UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ පරිත්‍යාගයක උදාරත්වය

සැබෑ සතුටක් හිතට දැණුනු, ඒ සතුට සමඟ සිත නිවුණු, ඒ නිවුණු සිත ආත්මයම වෙලා ගැනීමට සමත් වුණ, එක් දිනයක් උදාවිය. එවන් වූ දිනයක් ජීවිතයේ පින් පොතට එකතු වන්නේ නම් අතලොස්සකි. ඒ නිසාම එවන් වූ දිනයක් සුවිශේෂී වෙයි. ඒ සුවිශේෂීත්වය විසින් ඔබව ඇමැතීමට පෙළඹෙන්නෙමි. විශේෂයෙන් මෙය සටහන් කරන්නට පෙළඹුණු තවත් විශේෂයක් ද වෙයි. එනම් බුදුසරණ පුවත් පත් ඵල කළ පුවතක් ඉතා සාර්ථක ලෙස ඵල දැරීමයි. පුවත කුමක්ද එය ඵල දැරුවේ කෙසේද එහි ආදීනව කුමක් ද වශයෙන් ඔබ මෙය කියවන විට තේරුම් ගනු ඇත.


ජර්මනියේ සමිත හිමි

මෙය පරිත්‍යාගයේ පරමාර්ථය – එසේත් නැතිනම් පරිත්‍යාගයේ උදාරත්වය පිළිබඳ හැගීමක් ඇති කිරීමට සමත් සිදුවීමකි. එය අප කාට කාටත් ආදර්ශයකි. මීට මාස 07 කට පමණ ප්‍රථමයෙන් එක් පසළොස්වක පෝය දිනයක ‘ අරං කැලේ බවුන් වඩනා ජර්මනියේ සමිත හිමි’ මැයෙන් බුදුසරණ පුවත් පතේ ලිපියක් ඵල කිරීමට මම පෙළඹුණෙමි. එය මා ලියුවේ ඇසූ පුවතක් ඇසින් දැක, එම පුවත හා බැඳුණු සිදුවීම් පෙළ පිළිබඳව මනා සේ කරුණු කාරණා සොයා බැලීමෙන් පසුව ය. මේ සඳහා මා යොමු කළේ කැලණියේ නිවන්ගවේෂී හිමියන්ය.

එම ලිපිය ඔබත් කියවූවානම් ඉදිරි සටහන ඒත්තු ගැනීම අපහසු නොවේ. එහෙත් ලිපිය නොකියවූ කෙනෙකුගේ පහසුව පිණිස එදා මා ලියූ සටහනට අනුගතව මේ ප්‍රශ්තුතය පිළිබඳ කෙටි සටහනක් තබමින්ම ඒ ගැන කතා කරමු. වයස 24 ක් පමණ වූ සමිත හිමි උපත ලබන්නේ ජර්මනියේ ය. භද්‍ර යෞවනය වෙත පිය නගින මෙම තරුණයාට ගිහි ජීවිතය තුළ කිසිඳු ප්‍රශ්නයක් පැන නොනගී. ඔහු ඉතා හොඳින් අධ්‍යාපනය හදාරයි. හොඳ පවුල් පසුබිමක් තුළ අනාගතයේදී ද කිසිඳු ගැටලුවක් පැන නගින්නට ඉඩක් නැත. ඔහුට සිත්සේ පරිහරණය කිරීමට ධනය තිබේ. යාන වාහන තිබේ. තරුණියකගේ ආකර්ශණය දිනා ගැනීමට සමත් මනා රූප කායක් තිබේ. සියල්ලන්ගෙන්ම සපිරුණු සුපිරි දිවි මගේ භද්‍ර යෞවනයට ඔහු එළඹෙන්නේ මෙවන් වූ සොඳුරු පරිසරයක පසුබිමෙහි ය.

එහෙත් ඔහු ජීවිතය මෙයදැයි තම හෘද සාක්‍ෂියෙන් ප්‍රශ්න කරනු ලබයි. අධික සුඛෝපගෝගී කාමසුඛල්ලිකානු ජීවිතයේ සැපත වෙලාගත් මොකක්දෝ හිස් බවක් මේ තරුණ හිතට දැනෙන්නට පටන් ගනී. එදා සිදුහත් කුමරාගේ කාමසුඛල්ලිකානුයෝගී සුකුමාර ජීවිතයේ හැරවුම් ලක්‍ෂය උදාවන්නේ ‘සතර පෙර නිමිති’ දැකීමෙනි.

මෙම ජර්මන් තරුණයාට තම සුකුමාර ජීවිතයේ හැරවුම් ලක්‍ෂය ජනිත කරවමින් දැනෙන්නට පටන් ගන්නේ තම ජීවිතයට උදාවූ ඇති හිස් බවයි. එම හිදැස පුරවන්නේ කෙලෙසදැයි ඔහු සොයන්නට පෙළඹෙයි. එම පෙළඹුම මත ඔහු ජර්මන් බසට පරිවර්ථනය වුණු බුදු දහම පිළිබඳ පත පොත පරිශීලනය කිරීමට පටන් ගනී. ඔහුට සිද්ධාර්ථ කුමාර චරිතය සිතට කා වැදුනා ද විය හැක. වැඩිදුරටත් මීට වසර සියයකටත් එපිට දී ජර්මන් බසට පරිවර්ථනය වුණු ත්‍රිපිටකය හැදෑරීමට මෙම තරුණයාගේ සිත නැඹුරු වෙයි.

කලකිරීමකින් ම නොව ඉතා අවබෝධයකින් බුදු මඟට මේ තරුණයා අවතීර්ණ වූයේ පෙර සසර පුරුද්දක් නිසා දෝයි මට සිතෙයි. අවසන් ප්‍රතිඵලය වන්නේ ඔහු කාමසුඛල්ලිකානුයෝගී ජීවිතයට ‘ආයුබෝවන්’ කියා සරළ - සැහැල්ලු – අල්පේච්ච දිවි මඟ හා බැඳුණු සැබෑ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස කොණ්ඩඤ්ඤ - මහා කාශ්‍යප , සැරියුත් මුගලන් සංඝ පරම්පරාවේ තවත් එක් සාමාජිකයකු වීමට මේ මහා ධන සම්පත් ගිහි සැප සියල්ල අතහැර අබිනික්මන් කිරීම ය.


සෙල්කුළ මත තැනූ කුටිය

තඹවන් කෙස් කළඹ කපා මුඩුවූ හිසින් දහස් ගණන් වටිනා සළු පිළි උනා තබා නො ඇලෙන පඬු පැහැ චීවරයෙන් ගත වසා, පය සනහන මිරිවැඩි සඟල ගෙයි දොරකඩ තබා නිරුවත් පයින් මේ තරුණයා මඟට බසිමින් සැබෑ භික්‍ෂුත්වය මනාසේ හැඳින ගත හැකි යැයිද ථෙරවාදී බෞද්ධ දර්ශනයේ තෝතැන්න යැයි හඳුන්වන බැවින් ඔහු මේ රම්‍ය දිවයින වෙතට පැමිණෙයි.

අරන්කැලේ මලියදේව අරහත්ත සේනාසනය වෙත පැමිණෙන මෙම භික්‍ෂූන් වහන්සේ මලියදේව අරිහත්ත සේනාසනාධිපති කිරිපේද්දේ පියදස්සී නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වෙයි. මෙම සෙනසුන් බිමෙහි භික්ෂූන් වහන්සේ වෙනුවෙන් කුටි සැකැසී තිබේ. එහෙත් ජර්මනියේ සමිත හිමියන් තම වාසස්ථානය වශයෙන් තෝරා ගන්නේ කුඩා ලෙන් කුටියකි. මෙම කුඩා ලෙන පිහිටා ඇත්තේ ඓතිහාසික අරන්කැලේ සෙනසුන් බිමෙහි මායිමේ එක්තරා කඳු මෙවුලක් තුළය.

සමිත හිමියන්ට අවශ්‍ය වන්නේ පිණ්ඩපාතයේ වඩිමින් දානය ලබා ගැනීමටය. ඒ සඳහා වනයේ ගස් ගල් මුල් අතරින් වනය පීරා මඟ සාදා ගත යුතුය. යන මඟ පැටැලී කටු, කෝටු, ඇනී මේ සියුමැලි දෙපා මතින් ලේ වහනය වේ. එහෙත් එය මේ හිමියන්ගේ ගමන් මඟට බාධාවක් නොවේ. පිණ්ඩපාතය පිණිස සමිත හිමියන් වඩින්නේ දවසක් හැර දවසක් ය. බවුන් වඩන්නට ඉතිරිවන කාල පරාසය වඩාත් ප්‍රයෝජනවත් නිසා ඒ අධ්‍යාත්මික සුවය විඳීන හිතට දැනෙන සුවය කුස පිරෙන විට දැනෙන ‘කෑ මතයට’ වඩා වැදගත් බව මේ හිමියෝ සිතති.

මා සමිත හිමියන් සොයා ගියේ මෙම පසුබිම තුළදී ය. අපමණ දුෂ්කරතා සහිත ගිරි දුර්ගයේ ඉම තිබූ ගල් කුටිය ඉතා කුඩාය. එය වර්ෂා ජලයෙන් තටාකයක් බවට පත්වෙයි. ග්‍රීස්මයේදි පෝරණුවකට සම වෙයි. මෙය වැඩ සිටීමට ඉතා නුසුදුසු තත්ත්වයක් බව මම ඒත්තු ගතිමි.

සමිත හිමියන් එතනින් ඈත් වී කුටියකට වැඩීමට අකමැතිය. මහ කැලේ මෙම හුදකලා පරිසරය උන්වහන්සේගේ ගත විඩාපත් කළ ද දෙපතුලේ ලේ තැවරූවද සිතට ගෙන දුනුනේ අපමන සුවයකි. ඉතින් සමිත හිමි සමඟ කළ කතාබහේදී උන්වහන්සේගේ අපේක්‍ෂාව වුනේ හැකිනම් අව්වෙන් වැස්සෙන් වහන් වී හිඳීමට පමණක් ඉතා සරළ කුටියක් ඇත්නම් හොඳ බවකි. ඒ සඳහා උන්වහන්සේ කිසිම කෙනකුගෙන් ඉල්ලීමට අකමැති නිසා මම මේ දුෂ්කරතාවයේ යතා ස්වරූපය පමණක් පෙන්වා දුන්නෙමි.


පියසක් සහිත සක්මන් මළුවේ දසුනක්

එය කියැවූ එක් පාඨකයෙක් සති කීපයකට පසු වැඩි විස්තර දැන ගැනීමට මා වෙත පැමිණෙන්නෙ තවත් සගයකුත් සමගය. මහා ධනයක් මුට්ට ගසාගෙන නැතත් මෙම සැබෑ පරිත්‍යාගශීලී සහෘදයෝ සමිත හිමියන් වෙනුවෙන් කුටියක් තනා දීමට කැමැති වෙති. එහෙත් එය මහත් අපහසු කාර්යයක් බව මා දැනගෙන සිටියේ එතැන භෞතික පරිසරය දැක තිබුණ නිසාය. අවශ්‍ය ස්ථානයට යාමට අඩිපාරක් වත් නොමැත. එතැන වතුර කඳුලකුදු නැත. මහා කළුගල් බාධාවන් රූස්ස ගහ කොළ මඟ අහුරා සිටී. ඔවුහු එතැන බැලීමට යති. කාර්යය ඉතා දුෂ්කරය. එහෙත් මේ අභියෝගය ජය ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් මෙම දෙපල මේ සද් කාර්යයට අත ගසති. මඟ පහසුව පිණිස බැකෝවකින් වෙනත් වත්තකට පාරක් කැපෙයි. ඒ සමඟ බාහිර කරදර අපමණ පැමිණෙයි. තැනට අවශ්‍ය ජල බූලි වැලි මලු සිමෙන්ති ගඩොල් උළු, ලී දඬු මේ සියල්ල රැගෙන යායුතු වන්නේ කර මතින් ය. ඒවා මා මේ කෙටියෙන් ලියන තරම් පහසු නොවෙයි. තරුණයන්ටත් වඩා වයසක ඇත්තන් ඇඟ පතේ අපහසුතා පසෙක ලා මෙම මහඟු කාර්යයට ශ්‍රම දායකත්වය සැපැයීම විශේෂයකි. මේ පරිත්‍යාගශීලි මිතුරන් දෙදෙනාගෙන් එක් අයකුට ආපදාවක් වී ඔහුට බොහෝ කාලයක් ඇවිදීමට සිදුව ඇත්තේ කිහිලි කරුවක ආධාරයෙන් ය. දේහ ශක්තියෙන් පිරිපුන් එහෙත් ආපදා සහිත දුර්වල සිත් ඇත්තවුන්ට මේ මිනිසා ආදර්ශයකි. ඔහු කිහිලි කරුවෙන් මේ දුෂ්කර කන්ද තරණය කරන්නට පෙළඹෙන්නේ උදාර ප්‍රයත්නයක් වෙනුවෙන් අත ගැසීමෙන් ලැබෙන අපමන වු සතුට වින්දනය කිරීමේ අපේක්‍ෂාවෙනි.

මා කිවූ මුල් මිතුරාගේ සියලු ගැටලු හමුවේ නොසැලී සිටින ඔහුගේ බිරිඳ හෙවනැල්ල සේම මේ අපූරු මිනිසා පසු පසින් ගමන් කිරීම ද විශේෂිතය. සමහර අභියෝග හමුවේ ඇය සිටින්නේ ශක්තිවන්ත මිනිසුන්ට වඩා පෙරමුණෙහිය. වැඩිපුර තන්හාවෙන් පෙළෙන බොහෝ කාන්තා පක්‍ෂයට ඇය ආදර්ශයකි. අප මිතුරාට මහත් සවියක් වූ ඇය නොසිටින්නට මෙම කාර්යය කිසිදා සාර්ථක වන්නේ නැත.

කෙසේ හෝ අපමණ බාහිර බාධාවන් මැද අභියෝග මැද සමිත හිමියන්ගේ සිතට සරිලන සරළ කුටියක් නිමැවෙයි. එයට වඩා දැවැන්ත අභියෝගයක් වූ ගල් කුළු මෙල්ල කරමින් දිවෙන පියසක් සහිත සක්මන් මළුව අද දකින්නට ලැබෙනවිට මට සිතුනේ මෙය විශ්ම කර්ම කාර්යක් බවය. පෙරදා පරිසරයත් අද එතන ඇති තත්ත්වයත් සැසැඳීමට මාහට පුළුවන් නිසා එය එසේ හඳුනාගත හැකි වෙයි. කෙසේ හෝ මේ යහපත් කාර්යය සාර්ථකව නිම කරන්නට හැකිවන්නේ මෙයට හෘදයාන්ගයෙන් ම වචනයෙන් හෝ උද පදව් කළ මිනිසුන්ගේ ආශීර්වාදයේ ද ශක්තියෙනි. නිල් මාණික්‍යයක් ලබා ගැනීමට මහත් දුෂ්කරතා මැද අගාද පත්ලට බැස ඉල්ලමක් කැණිය යුතුය. එතැනදී දෑතින් ඔසවා ගන්නේ මහත් වූ තෘෂ්ණාවක් ය.

එහෙත් මෙවන් තැනකදී මේ සැබෑ පරිත්‍යාගශීලීන්ගේ ධනය වැය කර දෝත හිස්කර හිතේ කිරි උතුරවන්නේ ආත්ම තෘප්තියයි. මෙවන් හිත් වලට වින්දනය කළහැක්කේ අපමණවූ සුවයයි. අත්හැරීමෙන් දැනෙන්නේ සැහැල්ලුවය. අභියෝග ජයගත් චෛතසික ශක්තිය ය.

එම ආවාස කුටිය පිදීමේ ඉතා චාම් උත්සවයට යෑමට මටද ආරාධනාවක් ලැබුණේ මෙම පරිත්‍යාගශීලී සහෘදයන්ගෙනි. එම භාග්‍යවන්ත මොහොතට දෙසීයක් පමණ පිරිසක් පැමිණ සිටියහ. ඒ බොහෝ අය මෙම කුටිය සෑදීමට ශ්‍රම දායකත්වය සැපයූ අය ය. මලියදේව මහ රහතන් වහන්සේගේ පහසින් පූජනීයත්වයට පත් වූ අරංකැලේ ශුද්ධ භුමිය නැවතත් පවිත්‍ර වෙමින් පැන් කෙන්ඩියේ ජලයෙන් නැහැවුනේ මේ කුටිය පිදූ මේ පින්වත් මිනිසුන් දෙදෙනාගේ පරිත්‍යාගශීලී දෑත් දෝවනය වමිනි. අතපැන් වත්කර පිදූ ඒ කුටිය ඔවුන් සෑදුවේ සංසාර විමුක්තිය සොයා යන යෝගාවචර භික්‍ෂු පරපුර නියෝජනය කිරීමට ය. දිගු සංසාර ගමන් මඟ කෙටි කර ගැනීමට ජර්මනියේ සමිත හිමියන් මේ කෙටි පෙත් මගේ සක්මන් භාවනාවේ යෙදෙන පියවර හඬ හුදකලා නිමේශයක අපගේ හෘද ස්පන්දනයත් සමඟ දැනෙනු ඇත. උන්වහන්සේ කෙලෙස් සිඳිමින් එම සුවදායක ගමන ගියද යාමට නොහැකි වූවද සසර කතර තරණය කරන්නට සතර දිගින් වඩිනා යෝගාවචර භික්ෂූන් වහන්සේ නමක් හෝ සංසාර විමුක්තියේ අරුණාලෝකය දකින මොහොතක එම අරුණාලෝකයෙන් මෙම කුටිය ද සක්මන් මඵවද ආලෝකවත් වී පෙනෙනු නියතය. නම් ගම් ලිවීම, හඳුන්වා දීම, ඡායාරූප ඵල කිරීම ආදිය ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළ ද මේ පරිත්‍යාගශීලී පින්වතුන් මා සිත මත ඇඳ තැබුවා වූ චිත්‍රය දිවි ඇතිතෙක් හදපත්ලේ රැඳී තිබෙනු ඇත.

මඟ පෙන්වාදිමට හැකිවීමේ සැහැල්ලුව මා සිත සදා රඳා පවතී.

අඬහැර අඬබෙර නොමැතිවපරිත්‍යාගයේ සැබැ අරුත යථාවාදීව පෙන්වා දුන්, අත් හැරීමෙන් ඇතිවන අපමණ සුවය මෙය යැයි පසක් කර දුන්, ඒ සුවයෙන් බිඳක් මා සිතටද කාන්දු කර දුන්, ඒ ආදර්ශයෙන් පරිත්‍යාගයේ අරුත පාඨක ඔබට පසක් කර දුන්, පින්වතුනි ඔබලාගේ සැබෑ සිත් පිනවූ තෘප්තිය ජීවිතයෙන් එපිටටත් සැහැල්ලුවක් සේම රැඳී පැවතෙනු ඇත.

අප කවුරුත් පරිත්‍යාග කළයුතුවන්නේ අර්ථානවිතවය. ඒ අත්හැරීමේ බරෙන් වියුක්තවන සිතට දැනෙන අපමණ වූ සැහැල්ලුව හා සුවය අත්විඳීමට ය.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]