UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අඩසිය වසරක් සපුරන රත්මලාන ධම්මිකාරාමය

දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ප්‍රදේශය තුළ පවත්නා ලොකු කුඩා විහාර ස්ථාන අසූ පහෙන් හා රත්මලාන ආසනය තුළ ඇති ලොකු කුඩා විහාරස්ථාන හතළිස් හතරෙන් එක්ක වූත් රත්මලාන තුන්වන පටුමඟ පිහිටි ශ්‍රී ධම්මිකාරාමය ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් හා වෙනත් අවශ්‍ය ලොකු කුඩා විහාරාංගයන්ගෙන් පිරිපුන් දැකුම්කළු විහාරස්ථානයකි. පුණ්‍ය භූමියකි.

මෙහි නිර්මාතෘවරයාණන් හා සමාරම්භක විහාරාධිපතින් වහන්සේ වන්නේ ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත හබරාදුව සිරි ධම්මරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.


හබරාදුව සිරි ධම්මරංසි නා හිමි

1902. දෙසැම්බර් 19 වන දින දකුණු ලක හබරාදුව දංදෙනියේ ගුණවර්ධන මහතා සහ පොඩිහාමි උපාසිකා මාතාව මවුපියන් වී උපත ලබා මාකදුගොඩ විද්‍යාලයෙහි පාසල් අධ්‍යාපනය ලබමින් සිටිය දී 15 වන වියේදී දෙමාපියන්ගේත් දංදෙනියගේ චාල්ස් ගුණවර්ධන නම් වූ වාසනාවන්ත දරුවාගේත් කැමැත්තෙන් 1917 පෙබරවාරි 02 වන දින ගිංතොට සිරි සෝභිත මාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස “හබරාදුව ධම්මරංසි” නමින් පැවිදි විය. 1924 දී පානදුර ගොරකාන සීමා මාලකයේදී අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායෙහි භික්ෂූන් වහන්සේගෙන් උපසම්පදාව ද ලැබීය. දෙවිනුවර ශ්‍රී ධර්මරක්‍ෂිත පිරිවෙණින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ද කොළඹ විද්‍යෝදය මහ පිරිවෙනින් උපරිම හා උසස් පිරිවෙන් අධ්‍යාපනය ද ලබා පඬිරුවනක් බවට පත් වූ ධම්මරංසි හිමියෝ ඉංගී‍්‍රසි හා දෙමළ අධ්‍යාපනය ද මැනවින් ලබා තව දුරටත් සුදුසු බවට පත් වූහ.

අනතුරුව තමන් ලැබූ අධ්‍යාපනය අනාගත පරපුරට ලබාදීම සඳහා පාසල් ගුරු සේවයට එක්වූ අතර ඒ අනුව උන්වහන්සේ සේවය කළ පාසල් වූයේ කොළඹ ඕල්කට් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, හැටන් ශ්‍රී පාද විද්‍යාලය, යාපනයේ හින්දු විද්‍යාලය, ගල්කිස්ස ධර්මෝදය විද්‍යාල ය.

ඉහත කී පාසල් වල ආචාර්යවරයෙකු වශයෙන් සේවය කරන කාලයේදී ඒ විදුහල්වලට ආසන්නව පිහිටි විහාරස්ථානවල නේවාසිකව වැඩ සිටිමින් සාර්ථක අධ්‍යාපන සේවයක නියලුණහ. මේ නිසා උන් වහන්සේගේ දහස් ගණනක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රට පුරා විසිරී සිටිති. යාපනයේ හින්දු විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් උන්වහන්සේ විසින් කරන ලද සේවය සදානුස්මරණීයව සිහිපත් කරන ද්‍රවිඩ ආදි ශිෂ්‍යයෝ බොහෝය. රත්මලාන සීමාසහිත ඇස්බැස්ටෝස් කර්මාන්තායතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගනේෂන් මහතා එහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. එතුමාද උන්වහන්සේ කෙරෙහි දක්වන්නේ මහත් වූ ගෞරවයක් හා හිතවත් භාවයකි.උන්වහන්සේ අනුගමනය කළ මේ ක්‍රියා මාර්ගය තවත් බොහෝ දෙනා අනුගමනය කරන ලද නම් පසුගිය කාලයේ මේ රටේ ආරවුල් තුළින් ඇති වූ විනාශය බොහෝ දුරට ඇති නොවන්නට තිබුණි.

හබරාදුව ධම්මරංසි ස්වාමින්ද්‍රයන් වහන්සේ හැටවස් සපිරීමෙන් විශ්‍රාම යන අවස්ථාව වන විට ගල්කිස්ස ධර්මෝදය විද්‍යාලයෙහි අධ්‍යාපන සේවයෙහි නිරතව විසූහ. ඒ වන විට නේවාසිකව වැඩ සිටියේ ගල්කිස්සේ තපෝධනාරාමයේ පණ්ඩිත තලල්ලේ ශ්‍රී ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුෙර්ය.

එහිම සැප පහසුව ජීවිත කාලයම විවේකීව වැඩ සිටි හැකි වූවත් විශ්‍රාමික තලතුනා සිය සෙට දිවියෙන් තමන්ම මුල්ව විහාරස්ථානයක් ගොඩනැංවීමේ බලාපොරොත්තුවක් ඇති විය. ඒ අනුව 1962 දී රත්මලාන තුන්වන පටුමගෙහි ගාලුපාරට ආසන්නව මිලට ගත් පර්චස් විස්සක පමණ භූමි භාගයක තමන් වහන්සේගේ නමේ මුල් කොටස ද සම්බන්ධ කරමින් “ධම්මිකාරාමය” නමින් නව අරමක් ආරම්භ කළහ. ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවත් උන්වහන්සේ දන්නා හඳුනන හිතවත් දුර බැහැර ජනතාවත් මේ සඳහා උන්වහන්සේට අවශ්‍ය ගොඩනැගිලි ආදිය ඉදිකරීමට අධාර උපකාර කළහ. සිය ගුරු සේවයෙන් හා භික්ෂු නමක් වශයෙන් වෙනත් දැහැමි මංවලින් තමන් වහන්සේට ලැබුණූ යම් ධනයක් වීද ඒවා ද මේ අරම සඳහා බැර කළහ. 1998 මැයි 15 වන දිනට අවුරුදු අනූ පහක් ආයු ගෙවා අපවත්වන විට ධම්මිකාරාමයට ද වසර තිස්පහක් පමණ විය. ඒ වන විට ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් හා ආගමික අවශ්‍යතා ඉටුකර ගැනීමට වුවමනා විහාරාංගයන්ගෙන් ධම්මිකාරාමය සම්පූර්ණ විය.

විහාරස්ථානය ආරම්භකොට වසර පහක් ඇතුළත ප්‍රදේශයේ බෞද්ධ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා “ධම්මික” නමින්ම දහම් පාසලක් ද ආරම්භ කළහ. උන්වහන්සේ 1998 දී අපවත්වන විට එම දහම් පාසල ද තිස්වන වියේ විය. නුගේගොඩ ශාසනාරක්‍ෂක මණ්ඩලය, දෙහිවල රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලය හා රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලය වශයෙන් දැනට පවතින විටත් ධම්මික දහම් පාසල ශාසනාරක්‍ෂක මණ්ඩලය තුළ දීප්තිමත් දහම් පාසලක් වශයෙන් පැවතුණ බව හා පවත්නා බව පැවසිය යුතුය.

ධම්මරංසි හිමියන් ධම්මිකාරාමය තුළින් ප්‍රදේශයේ බෞද්ධ හා අබෞද්ධ ජනතාවට කරගෙන ආ සේවාව ඉදරියටත් මැනවින් පවත්වා ගෙනයාම සඳහා ශිෂ්‍ය භික්‍ෂූන් කිහිප නමක් ඇති කළත් උන්වහන්සේගේ ජීවිතයේ සන්ධ්‍යා භාගය වන විට ඉතිරිව සිටියේ එකම ශිෂ්‍ය භික්ෂුවක් පමණි. උන්වහන්සේ නම් ධම්මිකාරාමයෙහි වර්තමාන විහාරාධිපති දැනට රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති වීරකැටියේ තිලකරංසි හිමියන්ය. උන්වහන්සේගේ අධීක්‍ෂණය යටතේ ගත වූ වසර තුදුසක් පමණ වූ කාලය තුළ ධම්මිකාරාමයත් ධම්මික දහම් පාසලත් මුල්කොට සිදුකෙරෙන සේවාවනුත් මහත් වූ ප්‍රගතියක් මෙන්ම මහතවූ සංවර්ධනයක් ලබා ඇත.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]