UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය

ලෝක විදූ

සම්බුදු ගුණය

ලෝකය පරිණත නොවී දින දින අලුත් වේ. සියල්ල අනිත්‍ය වූ ලෝකයෙහි අනෙක් සියල්ල ද නැතිව යමින් නැවත අලුත් වේ. මේ මහ පොළොව ආදී ලෝක ධාතූන්ද කලකට විනාශයට ගොස් නැවත අලුතෙන් පහළ වේ. ඇතැමුන් ලෝකය වරදවා වටහා ගැනීම නිසා ද ලෝකයේ මුල පිළිබඳ වැරැදි මත දක්වයි. එනම් ඔවුන් ලෝකය ලෙස ගන්නේ මේ මහ පොළොව හෙවත් පෘථිවි ධාතුව පමණි. මෙය සපුරා වැරැදි මතයකි

බුදුරදුන්ගේ අනන්ත ගුණ අතරින් වෙසෙසින් විස්තර කෙරෙන නව අරහාදී බුදු ගුණයන්හි එන පස්වන බුදු ගුණය ලෙස ‘ලෝක විදූ’ නම් බුදු ගුණය දැක්විය හැකි ය.

මෙම බුදු ගුණය පිළිබඳ අර්ථ දක්වන කල දෙනු ලබන සරල අර්ථය වන්නේ තුන් ලොව සියලු තතු මනාව දත් හෙයින් බුදුරදුන් ලෝක විදූ නම් වන බවයි. බුදු ගුණ වණන බුදු ගුණාලංකාර කතුවරයා ඒ බව පවසන්නේ,

තුන්ලොව තතු ලෙසට – දැනගෙන නොදන් මෙලොවට
දෙසුයෙන් නියමකොට - ලෝකවිදු යයි කියති මුනිදුට

යනුවෙනි

මෙහි එන තුන්ලොව හෙවත් ලෝක තුන යන්න දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම යනුවෙන් ඇතමුත් වරදවා අර්ථගන්වන නමුත් ධර්මයෙහි තුන් ලොව ලෙස දක්වන්නේ සත්ව ලෝකය, ඕකාස ලෝකය සහ සංඛාර ලෝකය යන තුනයි. සත්ව ලෝකය යනු කුසලාකුසල කර්මයන්ගේ විපාකයෙන් පංචස්ඛනධ දරමින් කාමයෙහි ඇලෙමින් දිවි ගෙවන සත්ව සමූහයෝයි. මීට මිනිසුන් පමණක් නොව දිව්‍ය බ්‍රහ්ම ආදීන් ද ඇතුළත් වන බව අමතක නොකල යුත ය.

ඕකාස ලෝකය ලෙස දක්වන්නේ ඉහත කී සත්වයන්ට ඒ ඒ භවයන්හි රැදී සිටීමට හෙවත් ජීවත්වීමට උපකාරවන භෞතික ලෝකයයි. සංඛාර ලෝකය යනු, සත්ව ඕකාස ලෝක යන දෙකෙහිම හට ගැනීමට හේතුවූ රූප වේදනා ආදී පංචස්ඛන්ධ ධර්මයෝ සහ කුසලාකුසල කර්මයන් ය.

බුදුරදුන් පහළ වූ භාරතීය සමාජය තුළ ඉතා පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වූ මාතෘකාවක් ලෙස මෙය සඳහන් කල හැකිය. ලෝකය යනු කුමක්ද? ලෝකය හට ගන්නේ යෙ කරුණු ඔස්සේ සාකච්ඡාවූ මෙකී මාතෘකාවේදි ඇතමුත් ලෝකය නිර්මාණයක් නොව නොපෙනෙන බලවේගයන්ගේ මැවීමක් ලෙස දක්වමින් ඇඟ බේරා ගන්නට උත්සාහ කළහ.

එහෙත් බුද්ධ දේශනාව තුළ ඉතා සාධනීය කරුණු සහිතව වෙනත් කිසිදු සමයාන්තර දේශනාවක දක්නට නොමැති අයුරින් ලෝකය කුමක්දැයි පෙන්වා දෙන ලදී. ඒ පැතිකඩ කිහිපයක් ඔස්සේය.

ලෝකය යන්න විග්‍රහ කිරීමට බුද්ධ දේශනාව තුළදී ඇති ඉතා සරල සහ ජනපි‍්‍රය පාඨය වන්නේ ‘ලුජ්ජති පලුජ්ජතීති ලොකො “ යන්නයි. එහි අදහස වන්නේ විනාශවන පලුදුවන දේ ලෝක යනුවෙනි. ඒ අනුව පැහැදිලි වන ප්‍රධානතම කරුණු වන්නේ ලෝකය යනු ස්ථීර පැවැත්මක් ඇති දෙයක් නොව විනාශය කරා යන අස්ථීර දෙයක් බවයි.

ඉහත විග්‍රහයට අමතරව ලෝකය පිළිබඳ හඳුන්වන දේශන කිහිපයක්ම බුද්ධ දේශනයේදි හමුවේ. ඒ අනුව වරක් බුදුරදුන් දේශනා කරන්නේ ලෝකය සැදී ඇත්තේ නාම රූප දෙකෙහි එකතුවෙන් බවයි. මෙහි නාම යනු සත්වයන් තුළ ඇති වන දැනීම් විඳීම් ඇලීම් ගැලීම් ආදීන්ය.

රූප යනු පඨවි අපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන් හා ඒ ඇසුරු කොට පවතින වර්ණ ගන්ධ ආදියයි. මෙම කරුණු තවදුරටත් විග්‍රහ කිරීමේදී බුදුරදුන් දේශනා කරන්නේ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන පංචස්ඛන්ධයන්ගේ එකතුවෙන් ලෝකය සැදී ඇති බවයි.

තවත් අවස්ථාවක බුදුරදුන් දේශනා කරන ලද්දේ ද්වාදසායතනයන්ගේ එකතුවෙන් ලෝකය සැදී ඇති බවයි. එකී ආයතනය දොළහ නම් චක්ඛායතනය, රූපායතනය, සෝතායතනය, සද්ද්‍රයතනය, ඝාණායතනය, ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායාතනය, ඵොට්ටබ්බායතනය, මනායතනය, ධම්මායතනය යනු මේවායි.

ඉහත විග්‍රහයම තවදුරටත් පුළුල් ලෙස විග්‍රහ කර දක්වමින් අභිධර්මාර්ථ දේශනාවදී දක්වන්නේ අටලොස් ධාතුන් හෙවත් ධාතුන් දහ අටකගේ එකතුවෙන් ලෝකය සැදී ඇති බවයි. එකී අටලොස් ධාතුව නම් චක්ඛු ධාතුව, රූප ධාතුව, චක්ඛුවිඤ්ඤාණ ධාතුව, සෝත ධාතුව, සද්දධාතුව, සෝතවිඤ්ඤාණධාතු, ඝාණ ධාතුව, ගන්ධ ධාතුව, ඝාණවිඤ්ඤාණ ධාතුව, ජිව්හා ධාතුව ,රස ධාතුව ජිව්හා විඤ්ඤාණ ධාතුව, කාය ධාතුව, ඵොට්ඨබ්බ ධාතුව, කාය විඤ්ඤාණ ධාතුව, මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝවිඤ්ඤාණ ධාතුව යන මේවායි.

ලෝකය පරිණත නොවී දින දින අලුත් වේ. සියල්ල අනිත්‍ය වූ ලෝකයෙහි අනෙක් සියල්ල ද නැතිව යමින් නැවත අලුත් වේ. මේ මහ පොළොව ආදී ලෝක ධාතූන්ද කලකට විනාශයට ගොස් නැවත අලුතෙන් පහළ වේ. ඇතැමුන් ලෝකය වරදවා වටහා ගැනීම නිසා ද ලෝකයේ මුල පිළිබඳ වැරැදි මත දක්වයි. එනම් ඔවුන් ලෝකය ලෙස ගන්නේ මේ මහ පොළොව හෙවත් පෘථිවි ධාතුව පමණි. මෙය සපුරා වැරැදි මතයකි .

අප ජීවත්වන මිනිස් ලොවද ඇතුළත් මේ ලෝක ධාතුව සක්වල ලෙස හදුන්වයි.

මේ සක්වල තුළ පමණක් ලෝක තිස් එකකි. එනම් මනුෂ්‍ය ලෝක 1 යි, දිව්‍ය ලෝක 6 යි, අපාය 4 යි, බ්‍රහ්ම ලෝක 20 යි, දිව්‍ය ලෝක 6 මෙසේයි. චාතුර්මහාරාජිකය, තාවතිංසය,යාමය, තුසිතය,, නිර්මාණරතිය, පරනිර්මිත වසවර්ති, ඇතුළුව මේ භූමි හත කාම ලෝක ලෙස සැලකේ.

නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර නමින් අපාය හතරකි. සියල්ල තිස් එකකි. මීට අමතරව ලෝක ධාතු රැසක් ගැන අදාළ සූත්‍ර දේශනාවෙහි දීර්ඝව කරුණු දක්වා ඇති නමුදු මෙම ලිපිය තුළින් එතරම් දීර්ඝ විස්තරයක් ගෙන හැර දක්විය නොහැක.

ඉහත කරුණු අනුව ලෝකය කෙතරම් විශාල ද පුළුල් ද යන්න පැහැදිලි කරගත හැකි ය.

මෙවන් අනන්ත චක්‍රාවාලයන්හි වාසය කරන සියලු මනුෂ්‍ය හා සත්වයන් එක සමාන නොවෙති. ඔවුන් වර්ණයෙන් මෙන්ම චර්යාවන්ගෙන් ද වෙනස් ය. ලොව එක සමාන දෙදෙනෙක් නැත. නිවුන් දරුවන් පවා බාහිරින් සමාන වුව ද ඇවැතුම් පැවැතුම් හා සිතිවිලිවලින් සමාන නොවෙති. ඇතමෙක් අහේතුක ප්‍රතිසන්ධි ඇත්තවුන් ය. ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තවුන්ය. තවකෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තවුන්ය.

එබැවින් ඔවුන් නානත්න කාය නානත්ත සංඥා ඇත්තවුන්ය. දෙව්ලොව දෙවියන් අතර ද මේ කරුණු එසේම ය. නොයෙක් පැහැ නොයෙක් බල, නොයෙක් සංඥා ඇත්තවුන්ම ය.උදාහරණ ලෙස වාදර්මහාරාජික දෙව්ලොව සිටින විනපාතිකයෝ දැක්විය හැකිය. ඔවුන්ගේ ශරීර විවිධය. උස්මිටිකම් බහුලය. ඇතමෙකුගේ ශරීර මහත ය. ඇතුමෙකු කෘෂ ය ඒ ඒ සත්වයන්ගේ භවභාවයෝ එසේ ය. බඹලොව හෝ විවිධ පේ‍්‍රත ඇසුර නිකාය ගත්තද එසේ ය. පේ‍්‍රත ලොව උපන් ඇතැමුන් යොදුන් ගණන් බඹ ගණන් දිගු ශරීර ඇත්තෝ ය. ඇතමුත් ක්ෂුද්‍ර ජීවින් බදු ය. මෙසේ ගත් කල ඒ ඒ සත්ව නිරයන්හි විවිධ සමානත්වයන් ගැන සාමාන්‍ය කෙනෙකු සිතන්නට ගියද මනසට මහත් අසහනයක් වනු නොඅනුමාන ය.

තවද සත්වයන් දිවිගෙවන ලෝකයන්හිද සියල්ල එකම අයුරින් එක විට එකම විදිහට සිදුවිය යුතුයැයි නියමයක් ද නොමැත. හොදම උදාහරණය අටලෝ දහමයි. ලාභ, අලාභ, යස, අයස, දුක, සැප අතින් ගත්තද ඉහත සනාතන ධර්මය එසේම පවතී.

මෙවන් තත්වයන් කෙලෙස් බරිත වූ පුහුදුන් සත්වයන් හට පහසුවෙන් වටහා ගත නොහැක. එබැවින් ඔවුන් විටෙක කම්පාවේ විටෙක සතුටුවේ. සතුටුවු කෙනා ඊළඟ මොහොතේ දුක් පැමිණෙයි. ඒ ලොව නියම තතු මනාව අවබෝධ කර නොගත් හෙයිනි.

එහෙත් අප තථාගතයන් වහන්සේ සියල්ල මනාව වටහා ගත්හ. සමස්ථ විශ්වයේ සත්ව ඔකාස සංඛාර යන සියල්ල ඇතැඹුලක් සේ වටහා ගත් සේක. එබැවින් උන්වහන්සේ ලෝකවිදු නම් උතුම් බුදු ගුණයෙන් යුක්ත වන සේක.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk