෝධ කළ යුතු දේ අවබෝධ කරන ලදී. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දේ වඩන ලදී. අවිද්‍යා තෘෂ්ණාවන් ප්‍රහාණය කරන ලදී. එනිසා බ්‍රාහ්මණය මම වනාහි ‘බුද්ධ’ වෙමි.

බ්‍රාහ්මණය මාගේ සම්බුද්ධත්වය කෙරෙහි ඇති සැකය දුරලව. එය සත්‍යයක් බවට ශ්‍රද්ධාවට පැමිණෙව. සම්බුදුරජාණන් වහන්සේලා නිතර දැක්ම අතිශයින්ම දුර්ලභ වේ.

බ්‍රාහ්මණය ලොව සම්මා සම්බුදුවරුන්ගේ පහළවීම ඒකාන්තයෙන්ම දුර්ලභ සෙයකි. බ්‍රාහ්මණය මම් වනාහි රාගාදි ක්ලේශ මුල් දෙව්මිනිස් හදවත් තුලින් ඉවත් කරනු ලබන අනුත්තර වූ ‘සම්බුද්ධ’ නම් ශල්‍ය වෛද්‍යවරයා වෙමි.

ශ්‍රේෂ්ඨත්වයට පත්ව අසම බවට පත්ව, සේනාසහිත මාරයා පරදවා වැඩසිටින සියලු අකුසල පාක්ෂික පසමිතුරන් වසඟ කරගත් මා කිසිදු අයුරකින් නොබියව සතුටු වෙමි. සම්මා සම්බුද්ධ නම් වූ ශල්‍ය වෛද්‍යවරයා වශයෙන් කේශර සිංහයෙකු මෙන් අභීත හඬ පතුරුවමි’.

මෙසේ බලන කල්හි ලොව වෙනත් පසේබුදු හෝ රහතන් වහන්සේ නමක සමඟ හෝ සසඳාලිය නොහැකි ය. එමෙන්ම වෙනත් දිව්‍ය මනුෂ්‍ය, ගාන්ධර්ව ආදි සත්ව කෙනෙකුන් සමඟ හෝ සසඳාලිය නොහැකි ය. උන්වහන්සේලාගේ ස්වභාවය ඒකාන්තයෙන්ම ආශ්චර්යය වේ.

එමෙන්ම අප බුදුරජාණන් වහන්සේ බෝධි මූලයෙහි වැඩසිට තමන් වහන්සේට ද ගුරුවරයෙකු අවශ්‍ය යැයි කල්පනා කළ සේක. තමන් වහන්සේ තුළ යම් සීලයක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් සමාධියක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් ප්‍රඥාවක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ

වීම පිණිසත් ,උපදේශ ගත හැකි කෙනෙක් දෙවියන් සහිත බඹුන් සහිත ලොව සිටිත් දැයි විමසා බැලූ සේක. එවිට උන්වහන්සේට වැටැහී ගියේ තමන් වහන්සේ හා සමාන සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සම්පූර්ණ වූ කෙනෙකු ලොව නැති බවයි. එනිසා ඒ සීලාදී ගුණධර්මයන් තමන් වහන්සේ තුළ ඉපිද වූ ධර්මයම ගුරු තනතුරේ තබා ගත් සේක. එකෙණෙහි සහම්පති බ්‍රහ්මයා පෙනී සිටිමින් මෙසේ පැවසීය.

”ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මය ගුරුතන්හි තබා ගත් සේක. අනාගතයෙහි පහළ වන සම්මා සම්බුදුවරයන් වහන්සේලා ධර්මයම ගුරුතන්හි තබා ගන්නා සේක. ඒ අයුරින්ම වර්තමානයෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන ඔබවහන්සේ ද ධර්මයම ගුරු තනතුරෙහි තබාගත් සේක.’

මෙසේ ලොවෙහි අන් පුද්ගලයන් හා අසම වූ සම්මා සම්බුදුවරයන් හා සම වූ අසමසම ගුණැති ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

සටහන – නයනා නිල්මිණි

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]