UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය

අරහං සම්බුදු ගුණය

මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්දනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්‍රය සිඳෙයි. සංසාර චක්‍රයාගේ අරයන් (ගරාදි) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ

ප්‍රාඥයන් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේ ම නොවූ විරූය” යනුවෙන් ප්‍රකාශ කළවිට එසේ ප්‍රකාශ නොකළ යුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක. බුදුවරයෙකු තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ නො ගෙවෙන බව උන්වහන්සේ ම වදාරා ඇත.

බුද්ධො’පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ
ඛීයෙථ කප්පෝ චිර දිඝමන්තරෙ
වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස

මෙසේ අනන්ත වූ බුදුගුණ අතරින් නව අරහාදී බුදුගුණවලින් පළමු බුදුගුණය වන්නේ ‘ අරහං’ බුදුගුණය යි. අරහං යන වචනයේ තේරුම් රාශියකි. එහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යන්නයි. තථාගතයන් කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. අටුවා විස්තරයට අනුව ‘ අරහං’ යන වචනයේ අර්ථ කිහිපයක් දැක්වේ.

ආරකත්තා හතත්තා ච – කිලේසාරීන සෝ මුනි
හතසංසාරචක්කාරො - පච්චයාදීන චාරහෝ
න රහෝ කරෝති පාපානි – අරහං තෙන වුච්චති
(විසුද්ධි මග්ග)

1. කෙලෙසුන්ගෙන් දුරුව සිටිනා බැවින් ද (ආරකත්තා)

2. කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද (හතත්තා ච කිලේසාරීන)

3. සංසාර චක්‍රයාගේ ගරාදි සිඳ දැමූ හෙයින් ද (හතසංසාර චක්කාරෝ)

4. චීවරාදි ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද (පච්චයාදීන චාරහෝ)

5. රහසින්වත් පව් නොකළ හෙයින් ද (න රහෝ කරෝති පාපානි)

අරහං නම් වන සේක.

මෙසේ අනන්ත වූ බුදුගුණයකින් හෙබි බුදුරජාණන් වහන්සේට වඩා වැඩි කෙනෙකු හෝ සමාන හෝ කිසිවෙක් මේ තුන් ලෝකය තුළ ම නැත. දිනක් බුදුරජාණන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන සමයේ උන්වහන්සේගේ කීර්තිය ඇසූ වේරඤ්ජ බමුණා උන්වහන්සේ දක්නට පැමිණ එකත්පසක හිඳ මෙසේ කීවේය. “ පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ රාජපරම්පරා ගණනක් ගෙවා ඇති මහලු බමුණන් දැක වඳින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ ආසන දෙන්නේ හෝ නැතැයි මා අසා තිබේ. එය සත්‍යයක් ද? එවිට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ “බ්‍රාහ්මණය, මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැගිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු හෝ බ්‍රහ්මයකු හෝ වෙනයම් කිසි කෙනෙකු හෝ මේ තුන් ලෝකයේම නොදකිමි. යම් හෙයකින් මා විසින් එසේ යම් කෙනෙකුට ගරු බුහුමන් දක්වන්නේ නම් ඒ තැනැත්තා අනිවාර්යයෙන් ම තැරියෙන් ගිලිහී ගිය තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේය’ යි වදාළ සේක. මෙසේ වන්නේ බුදුරදුන්ගේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසා ය.

මෙකී අරහං බුදුගුණය බුදුරදුන්ට හිමිවූයේ රාග, ද්වේෂ, මෝහ ආදි සියලු කෙලෙස් සතුරන් නැති කොට ලොවුතුරා බුද්ධත්වය අවබෝධ කර ගැනීම නිසා ය. බෝධිසත්ව කාලයේ දී ද ඒ අරහං බුදුගුණයේ මූල බීජ උන්වහන්සේ තුළ පැවතිණ. එහි බල මහිමය පදනම් කරගෙන සිද්ධාර්ථ කුමාරයාණෝ මවුකුසින් බිහිව දිශාවලෝකනය කරන කල්හි ඒ බිළිඳාට සෑම දිශාවකම සිටි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආදිහු සුවඳ මල් පුදා “ ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සමාන කෙනෙකු ද නැතැ” යි කී කල්හි සත් පියවරක් තබා “ අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨො හමස්මි ලෝකස්ස “ ආදී වශයෙන් සිංහනාද කළහ.

සංසාරය චක්‍රයක් වැනිය. මෙය පටිච්චසමුප්පාද න්‍යාය තුළින් විස්තර කෙරේ. මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්ධනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්‍රය සිඳෙයි. සංසාර චක්‍රයාගේ අරයන් ( ගරාදි ) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ. ඒ අනුව අරහං බුදුගුණය සම්බුදුන්ගේ ප්‍රමුඛ ගුණයක් සේ සැලකිය හැකිය.

ලෝකයේ අන් කිසි කෙනෙකුට නොලැබෙන සේ අප්‍රමාණ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය ආදී සිව්පසය බුදුරදුන්ට ලැබුණේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසාය. මිනිසුන් පමණක් නොව දේව බ්‍රහ්ම ආදීහු ද වෙනත් තැන්වලට නො පුදා උන්වහන්සේට ම විවිධාකාරයෙන් පුද සත්කාර කළහ. පිරිනිවන් පෑමෙන් පසු වර්තමානය දක්වා ම උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුදපූජා සත්කාර ලැබෙන්නේ ය. වෙසක් පොහොය වැනි විශේෂ දිනක සිදුකරන මෙවැනි පූජා සිය දහස් ගුණයකින් වැඩි වන්නේය. අනිකුත් පූජා විශේෂයන් පිළිබඳ කියනුම කවරේද? මෙය උන්වහන්සේ පූජාවට සුදුසු වූ (අරහං) මහෝත්තමයෙක් වූ නිසා ලැබෙන දේවල් ය.

සම්බුදුවරයන් වහන්සේ රහසින්වත් පාපයක් නොකළ සේක. මෙසේ රහසින්වත් පව් නොකිරීමේ ගුණය රහතුන්ට ද සාධාරණ වේ.

නව අරහාදී බුදුගුණවල එන ‘ ඉතිපිසො භගවා අරහං සම්මාසම්බුද්ධො’ ආදී පාඨය පාඩම් කොට සිතින් කියාගෙන යෑමෙන් පමණක් බුදුගුණ භාවනාවක් වන්නේ නැත. එය බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවන අන්දමට මෙනෙහි කළ යුතුය. එසේ කිරීමට පුද්ගලයා තුළ ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ද තිබිය යුතුය.

ඒ අනුව බුදුගුණ අතරින් පළමු බුදුගුණය වන අරහං බුදුගුණය මෙනෙහි කළ යුතු පිළිවෙල වන්නේ ‘මාගේ සම්බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහං නම් වන සේක. කෙලෙස් සතුරන් නැති කළ හෙයින් අරහං නම් වන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන හෙයින් අරහං නම් වන සේක’. යනාදි වශයෙන් අරහං බුදුගුණයේ ඇති අර්ථ පහම මැනවින් වටහාගෙන පහසු ආකාරයකින් මනා සිහියකින් යුක්තව ලක්‍ෂ කෝටි වාරයක් හෝ දිගටම මෙනෙහි කළ යුතුය. මෙසේ එක දවසක්, සතියක්, මාසයක් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් වුවද මෙනෙහි කරමින් නිතිපතා භාවනා කරන්නාට බුද්ධාලම්භන ප්‍රීති වේගයන් උපදී.

එයම බුදුගුණ භාවනාවක් වෙයි. බුදුගුණ ඔස්සේ භාවිත වු සිත කෙලෙසුන් කෙරෙන් මිඳුනේ වෙයි. ඉන්පසු බුදුරදුන් පෙන්වා වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අනුව මෙය දුකය. මෙය දුක හට ගැනීමට හේතුවය.

මෙය දුක නැති කිරීමය. මෙය දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් මෙනෙහි කරමින් අවසානයේ විදර්ශනා භාවනාව හෙවත් ප්‍රඥා භාවනාව වැඩිය යුතුය. එයම ඔහුගේ විමුක්තිය පිණිස හේතු වන්නේය.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk