UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කුසලයේ ප්‍රමාදයෙන් ලැබෙන ප්‍රතිඵල භයානකය

හොඳට පෙනීම ඇති කෙනෙක් ගෙවල් දෙකක් අතර සිටින විට ගෙවල් දෙකට යන එන අය මනාව දැකගන්නාක් මෙන් මහණෙනි, මම දිවැසින් මැරෙන උපදින සත්ත්වයන් දකිමි. කුලීන, කුලහීන රූපී විරූපී, සුගතිගාමී දුගතිගාමී වීමට එම  සත්වයන් විසින් කරන ලද කුසලාකුසල කර්මයන්ද දකිමි. කය වචනය සිත මෙහෙය වීමෙන් යහපත් දේ කරන ලද අය සුගතිගාමී වෙති. එම ද්වාරත්‍රයෙන් අකුසල් කළ අය දුගතිගාමී වෙති

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
චෝදිනා දේවදූතේහි යේ පමජ්ජන්ති මානවා
තේ දීඝරත්තං සෝචන්නි හීනකායුපගා නරා

දේවදූතයන් විසින් මෙහෙයවනු ලබන යම් කෙනෙක් කුසල් කිරීමෙහි ප්‍රමාද වෙත් ද ඔවුහු අපායා දී හීන ගතිවලට පැමිණ දීර්ඝ කාලයක් ශෝක කෙරෙති යනු ඉහත සඳහන් ගාථාවේ අදහසයි.

කාරුණික පින්වත්නි,

මෙම දේවදූත සූත්‍රය බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේශනා කළ සේක. දේවදූත යනු දෙවියන්ගේ දූතයාය. මෙම සූත්‍රයෙන් දේවදූතයන් පස්දෙනෙක් පිළිබඳව කියැවෙයි. එම දේව දූතයන් මිනිසුන්ට පණිවුඩයක් ගෙනෙයි. එනම් මේ නුඹලාත් මේ තත්ත්වයට පත් වෙයි. ඒ නිසා ඊට පළමු පින් දහම් කර ගන්න යනුවෙනි. තවද, මිනිසුන්ගේ නරකෙස් වලට ද දේවදූත යන නම භාවිත කෙරෙයි. එයින්ද කියැවෙන්නේ ආයු කාලය ඉක්ම ගොස් මරණය ළඟාවී ඇති නිසා පින් දහම් කර ගන්න යනුවෙනි. මකාදේව රජු තම හිසෙහි නර කෙසක් පහළ වූ විට “ පාතුභූතා දේවදුතා පබ්බජ්ජා සමයෝ මම” යැයි දේවදූතයෙක් පහළ විය. මේ මගේ පැවිද්දට කාලයයි පැවිදිවීමට ගියේය. මෙම දූතයන් මගින් කෙරෙනුයේ අනාගතයේදී සිදුවන දෙයක් පෙන්නුම් කර දීමය.

හොඳට පෙනීම ඇති කෙනෙක් ගෙවල් දෙකක් අතර සිටින විට ගෙවල් දෙකට යන එන අය මනාව දැකගන්නාක් මෙන් මහණෙනි, මම දිවැසින් මැරෙන උපදින සත්ත්වයන් දකිමි. කුලීන, කුලහීන රූපී විරූපී, සුගතිගාමී දුගතිගාමී වීමට එම සත්වයන් විසින් කරන ලද කුසලාකුසල කර්මයන්ද දකිමි. කය වචනය සිත මෙහෙය වීමෙන් යහපත් දේ කරන ලද අය සුගතිගාමී වෙති. එම ද්වාරත්‍රයෙන් අකුසල් කළ අය දුගතිගාමී වෙති.

අකුසල් කොට දුගතියෙහි උපදින සත්වයෝ යමපල්ලන් විසින් අල්ලාගෙන යමරජු වෙත පමුණුවනු ලබති. යම රජතුමා ඔහුට දේවදූතයන් පස්දෙනෙක් ගැන සිහිපත් කරයි. පළමුවන දේවදූතයා නම් ළදරුවාය. මහල්ලා, රෝගියා රාජදඬුවම් ලද්දා හා මළමිනිය ඉතිරි දේවදූතයෝය. මේ දේවදූතයන් දැක දැකත් පින් නො කෙළෙහිදැයි විමසා ඔහු කළ පිනක් සිහිපත් නො වුණි නම් අනේ මේ සතා දුකට පත්වන්නේය යි සිතා නිශ්ශබ්ද වන්නේය. එවිට යමපල්ලෝ පැමිණ ඔහු අල්ලාගෙන ගොස් කර්මානුරූප වධබන්ධන කෙරෙති.

මෙලෙස යමරජු දේවදූතයන් පිළිබඳව විමසන්නේ සාමාන්‍ය පාපකර්ම කොට අපාගත වූවන්ගෙනි. එසේ විමසනුයේ ඔවුන් කළ පිනක් සිහිපත් කොට සුගතිගාමි කරනු පිණිසය. සමහර විට ඇතැම් අපාගත වූවන්ට කළ පිනක් සිහිපත් වේ. එවිට ඔහු අපායෙන් නිදහස් වී සුගතියක උපත ලබන්නේය. අයෙක් පළමු දේවදූතයා ගැන විමසද්දීම පිනක් මතක් වී දෙව්ලොව උපදිති. පස් වැනි දේවදූතයා මතක් කරන විට ද සමහරුන්ට කළ පිනක් සිහිපත් නොවෙයි. ඔවුන්ට අපායෙන් ගැලවිල්ලක් නැත.

එක් අමාත්‍යයෙක් ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන්ට සමන්මල් අටමිටක් පුදා ඒ පින් යමරජුට ද අනුමෝදන් කළේය. පසු කලෙක මරණයට පත් ඔහු චුතිචිත්තයට තමන් කළ පාප කර්මයක් ඉදිරිපත් වීම නිසා නිරයෙහි උපත ලැබීය. යමපල්ලෝ එම තිරිසනා යම රජු වෙත ගෙන ගියහ. යමරජු දේවදූතයන් පස් දෙනා පිළිබඳව ම විමසූ නමුත් ඔහුට පිනක් සිහිපත් නොවීය. එවිට යමරජු “ඇයි ඔබ දිනක් රුවන්මැලි මහසෑයට සමන්මල් පූජා කොට මටත් පින් දුන්නා මතක නැද්දැයි විමසීය. එවිට එම පින සිහිපත් වූයෙන් දෙව්ලොව උපත ලැබීය.

මාතෘ ඝාතක, පිතෘ ඝාතක පංච ආනන්තර්ය පාපකර්ම හා වෙනත් බරපතළ පාපකර්මයන් කළ වුන්ගෙන් මෙසේ දේව දූතයන් ගැන විමසීමක් නැත. හිසින් ඔසවාගෙන ආ දෙයක් බිමින් තබන්නාක් මෙන් මහා නරකයෙහිම උපදිති. ඔවුන්ට අපායෙන් නිදහස් වීමට ලැබෙන්නේ කල්ප ගණන් විඳවා කළ පව් ගෙවී ගිය පසුවය. අපාය යන වචනය සෑදී ඇත්තේ අප අය යන පද දෙක එකතුවීමෙනි. අප යනු පහවුණු යන අර්ථය ගෙන දෙන උපසර්ග පදයෙකි. අය නම් සම්පත්තියයි. සම්පත්තිය පහවුණ ස්ථානය මෙයින් ගැනේ. එනම් අපායයි. නිරය යනුද එම අර්ථයම ගෙන දෙයි. නි යනු නැත යන්න අර්ථවත් කෙරෙන උපසර්ග පදයෙකි. අය යනු සම්පත් කියයි. එවිට සම්පත්තිය නැති ස්ථානය නිරයයි.

ප්‍රධාන වශයෙන් අපාය අටෙකි. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යනු ඒ අටයි. මේ මහා නරක අට වටා තවත් ඔසුපත් නිරයන් පිහිටා ඇත. එක් අපායකට දොරටු හතරක් ඇත. එම එක් එක් දොරටු ඇසුරු කරගෙන ඔසුපන් නරක දහසයක් පිහිටා ඇත. දහසය අටෙන් වැඩිවූ විට එකසිය විසි අටෙකි. සංජීවය කාලසූත්‍රය ආදි අට මහ නරකයනුත් එකතු වූ විට එකසිය තිස්හයෙකි. එය ලෝවැඩසඟරා කතුවරයා මෙසේ දක්වා ඇත.

සිතුවත් බිය කරවන අර තරයේ
වැටුණොත් එක්සිය සතිසක් නිරයේ
බලවත් දුක් විදිනෙය කර දරයේ
මදකුත් පිනකට නැත අව සරයේ

සංජීවය

ගුරුළුගෝමී පඩිතුමා ධර්මප්‍රදීපිකාවෙහි සංජීව නරකය ගැන මෙසේ විස්තර කරයි. “යමපලුන් විසින් ගිනිහෙන දිලිසෙන ලද මුගුරින් කඩුයෙන්, සැනින් කඩ කඩ කෙරෙන සතුන් කර්මය ඇතිතාක් දුක් විඳිනා නරකය සංජීවයය” යනුවෙනි.

කාලසූත්‍රය

මෙහි උපදින නිරිසත්තු විශාල ශරීර ඇත්තෝය. ලී කොටයක් සහිත වඩුවන් මෙන් යමපල්ලෝ එම තිරිසතුන් බිම පෙරළා කළු නූල් ගසා සතරැස්ව වසිති. අටපට්ටන් ආකාරයට වසිති. මේ නිසා මේ නරකය කාලසූත්‍ර නාමයෙන් හැඳින්වේ.

සංඝාතය

මෙම නරකය ලෝදිය ගංඟාවන්ගෙන් පිරී පවතී. යමපල්ලෝ මෙහි උපදින නිරිසතුන් අල්ලා එම ලෝදිය ගංගාවලට දමති.එහි විශාල පණුවෝද වෙසෙති. ලෝදියට වැටෙන නිරිසතා බැදුමක් මෙන් බැදෙති. ඒ අතර පණුවෝද කාදමති. ඇටසැකිල්ලක් වනතුරු මස් නහර කඩාගෙන කති. එහෙත් පාපකර්මය නිසා නැවත නැවත ප්‍රකෘති ප්‍රකෘතිමත් වෙති.

රෞරවය

මෙම අපායෙහි තිබෙන ගිනි කෙතරම් රස්නය දැයි කිවහොත් සියක් යොදුනක් දුරින් සිට බැලුවත් ඇස් පුපුරා යන තරම් දරුණුය. එහි උපදින නිරිසතුන්ගේ දෑස්, දෙකන්, නාස්පුඩු, කට සහ මළ මුත්‍ර මාර්ග මගින් ගිනිදැල් ඇතුළු වී දැවි දැවී දුක්විඳිති.

මහාරෞරවය

මෙම නරකය ගිනිගෙන දිලිසෙන, කකියන ලෝදියෙන් පිරී ඇත. නිරිසත්වයෝ මේ ලෝදියට වැටී තැම්බි තැම්බි දුක් විඳවති. ලෝදියෙන් ගොඩනැගෙන විට යමපල්ලෝ උල්වලින් ඇන නැවතත් ලෝදියට ම දමති. කරගෙන ඇති කර්මයේ බලය නිසා මැරෙන්නේද නැත.

තාපය

”නිච්චලේ සත්තෙ නපතීති තාපෝ” නිශ්චල සත්වයෝ යමපල්ලන් විසින් තවනු ලබන හෙයින් තාප නම් වේ. මෙහි නිරිසත්වයෝ ගිනිගෙන දිලිසෙන යකඩ පොළවෙහි ගැලි සෙලවෙන්නට පෙරළෙන්නට බැරුව දරුණු ගින්නෙන් දැවෙති.

යෝ ච රාජා අධම්මට්ඨො - රට්ඨං විද්ධංසනො සියා
තාපයිත්වා ජනපද – තාපනෙ පෙච්ච තප්පති

ප්‍රතාපය

හත් වන නරකය ප්‍රතාපයයි. මහත් සේ බිහිසුණු ලෙස තවන පුළුස්සන නිසා ප්‍රතාප නමි. ප්‍රතාප නරකයෙහි ගිනිගත් අයෝමය පර්වත ඇත. යමපල්ලෝ නිරිසතුන් එම පර්වතවලට නන්වමින් පෙරළා දමති. පෙරළී වැටෙන නිරිසත්තු රත් වූ යකඩ උල්වල ඇනෙති. නැවත නැවතත් ඔවුන් ගිනි කඳුවලට නන්වමින් පෙරළා දමති.

අවීචිය

අට මහා නරකයන් අතුරෙන් දරුණු ම දුක්දෙන අපාය අවීචියයි. අවීචි යනු ගිනිදැල් පහනොවූ යන අර්ථයෙහි යෙදේ. නිරන්තරයෙන්ම පිළිස්සෙමින් වේදනාවෙන් කෑගසන අඳෙීනා කියන හඬවලින් ගිගුම් දෙන අවීචි මහ නරකයෙහි නිරිසත්තු අන් සැම නරකයකටම වඩා දුක් විඳිති. දේවදූත සූත්‍රයෙහි අටුවාවෙහි දැක්වෙන පරිදි කාලාන්තරයකින් මෙම අපායෙහි පූර්ව දිසාවේ පිහිටි දොර විවෘත වෙයි. එවිට ලක්ෂ ගණන් නිරිසත්වයෝ එකිනෙකා පරයා එදෙසට දුවති. ඔවුහු ළං වෙත්ම දොර වැසෙන්නේය. යමපල්ලෝ ඔවුන්ට තලමින් ආපසු එළවා දමති.

සතර අපායයන්ට අයත් වන තිරිසන්, පේ‍්‍රත, අසුර, නිකාය යැයි අපාය තුනෙකි. තිරිසන් පේ‍්‍රත අපාය ඇත්තේ මනුෂ්‍ය ලෝකයෙහිය. තිරිසනුන් දුක් විඳින සැටි අපට ඇස් පනාපිට ම දකින්නට ඇත. කුකුලන්, එළුවන්, ඌරන්, හරකුන්, මරණ හැටි. උන් වේදනාවෙන් දඟලන හැටි අපට දකින්නට ලැබේ. පේ‍්‍රත ලෝකය ඇත්තේද මේ මනුෂ්‍ය ලෝකයෙහි මය. නිතරම සා පිපාසාවෙන් පෙළීම පේ‍්‍රතයන්ගේ ස්වභාවයයි. ඊට අමතරව පාපකර්මය අනුව නොයෙක් දුක් විදිති. අසුර නමින් දේව කොට්ඨාසයක්ද සිටින අතර අසුර නමින් අපායක්ද ඇත. මේ අපායයන් ගැන සිතා බලා පව් කිරීමට ලජ්ජාවත් භයත් උපදවා ගතහොත් පින්කම සිදුකොට සැප සම්පත් ලබාගත හැකිය.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]