UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුදහම අගයන මානව හැකියාව

සසර දුක් සහිතයි. ජාති, ජරා, ව්‍යාධි, මරණාදියෙන් යුක්තයි. එනිසා සසර අතෘප්තිකරයි. මේ අසතුටුදායක පැවැත්ම තණ්හාව මුල්කරගෙන කෙලෙස්වලින් බරව පවතිනවා. එනිසා මේ දුක්ඛිත සසරින් නිදහස්වීමට කැමැතිවන මිනිසුන් කෙලෙස් ධර්ම විනාශ කළ යුතු වෙනවා. එය දුක්ඛ නිරෝධයයි.

ඒ සඳහා වන මාර්ගය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයි. මෙලෙස සසර දුකත්, දුක්ඛ සමුදයත්, දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවත් දේශනාකිරීමට බුදුවරු ලොව පහළ වෙනවා.

බුදුදහමේ මුඛ්‍ය අරමුණ වන්නේ දුක පිළිබඳව පුද්ගලයා දැනුවත් කරමින් දුකින් අතමුදා නිවන් මග පෙන්වා දීමය.

බුදුදහම මගින් පුද්ගලයාට ඉගැන්වූයේ විරාගී දර්ශනයක්, මෙවන් ධර්ම මාර්ගයක දේශපාලනය වැනි සමාජයීය වූ ලෞකික වූ විෂයයක් පිළිබඳව අවධානයක් තිබෙන්නට පුළුවන් ද? එවන් පසුබිමක් තුළ බෞද්ධ දේශපාලනය කියා දෙයක් අර්ථවත් කළ හැකි බව කියූවිට බැලූ බැල්මට කෙනෙකු තුළ විමතියක් උපදින්න පුළුවන්. ඒක පුදුමයක් නෙමෙයි. බුදුසමය, සමාජ දේශපාලන විරෝධී ධර්මයක් බව ඇතැම් විචාරකයින් පැවැසීම වැරැදියි.

කුමන සමාජයක වූවත් මිනිසුන්ගේ ගතිගුණ, අභිරුචිය, රසිකත්වය ,ආකල්ප, සිතුම් පැතුම් ආදියත් ඔවුන්ගේ විවිධ චර්යා රටාවනුත් කෙරෙහි බලපාන විවිධ සාධක අතුරින් ආර්ථිකයත් දේශපාලනයත් වැදගත්ම තැනක් ගන්නවා. එය මිනිසාගේ චින්තනය හා හැසිරීම හැඩගස්වනවා. එම යථාර්ථයට අනුව කුමන සාමයික චින්තනයක් වුවත් කුමන සංස්කෘතික සම්ප්‍රදායක් වුවත් ආර්ථිකය හා දේශපාලනය නැතිව උපත ලබන්නෙ නැහැ. භාරතය තුළ බුදුදහම පහළ වූයේත් ටිකෙන් ටික සිදු වූ භාරතීය, ආර්ථික හා දේශපාලන වෙනස්කම්වලට සාපේක්‍ෂවයි. එම වෙනස්කම අනුව සංවිධානය වූ සමාජයේ අපේක්‍ෂාවන්ට අනුකූලවයි.

බුදුරදුන් දේශනා කළ ධර්මය, පුළුල් සමාජ අවධානයකින් යුක්තයි. සමාජ සන්දර්භයක් තුළ බෞද්ධ ප්‍රතිපදා මාර්ගය අර්ථවත් වන බව පැහැදිලි කරුණක්. එම ප්‍රතිපදාවෙහි පිහිටා ඒ අනුව යන පුද්ගලයාට අනිවාර්යයෙන්ම දේශපාලනය පිළිබඳ ප්‍රමාණවත් අවධානයකින් ක්‍රියාකිරීමට සිදුවෙනවා. ත්‍රිවිධ ශික්‍ෂාව තුළ මෙම ලක්ෂණය දැකගත හැකි වෙනවා. එනිසා සමාජයක වැදගත්ම සාධකයවන, ආර්ථිකය හා දේශපාලනය මගහැර යාමක් බුදුසමය තුළ සිදුවී ඇති බව කියන්න බැහැ. බෞද්ධ මූලාශ්‍ර අනුව බෝසත් කුමරු, උපන්නේ රජ පවුලකයි. හැදී වැඩුනේ දේශපාලන, ක්‍රියාකාරකම්, හා නිබඳවම බැඳී සිටි දෙමාපියන්, ඥාතීන් අමාත්‍යවරුන් ආදීන්ගෙන් සැදුම් ලත් පරිසරයක් තුළයි.

සුද්ධෝදන රජු තම පුත් කුමරු රාජ්‍ය පාලනය උදෙසා අවශ්‍ය වූ හැකියාවන්ගෙන් යුතු අයෙකු බවට පත්කරන්නට ක්‍රියා කළ බවත් සඳහන් වෙනවා. කුමරු උපන් අවස්ථාවේ විද්වත් බමුණො ගිහිගෙයි සිටියහොත් සක්විති රජ වන බවටත් රජකම හැර පැවිදි වුවහොත් සම්මා සම්බුදු වන බවටත් අනාවැකි පළ කළා. සම්බුද්ධත්වයට පත් වූ පසුවත් උන්වහන්සේ හැඳින්වූයේ දේශපාලන අර්ථයක් ඇති “රාජා” යනුවෙන්. “ධම්මරාජා” “බුදුරජාණන් වහන්සේ” යන්නත් ඊට නිදසුන් වෙනවා. අගසව් සැරියුත් හිමියන් “ධම්ම සේනාපති” වුනා. ස්වකීය ධර්ම දේශනාවල නොයෙක්විට රජය, රාජ්‍යත්වය, රාජ්‍ය පාලනය ආදී විවිධ කරුණු මුල්වෙලා තිබුණා. ප්‍රමාණවත් අවධානයකින් බුදුරදුන් කරුණු දක්වා ඇති බව පැහැදිලිව පෙනෙනවා. රාජ්‍යයේ ප්‍රභවය, වගකීම මෙහෙවර, රාජ්‍ය බලයේ පිරිහීම, දියුණුව ආදී විවිධ කරුණූ පැහැදිලි කෙරෙන බුද්ධ දේශනා රාශියක් පවතිනවා.

ඒ සියල්ල ඇසුරෙන් බෞද්ධ දේශපාලන දර්ශනය උපදිනවා.මානව සමාජය තුළ රජෙකු පළමුව ඇතිවීමත්, රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා සන්තතිය ඇතිවීමත් මුල්කරගෙන සාම්ප්‍රදායික භාරතයෙහි පිළිගත් සාමයික මත කිහිපයක් දක්නට ලැබෙනවා. “සංග්‍රාම අවශ්‍යතාවයක් මුල්කොටගෙන රජය හා රාජ්‍යත්වය උපන් බවට එබඳු එක් අදහසක්. එම අදහස සඳහන් වෙන්නේ බ්‍රාහ්මණ ප්‍රවාද කථාවකයි.

සුර අසුර දෙපක්ෂය අතර ඇතිවූ යුද්ධයේදී, අසුරයන් පැරැදවීමට සුරයන්ට යුද නායකයෙක් අවශ්‍ය වුණා. ඔවුන් ඒ සඳහා යුද්ධයට අධිපති සෝම දෙවියන් තෝරා ගත්තා. සෝමගේ නායකත්වය රාජ්‍ය නායකත්වය බවට පත්වුනේ සුර පක්ෂයේ ජයග්‍රහණයත් සමගයි. උපනිශද් යුගයේදී මෙය තවදුරටත් වර්ධනය වී ඊට ඊශ්වර නිර්මාණය හා යාගය පිළිබඳ සංකල්පයද එකතු වුණා. ඒ අනුව සුරයෝ ප්‍රජාපතිට යාගයක් කළා. ප්‍රජාපති සිය පුත් ඉන්ද්‍ර රජු බවට පත් කළා. සුරයන් යුද වැදුනේ එම නායකත්වය යටතේ බව ඉන් පැහැදිලි වෙනවා. මෙය රාජ්‍යයේ සම්භවය පිළිබඳ එක් මතයක්. අනෙක් මතය නම් වෛදික බ්‍රාහ්මණයන්ගේ වර්ණ ධර්ම හා ස්වධර්ම න්‍යායයි. එම මතය අනුව බ්‍රහ්මයන් චතුර්වරණයක් කොට ප්‍රජාව මැවු බවයි ඍග්වේදයේ එය සඳහන් කළේ.

මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණයොත්, දෙබාහුවෙන් ක්‍ෂත්‍රියෝත්, දෙකලවාවෙන් වෛශ්‍යයෙනුත් දෙපතුලෙන් ශුද්‍රයෝත් උපන් බවයි. ඒ ඒ වර්ණයට හිමි කාර්යය කොටස්ද තිබුණා. ප්‍රජා රක්‍ෂණය උරුම කරගත්තේ දෙබාහුවෙන් උපන් ක්‍ෂත්‍රියෝයි.

දේශපාලන කටයුතු පිළිබඳ වගකීම් දැරූ ක්‍ෂත්‍රියයන්ගේ පරම යුතුකම වූයේ සංග්‍රාමයයි. රාජසුය යාගයෙන් ක්‍ෂත්‍රීයන්ගේ රාජාභිෂේකය තහවුරු වනබවත් රාජ්‍ය බලය සුරක්‍ෂිත වන බවත් විශ්වාස කළා. රජු දෙවියෙකු හෝ දෙවියන්ගේම අයෙක් බවත් පිළිගැනීමක් වුනා. සමස්තයක් වශයෙන් රාජ්‍යයේ සම්භවය පිළිබඳ පූර්වෝක්ත භාරතීය අදහස් එක් අතෙකින් සංග්‍රාමයත් අනෙක් අතින් දෙවියන් හා යාගයත් සමග බැඳී පැවතුණා. එලෙසම රාජ්‍ය බලය පිය පුතු පරපුරින් ලැබිය යුත්තක් බව පෙරදිග ලෝකය පිළිගෙන තිබුණා. බුද්ධ කාලයේ රාජාණ්ඩු ක්‍රමය තුළ මෙම අදහස පැවතුණා. රාජ්‍යයේ උපත පිළිබඳව භාරතයේ පැවැතුණ අදහස් තුන් ආකාරයකට ගොනුකළ හැකියි.

සමකාලීනව වර්ණ ධර්මයක් තුළින් මතුවූ කුලවාදය, බුදුදහම පිළිගන්නෙ නැහැ. බුදුදහම නිරන්තරයෙන් අගය කරන්නේ මානව හැකියාවයි.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk