UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විමුක්තියේ මඟ පෙන්වා දුන් විමුක්ති දායකයාණෝ

ගිහි ගෙයත්, රජ සැපත් අත්හළ සිදුහත් කුමාරයා පැවිදි ව ඒ වනවිට භාරතයේ ප්‍රචලිතව පැවැති සියලු මතවාදයන් අධ්‍යයන කළේය. ප්‍රායෝගික අත්හදා බැලීම් කළේය. ඒ සියල්ලෙහි නිසරු බව අවබෝධ කරගෙන, ස්වාධීන ව විමුක්ති මාර්ගය සෙවීමේ වෑයමක නිරත වෙමින්, ස්වයංභූ ඤාණයෙන් සැබෑ විමුක්තිය සහ විමුක්ති මාර්ගය හෙළි කර ගත්තේය. බෞද්ධ දර්ශනය ඒ ව්‍යායාමයෙහි ප්‍රතිඵලය යි.

බුදු දහම ලොව පහළ වන විට ආගම් 62 ක් භාරතයෙහි පැවැති බව ත්‍රිපිටකයෙහි සඳහන් වෙයි. බෞද්ධ මතය අනුව මේ සියල්ල මිථ්‍යා දෘෂ්ටීන් ය. බෞද්ධ විග්‍රහය අනුව ඒ සියල්ල ශාස්වත, උච්ඡේද වශයෙන් අන්තවාදී ඉගැන්වීම් නිසා ඒ කිසිවකින් සත්‍යය හෙළිවන්නේ ද නැත. ඒවා සසර දිගු කරන ඉගැන්වීම් මිස, සසර කෙටි කරන මග පෙන්වීම් නොවේ.

බුදු දහම ඉදිරිපත් කරන විමුක්තිය, තෘෂ්ණාව නැති කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීමයි. සත්වයා සසර සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. තෘෂ්ණාව ඇතිවන්නේ අවිද්‍යාව නිසාය. අවිද්‍යාව මුල් වීමෙන් ඇතිවන තෘෂ්ණාව උපාදාන - සංස්කාර – විඤ්ඤාණ – නාම රූප - සළායතන - ස්පර්ශ - වේදනා - ආදී වශයෙන් එකිනෙක සම්බන්ධ වෙමින් සත්වයාගේ සසර ගමන දිගු කරයි. මෙය චක්‍රයක් මෙන් සිදුවන බව පෙන්නුම් කරන්නේ “ පටිච්ච සමුප්පදාය” මගිනි. එය විද්‍යානුකූල හේතු - ඵල වාදයකි.

විශ්වයත්, සත්වයාත් හටගන්නේත්, පවතින්නේත් නිරුද්ධ වන්නේත් හේතු - ප්‍රත්‍යයන්ගේ සමවායයෙන් බව බෞද්ධ ඉගැන්වීමයි. හේතුවක් නිසා හටගන්නා සියල්ල, ඒ හේතුව නැති කිරීමෙන් අවසන් වන බව බෞද්ධ න්‍යායයි. “ හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඣති”

විමුක්තිය ලබා ගැනීම සඳහා මේ අවබෝධය අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා ශ්‍රද්ධාවත්, සිත – කය – වචනය සංවර කර ගැනීමත් අවශ්‍යය. ඒ සඳහා ශීල - සමාධි – ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් උපස්ථම්භක වන අතර, මෙත්තා - කරුණා - මුදිතා - උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණයත්, සති සම්පජඤ්ඤ හෙවත් මනා සිහි ඇතිව කටයුතු කිරීමත් මහෝපකාරී වෙයි. මේ සියල්ල විමුක්තිය ළඟා කර ගැනීමට අවශ්‍ය වන පූර්ව කෘත්‍යයන් ය.

බුද්ධ දේශනය අනුව, විමුක්තිය ළඟා කර ගත යුත්තේ තමා විසිනි. කිසිඳු දෙවියකුට, බ්‍රහ්මයකුට හෝ අදෘෂ්‍යමාන බලවේගයකට එය ලබා දිය නොහේ. යටත් පිරිසෙයින් සැබෑ විමුක්ති මාර්ගය හෙළි කර දුන් බුදුරජාණන් වහන්සේට පවා තවත් අයකුට විමුක්තිය ලබා දිය නොහැකිය. බුද්ධ භාෂිතයෙහි සඳහන් වන අන්දමට, තම තමන්ගේ විමුක්තිය තම තමන් විසින් ළඟා කර ගතයුතු අතර, බුදුවරයන් පහළ වන්නේ ඒ සඳහා මග කියා දීමට පමණි. “අජ්ජේව කිච්චං ආතප්පං, අක්ඛාතාරෝ තථා ගතා” යන්නෙන් ඒ බව තහවුරු කෙරේ. මේ වූ කලී ඉතාම තර්කානුකූල වූත්, යථාර්ථවාදීවූත් ප්‍රකාශයකි. කෙලෙස් රැස් කරන්නේ පුද්ගලයායි. ඒ කෙලෙස් දුරු කළ යුත්තේත්, දුරු කළ හැක්කේත් කෙලෙස් රැස් කළ පුද්ගලයාටම ය. අවිද්‍යාව නිසා පුද්ගලයාට යථාර්ථය නොවැටහෙන බැවින් තමන්ට එල්ල වී ඇති භයානක ව්‍යසනය ඔහුට නොපෙනේ. ඒ ව්‍යසනයේ ස්වභාවයත්, ඊට හේතු සහ ඉන් මිදෙන මගත් ඔහුට පෙන්වා දීම බුදුවරයන්ගේ කාර්යය වන්නේ ය. බුදුවරුන් ලොව පහළ වන්නේ ඒ අවශ්‍යතාව සඳහා ය.

බුදුවරුන් කලින් කල ලොව පහළ වන්නේ මෝහාන්ධකාරයෙන් වෙළී සත්‍යය වටහාගත නුහුණුව සසර දුකෙහි ගිලී දුක් විඳින අනන්ත වූ සත්වයාට නුවණැස පහළ කරවීමට ය. එසේ පහළ වන උන්වහන්සේලා ලෝක සත්වයාට කියා දෙන්නේ අලුත් දෙයක් නොව, කාලයෙන් වැසී මෝහයෙන් යටපත් වී ගිය පරම සත්‍යයයි. සත්‍යය ලොව සැමදාම පවතී. කලින් කලට සිදුවන්නේ සත්‍යය යටපත් වීමයි. බුදුවරුන් කරන්නේ එසේ යටපත් වූ සත්‍යය යළි ඉස්මතු කර දැක්වීම යි. නෛර්යාණික ශ්‍රී සද්ධර්මය යනුවෙන් අප හඳුන්වන්නේ ඒ අන්දමින් ලෝක සත්වයා වෙත බුදුවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන ධර්මයයි. නෛර්යාණික යන්නෙහි තේරුම නිවනට පමුණුවන’ යන්නයි. බුදු දහම එක එල්ලේ ම යොමුවන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවට ය. මුළු බුද්ධ ධර්මයම ගොඩ නැගී ඇත්තේ ඊට අනුරූපීව යි. බුදු දහමෙහි ඉගැන්වෙන “බෞද්ධ විමුක්ති මාර්ගය” කුමක්දැයි මීළඟට විමසා බලමු.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් සසර පුරා සැරි සරමින් පාරමිතා පුරමින් ද, සිද්ධාර්ථ තාපස නමින් භාරතීය ආගමික පසුබිම හදාරමින් ද අවසානයේ දී ස්වයංභූ ඥානයෙන් සර්වඥතා ඥානය ලත් බුදු රජාණන් වහන්සේ තමන් සොයා අවබෝධ කරගත් විමුක්ති මාර්ගය ප්‍රථම වතාවට ලෝකයා හමුවෙහි තැබුයේ, උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සූත්‍රයෙනි. එම සූත්‍රය, සමස්ත බෞද්ධ දර්ශනයේ ම පටුනක් වැන්න. සාරාංශයක් වැන්න. දම්සක් පැවතුම් සූත්‍රය අධ්‍යයනය කිරීමෙන් බෞද්ධ විමුක්ති මාර්ගය කුමක්දැයි වටහා ගත හැකිය.

මෙම සූත්‍රය දේශනා කළේ පස්වග මහණුන් අරබයායි. ඒ නිසා ආමන්ත්‍රණයේ දීත්, කරුණු පැහැදිලි කිරීමේදී ත් “ භික්ඛවේ”, යන පදය යොදාගෙන ඇතත්, එය භික්‍ෂූන් සඳහා පමණක් දේශිත ධර්මයක් නොවන බව සිහි තබා ගත යුතුය.

බුදු දහමේ ඉගැන්වෙන විමුක්තිය ලබා ගැනීමට ගිහි – පැවිදි භේදයක් බල පාන්නේ නැත. එහෙත්, “ සම්බාධෝ යං ඝරාවාසෝ” යන බුදු වදන අනුව ගිහි ජීවිතය කරදර කම් කටොලින් පිරුණු කාර්ය බහුල එකක් වන නිසා, ගිහි ජීවිතය ගත කරමින් විමුක්ති මාර්ගය අනුගමනය කිරීම දුෂ්කරය. පැවිදි දිවිය ඉතා සරලවූත් සැහැල්ලුවූත් එකක් නිසා එය විමුක්තිය ළඟා කර ගැනීමට පහසු මගක් වෙයි. බුද්ධ භාෂිතය අනුව, පැවිදි දිවිය අභ්‍යවකාශය මෙන් සැහැල්ලු ය. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා විමුක්තිකාමී පුද්ගලයා අනුගමනය කළ යුතු මාර්ගය එකක් ම වෙයි. දම්සක් පැවතුම් සූත්‍රයෙන් විස්තර වන්නේ ඒ ඒකායන වූ විමුක්ති මාර්ගය යි.

බෞද්ධ විමුක්ති මාර්ගයේ මූලික පියවර වන්නේ තම දිවි පෙවෙත සරල බවට පත් කර ගැනීමයි. ඒ සඳහා අත්හළ යුතු අන්ත දෙකක් තිබේ. එනම් ශරීරයට අසීමාන්තිකව දුක් දීම නම් වූ “ අත්තකිලමථානු යෝගය සහ ශරීරයට අසීමාන්තිකව සැප දීම නම් වූ කාම සුඛල්ලිකානු යෝගයයි. මේ දෙකම පුද්ගලයාට යථාවබෝධය ලැබීමේ අවස්ථාව අහිමි කරයි.

මේ අන්ත දෙක අත්හරින පුද්ගලයා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නකු විය යුතුය. මධ්‍යම ප්‍රතිපදාව යනු, අංග අටකින් සමන්විත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මේ කරුණු අට සම්මා දිට්ඨියෙන් ( යහපත් දැකීම, වැටහීම ) ආරම්භ වී අනුක්‍රමයෙන් චිත්ත ඒකාග්‍රතාව දක්වා ගොඩ නැගී ඇති බව පෙනේ. ඒ එක එකක් එකිනෙකට සාපේක්‍ෂ වන බැවින් විමුක්ති සංඛ්‍යාත වූ නිර්වාණාවබෝධය ඉලක්ක කර පවතී.

ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන විමුක්ති කාමියා ක්‍රමයෙන් සිත දියුණු කර ගැනීමෙන් හා සිත සමාධිගත කර ගැනීමෙන් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනී. දුක්ඛ සත්‍යය යනු සසර දුකය. සමුදය සත්‍යය යනු ඒ දුක ඇති වීමට හේතුව වූ තෘෂ්ණාවයි. දුක්ඛ නිරෝධ සත්‍යය යනු තෘෂ්ණාව නැති කිරීමට අරමුණු වූ නිර්වාණයයි. දුක්ඛ නිරෝධයට මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යය නම් වෙයි. මේ චතුරාර්ය සත්‍යය සත්‍ය, කෘත්‍ය, කෘත වශයෙන් තත්වඥානයෙන් අවබෝධ කර ගැනීම නිර්වාණාධිගමය යි. නිර්වාණාධිගමය යනු බෞද්ධ දර්ශනයේ කූට ප්‍රාප්තිය වූ සංසාර විමුක්තිය යි.

නිර්වාණාධිගමය ලබන්නා ආසවක්ඛය ඤාණය ලැබීමෙන් චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් පිරිසිඳ දකියි. එහි දී ඔහුගේ සිත කාමාසව, භවාසව හා අවිජ්ජාසවයන්ගෙන් මිදේ. ඒ මිදීමත් සමග භවෝත්පත්තියෙන් හෙවත් පුනර්භවයෙන් ද මිදී සසර ගමන අවසන් කරයි. බුදුරජාණන් වහන්සේ “ නත්ථි ජාති පුනබ්භවෝ” යනුවෙන් උදාන වාක්‍ය පළ කළේ ද එබැවිනි.

දම්සක් පැවතුම් සූත්‍රයේ දී සිද්ධාන්තමය වශයෙන් ඉදිරිපත් කළ විමුක්ති මාර්ගය, බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා වූ පුරා වසර 45 ක් තිස්සේ විග්‍රහ – විවරණ – විස්තර වශයෙන් පැහැදිලි කර දුන් ආකාරය ත්‍රිපිටකය පරිශීලනය කිරීමෙන් සවිස්තරාත්මක ව දත හැකිය.

බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම් අනුව, විමුක්තිය යනු මේ ආත්ම භාවයේදී ම ලබාගත හැක්කකි. ඒ සඳහා අනාගතයේ දී මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වන තුරු බලා සිටිය යුතු නොවේ. ඒ සඳහා ආමිස පූජා පවත්වමින් හෝ තෙරුවන් ඇදහීමෙන් කල් යැවිය යුතු ද නොවේ. බුදු දහම “ ඒහි පස්සික” බව වදාළේ එබැවිනි. එය ප්‍රායෝගික ව අත්හදා බැලිය හැකි, ස්වාධීන චින්තනයට හා මිනිසාගේ ස්වාමිත්වයට ප්‍රමුඛත්වයක් දෙන යථාර්ථවාදී දර්ශනය කි. විමුක්තිය ලබා ගැනීම සඳහා මිනිසාට ඉහළින් කිසිදු දෙවියකු, බ්‍රහ්මයකු තබා බුදුවරයකු ද නැත. බුදුවරුන් පවා කරන්නේ මාර්ගය පෙන්වා දීම පමණි. බෞද්ධ විමුක්තියේත් විමුක්ති මාර්ගයේත් විශේෂත්වය ද එයයි. බුදුරජාණන් වහන්සේ විමුක්ති දායකයකු වන්නේ එසේ නිවැරදි මාර්ගය පෙන්වා දීමෙනි.

ලොව පහළ වූ ආගමික ශාස්තෘන් වහන්සේලා අතර බුදු රජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතමයා වන්නේ මේ මග පෙන්වීම නිසා ම ය. ලොව පවත්නා අන් සියලු ආගම්වල විමුක්තිය නම් වූ තත්ත්වය ලබා ගත යුත්තේ ශාස්තෘවරයා කෙරෙහි භක්තියෙන් හා ඇදහීමෙන් පුද පූජා පැවැත්වීමෙනි. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ධර්මය කෙරෙහි විශ්වාසය තබන ලෙස මිස තමන් අදහන ලෙස නොවේ.

ලෝක සත්වයා කෙරෙහි මේ තරම් මහා කරුණාවකින් කැප කිරීමක් කළ ;වනත් ශාස්තෘවරයකු මානව ඉතිහාසයේ මෙතෙක් පහළ වී නොමැතිය.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk