UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මැදිරිගිරිය වටදා ගෙය

ලංකාවේ ඇති සුවිශේෂී පූජනීය ස්ථානයන් අතර ඉතාමත් නිර්මාණශීලී ආකර්ෂණීය නිමැවුමක් ලෙස මැදිරිගිරිය වටදාගෙය හඳුන්වා දිය හැක. වංශකතා පරීක්‍ෂා කිරීමේදී, අද හුදෙකලාව දර්ශනය වන මැදිරිගිරිය වටදාගෙය සහිත භූ®මියෙහි, දුරාතීතයේ දී පරිපූර්ණ වූ විහාරස්ථානයක් තිබූ බවට සාධක මතු වෙයි.

අද මැදිරිගිරිය අතීතයේ දී හඳුන්වා ඇත්තේ ‘ මණ්ඩල ගිරිය’ යන නමිනි. මහාවංශයට අනුව කනිට්ඨතිස්ස රජතුමා ( ක්‍රි. ව. 164 – 192 ) මණ්ඩලගිරි විහාරයේ උපෝෂථඝරයක් කරවූ බව සඳහන්ව තිබේ. ඒ අනුව මෙහි ඉතිහාසගත වාර්තාව වසර 1848 ක් පමණ වෙයි. ඊටත් එපිට සිට මෙම සිද්ධස්ථානය පැවැත එන්නට ඇතැයි සිතිය හැකි වෙයි. “ කනිට්ඨතිස්ස රජු දවස මෙම ස්ථානයේ වූ සිද්ධස්ථානය බොහෝ ප්‍රසිද්ධව තිබෙන්නට ඇති බව නිසැක යැයි “ මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසයි.

ලක්බිම රජවරුන්ගේ පාලනයෙන් ගිලිහී යාමටත් ප්‍රථම දහතුන්වන සිය වසෙහි මාඝ ආක්‍රමණයන්ගෙන් රට විනාශ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඓතිහාසික පුද බිම ද නටබුන්ව වන ගහණයේ ආක්‍රමණයට නතු වී රූස්ස ගහකොළ අතර වසන් වී තිබිණ. සතුරු ආක්‍රමණයන්ගෙන් සහ ස්වාභාවික ව්‍යසනයන්ගෙන් ද පහර පිට පහර කමින් ප්‍රකෘත්තියෙන් ගිලිහුණු මෙම වටිනා ඓතිහාසික පුද බිම නැවත සොයා ගනු ලැබීමේ ගෞරවය හිමිවන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතාට ය. ඔහුගේ 1897 වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ, “ වාස්තු විද්‍යානුකූලව බලනවිට මෙම සිද්ධස්ථානය අනර්ඝ මාණික්‍යයක් “ බවය.

“ මෙම වටදාගෙය පුරා විද්‍යාත්මකව වාස්තු විද්‍යාත්මකව හා ආගමික යන සෑම අතකින්ම දිවයිනේ වෙනත් තැන්වල පමණක් නොව අනුරාධපුර හා පොළොන්නරු වැනි පුරාණ අගනුවරවල පවා ඇති සෙසු කිසිඳු ඉපැරැණි සිද්ධස්ථානයකට නොදෙවෙනි තැනක් දරන බව“ මහාචාර්ය පරණවිතාන පවසයි.

මැදිරිගිරිය නොහොත් මණ්ඩලගිරිය මින්නේරියට සැතැපුම් 14 ක් උතුරින් පිහිටා ඇත.

අද අප දකින සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් ඉතා ආකර්ෂණීය පෙනුමකින් යුතු මෙම වටදාගෙය මෙම තත්ත්වයට ප්‍රකෘතිමත් කර අවසන් කරන ලද්දේ 1945 වසරේ දී එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සෙනරත් පරණ විතාරණයන්ගේ අධීක්‍ෂණය යටතේ ය.

ලංකාවේ වඩාත් ප්‍රකට වටදාගෙය ඇත්තේ පොළොන්නරුවේ වුවත් මැදිරිගිරිය වට දා ගෙය උස් ගල් තලාවක් මත සහ පිවිසීමට තනා ඇති උදාර වූ පිය ගැට පෙළ සහ උස් ද්වාර මණ්ඩපයත් නිසා නරඹන්නන්ගේ සිත් තුළ ජනනය කරන හැඟීම තව තවත් වර්ධනය කරවන සුළුය.

මෙම වට දා ගෙය මැද ස්තූපයක නටබුන් දිස් වෙයි. මෙම ස්තූපය එය ආවරණය කිරීමට තැනූ වට දා ගෙයට වඩා වසර 800 ක් පමණ පැරැණි බව පැවැසෙයි. ස්තූප වටා සතර දිශාවකට මුහුණ ලා සමාධි බුදු පිළිම හතරක් පිහිටුවා තිබී ඇත. මෙම පිළිම නෙලා ඇත්තේ හුණු ගලෙනි. මෙම පිළිම 4 න් නැගෙනහිර දිශාවට මුහුණ ලා ඇති පිළිමය පමණක් ආරක්‍ෂා වී තිබුණි. පිළිම දෙකක හිස් සිඳී වෙනතක විසිරී තිබුණු අතර අනෙක් පිලිමයේ අඟ පසඟ පවා සිඳී බිඳී තිබුණු බව පරණවිතානගේ වාර්තාවේ සඳහන් වෙයි. ඉතා අසීරු ප්‍රයත්නයකින් මේවා ප්‍රකෘතිමත් කර තිබේ.

එසේම ස්තූපය වටා තල තුනකට ගල් කණු තිබී ඇත. මුල් වටයෙහි කණු 16 කුත් දෙවන වටයේ කණු 20 කුත් තුන් වන වටයේ කණු 32 කුත් සිටුවා තිබුන ද මෙය නැවත තහවුරු කිරීමේ දී සමහර ගල් කණු හිස් කැඩී බිඳී පෙරළී තැන තැන විසිරී තිබී සොයාගෙන ඇත. මේවා නිසි ලෙස පැරැණි ආකෘතියට සකසා ගැනීමට ගත් උදාර ප්‍රයත්නයක ප්‍රතිඵල නිසා අද අපට එය ඓතිහාසික තත්ත්වයෙන්ම දැක ගැනීමට ලැබීම වාසනාවකි. පෙර දා මෙම කණු මත දැවයෙන් කළ කූටාකාර පියසක් තිබෙන්නට ඇති බව පරණවිතාන පවසයි.

සළ පතල මළුව ගල් ලෑලි අල්ලා සකසන ලද්දකි. තැන තැන විසිරී කැඩී බිඳී ගොස් තිබූ පිය ගැට එකිනෙකට යා කරමින් පෙර තිබූ තත්ත්වයටම සැකැසීම ද ඉමහත් භාරදූර කාර්යක් විය.

සමස්තයක් වශයෙන් ගත් කළ මෙම වටදාගෙය නැවත ප්‍රකෘතිමත් කිරීම ද එදා වටදාගෙය ගොඩ නැංවීම තරමටම වෙහෙසකර වු ද විශ්මිත වූ ද ව්‍යායාමයක් විය.

මෙහි ඇති වටදාගෙය කරවන ලද්දේ සිව්වන අග්ගබෝධි රාජ්‍ය සමයේ බව විශ්වාස කළ හැකි රන්පතක් හමු විය. එය හමුවී ඇත්තේ මෙහි වූ ගල් කණු නැවත තහවුරු කිරීමේ දී ය.

යුග ගණනාවක් විවිධ රජවරුන් මෙහි ප්‍රවර්ධනය වෙනුවෙන් දායක වී තිබේ.

නිශ්සංකමල්ල රාජ්‍ය යුගයේදී ( ක්‍රි. ව. 1187 – 1196 ) සටහන් කර ඇති සෙල් ලිපියකට අනුව අනුරාධපුරය, කැලණිය, දඹුල්ල, දෙවිනුවර සහ මණ්ඩලගිරිය වැනි පූජනීය ස්ථානයන් එතුමා වන්දනාමාන කර ගෙන ඇත.

දහතුන් වන සියවස වනවිට මෙම ස්ථානය ලංකාවේ විශේෂිත ජනප්‍රිය සිද්ධස්ථානයන් අතර කැපී පෙණුන පූජනීය ස්ථානයක් බව මෙයින් පැහැදිලි වෙයි.

වර්තමානයේ සැදැහැවතුන් දහස් ගණනකගේ අවධානය දිනාගෙන ඇති දඹුල්ල – කැලණිය වැනි ස්ථානයන් හා සසඳන විට මැදිරිගිරිය එම ජනප්‍රිය සංකල්පයෙන් මඳක් බැහැර වී පවතියි.

වඩ වඩාත් ජනතාවගේ ආකර්ෂණය දිනාගන්නා විට එම පුදබිම් ජනප්‍රියත්වයට පත් වෙයි. එවිට පිවිසෙන ජනතාව අතින් මෙහි වටිනා දේ විනාශ වී යා හැක. ප්‍රතිසංස්කරණයන් මතින් පුරා විද්‍යාත්මක වටිනාකම් විකෘති වී යා හැක.

මේ පිළිබඳව පරණවිතානයන්ගේ මතය වඩාත් වැදගත් වෙයි. “ සිද්ධස්ථානයේ නටබුන් අසල නවීන අවලස්සන ගොඩනැගිලි අවිචාර කුරුටුගෑම් කිසිවක් දක්නට නොමැත. මැදිරිගිරියේ ගොඩනැගිලි ස්වභාවධර්මයේ පීඩනයට ගොදුරු වී ඇති බව නම් සැබෑය.

එහෙත් බොහෝ විට මිනිසාට වඩා ස්වභාවධර්මය මිනිස් නිපැයුම් කෙරෙහි කරුණාව දක්වයි. “

නිදන් හොරුන්ට ගන්නට කිසිවක් නැති නිසා මේ තරමටවත් ආරක්‍ෂා වී තිබුණු මෙම ස්ථානය අධ්‍යාත්මික පෝෂණය නිර්මාණශීලී ආකර්ෂණය හඳුනන පොහොසත් සිත් ඇත්තවුන්ට නම් නිධානයකි. මෙවන් තැනකදී දැනෙනා අධ්‍යාත්මික සුවයට මිලක් නියම කිරීමට හැකි නම් – මැදිරිගිරිය වටදාගෙය වටිනාකම තක්සේරු කළ නොහැකි නීල මාණික්‍යයක්ම ය.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk