UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්වයට පත් වූ එදා පටන් අත්ථාය, හිතාය, සුඛාය දේව මනුස්සානං යන වචනයට ම අනුව ලෝවැසි ජනතාවගේ අර්ථ සම්පත්තිය, ආර්ථික සම්පත්තිය වඩා වර්ධනය කර ගැනීමටත් ඔවුනොවුන් අතර සුහදශීලීව - ප්‍රියශීලීව පිළිපැදීමෙන් මෛත්‍රි සහගත සමාජයක් ඇති කර ගැනීමටත් දම් දෙසීමට ආරම්භ කළහ. සසර පතාගෙන ආ පරිදි ඊට අදාළ අනුගාමික භික්ෂු පිරිසක් ද උන්වහන්සේ වටා ගොනු වූහ. එමගින් බුදුපියාණන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා සිදුකරන ලද අපරිමිත සේවාව පිළිබඳව නම්, මෙතෙක් ලොවැ පහළ වූ කිසිදු කෙනෙකුටවත් අගය කිරීමෙන් ප්‍රමාණයක් කළ නොහැකි වී ඇත


සම්බුද්ධත්වයට පත් වීමෙන් 2600 වසරක් සම්පූර්ණ වන මෙම වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින උදාර බෝසත් ගුණ වඩා වර්ධනය කර ගැනීමට සියල්ලෝම අධිෂ්ඨාන කරගත යුතු ය.


සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොවැ පහළවීම නිසා සිදුවූ මහඟු සේවාව කියා හෝ ලියා නිම නොකළ හැකිමය. කාලාන්තරයක් පුරා පාරම්පරිකව පැවත ආ, ජාති – කුල – වංශ - ගෝත්‍ර ප්‍රශ්නයන් නිසාත්, ස්ත්‍රීන්ට අඩු සැළකිල්ලක් පැවති හිංසාකාරී ජනසමාජ රටාවක් පැවති වකවානුවක, සුද්ධෝදන මහා රාජයාගේ එකම පුතණුවන් වශයෙන් සිදුහත් කුමරා උපත ලද්දේ ය. සුද්ධෝදන රජතුමා දැහැමි පරිපාලකයෙකි. එදා අපේ රට මෙන් දෙතුන් ගුණයකටත් වඩා විශාල හිමාල දේශයම පරිපාලනය කළෝ, ශාක්‍ය වංශිකයෝ ය. නූතන ඉන්දියාවෙහි ගෝරක්පූර්, කුසිනාරා, ලක්නවු ආදී මහා ප්‍රදේශයක් පුරා පැතිරි පිහිටි මේ ශාක්‍ය රාජධානිය සෞභාග්‍යය සම්පන්න භාවයෙන් අනූනව පැවතිණ. සහල්, ඉරිඟු, මුං, කඩල, කව්පි, ආදී විවිධ ගණයේ ධාන්‍ය වර්ගවලින් සහ එළවළු, පළතුරු, ඕජෝ ගුණයෙන් අනූන පලා කොළ ආදියෙන් ද, අල බතල වලින් ද, විවිධ ගණයේ හතු වර්ගවලින් ද, හිමාල අඩවිය රට වැසියාගේ ස්වයංපෝෂිත භාවය ඉහළින්ම වඩා වර්ධනය කළේ ය.

ගව මහීෂාදී සතුන්ට පවා දේශගුණික සම්පත්තිය නිසා, තෘණ, දළු, කොළ ආදියෙන් අහේනියක් නොවී ය. ආර්ථික ප්‍රශ්න පිළිබඳ ගැටළුවක් නැති, සෞභාග්‍ය සම්පන්න දේශයක ජනතා හදවත දිනාගත් සුද්ධෝදන මහා රාජයාට අඩුවක් වශයෙන් දැනුණේ සරණ බන්දනයෙන් කලක් ගතවෙන තුරු දරු සම්පත්තියක් නොලැබීම ය. මෙය මහ රජතුමාගේත් එතුමාගේ බිසව වූ මහාමායා දේවියගේත් බලවත් කනස්සල්ලට හේතුවක් වූවා පමණක් නොව, රටේ ප්‍රභූ ජනයාගේ ද චිත්ත පීඩාවට කරුණක් විය. මෙයින් දෙදහස් හයසිය පන්තිස් වසරකට පෙර අද වගේ වෙසඟ පුර පසළොස්වක පොහෝ දිනක ඒ මහා පුණ්‍යවන්ත සම්මා සම්බුදුවරයෙකු බවට පත්වීමට පතාගෙන ආ, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු විය. උපන් දිනය වූ ඒ වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින ද දඹදිව පුරා අමුතු අසිරියක් පැතිරිණ. සුවදායක ඇඟට දැනෙන මඳ සුළඟකින් යුත් සුවඳවත් සුළං හැමීමක් රට පුරා ව්‍යාප්ත විය. එයට හේතුව විවිධ පුෂ්ප වර්ගයන්ගෙන් යුත් ගස් වැල්වල අමුතු ප්‍රබෝධයකින් යුතුව වෙනදාටත් වඩා අසිරියක් ඇති කරවමින් මල් පිපීම යි. දැඩි අව් රස්නය ද, කඩින් කඩ පැතිරී යන තුනී වළාකුළුවලින් දැඩි බවින් තොර විය. මිනිසුන් තුළ ද අමුතු කරුණාවන්ත ගතියක් සුහදතාවයක් ඇති විය. ගව මහිෂාදි සතුන් අතර පවා කරුණා මෛත්‍රී ගුණයන් ඇතිවීම නිසා ඔවුන් අතර කා කොටා ගැනීමක් සිදු නොවීය. මෙවන් දිනක උපත ලද ඒ පින්වත් බෝසතාණන් වහන්සේ ද, උපත ලබා කුඩා සිරිපතුල් පොළොවෙහි තබත්ම අදහාගත නොහී අසිරිමත් සිදුවීමක් දක්නට ලැබුණි. එය නම් පිළිවෙලින් පොළොවෙන් පියුම් හතක් මතු වීමයි. පියුම් හත මත ගමන් කළ පින්වත් කුමරුවා දකුණත ඔසවා දබරැඟිල්ල නිර්භීතව විහිදුවා ගෙන මෙබදු වාක්‍යයක් ප්‍රකාශ කළේය.

“ අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්ති මාජාති නත්ථිදානී පුනබ්භවෝ”

මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උපතයි. නැවත මාගේ උපතක් නැත.”

මේ ශ්‍රේෂ්ඨ වාක්‍යය හතරෙන් ප්‍රකාශ කළේ නිසැකවම තමා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බවය. එදා පාරමිතා කුසල බලය උඩ ඉහත සඳහන් වාක්‍යයන්ගෙන් තමන් වහන්සේ කෙබඳු කෙනෙක්දැයි යන්න පැහැදිළි කළ සිද්ධාර්ථ කුමරුවෝ තරුණ වියේදී පිය රජතුමාගේ බලපෑම නිසාම යසෝදරා දේවිය සමඟ සරණබන්දනයට පත් වූහ. විසි නමවන වියට පා තබන විට අසීමිත රජ සැප විඳිමින් පසු වුණ සිදුහත් කුමරාට කොතෙකුත් සැප පහසුකම් ලැබුණ නමුත් ලොකු කුඩා සෑම කෙනෙකුන් විසින්ම මුහුණ දිය යුතු - වයසට යාම, හෙවත් – ජරාවට පත්වීම – විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීම සහ අවසානයෙහි මරණයෙන් ජීවිතය අවසන් වීම පිළිබඳව මනා අවබෝධයක් මහල්ලෙක් - ලෙඩෙක් – මරණයක් දැකීමෙන් ම වඩාත් කරුණු සහිතව, හිතට කා වැදුණේ ය. පිය රජතුªමාට වුවමනා කළේ තම පුතණුවන් ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් සහ ශාරීරික ලක්ෂණ අනුව අධිරාජයෙක් වනු දැකීමයි. එනිසා පුතණුවන් ගිහි ගෙයිම රඳවා ගැනීම පිණිස කළ හැකි සෑම ප්‍රයත්නයක්ම විධිමත් පරිදි යෙදුවේ ය. එනමුදු පින්වත් බෝසතාණන් වහන්සේ යොමු වූයේ පුරා ගෙන ආ පාරමිතා ධර්මයන්ට අනුව යොමු වූයේ ඉපදීමත් – ජරාවට යාමත් - ලෙඩවීමත් – මරණයත් යන මේ සතර පිළිබඳව මනා අවබෝධයක් ලබා ගෙන ඒ මග ලෝකයාටත් අවබෝධ කරවා තමනුත් නැවත නූපදින තත්වයට පත් වීමේ ඇති අනගිතම වටිනාකම පිළිබඳව ය. කිසි සේත්ම මෙවන් අයුරින් රාජකීය සැප සම්පත් විඳිමින් ඒ මග සොයා ගත නොහැකිය යන්න තරුණ සිදුහත් කුමරුගේ මනසට වැටුනු එකම අදහස විය.

ඒ අනුව විසි නම වන වියේදී සියලු රාජකීය සම්පත් අතහැර දමා හුදකලාව වනගත වුණු මේ ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්ත පුද්ගලයා, කලින් අසා කියා දැන සිටි එහෙත්, හමුවීමක් නොවුණ ආළාරකාලාම තවුසාණන් වෙත ගියේ ය. එතුමා ධ්‍යාන සමාපත්ති උපදවා ගත් සෘද්ධිබල සහිත සෘෂිවරයාණ කෙනෙකි. එම ඇසුරෙහි මාසයක් හමාරක් සිටි නමුත් රූපාවචර ධ්‍යාන සමාපත්ති සතරත්, ආකාසා නඤ්චායතන –විඤ්ඤා ණඤ්චායතන – ආකිඤ් චඤ්ඤායතන යන අරූපීය ධ්‍යාන සමාපත්ති තුනත් සහිතව සමාපත්ති උපදවා එයින් එහාට යමක් නැති බව දැන, අනතුරුව උද්දකාරාම සෘෂිවරයාණන් වෙතට ගිය හ.

උද්දකාරාම තාපසතුමා රාම නමැති සෘෂි වරයෙකුගේ ශිෂ්‍ය පුත්‍රයෙකි. එනිසා උද්දකරාම යන නම ඔහුට ලැබී තිබුණේ ය. උද්දකාරාම තවුසාණන් වෙතද ටික කලක් රැඳී නේවසඤ්ඤා – නාසඤ්ඥායතන, සමාපත්තිය උපදවා එයත් සසර කෙළවරක් නොවන බව දැන හුදකලාව උරුවෙල් දනව්වට වැඩම කළ සේක, එතැන් පටන් සය වසරක් පුරාම කෙමෙන් දුෂ්කර ක්‍රියාවට බැස ශරීරය තැවීමෙන් නැත්නම් ශරීරයට දුක්දීමෙන් නිවන ලබා ගත හැකි යැයි සිතූ නමුදු එයින් ප්‍රතිඵලයක් නොලද විට මධ්‍යම ප්‍රතිපදාවට යොමු වූයේ ය. ශරීරයට අධික ලෙස සැප දීමෙනුත්, ශරීරයට අධික ලෙස දුක් පීඩා දීමෙනුත් තමා බලාපොරොත්තු වන අරමුණ වූ නිවන සාක්ෂාත් කළ නොහැකි බව දැන මැදුම් පිළිවෙත අනුව පිළිපැද එහි ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධාර්ථ ගෞතම තාපසයාණන් වහන්සේට සම්මා සම්බුද්ධබවට පත් වීමට හැකි වූයේ ය.

මෙසේ ශරීරයට තරමක් සැප පහසුව දෙමින් මෛත්‍රී භාවනාව වඩාත් දියුණු කරගෙන සමාපත්ති සුවයෙන් යුතුව වෙසක් දිනට කලින් දා රාත්‍රී නින්දට ගිය බෝසතාණන් වහන්සේට පුදුමාකාර සිහින පහක් පෙනුණේ ය. මහ පොළොව උන්වහන්සේ සැතපෙන යහනක් බවට පත්විය. හිමාලය කඳු වැටිය හිසට තැබූ කොට්ටයක් විය, මේ යහනේ උඩුකුරුව සැතපෙන උන්වහන්සේගේ දකුණු අත බටහිර සාගරයෙහිද, වමත නැගෙනහිර සාගරයෙහිද, දකුණු පය දක්ෂිණ සාගරයෙහිද, එසේම වම් පය උතුරු සාගරයෙහිද විහිදී පැවතියේ ය. මේ පළමු සිහිනයෙන් කියැවෙන්නේ මෙතුමෝ සියල්ලන්ටම වඩා ලෝකයෙහි උත්තරීතර බවට පත් වන බවය. බුදු බවට පත්වන බවය. දෙවැනි සිහිනය උන්වහන්සේට පෙනුණේ මෙසේ ය. තමන්ගේ නාභියෙන් ඊතණ ගසක් ඉතා උසට නැගී නො පෙනෙන තරම් අහස උසට නැගී ගියේය. ඉන් අදහස් කළේ උන්වහන්සේ සොයා ගනු ලබන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයාට අවබෝධ කරවා ලෝක ප්‍රජාව නිවන් මගට පත් කරවන බවයි. තුන්වන සිහිනය දුටුවේ කලුහිස් ඇති සුදු පණුවෝ පාමුලින් මතු වී දණ දක්වා වසා ගත් බවකි. මෙම හීනයෙහි අදහස නම් ලක්ෂ කෝටි සංඛ්‍යාත ගිහියන් උන්වහන්සේගේ දායකකාරකාදීන් බවට – අනුගාමිකයන් බවට පත්වෙන බවය. සතර වන සිහිනය මෙසේය. විවිධ වර්ණ වලින් පාට වලින් යුත් ලිහිණි පක්ෂීන් සතර දෙනෙක් හතර පැත්තෙන් පැමිණ උන්වහන්සේගේ පාමුල බැස - වහා සුදු පැහැති වර්ණයෙන් යුක්ත වූ බවයි. මෙයින් අදහස් කෙරෙන්නේ ක්ෂත්‍රීය – බ්‍රාහ්මණ - වෛශ්‍යය - ශුද්‍ර යන සතර කුලයට අයත් ජනයා එකමුතුව සසුනෙහි පැවිදි වී පිරිසුදු ලෙස පිළිවෙත් පුරා ඒ සියල්ලන්ම නිවන් අවබෝධ කරන බව ය. පස්වැනි සිහිනය වූයේ දුගඳ හමන අපද්‍රව්‍යවලින් පිරි පර්වතයකි. ඒ අපද්‍රව්‍යවල නො ගෑවී සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ එනම් තමන් වහන්සේ ඒ පර්වතයෙහි සක්මන් කළ ආකාරයයි. එයින් කියැවෙන්නේ විවිධ ලාභ - ලෝභ - ගෞරව - පිළිගැනීම – ප්‍රශංසා වලට නො ඇලී තමන් වහන්සේ අතිශයින්ම පිරිසුදු පුද්ගලයෙකු බවට පත් වන වග යි.

මෙම සිහිනවලින් තමන් වහන්සේ ඒකාන්තයෙන් ම බුදු වන බවට පෙරනිමිති පහළ වූ බව දැනගත්හ. බෙහෙවින්ම සතුටට පත්ව, අද අදම බුදුබවට පත්විය හැකි බව දැන දැඩි අධිෂ්ඨානයක් සිතෙහි ඇති කර ගැනීමට මේ නිසා පිළිවන්කම ලැබිණ. බුදුබව සාර්ථක වෙන බවට පෙර නිමිත්තක් වශයෙන් මේ සිහිනය දුටුු බව ද, දැනගත් සේක. එයින් සතුටට පත්ව පසු දා එනම්, වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින සුජාතා සිටු දේවිය විසින් පූජා කරන ලද කිරිපිඬු දානය වළඳා බෝ මැඩට පැමිණ සසර ගමනේ දී පුරන ලද දස පාරමී ධර්මයන්ගේ ශක්තිය, බලය ඔප් නංවා ගෙන සව් කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ.

සම්බුද්ධත්වයට පත් වූ එදා පටන් අත්ථාය, හිතාය, සුඛාය දේව මනුස්සානං යන වචනයට ම අනුව ලෝවැසි ජනතාවගේ අර්ථ සම්පත්තිය, ආර්ථික සම්පත්තිය වඩා වර්ධනය කර ගැනීමටත් ඔවුන්නොවුන් අතර සුහදශීලීව - ප්‍රියශීලීව පිළිපැදීමෙන් මෛත්‍රි සහගත සමාජයක් ඇති කර ගැනීමටත් දම් දෙසීමට ආරම්භ කළහ. සසර පතාගෙන ආ පරිදි ඊට අදාළ අනුගාමික භික්ෂු පිරිසක් ද උන්වහන්සේ වටා ගොනු වූහ. එමගින් බුදුපියාණන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා සිදුකරන ලද අපරිමිත සේවාව පිළිබඳව නම්, මෙතෙක් ලොවැ පහළ වූ කිසිදු කෙනෙකුටවත් අගය කිරීමෙන් ප්‍රමාණයක් කළ නොහැකි වී ඇත. ඒ ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේගේ උපත සිදු වීමෙන් තිස් පස් වසරට එළඹෙත්ම, එම වර්ෂයෙහි යෙදුණ වෙසඟ පුර පසළොස්වක් පොහෝදා මෙහි සඳහන් පරිදි සම්මා සම්බුදු බවට පත්වූහ. එතැන් සිට පන්සාලිස් වසක් එළඹි වර්ෂයෙහි වෙසඟ පුර පොහෝදා දෙවියන් සහිත සකල ලෝකවාසීනට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පහදා දෙමින් සම්මා සම්බුදුපියාණෝ පිරිණිවන් පා වදාළ සේක.

මේ මහොත්තමයාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට පත් වීමෙන් 2600 වසරක් සම්පූර්ණ වන මෙම වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින උදාර බෝසත් ගුණ වඩා වර්ධනය කර ගැනීමට සියල්ලෝම අධිෂ්ඨාන කරගත යුතු ය. එය බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන උදාරම බුද්ධ පූජාව වන්නේම ය.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk