UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ පූජනීය වස්තුන් චෛත්‍යයන්හි නිධන් කර ගෞරව කිරීමට බෞද්ධයන් පෙළඹුණා. මේ සංස්කෘතිය ක්‍රමයෙන් පුද පූජා සංස්කෘතියක් ලෙස ජනතාව අතරට පැමිණියා. ආගම, සංස්කෘතිය නිසා පිබිදීමක් ඇති වුණා. මේ පිබිදීම නිසා තෙමඟුලට පුරාතනයේ සිටම විශේෂිත තැනක් උරුමවුණා. ඒ තෙමඟුල සැමරීම උදෙසා පෙරහර සැරසිලි ආදිය එකතු වුණා. ආගම, දහමක පැවැත්මක් තිබීමට නම් සංස්කෘතික අංග සජීවි ලෙස ජනතාව අතරට ගමන් කළ යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ සමුදාය සිහි කරමින් විවිධ වූ වත් පිළිවෙත්හි නියැළීමට බෞද්ධ උපාසක උපාසිකාවන් පුරාතනයේ සිටම කටයුතු කළා.

මේ වත් පිළිවෙත් කාලයාගේ ඇවෑමෙන් වෙනස් වුවත් මූලික හරය වෙනසක් වූයේ නැහැ. එහෙත් බුදුරදුන්ගේ ශ්‍රී සද්ධර්මයට අනුව ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේට දක්වන ඉහළම ගෞරවය ප්‍රතිපත්ති පූජාව බව උන්වහන්සේ විසින්ම

පරමාය පූජාය
පටිපත්ති පූජාය
යනුවෙන් වදාරනු ලබනවා.

සම්බුද්ධ පරිනිර්වාණ අවස්ථාවේදි සෙසු භික්‍ෂූන් වහන්සේ බුදුරදුන් බැහැ දැකීමට වැඩම කළත් ධර්මාරාම භික්ෂුව බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට නොගොස් අරිහත් ඵලය ලබා ගැනීමට උත්සාහ දැරුවා. එය දැනගත් බුදුරජාණන් වහන්සේ ධර්මාරාම භික්ෂුවගේ ක්‍රියාව අගය කරමින් තමන් වහන්සේට කළ හැකි ලොකුම උපහාරය එය බව දේශනා කළා.

එසේ වුවත් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිටම උන්වහන්සේට ගෞරව සත්කාර කිරීමට යම් පූජනීය වස්තූන් ශ්‍රාවකයන්ට අවශ්‍ය වුණා. “ආනන්ද බෝධි රෝපණය” සිදුවූයේ ඒ අනුවයි. බෝධි පූජා වැනි පුද පූජා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීම සිදු වූ බව මින් පැහැදිලි වෙනවා. එසේම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට පෙර ආනන්ද හිමියන් විමසා සිටියේ පිරිනිවන් පෑමෙන් පසු කටයුතු කෙසේ සිදු විය යුතුද? යන්නයි. එවිට බුදුරදුන් වදාළේ චක්කවත්ති රජුගේ ආදාහනය පරිදි එය සිදු කළ යුතු බවයි. එසේම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සැදැහැවත් බෞද්ධයකු විසින් දැක ධර්ම සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් ඇති බවද උන්වහන්සේ වදාරා තිබෙනවා.

එනම් බුදුරජාණන් වහන්සේ බුදුරදුන් උපන් ස්ථානය, බුදුවූ ස්ථානය, පළමු ධර්ම දේශනය පැවැත්වූ ස්ථානය හා පරිනිර්වාණය සිදුවූ ස්ථානයයි. මෙයින් සිදුවීම් තුනක්ම වූ වෙසක් පොහෝ දින උත්සවශ්‍රීයෙන් සැමරීමට ලෝකවාසී බෞද්ධයන් කටයුතු කරනවා. පසුකලෙක මේ ස්ථාන වෙත ගොස් විවිධ උත්සව පවත්වා බුදුරජාණන් වහන්සේ උදෙසා ගරු කිරීම් සිදු කරන්නට බෞද්ධයන් පෙළඹුණා.

එපමණක් නොව සම්බුද්ධ පරිනිර්වාණයන් පසු ශ්‍රී දේහය ආදාහනයෙන් ඉතිරි වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පූජනීය වස්තුන් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ පූජනීය වස්තුන් චෛත්‍යයන්හි නිධන් කර ගෞරව කිරීමට බෞද්ධයන් පෙළඹුණා. මේ සංස්කෘතිය ක්‍රමයෙන් පුද පූජා සංස්කෘතියක් ලෙස ජනතාව අතරට පැමිණියා. ආගම, සංස්කෘතිය නිසා පිබිදීමක් ඇති වුණා.

මේ පිබිදීම නිසා තෙමඟුලට පුරාතනයේ සිටම විශේෂිත තැනක් උරුමවුණා. ඒ තෙමඟුල සැමරීම උදෙසා පෙරහර සැරසිලි ආදිය එකතු වුණා.

ආගම දහමක පැවැත්මක් තිබීමට නම් සංස්කෘතික අංග සජීවි ලෙස ජනතාව අතරට ගමන් කළ යුතු වෙනවා. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුදහම හඳුන්වා දීමෙන් පසු බෞද්ධ සංස්කෘතියකට අවශ්‍ය පදනම සකසා තිබෙනවා.

මිහිඳු හිමියන්ගේ අනුශාසනාවෙන් සංඝමිත්තා මහරහත් තෙරණියන් වහන්සේ සමඟ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ මෙරටට වැඩම කරවනු ලැබුවා. එතැන් සිට මෙරට බෝධි සංස්කෘතියක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බව සලකමින් බෞද්ධයාට ප්‍රසාද සංවේගය ඇතිකර ගැනීමට බෝධි වන්දනාව, බෝධි පෙරහර, බෝධී පූජා මෙරට පැවැත්වීම ඇරැඹුණා.

පසුව ධාතුන් වහන්සේ වැඩම කරවා චෛත්‍ය ඉදිකරවා වන්දනා මාන කළා. මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මය පමණක් දේශනා කළා නම් එය ප්‍රමාණවත් නැහැ. ජනතාවට ආගමික වතාවත් සඳහා පුද පූජා හඳුන්වා දී වෙසක් දිනය උත්සවශ්‍රීයෙන් සැමරීම ඇරැඹුණා. මෙහිදී බෞද්ධ ජනතාව වෙසක් උලෙළ සැමරීමේදී ප්‍රතිපත්ති පූජාවට මූලික තැන ලබා දුන්නා. යටත් විජිතවාදයෙන් පසුව බෞද්ධයන් අතරට බටහිරට නැඹුරු වූ සිරිත් විරිත් සංස්කෘතිකාංග එකතු වුණා.

වසර 40 කට 50 කට පමණ පෙර සිටම වෙසක් තොප්පි වෙස් මුහුණු ඇතැම් අය පැළැදීම මෙරට සංස්කෘතික අංගයක් ලෙස එක් වුණා. මේ අනුව ක්‍රමයෙන් වෙසක් උලෙළද ඇතැම් අය අතර වාණිජත්වයට පත්වුණා. බෞද්ධ ජාතක කතා ඇසුරින් නාට්‍යය ප්‍රදර්ශන මූලිකව ඇරැඹුවත් පසුව එයද ‘ඔලු බක්කන් නැටීමේ’ සංදර්ශන දක්වා බහුල වුණා.

බුද්ධාලම්භන පී‍්‍රතිය උදෙසා තොරණ ඉදිකිරීමට ඇරැඹුවත් එයද පසුව වාණිජත්වයට නැඹුරු වුණා. වෙසක් පහන් කූඩු ඉදි කිරීම පවා ක්‍රමයෙන් මේ විපර්යාසයන්ට භාජනය වූ බව පෙනෙන්නට තිබෙනවා.

අද තොරණ නැරැඹීමට යාමත් ඇතැම් අයකුට විනෝද ගමනක් වෙලා. සංවරබව බුද්ධාලම්භන පී‍්‍රතියෙන් තොරණ, වෙසක් පහන්කූඩු, නරඹන බැතිමතුන් අද අඩුවෙලා. දාන, ශීල, භාවනා, ප්‍රතිපත්ති පූජා, පමණක් බුදු දහමේ ඉදිරි මාවතට ප්‍රමාණවත් නැහැ.

කුඩා දරුවකු වෙසක් පොහෝ දිනට සිල් ගැනීම හෝ භාවනා කිරීම තුළින් පමණක් ප්‍රතිපත්ති පූජාවලට යොමු වීම දැනුවත් වන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ උදෙසා වෙසක් කූඩුවක්, හෝ වෙනසක් සැරසිල්ලක් තැනීමෙන් එම දරුවාගේ සිත දහමට නැඹුරු කළ හැකියි. දර්ශනය එකක් සංස්කෘතිය තව එකක් බව අප තේරුම් ගත යුතුයි. නමුත් බොහෝ දෙනා මේ තත්ත්වය පටලවා ගන්නවා. සංස්කෘතියද කාලයෙන් කාලයට නැවුම් වෙනවා. නිදසුනක් ලෙස තොරණ නැරඹීම අතීතයේ සිට දිවා කාලයේ සිදු කළා. එහෙත් එය අද විදුලිආලෝකය සහ ඩිජිටල් තාක්ෂණය යොදා තොරණ අලංකාරය රාත්‍රියට යොදා ගන්නවා. සංස්කෘතියේ දියුණුව කුමක් වුවත් මූලික අරමුණු අමතක නොකළ යුතුයි. වෙසක් අසිරියට සිදුවන සෑම ක්‍රියාවක්ම සෑම අංගයකින්ම ජනතාව අතරට යා යුත්තේ යම් ආදර්ශවත් පණිවුඩයක් රැගෙනයි .

කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංගයන්ගේ ප්‍රතිමූර්තියක් තිබිය යුතුයි. එමඟින් අපේ ජීවිතය හැඩ ගස්වා ගැනීමට ආදර්ශයක් ලබා දිය යුතුය. නමුත් වාණිජ රැල්ල හමුවේ බුදු දහමේ පණිවුඩද ගලායාම මෙන්ම ආදර්ශය ජනතාවට ලබාදීම වළකින තත්ත්වයක් දක්නට තිබෙනවා. ඒ තත්ත්වය මැඬගෙන ජනතාවට ප්‍රතිපත්තියට මුල් තැනක් ලබාදී සංස්කෘතිකාංග ආරක්‍ෂා කිරීමේ පණිවුඩය අප ලබා දිය යුතුයි.

බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව සිහි ගැන්වීමත් දානයේ උතුම් බවත් සලකා දන්සල් ලබාදීම අතීතයේ සිට පැවතුණා. එහෙත් අද දන්සල් සංස්කෘතිය උදාවෙලා තිබෙනවා.

දන්සල් වලට ආරාධනා කිරීමේදී පාරේ යන එන පුද්ගලයන්ට බාධා කරමින්, වාහන වලට අනතුරුදායක ලෙස පාරට පනිමින්, උතුම් වූ බෞද්ධ කොඩිය බිම ගෑවෙන ලෙස සලමින් ඊට අගෞරව කිරීම බුදුදහමට කෙසේවත් අනුකූල වන්නේ නැහැ. මේ තත්ත්වය අප තේරුම් ගෙන බුදු දහමේ උත්තුංග බව සැමදාම රැක ගෙන කටයුතු කළොත් වෙසක් උලෙළේ අරුත නිබඳවම රඳා පවතිනවා.

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]