UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය

අනුත්තරෝ පුරිසදම්මසාරතී

සම්බුදු ගුණය

ආයුධයෙන් සහ දඬුවමින් තොරව, පමණක් නොව අවම වශයෙන් තර්ජනාත්මක වචනයක් වත් භාවිතා නොකොට ඉහළම පෙළේ දාමරිකයන්, අපරාධකරුවන් හා දූෂකයන් නිසි මඟට ගෙන ඒමට සිද්ධාර්ථ ගෞතම මුනීන්ද්‍රයන් වහන්සේ භාවිතා කළේ පුරිසදම්මසාරථී නම් එම සුවිශේෂී ගුණයයි

ශ්‍රීමත් ශ්‍රී ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේගේ අසමසම පෞරුෂත්වය සම්බන්ධයෙන් සමකාලීන සමාජයේ ව්‍යාප්තව පැවති පිළිගැනීම් සමුදායයක් පාලි සූත්‍ර සාහිත්‍යයෙහි වාර්තාගත ව ඇත. නව අරහදී බුදුගුණ යනුවෙන් මෙකල බෞද්ධ ජනතාව අතර ප්‍රචලිතව පවත්නේ ඒ ජනකාන්ත ගුණාංග වලින් සමහරකි. ඒ අතර බුදුන් වහන්සේ සතුව පැවති අනූපමේය කුසලතාවක් පුරිසදම්මසාරථි යනුවෙන් විශේෂණය වෙයි. ‘රියදුරෙකු මෙන් පුද්ගලයන් දමනය කිරීමෙහි සමර්ථ’ පුද්ගලයන් දමනය කිරීමෙහිලා රියැදුරෙකු හා සමාන වූ ‘ යන අදහස් එහි ගැබ් වී තිබේ.

කාලයේ හැටියට තමන් පදවන වාහනය, ඒ සඳහා යොදවන සත්ත්වයා, ගමන් කළ යුතු මාර්ගය හා එහි තත්ත්වය ආදි කරුණු සම්බන්ධයෙන් මනා දැනුමක් හා පුරුද්දක් රියැදුරෙකුට තිබිය යුතු විය. බුදුන් දවස රියක් ඇද ගෙන යාම සඳහා යොදවන ලද්දේ ඇත්, අස්, ගව වැනි සිව්පා සත්තු ය.

ඔවුන් රියක් නිසි ලෙස ඇද ගෙන යාමට පුරුදු පුහුණු කර ගැනීම රියදුරාගේ වගකීම හා කුසලතාවයි. නිසි පුහුණුවක් නොලැබූ, මනා හික්මීමක් නැති සිව්පාවෙකු රියෙහි යෙදීම අනතුරුදායකය. රියක් ඇදගෙන යාම සඳහා සතෙකු හික්මවා ගැනීමේ කුසලතාව ඉහත කී සම්මානවාචකයෙහි වැඩියෙන් අවධාරණය වන්නේ එහෙයිනි.

කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ රිය ඇද ගෙන යාම සඳහා සතුන් පුහුණු කළ කෙනෙක් නොවූහ. උන්වහන්සේගේ පුරිසදම්මසාරථී ගුණයෙන් කියැවෙන්නේ නොහික්මුණු මිනිසුන් යහමගට පත්කිරීමට දැක්වූ සමත් බවයි.

ප්‍රස්තුත අභිධානයෙහි පුරිස (මිනිසා) යන්න යොදනු ලැබුවේ ඒ අදහස අවධාරණය කරනු පිණිස ය. එහි ලා ඒ මහාපුරුෂයන් වහන්සේ දැක්වූ කුසලතාව ප්‍රකට කිරීම උක්ත උපදානයෙහි විශේෂ අභිමතාර්ථයයි.

මෙලෙසින් පුරිසදම්මසාරථී යන්න මෙකී සුවිශේෂ කුසලතාව සමකාලීන ජනසමාජයට ඒත්තු යන පරිදි හඳුන්වා දීම සඳහා යොදා ගත් සරල උපමාවක් සහිත සම්මානෝක්තියක් ලෙස සැළකිය හැකිය.

මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කළ පූජාවලී නම් ධර්මග්‍රන්ථයෙහි මෙම ගුණය විස්තර වන්නේ මෙලෙසිනි. “ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ බකබ්‍රහ්ම ,ආලවක, අංගුලිමාල, ශක්‍ර, සභිය, සුචිරොම, ඛරරෝම, සච්චක, නන්දෝපනන්දාදි දම්‍ය පුරුෂයන් දම්‍ය සරණශීලයෙහි පිහිටුවා වැඩ දී හික්මවන ලද හෙයින්දැයි යන මේ ආදි අර්ථයෙනුදු පුරිසදම්මසාරථි නම් වන සේක”

බුද්ධචරිතයෙහි දක්නට ලැබෙන මෙම අපූරු කුසලතාව ථෙරවාද මහායාන උභයපාර්ශ්වය විසින් ම පූජනීයත්වයෙන් පිළිගෙන ඇත. මහායානිකයෝ පුරිසදම්මසාරථි යන්න වෙනුවට උපාය කෞශල්‍යය යන්න භාවිතා කරති.

සද්ධර්මපුණ්ඩරික වැනි මහායාන ධර්ම ග්‍රන්ථවලදී එය දීර්ඝ වශයෙන් විවරණය වී ඇත.

පුරිසදම්මසාරථි ගුණය පිළිබඳ පරිකතාව වන්නේ බුදුන් වහන්සේ වෙත එල්ල වූ විවිධාකාර පෞද්ගලික අභියෝග මෙන්ම සමකාලීන සමාජය කෙරෙහි බලපෑ සදාචාරාත්මක අභියෝග සාර්ථක ලෙස යටපත් කළ ජයග්‍රාහි විලාසයයි.

සිංහල සාහිත්‍යයෙහි ඉතා ජනපි‍්‍රය ගද්‍යකාව්‍යයක් වන විද්‍යාචක්‍රවර්ති තුමාගේ ධර්මප්‍රදීපිකාව රචනා කරන ලද්දේ පුරිසදම්මසාරථී ගුණය වර්ණනා කරනු පිණිසය.

එවැනි ම ජනපි‍්‍රය ගද්‍යකාව්‍යයක් වන ගුරුළුගෝමිතුමාගේ අමාවතුරත් තවත් ග්‍රන්ථ කීපයකුත් ඒ කර්තව්‍යය අඩ වශයෙන් ඉටු කර ඇත. පාලි භාෂාවෙන් පද්‍යයට නගා ඇති ජයමංගලගාථා අෂ්ටකයට වස්තුබීජය වී තිබෙන්නේ අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ පාමින් තථාගතයන් වහන්සේ ලැබූ ජයග්‍රහණයෝය. එය තම මංගල අවස්ථාවලදි ආශිර්වාද පිණිස භාවිතා කිරීම ජාතික සිරිතක් බවට පත්වී තිබේ.

බුදුරදුන්ගේ යථාර්තවාදි විවේචනයට ඊර්ෂ්‍යා කළ බ්‍රාහ්මණ පූජකයෝද, ආගමික මතවාදවලින් උමතුවූවෝද, අවිචාරශීලිව සමාජද්‍රෝහී වු ධූර්තයෝද ද බුදුන් වහන්සේ කෙරෙහි ඝාතක චේතනාවෙන් යුතුව ජනතාව තුළ වෛරය ගොඩනැගීම පිණිස අපහාසාත්මක ක්‍රියාවල නිරත වූහ.

සුන්දරී පරිබ‍්‍රාජිකා සිද්ධිය සහ චිංචි මානවිකා සිද්ධිය ඒ වර්ගයේ කූටෝපායයන් පිළිබඳ නිදසුන් දෙකකි. සුළු කලකින් ස්වභාවික ලෙස ම සත්‍යය හෙළිදරව් වීමෙන් ප්‍රශ්නය විසදෙන බව ක්ෂාන්තිවාදි බුදුන්වහන්සේ දැනගත් සේක. එහෙයින් කිසිවෙකු සමග කලකෝලහාලයට හෝ වාදවිවාදවලට පැටළුණේ නැත. මෛත්‍රිය, ක්‍ෂාන්තිය, ප්‍රාඥාව, ආදි අධ්‍යාත්මික ශක්තීන් උපයෝගි කර ගනිමින් අභියෝග සමනය කරගත් සේක.

මුලදී දෙව්දතුන්ගේ බස් අසා ඔහුට උදව් කළ අජාසත් පසුව බුදුන් වහන්සේගෙන් සමාව ලබා ශක්තිමත් බෞද්ධයෙකු සේ ක්‍රියා කළ බවද ඉතිහාසගත වී ඇත.

බුදුන් වහන්සේ පුද්ගලයන් දමනය කිරීමෙහි ලා දැක්වූ සමර්ථතාව වඩාත් ප්‍රකටව හෙළිදරව් වූයේ යම් යම් පුද්ගලයන්ගෙන් සමාජය කෙරෙහි අභියෝග එල්ල වූ අවස්ථාවලදීය. අංගුලිමාල සහ ආලවක යනු එබඳු පුද්ගලයන් දෙදෙනෙකි. බුදුන් වහන්සේ ඍද්ධිප්‍රාතිහාර්ය පා ඔවුන් මෙල්ල කර ගත් සේක. අංගුලිමාල සියලු සසර දුකින් මිදුණූ අභයදායි රහතන් වහන්සේ නමක් බවට පත් කළ සේක.

බුද්ධචරිතය තුළ මෙවැනි ආශ්චර්යජනක සිදුවීම් බොහෝය. ආයුධවලින් හා දඬුවමින් තොරව කෙනෙකු මෙල්ල කිරීම මෙතරම් පහසුවෙන් කළ හැකිද යනු බරපතල ගැටලුවකි. ආයුධ, පිරිස ආදි කිසිදු බාහිර ශක්තියක් භාවිතා නොකොට බුදුන් වහන්සේ සියලු අභියෝග ජයගැනීම පුදුම සහගතය. එයයි අධ්‍යාත්මික පරිපූර්ණත්වයේ විශිෂ්ටත්වය.

ග්‍රන්ථ ගණනාවකින් විස්තර කළ යුතු ගුණාගංයක් පුවත්පතක තීරුවකින් දෙකකින් සාර්ථක ලෙස හඳුන්වාදීම අතිශයින් දුෂ්කරය.

ඉතා සැකැවින් කියතොත් ආයුධයෙන් සහ දඬුවමින් තොරව, පමණක් නොව අවම වශයෙන් තර්ජනාත්මක වචනයක් වත් භාවිතා නොකොට ඉහළම පෙළේ දාමරිකයන්, අපරාධකරුවන් හා දූෂකයන් නිසි මඟට ගෙන ඒමට සිද්ධාර්ථ ගෞතම මුනීන්ද්‍රයන් වහන්සේ භාවිතා කළේ පුරිසදම්මසාරථී නම් එම සුවිශේෂී ගුණයයි.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk