UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය

භගවා

සම්බුදු ගුණය

බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි, දිව්‍ය බ්‍රහ්ම, නාග සුපර්ණාදී නා නා විධ ශක්ති විශේෂ ඇති, සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. ලොව සියල්ලන්ටම වඩා භාග්‍යසම්පන්න ය. එමෙන්ම ලෝකයේ විවිධ අයගෙන් ගරු බුහුමන් ලබති. වැඳුම් පිදුම් ලබන ශ්‍රේෂ්ඨයන් පවා බුදුන් වහන්සේට ගරු බුහුමන් කරති

භගවා යනු “ඉතිපිසෝ” පාඨයේ තිබෙන නවවන බුදු ගුණයයි. මෙම ගුණය පිළිබඳව විස්තර සපයා ගත හැකි මූළාශ්‍ර අතර මහා නිද්දේශ පාලිය, විසුද්ධි මග්ගය ප්‍රමුඛ වේ. බුදුන් වහන්සේ බෝධිසත්ව ආත්මභාව වලදී පාරමී ධර්ම සපුරමින් පුරුදු පුහුණු කළ ගුණ සමුදාය මෙම බුදු ගුණ වලින් හෙළි දරව් වේ.

භගවාති වචනං සෙටඨං - භගවාති පද මුත්තමං
ගරු ගාරව යුත්තෝ සෝ -භගවා තේන වුච්චති

යනුවෙන් භගවා යන වචනය ශ්‍රේෂ්ඨ බවත් ‘භගවා’ යන පදය උතුම් බවත්, ගෞරව කළ යුතු අයෙකු පිළිබඳ කියවෙන බවක් ප්‍රකාශ වේ.

මේ අනුව බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි, දිව්‍ය බ්‍රහ්ම, නාග සුපර්ණාදී නා නා විධ ශක්ති විශේෂ ඇති, සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. ලොව සියල්ලන්ටම වඩා භාග්‍යසම්පන්න ය. එමෙන්ම ලෝකයේ විවිධ අයගෙන් ගරු බුහුමන් ලබති. වැඳුම් පිදුම් ලබන ශ්‍රේෂ්ඨයන් පවා බුදුන් වහන්සේට ගරු බුහුමන් කරති. එය බුදුරජාණන් වහන්සේ කිසිවකුගෙන් බලයෙන් ලබා ගන්නක් නොවේ. හුදෙක් පාරමී බලයේ අනුහස නිසාම, උතුම් වූ සම්බුද්ධත්වයේ අනුහස නිසාම ලැබූවකි.

සැරියුත් මහරහතන් වහන්සේ භගවා යන පදය විවරණය කරමින් නිද්දේශපාලියේ මෙසේ දක්වා ඇත.භගවා යනු ගරු කළ යුතු උත්තම පුද්ගලයන්ගේ, ගරු කළ යුතු භාවය පැවසෙන වචනයකි. එසේම තථාගතයන් වහන්සේ රාගය, ද්වේෂය, මෝහය නැසූ බැවින් භගවා නම් වෙති. දෘෂ්ටීන් නැසූ බැවින්, කෙළෙස් නැමති කටු නැසූ බැවින් ද, ධර්මය උද්දේශ වශයෙන් විභාග කළ බැවින් ද, නිර්දේශ වශයෙන් අනේකාකාරයෙන් විභාග කළ බැවින් ද භගවා නම් වෙති. එසේම කාම භව ආදිය නිමකළ බැවින් ද, කාය භාවනා චිත්ත භාවනා ප්‍රඥා භාවනා ඇති බැවින් ද විමුක්ති සුවය සළසා ගැනීමට විඳීමට මෙකී විවේකී සෙනසුන් භජනය කළ බැවින් ද, චීවරාදී ප්‍රකාශයන් ලබන බැවින් ද, අර්ථ රස, ධර්ම රස, විමුක්ති රස ආදියක් අධි ශීලාදී ප්‍රඥවන් ලබා ඇති බැවින් ද භගවා නම් වෙති. සතර සතිපට්ඨාන, සතර බ්‍රහ්ම විහරණ සතර අරූප සමාපත්ති භජනය කළ බැවින් භගවා නම් වෙති.

මෙසේ දීර්ඝ වශයෙන් භගවා යන ගුණය පිළිබඳව විස්තර කරන සැරියුත් මහ රහතන් වහන්සේ ‘භගවා යන ගුණය සර්වඥතා ඥානය හා සබැඳි අග්‍රඵලයක් හෙවත් ප්‍රතිලාභයක් බවද පවසති. මෙලෙසින් භගවා ගුණය සමස්ත බුද්ධ ධර්මයම සංකල්පයෙන් විවරණය කරන හා අර්ථවත් කරන අවස්ථාවක් ලෙස හඳුනාගත හැකි ය.

භගවා හෙවත් භාග්‍ය ගුණය ධර්ම හයකින් යුක්ත වන බව විසුද්ධි මග්ගයෙහි සඳහන් කොට ඇත.

. ඒවා මෙසේ ය.

1. ඉස්සරිය - ඓශ්චර්ය භාග්‍යය
2. ධම්ම – ධර්ම භාග්‍යය
3. යස - යස භාග්‍යය
4. සිරි - ශ්‍රී භාග්‍යය
5. කාම – කාම භාග්‍යය
6. පයතන – ප්‍රයත්න භාග්‍යය ය.

1. ඉස්සරිය හෙවත් ඓශ්චර්ය භාග්‍යය

මෙයින් ඉසුරු බව කියවෙයි. තම සිත තමා කැමති පරිදි හැසිරවිය හැකි ය. අන්‍යයන්ගේ ද සිත උන්වහන්සේ කැමති පරිදි හැසිරවිය හැකි ය. මේ ඉසුරුමත් බව කෙළෙස් වලින් සපිරුණු අන්‍ය කිසිවෙකුටත් කළ නොහැකි ය. එබැවින් මෙම ගුණය චිත්තේශවර ගුණය ලෙස දක්වයි. මෙලෙසින් සමාධි සම්පත්තීශ්වර බවද සෘද්ධීශ්වර බවද, ධර්මේශ්වර බවද, සංඝේශ්වර බවද ගණේශ්වර බවද, ලෝකයාට ම අධිපති බැවින් ලෝකේශ්වර බව ද බුදුරදුන් තුළ පවතින මහඟු සම්පත්තීන් ය.

ඉහත දැක්වුණු සියලු ඓශ්චර්ය ලක්‍ෂණ හුදෙක් චිත්තේශ්වර ලක්‍ෂණය නිසාම පවතින බව ප්‍රකට වේ. ලාභ අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප දුක් යන අටලෝ දහමින් කම්පා නොවන බවද මේ චිත්තේශ්වර බව නිසාම පවතින්නකි.

මීට අමතරව මේ හා බැඳී පවතින සෘද්ධිමය ස්වභාවය ගැන කියවෙන ලක්‍ෂණ අටක් පවතී. ඒවා නම්,

1. අනිමා - එනම් තම ශරීරය ඉතා කුඩා කිරීමට හැකි බවය. අබ ඇටයක් පමණ ප්‍රමාණයක් තුළ තුන් සිව්රු දරමින් සතර ඉරියව් පැවැත්විය හැකි බව.
2. මහිමා - කැමති ප්‍රමාණයකට ශරීරය විශාල කළ හැකි බව.
3. පත්ති - කොපමණ දුරකට වුවද, පිට සක්වලකට වුවද එක්කළ අතක් දික්කරන කාලය තුළ ගොස් ආපසු පැමිණිය හැකි බව.
4. පාකම්ම – ගිනි, දිය, සුළං ආදිය ක්‍ෂණයකින් නිර්මාණය කොට ප්‍රාතිහාර්ය පැහැකි බව.
5. ලඝිමා - සිතට අනුකූල අයුරින් කය කැමති පරිදි ඕනෑම අවස්ථාවක ක්‍රියා කරවිය හැකි බව මෙන්ම සැහැල්ලු කළ හැකි බව.
6. ඊසිතා - ලෝකයේ සියලු දෙනා (දෙව් බඹුන් ආදී) තම වසඟයට ගත හැකි බව.
7. වසිතා - ඕනෑම අරමුණකට අගසිට මුල දක්වාත් මුල සිට අග දක්වාත් ධ්‍යාන වලට සමවැදි නැගී සිටිය හැකි බව.
8. යත්ථ කාම වසායිතා - නියමිත කාලයෙහි නියමිත ප්‍රදේශයේ කැමති පරිදි ප්‍රාතිහාර්ය පෑ හැකි බව යන මේවාද බුදුන් වහන්සේගේ ඓශ්චර්යය භාග්‍යයෙහි විශේෂ ලක්‍ෂණයෝ වෙති.

2. ධර්ම භාග්‍යය

ධර්මයෙහි පවතින සුවිශේෂ ගුණාංගවලින් සමන්විත ව ධ්‍යාන අභිඥානවලින් පෝෂිතව, ෂඩ් අසාධාරණ ඤාණ දරන බැවින් බුදුන් වහන්සේ ධර්ම ඓශ්චර්යයෙන් යුතු උතුමකු බව ප්‍රකට කරති.

3. යස භාග්‍යය

බුදුන් වහන්සේට විවිධ ස්වරූපයෙන් පැවති පැතිරී ගිය කීර්තිය, පරිවාර සම්පත්තිය යස භාග්‍ය යන ගුණයෙන් හෙළිදරව් කෙරේ. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක, උපාසිකා පමණ නොව දිව්‍ය බ්‍රහ්ම නාග ආදී විවිධ අයගේ ගරු බුහුමනට ලක් වෙමින් ඒ පිරිස් ඒ අවස්ථාවල පිරිවරමින් වැඩ සිටීමට පසුබිම සැළසී තිබීම යස ඓශ්චර්යේ තවත් ලක්‍ෂණයකි.

4. ශ්‍රී භාග්‍යය

එනම් රූප සොභාවයි. බුදුන් වහන්සේට දකින්නන්ගේ මන නුවන් සනහා ලන රූප ශ්‍රීයක් තිබුණ බව කියවේ. එසේ ම පිරිසුදු බව, පැහැපත් බව, ඉරියව් පැවැත්වීම, කතා කිරීම, බැලීම, සිනාසීම ආදී සියලු ක්‍රියාවලින් ද මෙම භාග්‍ය ලක්‍ෂණය හෙළිදරව් වෙති. උන්වහන්සේ දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණ අසීති අනුවෘඤය ලක්‍ෂණ, බණමප්‍රභා, කේතුමාලාලංකාර ආදී සුවිශේෂී ගුණ වලින් යුක්ත වූ බැවින් ද මෙම ගුණය ප්‍රකට කෙරේ. දීඝ නිකායේ ලක්‍ඛණ සූත්‍රය, මජ්ඣිම නිකායේ බ්‍රාහ්මායුෂ සූත්‍රය ආදිය මෙම ලක්‍ෂණ පිළිබඳව විස්තර කෙරෙන සූත්‍ර ධර්මයන් ය. බුදු හිමියන්ගේ සිරුරෙහි සෝභාව කෙබඳුද යත් වක්කලී හිමියන් බුදු සිරුරට වසඟව නිතර නිතර බලමින් ක්‍රියා කළ පුවත දැක්වෙන විස්තරයෙන් හෙළිදරව් වේ.

5. කාම භාග්‍යය

තමන්ගේ ප්‍රාර්ථනාවන් සිතුම් පැතුම් කැමති පරිදි ඉටුකර ගැනීමට හැකි බව කාම භාග්‍යයයි. උදාහරණයක් ලෙස සුමේධ තාපස අවධියෙහි බුදු වෙම්වායි කළ ප්‍රාර්ථනාව කැමති පරිදිම ඉටුවිය පෘථග්ජනයන් මෙන්ම වෙනත් බොහෝ අය විවිධ ප්‍රාර්ථනාවන් කළ ද ඒවා සිතැඟි පරිදි ඉටු නොවේ. නමුත් බුදුන් වහන්සේ ආත්මාර්ථ ප්‍රාර්ථනාවන් එලෙසින් ම ඉටුකර ගත්තාක් මෙන් ම පරාර්ථ ප්‍රාර්ථනා අතර අසංඛ්‍ය විසිහතරක් සත්වයන් සසර කතරින් එතෙර කරවූහ. මෙසේ කැමති පරිදි ආත්මාර්ථ පරාර්ථ සාධනය සිදු කළ හැකිවීමේ භාග්‍යය නිසා බුදුන් වහන්සේ භගවා නම් වෙති.

6. ප්‍රයත්න භාග්‍යය

ප්‍රයත්න නම් උත්සාහයයි. ආත්මාර්ථ හා පරාර්ථ සාධනය පරමාර්ථ කරගෙන කරන ලද උත්සාහය නිසා බුද්ධත්වයට පත්විය හැකි විය. දැඩි උත්සාහයත් වීර්යයත් නිසා බුද්ධ කෘත්‍යය සිදු කිරීමට හැකි වූහ. මෙය වෙනත් කෙනෙකුට කළ හැක්කැක් නොවේ. මෙබඳු මහා ප්‍රයත්නයකින් සමන්විත වන බැවින් බුදුරජාණන් වහන්සේ ‘භගවා’ නමින් හඳුන්වනු ලබති.

සමස්තයක් ගෙන බලන විට සියලු ශාස්තෘන් අතර සියලු වාසනාවන්ත පින් සලකුණු මෙන්ම භාග්‍යසම්පන්න, ආධ්‍යාත්මික බාහිර ගති ලක්‍ෂණ බුදුරජාණන් වහන්සේ තුළ පිහිටි බැවින් ‘භගවා’ නම් වන බව තහවුරු කළ හැකි ය.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk