UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය

බුද්ධෝ

සම්බුදු ගුණය

බුද්ධ තත්වය ප්‍රාර්ථනා හා අධිෂ්ඨාන කිරීම පාලියේ හැදින්වෙන්නේ “පණීධාන” නමිනි. අපේ ගෞතම බුද්ධ වූ සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ මෙම “ප්‍රණිධිය” ආරම්භ කළේ මෙම මහා භද්‍ර කල්පයට පෙර වු අසංඛ්‍ය කල්ප විසි ලක්ෂයකට පෙරදී ය

බුද්ධො” යන පදයේ මුලින්ම දත යුතු දෑ නොවිමසා බුද්ධත්වය තුළ ඇති දෑ සෙවීමටත්, සම්බුද්ධත්වය තුළ ඇති දැ සෙවීමටත්, මේ දෙකේ විවිධත්වය සෙවීමටත් යුහුසුළු වෙති. ඒ නොමැනවි. අපි මුලින්ම සිතෙහි සන්සුන් බව ඇති කරගෙන “බුද්ධො” යන මුල් පදය දැන ගනිමු.

“බුද්ධො” යන පදය සෑදෙන්නේ “ බුධ” ධාතුව මුල්වීමෙනි. පාළි භාෂාවේ “බුධ” ධාතු දෙකක් තිබේ. එකක් දිවාදි ගණයේ “බුධ” ධාතුවය. අනෙක භූවාදි ගණයේ “බුධ” ධාතුවය. දිවාදි ගණයේ “බුධ” ධාතුවෙන් ප්‍රකාශ වෙන්නේ (ජානනෙ අව ගමනෙ) දැනීම සහ අව ගමනය යන බුද්ධි ප්‍රමාණ දෙකය. හෙවත් “සංඤ්ඤා” හා “විඤ්ඤාන” යන දැනීම් ප්‍රමාණ දෙකය. මේ දෙකම ලෞකිකය. තමන්ට ඉන්ද්‍රිය විෂය වූ සහ ඉගැන්වූ පමණින්ම දරා සිටින, විමසීම් රහිත දැනුම් ප්‍රමාණය සාංඥික දැනීමයි. “වෛඥානික” දැනුම නම් “සංඥා” දැනුමෙන් ඔබ්බට ගිය නමුත් ප්‍රඥාත්මක දැනුමට නොගිය තත්වයකි. විදාර, විමංසා, සමුපේක්ෂ හෙවත් අදාල කරුණු ගොනුවක් කර පත පොත ලිවීම උපලබ්ධි හෙවත් පිළිගත් මත විචාරා එක් මතයක එල්ලීම, පටිපත්ති හෙවත් ලෞකික ප්‍රතිපත්ති විවරණය කිරීම, “ඥත්ති” හෙවත් ලෞකික නීති රීති, න්‍යාය වාද වල එල්ලීම, “චෙතනා” හෙවත් දර්ශනවාද අන්තවාදීව ගැනීම ආදිය “වෛඥානික” බුද්ධි ප්‍රමාණයේ ස්වභාවයෝය. මේ දැනුම් දෙකට ත්‍රිලක්ෂණ අවබෝධය හෝ මග ඵල නුවණ කොහෙත්ම නැති බව අභිධානාර්ථ වර්ණනා, අභිධර්මාර්ථ සංග්‍රහ, විසුද්ධිමග්ග, පපඤ්ච සුදනී ආදි ග්‍රන්ථයන්හි දැක්වේ. මෙකී දිවාදි ගණයේ “බුධ” ධාතුවෙන් බුද්ධි, බුද්ධිමත්, බුද්ධික බුද්ධිගෝචර ආදි පද සෑදේ. මෙකී ධාතුවෙන් සෑදෙන, මෙකී හා නොකී මොනම පදයක්වත් “බුද්ධො” යන පදය විග්‍රහ කිරීමට සපුරා අසමර්ථය. අවියත් බැවින් යොදයි නම් එය බුදුවූවනට කරණ අගරුවෙකි.

“බුද්ධො” යන පදය සෑදෙන්නේ භුවාදි ගණයේ “බුධ” ධාතුවෙනි. මෙම “බුධ” ධාතුවේ අර්ථය (බුධ - බොධනෙ) අවබෝධ කිරීමේ සහ අවබෝධ කරවීම් අර්ථය යන දෙකමය. අවබෝධ කරණ ඤාණ ප්‍රමාණය “ප්‍රඥා” වයි. ප්‍රඥා ඤාණ ප්‍රමාණයට සකළ ඤෙයමණ්ඩලය සහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේ. එය ස්වයං භූ ඤාණයෙන්ද වේ. පරතෝ ඝෝෂ ප්‍රත්‍යයෙන්ද වේ. “බුද්ධො” යැයි හඳුන්වන්නේ ස්වයං භූ ඤාණයෙන් අවබෝධ කළ උතුමාය. බුද්ධ, බෝධි, බෝධිසත්ව, බෝධිකාරක, බෝධි ප්‍රාණධි, බෝධි චිත්ත ආදි ප්‍රඥා ඤාණ ප්‍රමාණයෙන් අර්ථවත්වන සියලු පද සෑදෙන්නේ භුවාදී ගණයේ “බුධ” (බොධනෙ) ධාතුවෙනි.

“බුදෙධා” යන පදය අකාලිකය. “බුධ” ධාතුව අතීත, වර්තමාන, අනාගත යන කාල තුන ප්‍රකාශිතය. “බුධ” ධාතුවට “ත” ප්‍රත්‍යය යෙදීමෙන් “බුද්ධො” යන පදය සෑදේ. “ත” ප්‍රත්‍ය ද කාල තුනම ප්‍රකාශ කෙරේ. නිර්වාණය උදෙසාද “බුධ” ධාතුව යෙදී ඇත. “ධම්මො” යන පදය ද අකාලිකය.

බුද්ධ තත්වය ප්‍රාර්ථනා හා අධිෂ්ඨාන කිරීම පාලියේ හැදින්වෙන්නේ “පණීධාන” නමිනි. අපේ ගෞතම බුද්ධ වූ සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ මෙම “ප්‍රණිධිය” ආරම්භ කළේ මෙම මහා භද්‍ර කල්පයට පෙර වු අසංඛ්‍ය කල්ප විසි ලක්ෂයකට පෙරදී ය. ඒ මාතුපෝෂක ධර්මයෙහි පිහිටා සිටි කාලයේය.

“බුද්ධෝ හං බෝධයිස්සාමි
මුත්තෝ හං මෝචයෙ පරේ
තිණ්ණෝ හං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා

මම බුදු වෙමි අනුනුදු බුදු කරවමි මම කෙලෙසුන්ගෙන් මිදෙමි අනුනුද මුදවමි. “බුද්ධො” යන පදය ස්වාර්ථ හා පරාර්ථ වාචී පදයකි. “බුධ” ධාතුවෙන් ප්‍රකාශ කරණ දෙවැදෑරුම් අර්ථ අතුරින් “අවබෝධ කිරීමේ” අර්ථය ස්වාර්ථ ය.

අවබෝධ කරවීමේ” අර්ථය පරාර්ථ ය . ස්වාර්ථ සහ පරාර්ථ යන උභයාර්ථ සහිතව බුද්ධ තත්වය ප්‍රාර්ථනා හා අධිෂ්ඨාන කිරීම පාලියේ හැදින්වෙන්නේ “පණීධාන” නමිනි. අපේ ගෞතම බුද්ධ වූ සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ මෙම “ප්‍රාණීධාන” ආරම්භ කළේ මෙම මහා භද්‍ර කල්පයට පෙර වු අසංඛ්‍ය කල්ප විසි ලක්ෂයකට පෙරදී ය.

මම සසරින් එතරවෙමි –අනුනද එතෙර කරවමි මහත් බිය දෙන සසර නසමි –අනුනගේ සසරද වනසමි

යන මෙම “ප්‍රණිධානය” සුළු කොය නොසිතිය යුතුය. පරාමාධ්‍යාෂයෙන්ම බුදු බව පතන්නන්ට පමණක් මෙය උපදී. මේ ප්‍රාණිධානය ගම්භීරය. ගම්භිරතාවය දෙ පරිදිය. එකක් “බුද්ධභූමි” නම් වූ උත්සාහ උම්මග්ග, අවත්ථාන, හිතචරියා යන සතරාංගයෙහි ස්ථාවරව පිහිටීමය. අනෙක “බුද්ධාධ්‍යාෂ වූ නිශ්කාම්‍ය, පච්චෙක, අලෝභ, අද්වේශ, අමෝහ, නිශ්සරණ යන ගුණාංග සයෙහි ස්ථාවරය පිහිටීමයි.

“බුද්ධො” යන තත්වය ආරම්භවන්නේ “පණිධා” පටන්ය. ඇනවුම් පිරිතෙහි “පණිධාන” යේ පටන් බුදුවීම දක්වා වු බුදුගුණ විකාශනය දැක්වේ.

“බුද්ධො” යන ගුණය මස්තකප්‍රාප්ත වන්නේ” විමොක්ඛන්තික” ඵලයට පත් වීමෙන්ය.” විමොක්ඛන්තික” යන මේ පදයේ “විමොක්ඛ” සහ “අන්තික” යන පද දෙකක් ඇත. “ විමොක්ඛ” නම් ප්‍රණිධියේ පටන් බුදුවීම දක්වා ප්‍රඥා විකාශනයෙන් ලද සර්වඥතා ඤාණය සහ චතුරාය්‍ය සත්‍යඤාණ මාර්ගයයි. එම සර්වඥතාඤාන හා චතුරාර්ය සත්‍ය මාර්ගයේ ඵලය අන්තිකයයි. මෙය බුදු බවට පත්වීමයි.
1. පනිධානයේ පටන් බුදුවීම දක්වා අඛණ්ඩව විකසනය වූ ප්‍රඥා මහිමයක් ඇති
2. සකල ඥෙය මණ්ඩලය කිසිවක් ඉතුරු නොකොට අවබෝධ කළ
3. චතුරාර්ය සත්‍යය ත්‍රිපරිවෘත්ත හා දසාකාරාදීන්, ආර්ය, ආර්ය මාර්ග, ආර්ය ඵල අවබෝධය සපුරා කෙළවර කළ
4 සවාසන සහිත සකල කලේශ නොඉතුරුවම පහකර දැමූ,
5. පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු ආසවක්ඛය ප්‍රඥාවෙන් පරිපූර්ණ
6. මහා කරුණා ඤාණ සමන්විත
7 අනුගේ සිත් පරචිත්ත විජානනයෙන් දැන එකි සිත්හි කෙලෙස් තත්ව හා ප්‍රමාණ දැන, එයට අදාලව දහම් දෙසීමෙන් වහාම සත්‍ය අවබෝධය ඔවුනට කරවීමේ අසිරිමත් සමත් කමක් ඇති.
8. සත්වලෝක, සංඛාරලෝක, අවකාශලෝක යන ලෝක තුනෙන් සත්වයන් එතෙරකළ
9. තමන් වහන්සේගේ ධර්මයෙහි නිරතවූ බැවින් සුත බුද්ධ වූ රහතන් වහන්සේට ධ්‍යාන සමනන්තර පරිනිබ්බාන පච්ච වෙක්ඛණ සමනන්තර පරිනිබ්බපානක, අභිඤ්ඤා සමනන්තර පරිනිබ්බාන, මග්ග පච්චවෙක්ඛණ සමනන්තර පරිනිබ්බාන, නාම රූප සමනන්තර පරිනිබ්බාන යන පස් ආකාරයෙන් පරිනිබ්බාන වන හැටි පහදා දුන්
10 තමන් වහන්සේ ධ්‍යාන සමනන්තර පරිනිර්වානයට සමවැද චුති සිතක් නොලැබූ හෙයින් අචිචුත නම් වු භව සිත පහකළ හෙයින් “නත්ථිදානි පුනබ්භවවූ ආයුසංඛාර හැර දැමු පරිදි ජීවිතින්ද්‍රිය හැර දැමු බැවින් අනුපදිශේෂ නම්වු නිවනට පැමිණි හෙයින් “ බුද්ධො” නම් වෙති.

”බුද්ධො” යන පදයෙහි විශේෂත්වය බුද්ධ ප්‍රණිධානයේ පටන් බුද්ධ ගුණ ආවර්ජනය කිරීම, පශ්චිම භව නම්වූ බුද්ධත්ව හා පරිනිර්වාන දක්වා බුදුගුණ ආවර්ජනය සහ අනාගත බුද්ධාන්තර දක්වා බුදුගුණ ආවර්ජනය කිරීමයි. අනාගත ආවර්ජනය මෙසේය. මෙහිලා “ බුද්ධක්ෂේත්‍ර” ගැන දතයුතුය. ජාති ක්‍ෂේත්‍රය, ආඥා ක්‍ෂෙත්‍රය විෂය ක්‍ෂෙත්‍රය යැයි ක්‍ෂෙත්‍ර තුනකි. ජාති ක්‍ෂෙත්‍රය නම් දස දහසක් සක්වල පුරා පවතින ප්‍රණිධි හා බෝධිකාරක ධර්ම සම්පූර්ණව බුදුවූ භවයෙහි ප්‍රතිසන්ධි, උත්පත්ති, බුදුවීම, පිරිනිවීම සහ අනාගතයේදී ධාතු පිරිනිවීම ආදි අවස්ථාවල කම්පන වෙමින් සහ බුදුගුණ සත්‍ය ක්‍රියා බලය පැතිර පැවැත්මය. ආඥාක්‍ෂෙත්‍රය නම් කෙළ ලක්ෂයක් සක්වල පැතිරි “ පිරිත් “ බලයයි. විෂය ක්‍ෂෙත්‍රය නම් සර්වඥතා ඥානයට ගොචරවූ ධර්ම සහ අර්ථ සමූහයයි. බුද්ධ, සම්මා, සම්බුද්ධ, පච්චේක සම්බුද්ධ, අරහත් යන සතර ධර්ම සමූහයයි. සුත බුද්ධ නම්වූ අනාගාමි, සකදාගාමී, සොතාපත්ති මාර්ගයට පත්වූ හා ඵලයට පත්වූ වර්ග සය ධර්මාර්ථගාමි සමූහයයි. අනාගාමීන් වහන්සේ තවම ශුද්ධාවාස වල වෙසෙති. එහි ආයුෂ අසංඛ කල්ප ලක්ෂ දහසේ සිට දහසය දහස දක්වා බැවිනි. මෙය මෙනෙහි කිරීම අනාගත ආවර්ජනයයි. මේ කාල තුනම “ බුද්ධො” යන පදයෙහි ඇතුලති. යෙ දත්තෝ “ බුද්ධ” තත්වයට වඳීන්නේ මෙසේය.

යේච බුද්ධා අතීතාච
යේච බුද්ධා අනාගතා
පච්චුප්පන්නාච
යේ බුද්ධා
අහං වන්දාමි සබ්බදා

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk