UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රඥාව නො වැඩීම

ලැබූ මනුෂ්‍ය ජීවිතය සැනසිලිමත් කරගැනීමට කායික නිරෝගී බව මෙන්ම මානසික නිරෝගීබවද අත්‍යවශ්‍යය. කය නිරෝගීව පවත්වා ගැනීමද එහි මනා වැඩීම පිළිබඳව ද දැනුවත්ව සිටීම අවශ්‍යය. එසේ නොමැතිවීමෙන් නුසුදුසු ආහාරපානාදියෙන් ඔබගේ ශරීර පැවැත්මට මහත්සේ බාධා පැමිණෙනු ඇත. එමෙන්ම, ශරීරය කොපමණ නිරෝගීව පැවතුණත්, මනස නිරෝගීව පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. මනස නිරෝගීව පවත්වා ගැනීමට නම් ප්‍රඥාව හෙවත් කුසල අකුසල ධර්මයන් කෙරේ මනා අවබෝධය අවශ්‍යය. එමෙන්ම අකුසලයෙන් සිත වළක්වා සිත කුසලයෙහි පිහිටවිය යුතුය. එනම් කුසල ධර්මයන්හි සිත පුරුදු පුහුණු කළ යුතුය.

සැවැත්නුවර ජේතවනාරාමයේ විසූ ලාලුදායි නම් තෙරුන් වහන්සේ තැනට සුදුසු ආකාරයෙන් නුවණ මෙහෙයවා කථාවට හෝ දෙසීමට සමතෙක් නොවීය. මේ නිසා මංගල කරුණු පැවසිය යුතු තැන අවමඟුල් කරුණුත්, අවමංගල්‍යයක පැවසිය යුතු සිත නිවන අදහස් වෙනුවට මංගල කරුණුත් පවසති. මෙම තෙරුන්ගේ මෙම චර්යාව බොහෝ දෙනාට ඉතාමත් අප්‍රසන්න විය. ලාලුදායි තෙරුන්ගේ මෙම අඤාණකම පිළිබඳව, අනෙකුත් තෙරුන් වහන්සේලා විසින් භාග්‍යවතුන් වහන්සේට දන්වන ලදුව, භාග්‍යවතුන් වහන්සේ විසින් ඊට කරුණු දේශනා කරන ලදී. මෙහිදී අගනා වචනයක් අඩංගුව ඇත. එනම් “අප්පස්සුත” නම් වචනයයි. මින් අදහස් කරන්නේ දත යුතු හෝ ඉගෙන ගත යුතු ධර්ම බොහෝ සෙයින් හෝ මද වශයෙන් හෝ නොඅසන ලද නොහදාරන ලද, සහ පුරුදු නොකරන ලද නම් වූ අදහසයි. “අප්පස්සුතෝ” වන්නේ එවැනි පුද්ගලයායි. මෙම අදහස් පැවිදි ජීවිතයට ගළපා බැලුවොත් මෙවැනි අදහසකි. එනම් පැවිදි වුවද අවශ්‍ය වු මූලික ධර්ම විනය කොටස්වත් නොහදාරන ලද පුරුදු පුහුණු නොකරන ලද භික්‍ෂුවක්ය යන අදහසයි. මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරන්නේ තරුණ දරුවන්ද මුල්කොට ගෙන ගෘහස්ථ ජීවිත ගත කරන පිරිසකට නිසා පැවිදි උතුමන් ගැන සඳහන් කරන්නේ නැත.

සුදුසු වයසේ පටන් බාහිර අධ්‍යාපනයක් ගුණ නුවණ හෙවත් දහම් අධ්‍යාපනයත් සුදුසු පරිදි හා අවශ්‍ය පරිදි නොලැබීම මෙහි “අල්පාශ්‍රැත “ ලෙස සඳහන් කළ හැකිය. යම් දරුවෙක් හෝ වැඩිහිටියෙක් වුවද එවැනි ඉගෙනීමක් ගුණ නැණ දියුණු කර නොගැනීමට හෙතුව කුමක්ද? කරුණු කිහිපයක් ගළපා ඉදිරිපත් කළ හැකිය. එනම් අලසකම, අසතිය හෙවත් සිහිය නොපැවැත්වීම, කරුණු හොඳ නරක ලෙසද පරීක්‍ෂා නොකිරීම, දුසිල්වත් හෙවත් පවට බරවීම, අසංවරය, සහ සසරෙහි පුරුදු කරන ලද පුණ්‍ය කර්මවල හීන බවයි. මෙවැනි පුද්ගලයෙකුගේ ගති ස්වභාවය කුමක්ද? මෙම පුද්ගලයා කම්මැලි හෙවත් අලසයෙක් නිසා ඉගෙනීමක් බව නිසිසේ නොකොට “ කකා බිබී” නිදාගනිමින්, නිකරුනේ වාඩිවී සිටිමින්ද හිස්වචන කතා කරමින්ද කාලය ගත කිරීමට පුරුදු වීමයි. යම් දරුවන් පාසල් ගියද අලස වීම නිසා අධ්‍යාපනය නිසිලෙස සම්පූර්ණ නොකර ගනිති. අර්ථවත් දෙයක නොයෙදන මෙම පුද්ගලයා මෙම නිසා ගුණ නුවණින්ද හීන වෙයි. එනමුත් කය වැඩෙමින් පවතී. මෙවිට සිදුවන්නේ කුමක්ද? “ හිස් ඔළුවක් සහ විශාල උදරයක්” ඇති හා එය පෝෂණය කරන “ නිකම්ම නිකම්” මනුෂ්‍යයෙක් වීම පමණක්ය.

සමහර අයට බාහිර පිළිගත් අධ්‍යාපනයක් තිබේ. එනමුත්, ගුණ නුවණෙහි අඩු බවක් හෝ හීන බවක් දක්නට ඇත. වර්තමානයෙහි බොහෝම දරුවන් නිසි බාහිර අධ්‍යාපනයක් ලබන බව පෙනේ. මෙම අධ්‍යාපනය ලැබීමේදි තරඟකාරී බවකට පත්ව සිටින බවද පෙනේ. දරුවෝ උස් මහත්වී එක්තරා මට්ටමකට එනම් වෘත්තීමය අවස්ථාවකට ගැළපෙන පරිදි ඉගෙනීමද නිමාකර ගනිති. එය ප්‍රශංසා කළ යුත්තකි. “උපන් නිසා ජීවත්වෙනවාට වඩා” ලද උතුම් වූ මනුෂ්‍ය ජීවිතයෙන් තමාට යහපතක් වී අනුන්ටත් යහපතක්ම සිදුකිරීම උතුම්ම මනුෂ්‍ය ගුණාංගයකි. සම්මා සම්බුදු, මහරහත් උතුමෝ සහ බෝධිසත්ව චරිත එයට කදිම නිදසුන්ය. මේ නිසා ගුණ නුවණ හෙවත් ප්‍රඥාව වඩා ගැනීම අත්‍යවශ්‍යම කරුණකි.

ගුණ නුවණ දියුණු කරගැනීම නම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ආකාරයෙන් ප්‍රඥාව අනුක්‍රමයෙන් දියුණුකර ගැනීමටයි. එම සම්‍යක් ප්‍රඥාව දියුණූ කරගැනීමට නම් ක්‍රම තුනක් අනුපිළිවෙළින් පෙන්වා දී තිබේ.

1. සූත්‍රමය පඤ්ඤා
2. චින්තාමය පඤ්ඤා
3. භාවනාමය පඤ්ඤා යනුවෙනි

සුතමය ප්‍රඥාව දියුණු කරගැනීමේදි අල්පශ්‍රැත ස්වභාවයෙන් මිදි ක්‍රමයෙන් බහුශ්‍රැත අයෙක් බවට පත්විය හැකිය. විද්‍යා, කලා, වාණිජ ආදි කුමන ක්ෂේත්‍රයක වුවද ඇසීම, සාකච්ඡා කිරීම, දැරීම, පුරුදු කිරීම ඔස්සේ විෂය දැනුම දියුණු කර ගැනීමය. එසේ ඇතිකරගත් දැනුම ඔස්සේ කරුණු පිළිබඳව සිතීම නුවණින් පරික්‍ෂා කිරීම, අවශ්‍ය දේ ධාරණය කරගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම නම් චින්තාමය ප්‍රඥාවයි. භාවනාමය ප්‍රඥා නම් නිවැරැදි කරුණු ඔස්සේ සිත පුරුදු කිරීමයි. තමා ලද නිවරැදි දැනුම වඩා ප්‍රගුණ කරමින් ඵලය ලබමින් එහි හැසිරීමයි.

මෙය පරමාර්ථ ධර්මයට ගළපා ගනිමු. “එහිපස්සික” ලෙසද පර්යාප්ති ශාසනය ලෙසද දක්වා ඇති පරිදි ධර්මය ශ්‍රවණය කිරීමයි. සාකච්ඡා කිරීමයි. ත්‍රිපිටක ධර්මය ඉගෙනීමයි. දින්තාමය පඤ්ඤා නම් උගත් හා සම්මා සතියෙන් යුතුව අවබෝධ කරගත් වීතරාග, වීතදෝස, වීත මෝහ දහම හා මාර්ගය නැවත නැවතත් මෙනෙහි කිරීමයි. භාවනාමය පඤ්ඤා නම් මුල, මැද, අග, පිරිසුදු, එනම් බ්‍රහ්මචරියාවට එක්කරන ධර්මය සිතෙහි පුරුදු පුහුණු කිරීමයි. කුසල චිත්තය දියුණු කිරීමය. සිත මුළුමනින්ම රාග, දෝස, මෝහ ආදි කෙලෙස්වලින් බැහැරකර ගනිමින් ලබන්නා වූ ප්‍රඥාවයි. කෙළවර ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරේ ඇතිකර ගන්නා වු අවබෝධයයි.

මෙසේ නිසි බාහිර අධ්‍යාපනයක් හා ගුණ නුවණ දියුණූ නොකරගත් පුද්ගලයා මස් මාංශ පමණක් වැඩුණු හිස් අයෙකි. එමෙන්ම බාහිර අධ්‍යාපනයක් තිබුණද අධ්‍යාත්මික දියුණුවක් නැතිනම් ඔහු හෝ ඇයද ධර්මයට අනුව යහපත් අයෙක් නොවේ. එවැනි අයගේද කයත් මොළයත් වැඩුනද “මනස” වැඩී නැත. එම නිසා රාග, ලෝභ, ද්වේශ ගිනිදැල්වලින් ඔවුන් ඇවිළෙනු ඇත. තරහවෙන්, ඊර්ෂ්‍යාවෙන් ගුණමකු කමෙන්, වෛරයෙන් බැඳෙනු ඇත. අතෘප්තිකර ආශාවන්ගෙන් යුතුව තෘෂ්ණාවට දාසයෙක් වනු ඇත. ඔවුහු මං මුළා වූවෝය. නොවැඩුණු මනසක් නිසා ඇතිවන ආදීනව ධම්මපදයෙන් මෙම ගාථාවෙන් පැහැදිලිවෙයි.

“නත්ථි රාග සමෝ අග්ගී
නත්ථි දෝස සමෝ ගහෝ
නත්ථි මෝහ සමං ජාලං
නත්ථි තණ්හා නදී සමා“

උතුම් වූ ධර්මාවබෝධයම ව්වා!
තෙරුවන් සරණයි

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk