UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය

විජ්ජාචරණ සම්පන්න

සම්බුදු ගුණය

මෙම සම්බුදු ගුණයෙහි ඇතුළත් විද්‍යා සම්පත්තියෙන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥත්වයද චරණ සම්පත්තියෙන් මහා කාරුණිකත්වය ද අර්ථවත් වෙයි. උන්වහන්සේ සර්වඥතා ඤාණය තුළින් සත්වයන්ගේ අර්ථ අනර්ථයන් දැනගෙන මහාකරුණාවෙන් අනර්ථයන් දුරු කරමින් සත්වයන් කුසලය වෙත නැඹුරු කරවයි

නව අරහාදී සම්බුදුගුණ අතුරෙහි තෙවැන්න විජ්ජාචරණ සම්පන්න සම්බුදු ගුණය යි. තථාගතයන් වහන්සේ විද්‍යාවන්ගෙන් හා චරණයන්ගෙන් යුක්ත හෙයින් උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න නමින් හඳුන්වනු ලැබේ. විජ්ජා (විද්‍යා) යනු ඤාණයයි. ඒ ඒ දෙය ඒ ඒ කරුණ නිවැරැදි ලෙස දැනගන්නා නුවණ විද්‍යා නම් වේ. එනම් චතුස්සත්‍යාදිය යථා තත්වයෙන් දැනගන්නා ඤාණයයි. විද්‍යාව උපදවා ගත යුත්තකි.

සම්මාසම්බුද්ධත්වය ලැබීම යනු විද්‍යාවේ පහළවීම (විජ්ජා උදපාදි) සේ දැක්වෙන්නේ එහෙයිනි. චරණ යන්නෙහි මූලික අර්ථය ‘පාදය’ හෝ ‘යෑම ‘යනුයි. නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා උපකාර වන ශීලය, ඉන්ද්‍රිය සංවරය ආදී ගුණධර්ම සමූහය නිවන කරා යාමට පාදයක් වැනි හෙයින් හෝ මෙම ගුණධර්ම සම්පූර්ණ කිරීමෙන් නිවනට යා හැකි බැවින් හෝ ඒවා ‘චරණ’ යන නමින් හඳුන්වනු ලැබේ.

විද්‍යා - චරණ දෙකින් පළමුවෙන් සම්පූර්ණ කළ යුත්තේ චරණය යි. චරණ ධර්මයන්හි නොපිහිටා නැතහොත් චරණය නොමැතිව විද්‍යාව ලැබිය නොහැකි ය. එහෙයින් මෙම ප්‍රකාශය ප්‍රතිපත්ති සපුරාලීමේ පිළිවෙළ අනුව “චරණවිජ්ජා සම්පන්නො’ යනුවෙන් තිබිය යුතු වුවත් ද්වන්ද සමාසයේ දී අල්ප අකුරු ඇති පදය මුලට ගැනීමේ ව්‍යාකරණ රීතිය නිසා ‘විජ්ජාචරණ සම්පන්නො’ යනුවෙන් පෙනී සිටියි.

විසුද්ධිමග්ගයේ ජඅනුස්සති නිද්දේසයට අනුව විජ්ජා යන්නෙන් ත්‍රිවිද්‍යා හා අෂ්ටවිද්‍යා ගණනය කෙරෙයි. මැදුම් සඟියේ භයභෙරව සූත්‍රාදියෙහි ත්‍රිවිද්‍යාවන් විස්තර වී ඇති අතර දික් සඟියේ අම්බට්ඨ සූත්‍රයෙහි අෂ්ටවිද්‍යාවන් විස්තර වී තිබේ. උක්ත අෂ්ටවිද්‍යාවන් පහත දැක්වේ.

1. විපස්සනා ඤාණය - නාම රූප ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්‍ෂණ අවබෝධ කරගන්නා ඥානය

2. මනෝමය ඉද්ධි ඤාණය - මනෝමය කයක් නිර්මාණය කිරීමේ (තමන්ගේ කය තුළ තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට එය තමාගේ කයින් පිටතට ගැනීමේ) හැකියාව ඇති ඤාණය

3. ඉද්ධිවිධ ඤාණය – විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව ඇති ඥානය

4. දිබ්බසෝත ඤාණය - පියවි කනට නො ඇසෙන සියුම් වූ ඉතා දුර ඇති ශබ්ද ඇසීමේ ඥානය

5. පරචිත්තවිජානන/චෙතෝපරිය ඤාණය – අනුන්ගේ සිත්වල ස්වභාවය හඳුනාගන්නා ඥානය

6. පුබ්බේනිවාසානුස්සති ඤාණය - තමන්ගේ ද සෙස්සන්ගේද පෙර ඉපිද සිටි ජාතීන්ගේ පිළිවෙළ නාම ගෝත්‍ර වශයෙන් දක්නා ඥානය

7. දිබ්බචක්ඛු/ චුතූ®පපාත ඤාණය – කර්මානුරූපීව උපදින මැරෙන සත්වයන්ගේ ස්වරූපය දක්නා ඥානය

8. ආසවක්ඛය ඤාණය – චතුස්සත්‍යය තත් වූ පරිදි දැන කාම ආදි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ලැබෙන ඤාණය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම විද්‍යා අටෙන් යුක්ත බැවින් උන්වහන්සේ විජ්ජා සම්පන්න නම් වේ.

මම සම්බුදු ගුණයෙහි දෙවැනි ලක්‍ෂණය චරණයයි. එය බුද්ධ ගුණයක් සේ දැක්වෙන නමුත් බුදුවරුන්ගේ චරණ ධර්ම විවරණය වී ඇති සූත්‍රයක් ත්‍රිපිටකයේ ඇතුළත් වී නැත. ශ්‍රාවකයන් අරමුණු කොට පැහැදිලි කළ චරණ ධර්ම නවයක් දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයෙහි ඇතුළත් වේ. මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහි එබඳු ධර්ම පසළොසක් විස්තර වේ. විජ්ජාචරණ සම්පන්න සම්බුදු ගුණය විස්තර කරන විසුද්ධිමග්ගය චරණ ධර්ම සේ දක්වා ඇත්තේ උක්ත සේඛ සූත්‍රයෙහි සඳහන් චරණ ධර්ම පසළොසයි.

1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය
2. ඉන්ද්‍රිය සංවරය
3. ආහාරයෙහි පමණ දැනීම
4. ජාගරියානුයෝගය
5. ශ්‍රද්ධාව
6. හිරිය
7. ඔත්තප්පය
8. බහුශ්‍රැත භාවය
9. වීර්යය
10. සිහිය
11. ප්‍රඥාව
12. ප්‍රථම ධ්‍යානය
13. ද්විතීය ධ්‍යානය
14. තෘතීය ධ්‍යානය
15. චතුර්ථ ධ්‍යානය

සේඛ සූත්‍රයෙහි විස්තර වී ඇති මෙම චරණ ධර්ම දේශනා කර ඇත්තේ වර්තමාන භවයේ දී ම හෝ නැතහොත් ඊළඟ භවය දී හෝ මාර්ග ඵල ලබා නිවන් දැකීමේ බලාපොරොත්තුවෙන් වීර්ය කරන කල්‍යාණ පෘථග්ජනයන් හා සේඛ (ශෛක්‍ෂ) පුද්ගලයන් අරමුණු කරගෙනය. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේද මෙම ප්‍රතිපත්ති මාර්ගයෙන් ම ය. මෙම ධර්ම පසළොස උන්වහන්සේ තුළ උසස් ලෙස පවතී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ චරණ සම්පන්න නම් වෙති.මෙම සම්බුදු ගුණයෙහි ඇතුළත් විද්‍යා සම්පත්තියෙන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥත්වයද චරණ සම්පත්තියෙන්

මහා කාරුණිකත්වය ද අර්ථවත් වෙයි. උන්වහන්සේ සර්වඥතා ඤාණය තුළින් සත්වයන්ගේ අර්ථ අනර්ථයන් දැනගෙන මහාකරුණාවෙන් අනර්ථයන් දුරු කරමින් සත්වයන් කුසලය වෙත නැඹුරු කරවයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ විද්‍යාවෙන් හා චරණයෙන් යුක්තව සත්වයන් කුසලය වෙත යොමු කරවන හෙයින් බුද්ධශ්‍රාවකයෝ ද මනා ප්‍රතිපත්තීන්හි පිහිටා කුසල සම්පන්න තත්වයට පත් වෙති.

 

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk